පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පරයි – පිළිගන්න බෑ ! ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පරයි – පිළිගන්න බෑ ! ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි


පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පරස්පරයි – පිළිගන්න බෑ ! ෂාෆ්ටර්ගේ ඥාතීන් කියයි

(09.02.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඔහුගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළා.

ශාෆ්ටර්ගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේ.

එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුල් වාර්තාවේ මරණයට හේතුව ලෙස, ‘තන්තුවකින් ගෙල ‍සිර කිරීමෙන් සිදු වූ මරණයක්’ බවට වාර්තා කර තිබූ බව පෙන්වා දුන්නා.

එහෙත් එම වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණයට හේතුව වශයෙන් ‘තන්තුවකින් ගෙල සිරකර‍ ගැනීමෙන් සිදු වූ මරණයක්’ ලෙස වාර්තා කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය පරස්පර තත්ත්වයක් බවයි කියා සිටියේ.

එමෙන්ම ‘ආහාර සමඟ සයනයිඩ් නමැති විෂ ශරීරගත වී ඇති බව’ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුව ද, මරණකරුගේ ශරීරයේ තිබූ ලක්ෂණ පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳ නිගමනයකට එළැඹීම ගැටළු‍ සහගත බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි පරස්පරතා සහිත වාර්තා පදනම් කරගනිමින් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණයට නිගමනය කිරීම අපහසු බවත් ඒ පිළිබඳව වැඩිදුර සලකා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එම වෛද්‍යවරයා වෛද්‍ය සේවයේ නිරත වීම මාස 08 කට තහනම් කිරීමට පසුගිය දෙසැම්බර් මස 20 වනදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බව ද කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම සිද්ධියට අදාළ අවසන් පරීක්ෂණ වාර්තාව මාර්තු මස 08 වනදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසයි.

එම අවසන් පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ නියෝගය තමා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළා ෴


රාජ්‍ය ආයතන කිහිපයකට මහාධිකරණයෙන් නොතීසි

(09.02.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට (2) එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වැනිදා කැඳවීමට නියමිතයි.

ඒ, කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (09) එම නඩුව කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කළා.

2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සිය ජංගම දුරකථන බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට (2,30,000) ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා ෴


මැතිවරණ කොමිසම ගැන හොයන්න මන්ත්‍රීවරුන් තේරිම් කාරක සභාවක් ඉල්ලයි

(09.02.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහා ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත බාර දී තිබෙනවා.

එහි යම් යම් කටයුතු හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩව ඇති බවත් එම කරුණ පාදක කර ගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත මෙම ලිපිය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2020 දෙසැම්බර් 03 වැනි දින සාමාජිකයින් පස් (5) දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1048(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට ඔවුන්ගේ තිබෙන වගකීම පිළිබඳව පෙන්වාදෙමින් මෙම ලිපිය යොමු කර තිබෙන අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇති බවත්, එවැනි මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පූර්ව කොන්දේසි පිළිබඳව ද සෑහීමකට පත්වීමට නොහැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

තව ද මැතිවරණ කොමිසමේ ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද අදාල මන්ත්‍රිවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මන්ත්‍රීවරුන් අදාළ ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බල නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ප්‍රතිපාදන තිබෙන අතර එම ප්‍රතිපාදන මත මෙම කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් කථානායකවරයා විසින් පත් කරන අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන අනුව කාරක සභාව සාමාජිකයින් හත් (7) දෙනෙකුගෙන් සමන්විත වනු ඇත ෴


තේ කර්මාන්තයට ගෘහස්තව තේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දෙයි

(09.02.2023 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන අපනයන බෝගයත් ලෙස මෙන්ම ලෝකයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින පානයක් ලෙසත් මෙරට තේ සඳහා ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවී තිබෙනවා.

මෙරට තේ අපනයනය සඳහා අවශ්‍යය තේ නිෂ්පාදනයේ දී මෙතෙක් පැවති මහා පරිමාන තේ නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් කුඩා පරිමාන තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්වී සිටියා.

නමුත් මෙතෙක් පැවති සාම්ප්‍රදායික නිෂ්පාදනයට අමතරව කුඩා තේ වතු හිමියන්ට ද වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි වන පරිදි ගෘහස්ථ තේ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස අතින් තේ නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියක් හදුන්වා දී තිබෙනවා.

එමගින් කුඩා තේ වතු හිමියන්ට තම නිවෙස් තුළ සිටම තේ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින අතර එලෙස නිෂ්පාදනය කරන තේ කිලොවක් ඩොලර් 40 – 45 වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව ද පවතිනවා.

+


විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයනවිට ගෙවීමේ බද්දට තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

(09.02.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)

විනිසුරුවරුන්ගේ වැටුපෙන් උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වාලමින් පැනවූ තහනම් නියෝගය අභියාචනාධිකරණය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

එම වැටුප්වලින් අදාළ බද්ද අඩුකිරීම නීතිවිරෝධි යැයි සඳහන් කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් (2)අද (09) කැඳවූ අවස්ථාවේයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අදාළ පෙත්සම් විභාගයට සළකා බලන තෙක් එම තහනම දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ගොනුකර ඇති මෙම පෙත්සම් දෙකෙහි (2) වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශ ලේකම්වරයායි.

මාසික ආදායම රුපියල් ලක්ෂය (100,000) ඉක්මවා ලබාගන්නා සේවකයන්ගේ උපයන විට බදු අයකරන ආකාරය සංශෝධනය කිරීමට ඊයේ (08) රජය විසින් කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් ලබාදුන් නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් උපයනවිට බදු අය කිරීමේ ප්‍රතිපත්තියට රජය විසින් යෝජනා කළ ඇතැම් සංශෝධන පිලිනොගන්නා බව වෘත්තීය සංගම් පවසනවා.

එමෙන්ම තමන් ද මෙම සංශෝධන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල අද (09) සිට දින තුනක් (3) කළු තැපැල් විරෝධයක් ආරම්භ කළේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිවයි. ඒ අනුව කෑම පැයේ විරෝධය දැක්වීම සහ සෑම ප්‍රාදේශීය කාර්යාලයක් ඉදිරිපිට කළු කොඩි දැමීම සිදුකෙරුණා.

මීට අමතරව ඊයේ (08) දිනයේදී මෙන්ම අදත් (09) ඇතැම් ස්ථානවල රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා පැවැත්වුණා.

එහිදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට දී සහ කළුබෝවිල රෝහල ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴


සියලු බාධක පසෙකලා සිය නිර්මාණ ලොවට දායාද කිරීමට උත්සහ කරන නිර්මාණකරුවෙක්

(09.02.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

සියලු බාධක පසෙකලා සිය නිර්මාණ ලොවට දායාද කිරීමට උත්සහ කරන නිර්මාණකරුවෙකු පිළිබඳව පුවතක් වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වයස අවුරුදු 79 ක් වන ඔහු නමින් ඩී.එම්. රන්බණ්ඩා.

ඔහු ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් කැටයම් කලාවේ නිරත වන්නේ වසර 20 ක පමණ කාලයක සිටයි.

බුද්ධ ප්‍රතිමා, දේවරූප, සීගිරි චිත්‍ර, ගණදෙවි රූප මෙන්ම සෙල්ලම් බඩු මේ වියපත් දෑතින් නිර්මාණය කෙරෙන්නේ සිය ජීවිතයේ සැඳෑ සමය නිකරුණේ ගත කිරීමට මොහු තුළ පවතින නොකමැත්ත හේතුවෙන්.

හොඳ පෙනීමක් තිබීම නිර්මාණකරණයට අත්‍යවශ්‍යම අංගයක් වුවද මේ නිර්මාණ ශිල්පියාට එක් ඇසක පෙනීම අහිමි වී ඇත්තේ වයස අවුරුදු 18 දීයි.

මෙම නිර්මාණ අලෙවියෙන් ආදායමක් උපයා ගැනීමට අමතරව ඉදිරියේ දී සිය නිර්මාණ එක්කර ප්‍රදර්ශනයක් පැවැත්වීම මේ නිමැවුම්කරුවාගේ අපේක්ෂාවයි.

දිවයින පුරා සැඟවී සිටින මෙවැනි දක්ෂතා ඇති නිර්මාණකරුවන් පිළිබඳව අප රට හමුවට රැගෙන එන්නේ, මාධ්‍යයෙන් පෙන්වා දෙන තුරු නොසිට මෙවැනි අයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමුකිරීමේ අරමුණින්.

මෙවැනි නිර්මාණ ලෝකයට රැගෙන යාමට බලධාරීන්ගේ උනන්දුව යොමුවන්නේ නම් ඩොලර් අර්බුදයකට ද මුහුණ දී සිටින අප වැනි රටකට එය සුබදායී පෙරනිමිත්තක් වනු ඇති.

+


ඕමානයේ සුරක්ෂා නිවාසයේ සිටින 59 දෙනා කඩිනමින් ගෙන්වා ගැනීමට ජනපතිගෙන් අවසර

(09.02.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 59 දෙනා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා අවසර ලබාදී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම කාන්තාවන් ගෙන්වා ගැනීමට නෛතික ගැටලු රැසක් ඇති බැවින් ඔවුන් කාණ්ඩ වශයෙන් වෙන්කර එම ගැටලු විසදීමෙන් අනතුරුව මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවයි.

සංචාරක වීසා මත ඕමානයට රැගෙන ගොස් එරට දී විවිධ ගැටලුවලට සහ මිනිස් ජාවාරම්වලට හසුවූ කාන්තාවන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගටම අනාවරණයක් ද සිදුකළා ෴


දුම්රිය රියදුරන් හෙට මැදියම් රැයේ සිට වර්ජනයක

(09.02.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (10) මධ්‍යම රාත්‍රි 12 සිට දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින්, දුම්රිය රියදුරන් ඇතුළු සේවකයන්ගේ අතිකාල කප්පාදු කිරීම, අසාධාරණ බදු අයකිරීම ඇතුළු ගැටලුවලට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව සඳහන්.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය නිවේදයනක් නිකුත් කරමින් සඳහන් කළේ , දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කළ ද මේ දක්වා සාධනීය ප්‍රතිඵල ලැබී නොමැති බවයි ෴


වඩිවේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

(09.02.2023 – 17:43 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ නායකත්වයේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් තමන් පක්ෂයෙන් ඉවත් වන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමක දී වඩිවෙල් සුරේස් කියා සිටියේ අද (09) මඩුල්සිම පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වන බවට කලින් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය හේතූන් මත ඊට සහභාගී විය නොහැකි බව පසුව දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මේ තත්ත්වය මත විපක්ෂ නායකවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ජනතාව කලකිරීමට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

එබැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අතෘප්තිමත් වීම හේතුවෙන් තමන් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය මහලේකම් සහ පස්සර ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරවලින් තමන් ඉවත් වන බව වඩිවෙල් සුරේෂ් පැවසුවා ෴


සුමති සම්මාන උළෙලේ 2021 හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව, ගවේෂණාත්මක වාර්තාකරණය හිරු ප්‍රවෘත්ති අංශයට

(09.02.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට (09) කොළඹ වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබෙන මෙවර 2023 සුමති සම්මාන උළෙලේ සම්මාන රැසක් හිමි කර ගැනීමට ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමත් වුණා.

හිරුට අද (09) රාත්‍රියේ හිමි වූ පළමු සම්මානය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 2021 වසරේ ‘හොඳම ප්‍රවෘත්ති නිවේදිකා’ සම්මානය යි.

ඒ අනුව හොඳම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘හිරු ප්‍රවෘත්ති අංශයේ’ රෝෂිණී විජේසුරිය යි.

2021 වසරේ හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය ද ‘හිරු ප්‍රවෘත්ති අංශයේ’ පූරක පානුක රාජපක්ෂ හිමි කරගත්තේ ‘භාවිතයට නුසුදුසු පොල්තෙල්’ සම්බන්ධ ව අදාළ පුවත රටටම හෙළි කිරීම වෙනුවෙන්.

2023 සුමති සම්මාන රාත්‍රියේ දී 2021 ‘හොඳම කාලීන පුවත් වාර්තාකරණය’ දෙවැනි (2) ස්ථානය ද හිරු ප්‍රවෘත්ති අංශය විසින් දිනාගනු ලැබුවා.

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති විකාශයේ සජීවී නිමැවුම්කරුවන් ව ඉහළින් ම ඔසවා තැබූ සහෘද ප්‍රේක්ෂක ඔබට ‘හිරු ටී.වී.’ ගෞරවනීය ප්‍රණාමය …!

සත්‍යය සේ ම, කඩිනම්, විශ්වසනීය පුවත් සමග රැඳී සිටින්න… කවදත් ප්‍රවෘත්ති ලොව ඉහළින් ම වැජඹෙන හිරු නිව්ස් සමගින්…

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *