දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි


දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි

(08.02.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ‘දිනේෂ් ෂාෆ්ටර්’ගේ මරණය සිදුව ඇත්තේ ‘සයනයිඩ්’ ශරීරගත වීමෙන් බව අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණා.

එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

‘ජනශක්ති සමූහ ව්‍යාපාරයේ’ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දැක්වීම අද (08) කොළඹ අලුත්කඩේ අංක දෙක (2) මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී සිදු කළා.

මේ අතර ෂාෆ්ටර්ගේ ‘අයි ෆෝන් ඒක්ස් එස්’ වර්ගයේ ජංගම දුරකථනය සහ ‘අයි පෑඩයේ’ දත්ත විශ්ලේෂණය කළ බවත් එමගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ බවත් එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවා.

ඒ අනුව අදාළ ජංගම දුරකථනයේ සහ ‘අයි පෑඩයේ’ ෂාෆ්ටර් තම බිරිඳට සහ බිරිඳගේ මව්පියන්ට සකසන ලද ලේඛන කිහිපයක් සොයාගත් බව ද ඔවුන් සඳහන් කළා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ‘අයි පෑඩයේ ඇපල් නෝට්’ හී තිබූ දත්තවල ‘ලිස්ට්’ යනුවෙන් සඳහන් වූ ලිපියක් තිබූ බවත් ඒහි KCM යන කෙටි නමින් හඳුන්වන ලද වචනයක් සහ ZIP TIE සහ තවත් භාණ්ඩ කිහිපයක ලැයිස්තුවක් තිබූ බවත් අධිකරණයේදී අනාවරණ වුනා.

KCM යන කෙටි නමින් ‘සයනයිඩ්’ හඳුන්වන බවත් (KCM නොව KCN) (Potassium cyanide), ZIP TIE යනු යම් දෙයක් ගැට ගැසීමට භාවිත කරන ප්ලාස්ටික් පටියක් බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒමෙන්ම THE LIST ලෙස සඳහන් තවත් නාම ලේඛනයක් ඒ තුළ තිබූ අතර එහි පුද්ගලයන් පස්දෙනෙකුගේ (5) නම් සඳහන්ව තිබූ බවත් විමර්ශන නිලධාරීන් පැවසුවා.

ඒ අතර මිසිස් මුතුකුමාරණ, ජගත් සෙනෙවිරත්න, ජයරත්න, ඇන්ටන් හේමන්ත සහ ඊලියන් ගුණවර්ධන යන නම් තිබූ බවයි අධිකරණයේදී හෙළි වුනේ.

එම පුද්ගලයන්ගේ දුරකථන සහ ලිපිනයක් ද එහි තිබූ බව සඳහන්ව තිබෙනවා.

අදාළ නම් පහෙන් (5) අවසන් නම් හතර (4) ට අදාල සිව්දෙනා ‘නැති කිරීමේ අදහසක් ඇතුළත් වැකියක්’ ඒ තුළ තිබූ බව විමර්ශන නිලධාරීන් පැවසුවා.

එමෙන්ම ‘බ්‍රයන් තෝමස්’ගේ ඡායාරූප ඇතුළත් PDFගොනුක්ව ද එම ‘අයි පෑඩය’ තුළ තිබී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ ඒ තුළ ‘ජොසපින් තෝමස්’ සහ ‘ක්‍රිස්ටියන් තෝමස්’ යන දෙදෙනාගේ (2) ද නම් තිබූ බවයි.

‘MOST IMPORTANT WHO IS BEHIND B.T. GET MY MONEY BACK’ යනුවෙන් ද එහි සඳහන්ව තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් 15 වන දින අවසානයට දිනේෂ් ෂාෆ්ටර් විසින් ඔහුගේ ලේකම්වරයාට තමන් සිටින ස්ථානය යවා ඇති අතර එය සඳහන්ව තිබී ඇත්තේ ‘බොරැල්ල පොදු සුසාන භූමිය’ ලෙසටයි.

මේ අතර විමර්ශන නිලධාරීන් පැවසුවේ තමන් ‘බ්‍රයන් තෝමස්’ගේ ජංගම දුරකථනය ද පරීක්ෂා කළ බවයි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් සහ බ්‍රයන් තෝමස් අතර 2019 වසරේ දෙසැම්බර් මස 25වන දින සිට 2022 වසරේ දෙසැම්බර් මස 15 වන දින එනම් දිනේෂ් ෂාෆ්ටර් ජීවත්ව සිටි අවසන් දිනය දක්වා සම්ප්‍රේෂණය වූ ‘වට්ස් ඇප්’ පණිවිඩ විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අතර ෂාෆ්ටර් මියගිය දිනයේ පස්වරු 02:48 යි තත්පර 50 ට තමන්ට ඔහුව හමුවීමේ අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් බ්‍රයන් තෝමස් විසින් ෂාෆ්ටර්ට ‘වට්ස්ඇප්’ පණිවිඩයක් යවා ඇති අතර ඊට පෙර හමු වූ අවස්ථාවකදී කළ පහරදීමක් ගැනත් එහි සඳහන්ව තිබෙනවා.

ෂාෆ්ටර්, බ්‍රයන් තෝමස්ව බොරැල්ල කනත්තට කැඳවීමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සහය සාර්ථක වී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධීකරණය හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම ෂාෆ්ටර්, බ්‍රයන් තෝමස්ට යැවූ ඇතැම් පණිවිඩ මකා දමා ඇති බවද අධිකරණය හමුවේ අනාවරණ වුනා.

අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අධිකරණය හමුවේ දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කියවනු ලැබුවා.

ඔහුගේ ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ‘සයිනයිඩ්’ ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවත් එහි සඳහන්ව ඇතැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කලා ෴


තම බිරිඳගේ අනියම් පෙමට උරණවූ සැමියා කළ දේ

(08.02.2023 – 19:54 +0530 – hirunews.lk/sinhala)

තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට, ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතායැයි පැවසෙන පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇතිබව පොලීසිය පවසන අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිදරු (3) පියෙක්.

සැකකරුගේ බිරිඳ, එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ මිතුරෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කර වෛරන්කට්ටුව හුදකලා ස්ථානයකදී මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරු වී තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිත් කිරීමට නියමිතයි ෴


උපයන විට බද්ද ගණනයෙන් මූල්‍ය නොවන වරප්‍රසාද ඉවත් කෙරේ

(08.02.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මාසික ආදායම රුපියල් ලක්ෂය (100,000) ඉක්මවා ලබාගන්නා සේවකයන්ගේ උපයන විට බදු අයකරන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ එම සංශෝධනය සිදුකරමින් චක්‍රලේඛයක්ද නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.

නිවාස කාණ්ඩය යටතේ දැනට රුපියල් ලක්ෂ 02 ට අඩු ආදායම් ලබාගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් විසි දහසක් (20,000) හෝ සියයට 12.5 ක් ලෙස සහ රුපියල් ලක්ෂ 02 කට වඩා ආදායම් ලබාගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 40,000 ක් හෝ වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැළකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5 ලෙස සංශෝධනය කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5000 ක හෝ වැටුපෙන් සියයට 2.5 ක ප්‍රතිලාභය නව චක්‍රලේඛය මගින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

වාහන කාණ්ඩයද නව චක්‍රලේඛය මගින් සංශෝධනය කිරීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එන්ජින් ධාරිතාවය සහ සෙන්ටිමීටර් 1800 ට අඩු සහ ඝන සෙන්ටිමීටර 1800 ට වැඩි ලෙස පිළිවෙලින් රුපියල් පනස් දහසක් (50,000) සහ රුපියල් හැත්තෑ පන්දහසක් (75,000) ලෙස සැළකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් විසි දහසක් (20,000) ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඒ යටතේම රියදුරු සඳහා රුපියල් දස දහසක් (10,000) සහ ඉන්ධන සඳහා රුපියල් විසි දහසක් (20,000) ලෙස වෙනස් කරමිනුයි නව බදු චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

එමෙන්ම ඉන්ධන දීමනාව සියයට 100 ක් ලෙස බද්දට යටත්වූ අතර එය සියයට 25 දක්වා අඩුකර තිබෙනවා.

මේ අතර බදු සංශෝධන පිළිබඳව ඉදිරි කටයුතු සිදුකරන ලෙසට සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න පියවරගෙන තිබෙනවා ෴


‘ඉගෙන ගන්න සල්ලි හොයන්න’ ගණිකා වෘත්තියේ යෙදුනු රූමතියන්

(08.02.2023 – 21:00 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය පවසනවා.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාරට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ පැවසුවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව තරුණියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් (4) වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය පවසනවා.

එම ස්ථාන හතර (4) වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවසුවා ෴


08-02-2023

++++++++++++

ඉලක්කය – Ilakkaya – 08.02.2023

+ https://fb.watch/izXlAfDwzR/

+++++++++++++

+


පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු

(09.02.2023 – 07:02 +0530 – sinhala.adaderana.lk)

නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ.

එහිදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිට ඇත.

ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුවළක් හා ව්‍යාජ අංක තහඩු 3ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 42 යන වයස්වල පසුවන නිට්ටඹුව, මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (09) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් යම් අපරාධයක් සඳහා ගමන් කරමින් සිටියේ ද යන්න පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකරයි ෴


පෙබරවාරි 17 වනදායින් පසු දැවැන්ත වැඩවර්ජනයක් ගැන ඉඟියක්

(08.02.2023 – 22:29 +0530 – sinhala.adaderana.lk)

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෛද්‍යවරුන් සහ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් අද (08) සංකේත වැඩවර්ජන හා විරෝධතා දීපව්‍යාප්තව සංවිධාන කර තිබුණි.

මෙහිදී වෘත්තිය සමිති අනාවරණ කළේ ජනපීඩක බදු සංශෝධන ඉවත් කර නොගතහොත් පෙබරවාරි 17 වනදායින් පසු පූර්ණ වැඩවර්ජනයක නිරත වීමට සූදානම් බවය.

+

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ඖෂධ හිඟය සඳහා කඩිනම් විසඳුම් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක අද (08) පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

අද (08) පෙරවරු 8 ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය අවසන් වන්නේ හෙට (09) උදෑසන 8 ටය.

+

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ද අද (08) රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.

විදුලිය සැපයීමට අදාළ අත්‍යවශ්‍ය සේවා සැපයීම හැරුණු විට සෙසු විදුලි සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

+

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රට පුරා ක්‍රියාත්මක කළ විරෝධතා මාලාවට සහාය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද අද (08) සංකේත වැඩවර්ජනයක නිරත වුණි.

මේ අතර මෙම වර්ජනයට සහාය පළ කරමින් බැංකු ක්ෂේත්‍රයේත් වෘත්තීය ක්‍රියාමාර්ග නිවේදනය කර තිබෙනු අද (08) දක්නට ලැබුණි.

තවත් ප්‍රදේශ රැසක වෘත්තිකයින් අද (08) දහවල් මෙම වර්ජනවලට සහාය දක්වමින් උද්ඝෝෂණවල නිරත වුණි.

මේ අතර ජනපීඩක බදු සංශෝධනය හකුළා ගනු යන මැයෙන් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (08) පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී රැලියක්ද සංවිධාන කර තිබුණි.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *