විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම්

විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම්


විදුලි ගාස්තු වැඩි නොකරන්නැයි පාර්ශව රැසකින් ඉල්ලීම්

(09.02.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ නොදමන්නැයි පාර්ශව රැසක් මහජන උපයෝගිතා කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ඊයේ (08) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති මහජන උපදේශනයේ දී අදහස් දක්වමින්.

එහි දී වානිජ මණ්ඩල සාමාජිකයින්, කර්මාන්ත ආයතන නියෝජනය කරන සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයින් ඇතුළු සියලු දෙනා විදුලි ගාස්තු නැවත ඉහල දැමීමට විරුද්ධව අදහස් පළ කර තිබෙනවා.

මෙම අදහස් සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

මේ අතර උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද (09) යළි සළකා බැලීමට නියමිතයි.

පසුගියදා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීමට සහ පවත්වාගෙන යාමට කොමිසමේ සාමාජිකයින් බලය පැවරූ ලේඛන අධිකරණය හමුවට කැඳවන ලෙසයි.

එම ලේඛන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.

එමෙන් ම උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් පසුගිය 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.

උසස් පෙළ විභාගය පවත්වන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා තිබුණේ ෴


ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(09.02.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා 1,00,70,000 ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පළාත් පාලන ආයතන 339 කට අදාළව මෙවර ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ නැහැ.

එමෙන් ම, රජයේ මුද්‍රණාලයද සඳහන් කළේ පළාත් පාලන ආයතන 339 ට අදාළව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛණ සියල්ල මේ වනවිට ලැබී ඇති බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීම එළැඹෙන 22, 23 සහ 24 යන දිනයන්හි දී සිදුකිරීමට නියමිතයි ෴


පාසලකට ළමයෙකු ඇතුළත් කිරීමට අල්ලස් ගත් ගුරුවරයෙකු අල්ලයි

(09.02.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළට ශිෂ්‍යයෙකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක (3,00,000) මුදලක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (08) දිනයේ යි.

අනුරාධපුර ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා ඇති සැකකාර ගුරුවරයා කුරුණෑගල නගරයේදී එම මුදල ලබා ගැනීමට ගිය අවස්ථාවේදීයි අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අනුරාධපුර සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ගුරුවාරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා ෴


වරදක් කර ඇති නම් ඩයනාව අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට උපදෙස්

(09.02.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා.

ඒ ඩයනා ගමගේ ගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහි දී පැමිණිලිකාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

ඉන් අනතුරුව, ඇය වෙනත් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

මෙහි දී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

තම සේවාදායිකාව 2014 වසරෙන් පසුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ඉවත් වූ බවත් ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායකයා විසිවන සංශෝධනයට සහය පල කිරීමෙන් පසුව මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට කටයුතු කර ඇති බවත් එම නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න තුනක් යොමු කළා.

“විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙක් එකිනෙකට වෙනස් උප්පැන්න සහතික ඉදිරිපත් කල බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඒක වරදක්ද? නැද්ද? ඒක ආගමන හා විගමන පනත යටතේ වරදක් ද? නැද්ද? එහෙම වරදක් වෙනවා නම් පොලිසිය ඊලඟට ගත යුතු පියවර කුමක්ද?”‍ යනුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්න යොමු කළා.

නමුත් මහේස්ත්‍රාත්වරයා යොමු කළ එම ප්‍රශ්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬව සිටියා.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය මාර්තු මස 02 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා ෴


පාස්කු නඩුවෙන් හිටපු ‘ජමාතේ ඉස්ලාම්’ නායක‍යා නිදහස්

(09.02.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2021 මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබූ ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධානයේ හිටපු නායකයා වන ‘රෂීඩ් අක්බාර්’ නිදහස් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශෙහාන් අමරසිංහ ඊයේ (08) නියෝග කළා.

පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අත්අඩංගුවට පත් රෂීඩ් අක්බාර් එරෙහි චෝදනාව වී තිබුණේ, ‘වහබ්වාදය ප්‍රවර්ධනය කිරීමට අදාලව කටයුතු කර ඇති බව’ යි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව සිදුකර තිබෙන විමර්ශන අවසන් බැවින් රෂීඩ් අක්බාර් මුදා හැරීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බැවින් මෙලෙස ඔහුව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.

එසේ ම අධිකරණය භාරයේ පැවති රෂීඩ් අක්බාර්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද යළි ඔහුට භාර දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ ෴


තැපෑලෙන් විරෝධයක්

(09.02.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් (3) කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ‘ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය’ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ කෑම පැයේ විරෝධය දැක්වීම සහ සෑම ප්‍රාදේශීය කාර්යාලයක් ඉදිරිපිට කළු කොඩි දැමීම මේ යටතේ සිදුකරන බවයි.

මේ අතර, උපයනවිට බදු අය කිරීමේ ප්‍රතිපත්තියට රජය ඊයේ (08) යෝජනා කළ සංශෝධන පිලිනොගන්නා බව වෘත්තීය සංගම් පවසනවා.

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක කොළඹ අද (09) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම සංශෝධන වෘත්තිකයන් විසින් ඉල්ලා සිටි ඒවා නොවන බවයි.

තමන් ද මෙම සංශෝධන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව ප්‍රකාශ කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (08) පස්වරුවේ නිවේදනය කළේ උපයනවිට බදු අය කරන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ආදායම් බදු අය කළ යුතු වුවත්, එය සිදුකළ යුත්තේ ජනතාව ලබන ආදායම අනුව බවයි ෴


ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක් තුළ මවක් සහ දියණියක් අභිරහස් ලෙස මිය යයි

(09.02.2023 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන – පේරගහමුල ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි මවකගේ සහ දියණියකගේ මළසිරුරු අද (09) උදෑසන සොයා ගෙන තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස මියගිය මවගේ වයස අවුරුදු 50 ක් වන අතර දියණිය 30 හැවිරිදි වියේ පසුවනවා. ඔවුන් පදිංචිව සිටි නිවස දෙසින් දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සෝදිසියකදීයි ඔවුන්ගේ සිරුරු දැක ඇත්තේ.

පසුව මේ පිළිබඳ පොලීසිය දැනුම්වත් කර තිබෙනවා. මෙම මවගේ ස්වාමියා සහ පුත්‍රයෙකු කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පෞද්ගලික ආයතනවල රැකියාවල නිරත වන අතර මෙම මරණ සිදුවූයේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන් ම, ප්‍රදේශවාසීන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මොවුන් අවස්ථා කිහිපයකදී පදිංචි ස්ථාන වෙනස් කිරීමට කටයුතු කර ඇති බවයි.

මියගොස් ඇති දියණිය කිසියම් මානසික ආබාධයකින් පෙලී ඇත්ද යන්න පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


ජනපතිගේ ප්‍රතිපත්ති විවාදයට සජබ නැහැ

(09.02.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි (4) සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (08) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ කල් තැබීමේ දෙදින විවාදය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම විවාදය වර්ජනය කරමින් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැදී සිටියේ නැහැ.

මේ අතර, නව සභාවාරයේ පළමු තේරීම්කාරක සභා රැස්වීම ද අද (09) දහවල් 12 ට පැවැත්වීමට නියමිත බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නා.

එමෙන්ම, සුබසාධන ප්‍රතිලාභ හා පනත් යටතේ නියෝග සඳහා සභාවේ අනුමැතිය ද හිමිවුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරනු ලැබූ නැව් නියෝජිතයන්, නැව් ගොඩ ගෙනියන්නන්, යාත්‍රාකරුවන් නොවන පොදු ප්‍රවාහකය සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ සංශෝධන නමැති පනත් කෙටුම්පතේ තීරණය තමන්ට ලැබී ඇති බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නා.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම්දී තිබෙනවා.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අද (09) පෙවරවරු 11 ට රැස්වුණා.

පෙරේදා (07) දිනයේදි සභාව තුන්වන (3) වරට රැස්වු අතර එහිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජිකයින් දෙදෙනෙකු (2) පත් කිරීමටයි අනුමැතිය හිමිවුණේ.

කොමිෂන් සභාවල සමාජිකයින් පත් කිරීම සදහා අයදුම්පත් කැදවීම මීට පෙර තීරණය කල පරිදි ලබන 15 වනදා අවසන් වනවා.

+


ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය නුවරටත්

(09.02.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල පැතිර ගිය ගොයම් කහ පැහැ වීමේ රෝගය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වනවා.

හතරලියැද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයක කුඹුරු අක්කර සියයකට (100) වැඩි ප්‍රමාණයක මෙම රෝගය, පැතිර ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ.

රජය පොහොර ලබාදීමට ප්‍රමාදවීම සහ ඒවා වී වගාව සඳහා ප්‍රමාණවත් නොවීම ගොයම් කහ පැහැවීමට හේතුවී ඇතැයි ඔවුන් ප්‍රකාශ කළා.

එමෙන් ම, පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ පොහොර නිසි කලට ලබාදීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් සිය වී අස්වැන්න අඩුවී ඇති බවයි.

මේ අතර, මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය නිෂ්පාදනය කරන පණු කොම්පෝස්ට් පොහොර සඳහා ගොවිජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එහි කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක ප්‍රකාශ කළා.

ගැඩවිල් විශේෂයක් යොදා ගනිමින් මෙම කොම්පෝස්ට් පොහොර නිපදවන අතර, මසකට පොහොර මෙට්‍රික් ටොන් 3 ක් එම කෘෂි පර්යේෂණ ආයතනය විසින් නිපදවනු ලබනවා.

ඒවා පර්යේෂණ ආයතනයේ බෝග සඳහා ද යොදවන බව සඳහන් ෴


ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් චීනය බලා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කරයි

(09.02.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

චීනයේ දේශසීමා විවෘත කිරීමත් සමග අප්‍රේල් 03 වැනිදා සිට කොළඹ සහ බීජිං අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ චීනයේ – ෂැංහයි, බීජිං සහ ග්වැන්ෂු දක්වා මෙලෙස වානිජ ගුවන් ගමන් සිදුකරන බවයි.

ඒ අනුව, අප්‍රේල් 03 වැනිදා සිට සතිපතා තුන්වතාවක් (3) වාණිජ ගුවන් මෙහෙයුම් සිදුකරනු ඇති.

සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් සිදුකෙරෙන අතර අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාල දිනවලට පසුදින සිදුවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *