කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ

කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ


කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් නිසා ඕල්කට් මාවතේ මංතීරුවක් වැසේ

(08.02.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.

ඒ හේතුවෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන් ම, බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට, ජනපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළුවීමට නොහැකි වන පරිදියි.

මේ අතර, සේවකයින්ගේ මූල්‍ය නොවන වරප්‍රසාද, උපයන විට බදු ගණනයෙන් ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

+

අද (08) වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට ආරක්ෂාවට යුද හමුදාව කඳවා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ නමුත් අදාල විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර, ඕල්කට් මාවත ඇතුළු මාර්ග රැසක් අවහිර වූ අතර ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ ෴

+

උපයන විට බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ ඊට අනුබද්ධ ආයතන ඒකාබද්ධව කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විරෝධතාවය අවසන් කර තිබෙනවා.

පැයකට වැඩි කාලයක් විරෝධතාවයේ නිරතව සිටි පිරිස සාමාකාමීව විසිර ගිය බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාකරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණ පළමුව විරෝධතාවයේ යෙදුණු අතර පසුව ඔවුන් ගාලු මුවදොරට දෙසට පිවිසෙන මාර්ගයේ ඉදිරියට පැමිණීමට උත්සහ දැරීමත් සමඟ පොලිසිය සහ ආරක්ෂක අංශ ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

එහිදී උණුසුම් තත්ත්වක් ද ඇති වූ අතර ඕල්කට් මාවතේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා ෴


කඩුවෙල මහ නගර සභාවේ වැදගත් ලේඛණ රැසක් ආදාහනාගාරයක පුච්චලා

(08.02.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල මහ නගර සභාවට අයත් වැදගත් ලිපි ලේඛණ රැසක් ගැමුණුපුර කොතලාවල ආදානාගරයේ දී ගිණි තබා විනාශ කොට ඇති බවට කරුණු වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර කඩුවෙල මහ නගර සභාවට අයත් ලොරි රථ දෙකක් (2) මගින් මෙම ලිපි ලේඛණ තොගය අදාල ස්ථානය වෙත ගෙනැවිත් ගිනි තබා ඇති බවටයි කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන ‘අසිත නිරෝෂන්’ පවසන්නේ.

දින තුන හතරක (3-4) කාලයක් ගිණිගෙන දැවුණා යැයි කියන මෙම ලිපි ලේඛණ මේ ආකාරයෙන් විනාශ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පළමුවැනි (01) දා පැවති මහා සභා රැස්වීමේ දී පවා දැනුම් නො දුන් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කෙසේ නමුත් සභා අනුමැතියකින් තොරව හා රාජ්‍ය ආයතනයක නියමිත කාර්යය පටිපාටියට පරිභාහිරව ආයතනික දේපල මෙලෙස විනාශ කර ඇත්තේ කුමන පදනමින් ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටිනවා ෴


බදු සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

(08.02.2023 – 15:20 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය නොවන දීමනා සඳහා උපයනවිට බදු අය කිරීම සංශෝධනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවා යෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කරමින්.

මේ අතර වැටුප මත බදු අය කිරීමේ දී පෞද්ගලික ප්‍රතිලාභ සලකා බලන සීමාවන් සංශෝධනය කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය :

+


දේශපාලන වින්දිතයන් පිළිබඳ කොමිසමේ නිර්දේශ ගැන ගත් තීරණය අභියාචනාධිකරණයට දැනුම් දෙයි

(08.02.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුත් දේශපාලන වින්දිතයන් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තීරණය නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වෙනවා ෴


දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනේ

(08.02.2023 – 16:19 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ සඳහා, රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40 ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මෙම පියවර ගනු ලැබූවේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහා යි.

එම බඳවා ගැනීමෙන් පසුව ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇති ෴


ආයෝජනයට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේ දී පවතින ගැටලු ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

(08.02.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආයෝජන ආරම්භ කිරීමේ දී ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීමේ දී පවතින ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

එම කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ සභාපතීත්වයෙන් පසුගියදා (06) වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවසථාවේදීයි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණේ.

සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය යන ආයතන නියෝජනය කරන නිලධාරීහු මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණා.

මෙරට ඉඩම් නිදහස් කිරීමේ දී පවතින සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙන් ඒ සදහා බොහෝ කාලයක් ගතවීමත් ආයෝජකයන් අපහසුතාවට පත්වීමත් බරපතල ගැටලුවක් බව මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.

එම නිසා අයෝජන අවස්ථා පහසුකර ඇති කලාපීය වෙනත් රටවලට එකී ආයෝජන ඇදීයාම වැළැක්විය නොහැකි බවයි ඔහු පැවසුවේ.

ගැළපෙන ඉඩම් නිදහස් කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාවේ අදහස වුණා.

එසේම පවතින නෛතික ප්‍රතිපාදන තුළ වුවද ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අදාළ ආයතනවල නිලධාරීන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද කාරක සභා සාමාජිකයෝ පෙන්වා දී තිබෙනවා.

තවද මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට ක්‍රියාත්මක ක්‍රමවේදය කාරක සභාව හමුවේ සවිස්තරාත්මකව පැහැදිළි කිරීම ද සිදු වුණා.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ ලලිත් වර්ණ කුමාර අය සහභාගි වී තිබෙනවා ෴


ජනපති මැදුරෙන් හමු වූ මුදල් තමන්ගේ බව හිටපු ජනපති පිළිගනී

(08.02.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව ජනාධිපති මැදුරෙන් හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක (1,78,50,000) මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් ඒවා බව ඔහු පිළිගෙන තිබෙනවා.

එම මුදල් තමාට අයත් ඒවා බව පිළිගත් හිටපු ජනාධිපතිවරයා එම මුදල් තමා වෙත නැවත ලබා දෙන ලෙස නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා සිටියත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාර හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන්ට මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, එම මුදල් හිටපු ජනාධිපතිවරයාට ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙන් ම අල්ලස් පනත යටතේ හෝ මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ජනාධිපතිවරයා වරදක් සිදු කොට තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

මීට අමතරව මෙම මුදල් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මත විමර්ශන සිදුකළ විශේෂ විමර්ශන ඒකකයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහට 2022.11.11 දින දුරකථන මාර්ගයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සහ පොලිස්පතිවරයා වෙත අධිකරණය විසින් ලබාදී ඇති නියෝගවලට අනුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් මාර්තු 03 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට නියම කළා.

දේශබන්දු තෙන්නකෝන් – From mawbima.lk

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහට තර්ජනය කරමින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් දී ඇති දුරකථන ඇමතුම්වලට අදාල වාර්තා දුරකතන සමාගම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉකුත් ජූලි මස 09 වැනි දා මහජනතාව කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුළු වූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයාගේ නිළ කාමරයේ තිබී හමු වූ මෙම මුදල් පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස, පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේ පසුගිය 13 වැනි දා යි.

කොම්පඤ්ඤ වීදිය පොලීසිය භාරයේ තිබුණු මෙම මුදල්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙන ලෙස පසුගිය ජූලි 28 වැනි දා නියෝග කෙරුණු අතර, අදාල මුදල් තොගය කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය භාර පොලිස් අධිකාරීවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙනු ලැබූවා.

කෙසේ නමුත් මෙම නඩුව මාර්තු මස තුන්වන (03) දින යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියම කළා.

https://www.youtube.com/watch?v=InOxRdevcjk#t=5

+


තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 11,000 ඉක්මවයි

(08.02.2023 – 17:27 +0530 – hirunews.lk/sinhala)

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ අති බිහිසුනු භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 11,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ මෙම මාරාන්තික භූමිකම්පාව වසර 10 ක කාලයක් තුල සිදු වූ භයානක ම ව්‍යසනය බවට පත් කරමින්.

තුර්කි බලධාරීන් සහ වෛද්‍යවරුන් පැවසුවේ සඳුදා ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක කම්පනය හේතුවෙන් තුර්කියේ පුද්ගලයින් 8,574 ක් සහ සිරියාවේ 2,662 ක් මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම ව්‍යසනයෙන් මේ වන විට මියගොස් ඇති මුළු සංඛ්‍යාව 11,236 ක් දක්වා ඉහළ ගියා.

එය 2015 දී නේපාලයේ දී පුද්ගලයින් 8,800 කට වැඩි පිරිසක් මිය ගිය රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවට වඩා වැඩි මෙන්ම වර්ෂ 2011 දී පුද්ගලයින් 20,000 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳ වූ ජපාන භූමිකම්පාවට ආසන්න මරණ සංඛ්‍යාවක් කරා රැගෙන එනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවනවා ෴


මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගය කිරීම ගැන අවසන් තීන්දුව අනිද්දා (10)

(08.02.2023 – 17:36 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (08) මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව, විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය පිළිබඳ තීරණය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *