වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක්

වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක්


වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක්

(11.02.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය නගරය ආශ්‍රිතව අද (11) අලුයම තවත් සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම කියා සිටියේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක් ලෙස සටහන් වූ බවයි.

අද (11) අලුයම 03:48 ට පමණ මෙම භූ චලනය දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී තිබුණා.

මේ අතර ඊයේ (10) දිනයේ බුත්තල – පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලන දෙකක් (2) වාර්තා වූ අතර, එය දැක්වුණේ රික්ටර් පරිමාණ ඒකක 3 ක් සහ 2.4 ක් ලෙසයි.

මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ද භූ චලන සිදු වූ ප්‍රදේශ වෙත පිටත් කර යැවූ බවයි එම කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම කියා සිටියේ.

මෙලෙස මෙම ප්‍රදේශවල භූ චලන හටගැනීමේ හේතුව කුමක්ද යන්න හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යා පීඨයේ – භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපති මහාචාර්ය උදේනි බණ්ඩාරගෙන් විමසා සිටියා.

ශ්‍රී ලංකා භූමියේ විශාල ඝනයේ භූ චලන ඇතිවීමේ හැකියාවක් නොමැති බවයි ඔහු එහිදී කියා සිටියේ.

++++

බුත්තල භූ කම්පනවලට හේතුව මහාචාර්යවරයෙක් අනාවාරණය කරයි

(11.02.2023 – 10:18 +0530 – hirunews.lk/sinhala)

බුත්තල ප්‍රදේශයට දැනුණු භූ කම්පනයට හේතුව ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ බිඳී යාමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

ඉන්දු – ඔස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදු වන මෙම බිඳී යාම දැනට වසර 15 – 20 පමණ කාලයක සිට වේගවත්ව සිදු වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් එම බිඳී යාමට ආසන්නයේ ම පවතින රට ලෙස ශ්‍රී ලංකාව මෙවැනි සුළු භූ කම්පන තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

එසේ ම මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය විය නො යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000 ක පමණ දුරින් සිදුවන මෙම තල බිඳී යාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන තත්ත්වයන් ඉදිරියේ දී ඇති විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

ඊයේ (10) වැල්ලවාය – බුත්තල – පැලවත්ත යන ප්‍රදේශයන්හි දහවල් කාලයේ දී රික්ටර් මාපකයේ ඒකක 3 කට ආසන්න සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වූ අතර අද (11) අලුයම 03:48 ට පමණ රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් වාර්තා වුණා.

මෙම භූ කම්පන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යාංශය පවසා සිටියේ ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි.

+


මෙරට 35% ක් ආහාර වේල් අඩු කරලා

(11.02.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනගහනයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ග්‍රාමීය පවුල් 10 න් 9 ක් ද, වතුකරයේ පවුල් 10 න් 8 ක් ද, දෛනිකව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්, ඊට ප්‍රධාන හේතුව ලෙස ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල ආදායම අඩු වීම බව ද එහි දැක්වෙනවා.

දෙසැම්බර් මාසය තුළ සහය අවශ්‍ය පවුල් වලින් සියයට 10 කට පමණ රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර ලැබී තිබෙන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට ජනගහණයෙන් සියයට 67 ක් තමන් ප්‍රිය කරන ආහාර ගැනීම අත්හැර මිලදී ගත හැකි ආහාරවලට යොමුවී තිබෙනවා. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 68 ක් ආහාර පදනම් කරගනිමින් දෙසැම්බර් මාසය තුලදී ක්‍රියාමර්ග වලට යොමුව තිබෙනවා.

වතුකරයේ පවුල් සියයට 38 ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් ග්‍රාමීය ප්‍රදේශවල පවුල් සියයට 34 ක් සහ නාගරික පවුල් සියයට 28 ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළන බවයි එම වාර්තාවේ දක්වා ඇත්තේ.

මේ අතර දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවයේ වැඩිම පළාත ඌව වන අතර ආහාර අනාරක්ෂිත භාවය අඩුම උතුර පළාත ලෙස එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

+


භාවනා මධ්‍යස්ථානයේ දේව ප්‍රතිමා ඉස්සූ සැකකරු මාට්ටු

(11.02.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් (4,50,000) පමණ වටිනා පිත්තලෙන් නිර්මාණය කරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් මෙන් ම චෛත්‍යයක කුඩා අනුරුවක් සොරකම් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පෙරේදා (09) දිනයේදී සැකකරු මෙම දේව ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති අතර, ඊයේ (10) ඔහු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කැළණි ගඟට පැන පීනා ගොස් ඇති අතර, නැවත ඔහු ගොඩට පැමිණෙන අවස්ථාවේ දී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සැකකරුට එරෙහිව දේපළ සොරාගැනීමට අදාළ නඩුවක්ද විභාගවෙමින් පවතින අතර, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වී දඬුවම් ලැබූවෙකු බවද සඳහන් ෴


එක්සත් ජනපද අරමුදලෙන් ශ්‍රී ලංකාවට සහල් තොගයක්

(11.02.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් ‘යූඑස් එයිඩ්’ ආයතනය ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 600 ක සහල් තොගයක් ලබාදී තිබෙනවා.

මෙය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව ‘යූඑස් එයිඩ්’ ආයතනය ලබාදෙන පුළුල් සහනාධාර තොගයක මුල් අදියර බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඉදිරියේ දී මෙම වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 3,950 ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768 ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188 ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310 ක් ලබාදීමට නියමිතයි.

මෙමඟින් පාසල් දරුවන් මිලියන 1.7 ක් සහ ගර්භනී හා කිරිදෙන මව්වරුන් ලක්ෂ 3 කට පෝෂණය ලබාදීමට ඉවහල්වනු ඇති බවටයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴


සමෘද්ධිය අහිමිවූවන් තැන්පතු සහ කොටස් ගැටළුවක

(11.02.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

යම් ප්‍රතිලාභියෙකු සමෘද්ධි සහනාධාරයෙන් ඉවත්වීමේදී ඔවුන්ට හිමි තැන්පතු සහ කොටස් මුදල් ලබාගැනීමේ අපහසුතාවක් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

කිසිවෙකු සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් වන්නේ නම් අදාළ තැන්පතු සහ කොටස් මුදල් එම පුද්ගලයින්ට ලබාගත හැකි බවටයි අදාළ චක්‍රලේඛවල දැක්වෙන්නේ.

සමෘද්ධි දීමනා ලබාගන්නා පිරිස් අතුරින් ඇතැම් පුද්ගලයන්ට යම් යම් හේතූන් මත ඉන් ඉවත්වීමට සිදුවන බව සඳහන්. එහිදී ඔවුන්ට තැන්පත් මුදල් සහ කොටස් ලබාගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවන බවයි ඊට මුහුණදුන් පිරිසක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කළා.

සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් වූ පුද්ගලයින්ට තැන්පතු සහ කොටස් මුදල ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලීම් කළ ද ඇතැම් සමෘද්ධි බැංකු එය පැහැර හරින බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ චෝදනා කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් සමෘද්ධි බැංකු ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන් ද විමසීමක් කළා.

එහි අධ්‍යක්ෂ එස්.ඒ. සුනිල් වික්‍රමසිංහ කියා සිටියේ සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් වූ පුද්ගලයින්ට ණය මුදල් සම්බන්ධ ගැටලු‍ නොමැති නම් ඒවා නිදහස් කර ගැනීමට හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ අදාළ සමෘද්ධි නිලධාරියා ඔස්සේ සමෘද්ධි බැංකු ශාඛාවන්ට ලබාදිය යුතු අතර, ඒ චක්‍රලේඛයන් අනුව කටයුතු කිරීමට අදාළ බැංකු දැනුවත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


ජනවාරියේ සංචාරක පැමිණීම 1,02,545 ක්

(11.02.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි මාසය තුල සංචාරකයින් 1,02,545 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එය සියයට 24.5 ක වර්ධනයක් බවයි එම අධිකාරිය සදහන් කළේ.

එය පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේදී සංචාරකයින් 20,218 ක වැඩිවීමක්.

ඉන් වැඩි සංචාරකයින් පිරිසක් රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවකින් පැමිණ ඇති බව සඳහන්.

2022 වසරේදී මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 7,19,978 ක්.

ජනවාරි මාසය තුල යුරෝපීය කලාපයෙන් සංචාරකයින් 68,855 ක් පැමිණ ඇති අතර එය සියයට 66.1 ක වැඩිවීමක්.

මේ අතර, ආසියා පැසිෆික් කලාපයෙන් 26,009 ක් පැමිණ තිබූ අතර, එය සියයට 25.3 ක් බව සඳහන්.

එමෙන්ම, පසුගිය මස තුලදී ගුවන් මගින් සංචාරකයින් 1,01,036 ක් පැමිණ ඇති අතර,

1309 ක් පැමිණ ඇත්තේ මගී ප්‍රවාහන නෞකාවලින් ෴


අඳුරේ ම රෝගීන්ට බෙහෙත් දෙන වෛද්‍යවරු – රෝහලම කළුවරේ !

(11.02.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

වසරකට වැඩි කාලයක සිට රත්නපුර ගොඩකවෙල දිසා රෝහලේ විදුලිජනන යන්ත්‍රය ක්‍රියා විරහිතව පවතින බව වාර්තා වනවා.

විදුලිය විසන්ධි කරන අවස්ථාවන්හිදී රෝගීන් මෙන්ම වෛද්‍යවරුන් ද ඒ හේතුවෙන් පත්වන්නේ දැඩි අපහසුතාවයකටයි.

ගොඩකවෙල බිබිලේගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ රත්නපුර ගොඩකවෙල දිසා රෝහලටයි විදුලිය විසන්ධි කරන අවස්ථාවන්හිදී විදුලිජනන යන්ත්‍රය ක්‍රියා විරහිතව තිබීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම රෝහල් කාර්යය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී රෝහල් කටයුතු කිරීමට සිදුව ඇත්තේ විදුලි පන්දම් හා ජංගම දුරකථන ආධාරයෙන් බවෙයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පන්සියයකට (500) අධික පිරිසක් පැමිණෙනවා විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇතුළු සේවා රැසක් මෙම රෝහලෙන් සපයා තිබුණ ද විදුලි ජනක යන්ත්‍රය ක්‍රියා විරහිත වීම රෝගී ප්‍රතිකාර සේවාවන්ට ඇති බධාවක් බවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් විදුලිය විසන්ධි වූ අවස්ථාවන්හිදී හෘද රෝගීන් ඇතුළු හදිසි රෝගීන් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහල වෙත රැගෙන යාමටයි සිදුව ඇත්තේ.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම විදුලි ජනන යන්ත්‍රය භාවිතයට ගත හැකි වන පරිදි සකස් කර දෙන ලෙසයි.

+


ගොයම කහවීමෙන් ඇළහැර ගොවීන් කබළෙන් ළිපට

(11.02.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ඇළහැර ගොවි ව්‍යාපාරයේ මෙවර මහ කන්නයේ වගාකළ ගොයමට කොළ කහ වීමේ රෝගය හේතුවෙන් දැඩි හානි සිදුව ඇති බව ගොවීන් පවසනවා.

ඒ හේතුවෙන් මෙවර වගාකළ කුඹුරු අක්කර 300 ක් පමණ ගොයම පීදීම පවා පමා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබුණත් වී අස්වනු විකිණීමේදී තමන්ට හිමිවන්නේ රුපියල් 65 ත් 70 ත් අතර අවම මිලක් බව මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

වී වගාව සඳහා අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීමෙන් මෙවර මහ කන්නයේ අස්වනුද 50% කින් පමණ පහත බැස ඇති බවටත්, අධික වියදමක් දරා පොහොර මිලදී ගෙන කුඹුරු වගාකළද තමන්ට වැය වූ මුදල හෝ ලබාගැනීමට නොහැකි වී ඇති බවටත් ඔවුන් මැසිවිලි නගනවා.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ අක්කර 500 ක පමණ කහ වගාකළ ගොවීන් ද තම අස්වනු නිසි මිලකට අලෙවිකරගත නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

මේ වනවිට අස්වනු නෙලීම ආරම්භ කර තිබුණ ද කහ කිලෝවක් රුපියල් 50 කට හෝ අලෙවි කිරීමට නොහැකි බවට කහ ගොවීන් මැසිවිළි නගනවා.

+


රුපියල් ලක්ෂ 25 යතුරුපැදියේ ගොස් ජීවිතය අහිමිකර ගත් තරුණයා

(11.02.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල් ගස් හංදියේ දී අද (11)උදෑසන යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි කෞශල්‍ය චාමර නැමැති 31 හැවරිදි පුද්ගලයෙක්.

ඔහු තවත් දෙදෙනකු (2) සමග යතුරුපැදිවලින් හොරණ ප්‍රදේශය සිට බුලත්සිංහල දෙසට යන අතරතුර මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙසේ අනතුරට පත් වුණු යතුරුපැදිය රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා බව පොලිසිය සඳහන් කළා.

වැඩි දුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *