වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක

වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක


වෘත්තිය සමිති රැසක් සහ වෛද්‍යවරුන් අද (08) විරෝධතාවක

(08.02.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළ කරමින් අද (08) උදෑසන 8 සිට හෙට (09) උදෑසන 8 දක්වා පැය විසි හතරක (24) සංකේත වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් ආරම්භ කරන වෘත්තිය ක්‍රියාමාර්ගයට තම සහය ලබා නො දෙන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.

එමෙන්ම බදු ප්‍රතිපත්තියට සහ සේවකයන්ට මෙතෙක් නො ගෙවූ හිඟ දීමනා ලබාදීමට බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති අද (08) අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවල නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියා.

මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවද අද (08) පස්වරු දෙකට කොළඹ හයිඩ් පිටිය කේන්ද්‍ර කරගනිමින් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

කෙසේ වෙතත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක ප්‍රකාශ කළේ පවතින ආර්ථික තත්වයෙන් රට ගොඩනැගීමට කෙටි කාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම් මත බදු පැනවීම සිදුකළ බවයි.

මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් ඔහු කියා සිටියා.

ඒ, උපයන විට අයකරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව වෘත්තිය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදියි.

මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (08) කොළඹට පැමිණීමට නියමිත යි.

භික්ෂූන් වහන්සේලා 5,000 ක් පමණ උදෑසන කොළඹට පැමිණෙන බවයි ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව සඳහන් කළේ ෴

++++++++++

රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළ කරමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (08) උදෑසන 8 සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සායනික සහ බාහිර රෝගී අංශවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී අනාවරණය වූයේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු අඩාල වී ඇති බවයි.

මීට සමගාමීව අද (08) දහවල් 12:30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රකාශ කළා.

එමෙන්ම වරාය සේවකයින් ද අද (08) දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා.

රජයේ විධායක නිලධාරීන් ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බවයි රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළේ ෴

+++++++++

බදුවලට එරෙහි ව වෛද්‍ය, විදුලි, වරාය ඇතුළු රාජ්‍ය අංශ රැසක් වර්ජනයේ

(08.02.2023 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට ක්ෂේත්‍ර රැසක සේවා කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, විදුලිබල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකට යි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති අද (08) උදෑසන 08 සිට ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශ මුලුමනින්ම අඩාල වුණා.

කෙසේ වෙතත් මෙම වර්ජනය දිවයින පුරා ඇති මාතෘ සහ ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල ක්‍රියාත්මක වන්නේ නැහැ.

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් රෝහල්වලට පැමිණි ජනතාව ද අපහසුතාවට පත් වුණා.

මේ අතර බදු ක්‍රමවේදයට එරෙහිව විදුලි, ජල, වරාය සහ තෙල් යන අංශවල වෘත්තීය සමිති අද (08) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වනවා.

දිවයින පුරා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල අද (08) දිනයේදී වසා ඇති අතර විදුලි බිඳවැටීම් යථාවත් කිරීමට සේවා සපයන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේ.

මේ අතර එම සංගමය අද (08) පෙරවරුවේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට බදු ප්‍රතිපත්තියට එරෙහිව පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයකද නිරත වුණා.

එමෙන්ම, වරාය වෘත්තීය සමිති අද (08) උදෑසන 07 සිට දහවල් 01 දක්වා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

ඒ හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතුද අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (08) පෙරවරු 10:30 සිට ලංකා බැංකු සේවක සංගමය කවුන්ටර් සේවාවෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහය කළා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ද රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් දිවයින ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවටයි වාර්තාවන්නේ.

මේ අතර, දිවයින පුරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අද (08) දිනයේ අධ්‍යනය කටයුතුවලින් ඉවත්ව සිටිනවා.

මේ හේතුවෙන් දිවයින පුරා විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදුනොවූ බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම, රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) පස්වරුවේ කොළඹ කොටුව බල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එහිදී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියා සිටියේ ජනතාවට සාමකාමීව උද්ඝෝෂණ සහ පාගමන්වල නිරත වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් ලබාදී ඇති බවයි.

එහෙත්, යම් පාර්ශවයක් කලහකාරිව හැසිරුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බව ද මහේස්ත්‍රාත්වරයා සිහිපත් කළා.

+


රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5 ට වඩා බර අඩු වාහන ධාවනයට අද (08) සිට අවසර

(08.02.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා ටොන් 5 ට වඩා බර අඩු වාහනවලට අද (08) සිට ධාවනයට අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 20 වැනිදා එම මාර්ගයේ සිදුවූ බස් අනතුරෙන් 7 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලැබූ අතර ඒ හේතුවෙන් බර වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණා.

කෙසේ වෙතත්, මෝටර් රථ ධාවනය සම්බන්ධයෙන් රදැල්ල කෙටි මාර්ගය අධීක්ෂණය සදහා රථවාහන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු රාජකාරියේ යොදවා තිබෙනවා ෴


13 ට එරෙහිව මහා සංඝරත්නය, පාර්ලිමේන්තුව අසල විරෝධතාවක

(08.02.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන දියත් කළ විරෝධතා පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීමට පොලීසිය කටයුතු කිරීමත් සමගයි.

ඇතුල්කෝට්ටේ – පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් අද (08) පෙරවරුවේ මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණු අතර, පාගමනින් උන්වහන්සේලා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගමන් කිරීම සඳහා පැමිණියා.

කෙසේ වෙතත්, පොල්දූව මංසන්ධිය අසලින් පොලීසිය ඊට බාධා කළ අතර, රැකවල් බිඳ දමමින් භික්ෂුන් වහන්සේ පිරිසක් ඉදිරියට ගමන් කිරීමත් සමග ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන, ආචාර්ය මැදගොඩ අබේතිස්ස, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත, මිහින්තලේ විහාරාධිකාරි වලවාහැංගුණුවැවේ ධම්මරතන ඇතුළු භික්ෂුන්වහන්සේ රැසක් මෙම අවස්ථාවට එක්වුණා.

මේ අතර, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු පිරිසකට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග 3 කට ඇතුලුවීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව, පාර්ලිමේන්තුවට පිවිසෙන නාවල පාර, කොටා පාර හා පාර්ලිමේන්තු යන මාර්ගවලට ඇතුළු වීම වළක්වාලමිනුයි මෙම අධිකරණ නියෝගයක නිකුත් කෙරුණේ.

+

+

+

01. https://www.youtube.com/watch?v=xfVw4aT4UDI

02. https://www.youtube.com/watch?v=6tXJ7qLMb-g

03. https://www.youtube.com/watch?v=6cGBofDbAhs

04. https://www.youtube.com/watch?v=2PF0Y3Ez53E

05. https://www.youtube.com/watch?v=TVMWpbmX6j4

06.

https://www.youtube.com/watch?v=4FGrx8byB8w

+


පොලිසියේ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි

(08.02.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි ව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) පස්වරුවේ කොළඹ කොටුව බල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එහි දී මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කියා සිටියේ ජනතාවට සාමකාමී ව උද්ඝෝෂණ සහ පා ගමන්වල නිරත වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් ලබා දී ඇති බව යි.

එහෙත්, යම් පාර්ශවයක් කලහකාරිව හැසිරුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය පවතින බව ද මහේස්ත්‍රාත්වරයා සිහිපත් කළා.

මේ අතර, රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වී ඇති බව යි අප වාර්තාකරුවන් සඳහන් කළේ ෴


ත්‍රීරෝද රථ අනතුරකින් බිළිදෙකු මිය යයි

(08.02.2023 – 11:43 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල වැව රවුම් මාර්ගයේ දී යන්තම්පලාව දෙස සිට බමුණුගෙදර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් අනතුරට පත්වීමෙන් මාස 09 ක බිළිදෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (07) සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා තවත් සිව් (4) දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අය අතරින් මාස 09 ක බිළිදෙකු මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

පොලිසිය පවසන්නේ, රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට පත් වූ පිරිස බමුණුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම කුරුණෑගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා ෴


පෙම් සබඳතාවට එරෙහි වූ සොහොයුරා (26) ඝාතනය කළ පාසල් සිසුවා (14) අධිකරණයට

(08.02.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

තම සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බාල වයස්කාර 14 හැවිරිදි පාසල් සිසුවා අද (08) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඊයේ (07) දහවල් කළුතර දකුණ පොලිස් වසමේ තේක්කවත්ත – පලාතොට ප්‍රදේශයෙන් මෙම ඝාතනය වාර්තා වී තිබුණා.

මියගිය තරුණයාගේ මව, රෝහල් ගතව සිටින පියා බැලීම සදහා ගොස් සිටි අවස්ථාවේ සැකකාර පාසල් සිසුවා 26 හැවිරිදි සොහොයුරාගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදීමෙනුයි මෙම ඝාතනය සිදුකර තිබුණේ.

ඊයේ (07) උදෑසන අදාළ පාසල් සිසුවාගේ ප්‍රේම සබඳතාවක් පිළිබඳ ඔවුන් අතර කතාබහක් ගොඩනැගී ඇති අතර, එය වහාම නතර කරන ලෙස සොහොයුරා දැනුම්දී තිබෙනවා.

එහිදී ඇතිවූ බහින් බස් වීමක් මත 26 හැවිරිදි සොහොයුරා පාසල් සිසුවාට පහරදී ඇති බව සඳහන්.

පසුව ඔහු නින්දට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ඔහුව ඝාතනය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ (07) අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද ඉදිරිපත් කළ අතර, ඔහු මේ වනවිට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවනවා.

+


ගොවීන්ට දුන් රුපියල් මිලියන 1300 ක මුදලක් වැරදි බැංකු ගිණුම් අංක වෙත

(08.02.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් වෙත ලබා දුන් රුපියල් මිලියන 1300 ක මුදලක් වැරදි බැංකු ගිණුම් අංක ලබා දීම හේතුවෙන් ආපසු බැර වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර මහකන්නය සදහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ යළි අය නොකරන ලෙස හෙක්ටයාරයකට රුපියල් 10,000 ක් හා හෙක්ටයාර දෙකකට රුපියල් 20,000 ක් ලෙස රුපියල් බිලියන 8 ක මුදලක් ගොවි පවුල් ලක්ෂ 12 ක් වෙත බෙදා දීමට පියවර ගෙන තිබුණා.

එම මුදල් ගොවි ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස්, ලබාදී ඇති ගිණුම් අංකවල නිරවද්‍යතාව පරික්ෂා කරන ලෙස දැනුම් දීමක් කර තිබිය දී යි මෙලෙස වැරදි ගිණම් අංක වෙත මුදල් යොමු කර ඇත්තේ.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 08 න්, රුපියල් මිලියන 6.5 ක මුදලක් ගිණුම් ගත කර ඇති අතර ඉන් මිලියන 1300 ක මුදලක් මෙලෙස ආපසු ලැබුණු බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

තවත් රුපියල් බිලියන 1.5 ක් ගොවි ගිණුම් වෙත බැංකුගත කිරීම දිනවල සිදු කරන බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *