උසස් පෙළ විභාගය මැද්දේ තමන්ට සිදු වූ අසාධාරණයක් ගැන සිසුවියකගෙන් පැමිණිල්ලක්

උසස් පෙළ විභාගය මැද්දේ තමන්ට සිදු වූ අසාධාරණයක් ගැන සිසුවියකගෙන් පැමිණිල්ලක්


උසස් පෙළ විභාගය මැද්දේ තමන්ට සිදු වූ අසාධාරණයක් ගැන සිසුවියකගෙන් පැමිණිල්ලක්

(09.02.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි කැකිරාව ප්‍රදේශයේ සිසුවියකට විභාග නිරීක්ෂකවරයෙකුගෙන් සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සහිත ලිපියක් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස අසාධාරණයට පත් ව ඇත්තේ කැකිරාව – මිරිහම්පිටිගම ප්‍රදේශයේ පදිංචි දෙවැනි (2) වර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක් බවයි.

තමන් උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් මුහුණ දෙන බවත්, ඊයේ (08) දිනයේ පැවැති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට විභාග ශාලාව වෙත සිසුන්ට රැගෙන යාමට හැකි ගණක යන්ත්‍රයක් (කැල්කියුලේටරයක්) තමන් ද රැගෙන ගිය බවත් ඇය පැවසුවා.

නමුත් තමන් ඇතුළු තවත් විභාග ශාලාවේ රැඳී සිටි ශිෂ්‍යයින් කිහිපදෙනෙකුගේ පමණක් ගණක යන්ත්‍ර විභාග ශාලාවේ නිරීක්ෂකවරයා පැමිණ ඉවත් කළ බවත්, එය සිසුන් කිහිපදෙනෙකුට පමණක් සිදු කර, සෙසු සිසුන් හට ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) පාවිච්චි කිරීමට අවසර හිමි වූ බවත් අදාළ ශිෂ්‍යයාව වැඩිදුරටත් කියා සිටියා.

පසුගිය වසරේ ද විභාගයට තමන් මෙම කැල්කියුලේටරය රැගෙන ගිය ද, ඊට විභාග ශාලාවෙන් අවසර හිමි වූ බව ද මෙම ශිෂ්‍යයාව සඳහන් කළා.

තමන් ඇතුළු සහෝදර ශිෂ්‍යයින්ට සිදු වූ මෙම අසාධාරණය ගැන විභාග ශාලාධිපතිවරයාට ද දැනුම් දුන්න ද , ඒ පිළිබඳ කිසිදු සැලකීමක් ඔහු නොදැක්වූ හෙයින් තම ගැටලුව සඳහන් කර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත් පැමිණිලි කර ඇති බවයි ඇය සඳහන් කළේ.

දෙවැනි (2) වර උසස් පෙළ විභාගයට මුහුණ දුන් තමන් ඇතුළු මෙම අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයින්ට නිසි සාධාරණයක් ඉටු කරන ලෙස අදාළ සිසුවිය විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ෴


පාස්පෝට් කාර්යාලයට අතිරේක පොලිස් ආරක්ෂාවක්

(09.02.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ස්ථානයට අතිරේක පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස අතිරේකව අනියුක්ත කර ඇත්තේ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය කළ ඉල්ලීමක් මතයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත් අංශයේ විවිධ අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බැවින් එවැනි පොලිස් ආරක්ෂාවක් ඉල්ලා ඇති බව සඳහන්.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ මේ දිනවල එක්දින සේවාව යටතේ විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන්නන්ගේ විශාල තදබදයක් පවතින බවයි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන සදුදා (13) සිට ආරම්භ වීමට නියමිතව තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද ඔහු කියා සිටියා.

මේ අතර ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 59 දෙනා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ කාන්තාවන් ගෙන්වා ගැනීමට නෛතික ගැටලු රැසක් ඇති බැවින් ඔවුන් කාණ්ඩ වශයෙන් වෙන්කර එම ගැටලු විසදීමෙන් අනතුරුව මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි ෴


මහපොළ ඉල්ලා සරසවි සිසුන් මහපාරට

(09.02.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාද කළ මහපොල ශිෂ්‍යාධාර වාරික ගෙවීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (09) විරෝධතා පාගමනක නිරත වුණා.

කොළඹ සරසවිය අසලින් ආරම්භ කළ විරෝධතාව මාර්ගය අවහිර කරමින් ඉදිරියට යෑමට පැමිණි අවස්ථාවේදී පොලිසිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

කෙසේ වෙතත්, අනතුරුව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නිල නිවස අසලට පැමිණ විරෝධතාව අවසන් කළා.

කෙසේ වෙතත්, මහපොල වාරික ගෙවීමේ ප්‍රමාදයක් පවතින්නේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ වසරකට මාස 10 කට අදාළව මහපොල ගෙවීම් සිදු කරන බවයි.

ඒ අනුව 2022 වසරට අදාළව සියලු මහපොල වාරික ගෙවීම් අවසන් කර ඇති බව ද සභාපතිවරයා කියා සිටියා ෴


13 බලගන්වන්න JVP එක කැමතියි… (09.02.2023)

+


මාමාගේ කූඤ්ඤය ගැලෙව්වොත් බෑනාට මොකද වෙන්නේ? (09.02.2023)

+


මෙහෙම ගියොත් මේ රටේ ඉතුරු වෙන්නේ පාර්ලිමේන්තුවේ මෝඩ තක්ඩියෝ ටික විතරයි (08.02.2023)

+


08.02.2023

+


රොෂාන් වන්නිනායක ව විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු කරගනී

(09.02.2023 – 18:43 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා පැලවත්තේ නිවසක් තුළ ඝාතනයට ලක්වී තිබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා සිදුකළ පරීක්ෂණ වාර්තා මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ප්‍රසිද්ධ නිමිඇඳුම් වෙළෙඳසැල් ජාලයේ හිමිකරු, පැලවත්ත කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක දැයි නිශ්චිතව දැනගැනීම සඳහා ඔහුගේ මවගේ රුධිර සාම්පල සමග සසඳා සිදුකළ විද්‍යාත්මක පරීක්ෂාවේදී එම ව්‍යාපාරිකයාම බවට තහවුරු වූ බවය.

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ මව, ජින්ටෙක් ආයතනය වෙත යොමුකර ලබාගත් රුධිර සාම්පල සහ ව්‍යාපාරිකයාගේ රුධිර සාම්පල සමග සසදා ඒ බව අනාවරණය කරගත් බවද පොලීසිය වැඩිදුරටත් කියයි.

ඉකුත් මස 30 වනදා සිට අතුරුදන්වී සිටි ව්‍යාපාරිකයාගේ මළසිරුර මෙම මස 02 වනදා පැලවත්ත එම්.ඩී.එච්.පුර ඉදිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවසේ ඉහළ මහලයේ නාන තටාකයේ පාවෙමින් තිබියදී පොලීසියට හමුවිය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරු පොලීසියට තොරතුරු රැසක් හෙළිකර තිබෙන අතර ‘දුරකථන ඇප් එකක්’ හරහා ඔහු මීට මාසයකට පමණ පෙර ව්‍යාපාරිකයාව හඳුනාගෙන ඇති බව පවසා තිබේ.

ඒ අනුව මුල්ම දවසේ දෙදෙනා සමීප ඇසුරක් පැවැත්වූ බවත් සැකකරු සිදුකළ පාපෝච්චාරණයේ සඳහන්වී ඇත.

කෙසේවෙතත් අදාළ ව්‍යාපාරිකයාව ඔහුට අයත් තෙමහල් නිවස තුළ මුගුරකින් පහරදී ඝාතනය කර නාන තටාකයට දමා තිබියදී පොලීසිය සිරුර සොයා ගත්තේය.

ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ඉල්ලු බවත් එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ මතගැටුමක් නිසා පහරදීමක් සිදුවූ බවත්ය.

ඒ අනුව ඝාතනය සඳහා යොදාගත් මුගුර හා නිවස තුළ තිබී සොයාගත් පාවිච්චි කරනලද උපත් පාලන කොපුව විද්‍යාත්මක සාක්ෂි සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට තීරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට අමතරව කාන්තාවක් ද අත්අඩංගුවට ගැනුණු අතර ඒ අනුව සැකකාර යුවළ කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.

ජින්ටෙක් ආයතනය මගින් ලබාදුන් අදාළ වාර්තාව කඩුවෙල අධිකරණ වෙත ඉදිරිපත් කර අධිකරණයෙන් ලබාදෙන නියෝග මත ව්‍යාපාරිකයාගේ මළසිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය ෴


අඩි 150 ක ප්‍රපාතයකට පෙරලුණු මොටෝරිය – කතක් මරුට

(09.02.2023 – 22:15 +0530 – hirunews.lk/sinhala)

ලග්ගල පොලිස් වසමේ රිවර්ස්ටන් මාතලේ මාර්ගයේ කිලෝමීටර් 29 කණුව ආසන්න‍යේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

අද (09) පස්වරුවේ මාතලේ දෙස සිට ලග්ගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් එහි රියදුරු ඇතුළු පස් (5) දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව ද හෙළි ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී රථයෙහි ගමන් කර ඇත්තේ පොලිස් නිලධාරියාගේ බිරිඳ, දරුවා, බිරිඳගේ සහෝදරිය හා ඇයගේ දරුවා යි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි උකුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ෴


පේරාදෙණිය මල් වත්තේ වංචනික මුරකරු

(10.02.2023 – 00:20 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගියෙකු බව හගවමින් කාන්තාවන්ගේ අනුකම්පාව දිනා ගෙන හිතවත් වී පසුව ඔවුන්ව බිය වද්දා මහා පරිමාණ කප්පම් ගන්නා පුද්ගලයෙකු මාතර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාල පුද්ගලයා කාන්තාවන් 20 දෙනෙකුට අධික පිරිසකට මෙලෙස බලපෑම් කර ඇති බවයි.

අද (09) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිදු කළ එම කප්පම් ගැනීමේ ජාවාරම පිළිබඳවයි.

පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණි කාන්තාවක් ඉන් මිලදී ගත් මල් පැල කිහිපයක් මල්වත්ත නරඹා පැමිණෙන තෙක් එහි ආරක්ෂක කුටිය ආසන්නයේ තැබීමට කටයුතු කර තිබුනා.

එහිදී ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙකු පවසා ඇත්තේ වටිනා මල් පැල උද්‍යානයට ගෙන ආ විට ඒ පිළිබඳ දැනුවත් කිරීමට ද හැකි බවයි.

ඒ සඳහා තමාට දුරකථන අංකය ලබාදෙන ලෙසයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව අදාළ කාන්තාව ඔහුට සිය දුරකථන අංකය ලබා දී තිබුනා.

ඇය සමග හිතවත් වී කෙටි කලක් දුරකථනය ඔස්සේ කථා බහ කළ ආරක්ෂක නිලධාරියා පසුව ඇයට පවසා ඇත්තේ තමන් ‘දරුණු පිළිකා රෝගියෙකු’ බවයි.

ඒ බව සනාථ කිරීම සඳහා ඔහු හෙදියක සමග සිටින ජායාරූප හා මෙම දර්ශන ද ‘වට්ස්ඇප්’ හරහා ඇයට යවා තිබුනා.

ඡායාරූපයේ පෙනී සිටි හෙදිය ලෙස පෙනී සිටිමින් කාන්තාවක් ද ඇයට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ ආරක්ෂක නිලධාරියාට ජීවත්වීමට තව සීමිත දින ගණනක් පමණක් ඉතිරිව ඇති බැවින් ඔහු පවසන ආකාරයට ඔහුව සතුටින් තැබීමට කටයුතු කරන ලෙසයි.

ඉන් පසුව ආරක්ෂක නිලධාරියා ද දුරකථන ඇමතුම් හරහා නිරන්තරයෙන් මල් පැල මිලදී ගත් කාන්තාවගේ ඡායාරූප ඉල්ලා තිබෙනවා.

නමුත් එලෙස යවන ලද ඡායාරූප ඇගේ සැමියාගේ දුරකථනයට යොමු කිරීමටයි මොහු ක්‍රියා කර ඇත්තේ.

පසුව ඔහු සැමියාට ද නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාදෙමින් එම ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදාහරින බවත් එසේ නොකිරීමට නම් මුදලින් කප්පම් ලබා දෙන ලෙසටත් තර්ජනාත්මක ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

මෙම තර්ජන පිළිබඳව අදාළ යුවල මාතර කොට්ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සැලසුමක් සකස් කෙරුණා.

ඒ අනුවයි මහනුවර – කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ නිවසකදී සැකකාර ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගැනුනේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයක කාන්තාවන් රැසක් බියවද්දමින් මෙම කප්පම් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි හෙළිවුණේ.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ අධීක්ෂණය යටතේ මෙම මහා පරිමාණ කප්පම් ජාවාරම පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කෙරෙනවා.

+


දුම්රිය ස්ථානාපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ සූදානමක් ?

(10.02.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

නුසුදුසු නිලධාරියෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට පත් කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් මෙලෙස විරෝධය පළ කරන්නේ.

දුම්රිය ස්ථානාධිපති සේවයේ උසස්වීම් වසර ගණනාවක් ප්‍රමාද කරමින් තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව, අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාද දැනුවත් කර තිබියදී අදාළ චෝදනා එල්ල වූ නිලධාරීයාට උසස්වීම ලබාදීම ගැටළු සහගත බව එම සංගමය සඳහන් කළා.

එම නිසා අදාළ උසස්වීම ලබාදීම කඩිනමින් අත්හිටුවන ලෙසත්, වෙනත් සුදුසු නිලධාරියෙකු ඊට පත් කිරීමට කටයුතු කරන ලෙසත් දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලා සිටිනවා.

මේ අතර, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණත්, ඊට අදාළව විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව අදාළ වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔවුන් කියා සිටියේ ෴


මාර්ග නඩත්තු නොකිරීමෙන් වාහන අබලන්වීම් ඉහළට

(10.02.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අළුත්වැඩියාව සහ නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් වාහන අබලන්වීම ඉහළ ගොස් ඇති බව මගී ප්‍රවාහන සංගම් පවසනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මාර්ග අළුත්වැඩියා කටයුතු සහ නඩත්තු මේ වනවිට නතර වී ඇති අතර, රිය අනතුරුද ඒ හේතුවෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වාහන අමතර කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ බස් රථ නිරන්තරයෙන් අළුත්වැඩියා කිරීමට සිදුව ඇති බවයි.

එමඟින් බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

මාර්ග නඩත්තු නොකිරීම හමුවේ ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ආර්. පසිඳු ගෙන් අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ වාර්ෂික මාර්ග නඩත්තු නිසි කාලසීමාවන් තුළ නොකිරීමෙන් වසර පහකින් පමණ පසුව ඩොලර් බිලියන 2 ත්, 3 ත් අතර ණය මුදලක් ලබාගැනීමට සිදුවනු ඇති බවයි ෴


මුහුදෙන් ගෙන ගිය ඉන්දීය රුපියල් කෝටි 10 ක රත්‍රං තමිල්නාඩුවේ දී අල්ලයි

(10.02.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධීව රැගෙන යමින් තිබූ ඉන්දීය රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබෙනවා.

රත්‍රං කිලෝග්‍රෑම් 17 කට අධික ප්‍රමාණයක් තමිල්නාඩුවේ මන්ඩපම් ප්‍රදේශයේ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි.

සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රත්‍රං තොගය සොයාගෙන ඇති අතර, වැටලීමේදී ඒ හා සමාන තවත් රත්‍රං තොගයක් මුහුදු පත්ලට විසි කරන්නට ඇති බවට විමර්ශකයින් සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *