‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි

‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි


‘ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න’ – දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි

(07.02.2023 – 07:19 +0530 – sinhala.asianmirror.lk)

රුදුරු ඝාතනයක ගොදුරත් බවට පත්වූ උතුම් මානුෂීය ගුණාංගවලින් පිරි තම පුතණුවන්ගේ මරණය පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින මෙම මොහොතේ පුරෝකථන මත අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වලකින ලෙස සිය බාල පුතු වන දිනේෂ්ගේ මරණය පිළිබඳව මුල් වට මාධ්‍ය අමතමින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර නායකයකු සහ ක්‍රිකට් පරිපාලකයකු වන චන්ද්‍ර ෂාෆ්ටර් පවසනවා.

‘ජනශක්ති රක්ෂණ සමාගමේ’ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙ ‘චන්ද්‍ර ෂාෆ්ටර්’ පසුගිය දෙසැම්බර් මාසයේ මිය ගිය ‘දිනේෂ් ෂාෆ්ටර්’ ගේ පියාණන්ය.

ඔහු මෙතෙක් කිසිදු මාධ්‍යයකට සිය බාල පුතුගේ මරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර නොතිබූ අතර තිබුණේ නැත.

චන්ද්‍රා ෂාෆ්ටර් මුල් වරට ඒ පිළිබඳව කතා කරන්නේ ඊයේ දිනයේ ය. ඒ ‘Daily FT’ ඔස්සේයි.

ඔහු සිය සටහනින් පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වූ දෙසැම්බර් 15 වැනිදා දහවල් අවසන් වරට සිය බාල පුතු හමුවූ බවයි.

සිය බාල පුතු දිනේෂ් සම්බන්ධව චන්ද්‍රා ෂාෆ්ටර් කර ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි :

“මගේ බාල පුතා දිනේෂ්ගේ මරණයට පාදක වූ තත්ත්වයන් සහ ඔහුව කුරිරු ලෙස ඝාතනය කිරීමට හේතුව කුමක්දැයි මගේ මිතුරන්, දන්නා හඳුනන අය සහ මා නොදන්නා බොහෝ අය මගෙන් විමසා තිබෙනවා. ඔහු මිය ගිය දින, එනම් 2022 දෙසැම්බර් 15 වෙනිදා දිනේෂ් සිය පවුලේ සියලු දෙනා සමඟ සවස 04:00 ට එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියා. එදා ඔවුන් යන්න සූදානම් වෙලා හිටියෙ සමාන්‍ය සංචාරයක් සඳහා නොවේ. එක්සත් රාජධානියේ පදිංචි වීමටයි. දරුවන් ලන්ඩනයේ පාසල්වලට ඇතුළුත් කිරීමටයි. ඒ නිසා ඔහුට සමු දීමට මම ඔවුන්ගේ නිවසට ගියා.

එදින ඔහු සිටියේ හොඳ මානසිකත්වයකින්. දිනේෂ් සහ ඔහුගේ බිරිය මා සමඟ පැයකට ආසන්න කාලයක් ඔහුගේ නිවසේ ආලින්දයේ වාඩි වී ගත කළා. අපි සාමාන්‍යයෙන් එකට සිටින විට මෙන් සිනාසෙමින් විහිළු කරමින් සල්ලාපයේ යෙදුනා. මම දවල් දොළහට පමණ ඔහුගේ නිවසින් පිටවන තුරුම ඔහු සතුටින් හිටියා. එහිදී ඔහුට ඉක්මන් රැස්වීමක් සඳහා පිටතට යා යුතු බව මා සමඟ සඳහන් කළා. නමුත් ඔහු එය පවසන විට ඔහුගේ කිසිදු අසාමාන්‍ය හැඟීමක් තිබුණේ නෑ. ඒ පිළිබඳව මට බියක් හෝ චකිතයක් දැනුණේත් නැහැ.

එදින ඔහු සමඟ මා පැවැති සබඳතාවට අනුව දිනේෂ් කිසිදු අනතුරක් අපේක්ෂා නොකළ බව මට විශ්වාසයි. නමුත් පසුව සිදු වූ දෙය අප සියල්ලන්ම සම්පූර්ණයෙන්ම කම්පනයකට ලක් කළා. ඔහුගේ මරණයට හේතු වූ භයානක කුමන්ත්‍රණය පිළිබඳ ඉඟියක් ඔහුට නොතිබූ බව මම දන්නවා. දිනේෂ් ගැන නොදන්නා අයට ඔහු ගැන කියනවා නම් දිනේෂ් කියන්නේ ඉතා මෘදු හා කරුණාවන්ත මිනිසෙක් . ඔහු තම පවුලේ අයට සහ මිතුරන්ට කැප වූ අතර සියල්ලටම වඩා වටිනා සබඳතාවලට කැපවී සිටියා. වසර ගණනාවක්, නිහඬව සලකා බලමින්, අපේ පවුලේ සෑම සාමාජිකයෙකුම හොඳින් පමණක් නොව සතුටින් සිටින බව සහතික කිරීමට ඔහු කැපවුනා.

ඔහුට හැකි සෑම විටම උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කළ කෙනෙක්. ඔහුගේ වෙහෙස නොතකා ඔහු සැමවිටම අන් අය වෙනුවෙන් කාලය කැප කළා. ඒ වගේම දිනේෂ් සුවිශේෂී ආදරණීය සැමියෙක් සහ පියෙක්. ඔහුගේ ජීවිතය සහ කාලසටහන සම්පූර්ණයෙන්ම කරකැවුණේ ඔහුගේ පවුල වටායි. ඔහු තම දරුවන්ට සහ පවුලේ අයට අසීමිත ව ආදරය කළා. ඔහු දැනුවත්ව අපේ පවුල එකට කාලය ගත කරන බව සහතික කළ අතර, පවුලේ රැස්වීම් තනි තනිව සංවිධානය කිරීමෙන් විශේෂ අවස්ථා සලකුණු කිරීමට කිසිවිටෙක අසමත් වූයේ නෑ. ඒ අනුව දිනේෂ් අපේ පවුලේ හදවත සහ ආත්මය වුණා. අද ඔහු නොමැතිව අපි අතරමං ව සිටිනවා.

දිනේෂ් යනු විශ්වාසය තැබිය හැකි චරිතයක්. ඔහු නාඳුනන අයට පවා කරුණාව දක්වන ක්‍රියා සඳහා ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු තම මෝටර් රථයේ නිතර කුඩ රැගෙන ගියේ වැස්සේ මෙතෙන නාඳුනන අයට දීමට. පසුගිය අරගලය අතරතුර, කඳුළු ගෑස් වලින් බේරීමට ඔහු විරෝධතාකරුවන් 200 කට පමණ රැකවරණය ලබා දීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ කොළඹ 7 නිවසේ ගේට්ටු විවෘත කළා.

ඔහු මිය ගිය දින උදෑසන ඔහුගේ සහකරුට යවන ලද අවසන් කෙටි පණිවුඩවලින් එකක් වූයේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) සේවය කරන පුද්ගලයින් එහි එක් කොනක අබලන් දේපළක ජීවත් වන බවයි. එය යම් සාධාරණ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා අපට කළ හැකි දේ සොයා බැලීමට ඔහු එම පනිවිඩය තුළින් උනන්දු වී තිබුණා. නඩු හබවලට පැටලී සිටින අසරණ පුද්ගලයන්ට උසාවියේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු සපයා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී කුලියට නීති ආධාර පිළිවෙතක් ලබා දීම ඔහු අනුගමනය කළ එක් සත් ක්‍රියාවක්. සොච්චම් දඩය ගෙවීමට නොහැකි නිසා සිරකර තබා සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ඉදිරිපත් වන්නකු ලෙසත් ඔහු ප්‍රසිද්ධ ව සිටියා. ඒ දිනේෂ් ගේ හැටි.

ඔහු පවුලේ අයට වගේම ආගන්තුකයන්ටත් ත්‍යාගශීලී හා කරුණාවන්ත වුණා. දිනේෂ්ගෙ ජීවන රටාවත් හරි සරලයි. බොහෝ විට ඔහු අප දකින්නේ ලා නිල් පැහැති අත් කොට කමිසයෙන් කලිසමක් සමඟ සම් සෙරෙප්පු යුවළක් පැළඳගෙන. ටයිකෝට් වැනි ඇඳුම්වලට ඔහු කිසිදු කැමැත්තක් දැක්වූයේ නෑ. ටයි පටියක් සපත්තු දෙකක් පවා පැළඳුවේ නිල උත්සවවලදී පමණයි. ඒ වගේම දිනේෂ් අතිශය පෞද්ගලික චරිතයක්. ඔහු ජනප්‍රියත්වයට කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහුගේ මරණය සම්බන්ධ ලැබුණු ප්‍රචාරය දන්නවා නම් ඔහු සොහොනේ ද ආපසු හැරෙනවා කියා මම දන්නවා.

දිනේෂ් ෂාෆ්ටර් නැමැති පුද්ගලයා සහ ඔහු ගත කළ ජීවිතය ගැන ආඩම්බර වෙනවා මිස වෙන කුමක් කියන්නද. ඔහුගෙන් ජීවිතය ඉතා ඉක්මනින් කොල්ලකා ගත්තද, ඔහුගේ බලපෑම වසර ගණනාවක් මතකයේ පවතිනු ඇතැයි මා දන්නවා. දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් නැමැති පුද්ගලයා පිළිබදව පියා ලෙස කිව හැකි කරුණු මෙපමණයි. නිර්දය ඝාතනයකට ගොදුරු වූ යහපත් පුතෙකුගේ සහ මනුෂ්‍යයෙකුගේ නම කැළැල් කිරීම අරමුණු කරගෙන තහවුරු කර නොගත් අසත්‍ය ප්‍රකාශවලින් වළකින ලෙස මම මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”


නිදා සිටි තරුණයාට මන්නයකින් පහරදී පළා යයි

(07.02.2023 – 17:53 +0530 – hirunews.lk/sinhala)

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබෙනවා.

අද (07) දහවල් 02:20 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළදීයි.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව වාර්තා වනවා.

මියගොස් ඇත්තේ ‘අනුරුද්ධ ධනංජය ද සිල්වා’ නොහොත් ‘සඳුන්’ යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙක්.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


දුරකථන රැහැන් කණුව කාන්තාවකගේ හිස මතට කඩා වැටෙයි

(07.02.2023 – 20:47 +0530 – sinhala.adaderana.lk)

රාගම, මහර – නුගේගොඩ පාර ප්‍රදේශයේදී දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිසට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.

එම කණුව කඩාවැටී තිබුණේ, මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමෙනි.

රාගම ගල්වල හන්දිය මහර – නුගේගොඩ පාර ප්‍රදේශයේ දී පසුගිය දා මෙම අනතුර සිදුවී තිබුණි.

රාගම සිට කඩවත දෙසට ධාවනය වන ලොරි රථය දුරකථන රැහැන්වල පැටලී කණුව කැඩී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ හිස මතට වැටීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබේ.

එහිදී ද නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2 ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක එලෙස සටහන්ව තිබුණි.

අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවය.

අනතුරින් තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

+


තුර්කි භූකම්පනයේ මරණ ගණන 8000 ට ආසන්න වෙයි

(08.02.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala)

තුර්කිය සහ සිරියා දේශසීමා ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පන මාලාවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 8000 ට ආසන්න වී තිබෙනවා.

එය දැක්වුණේ 7800 ක් ලෙසයි. විදෙස් වාර්තා සඳහන් කළේ නිල තොරතුරු වලට අනුව භූකම්පන හේතුවෙන් තුර්කියේ වැසියන් 5894 ක් සහ සිරියාවේ වැසියන් 1932 ක් මියගොස් ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ තුර්කියේ ගිනිකොණ දිග කලාපයට මාස 03 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර තුර්කි ජනාධිපති රිසෙෆ් තායිෆ් අර්ඩවාන්ට ඊයේ (07) රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ භූ කම්පනයෙන් පීඩාවට පත් තුර්කි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන්ද එක්වන බව යි.

සිය සහයෝගය අඛණ්ඩව පළ කරන බවත් තුර්කියට අවශ්‍ය සහයක් ඇත්නම් එය ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ ගොඩනැගිලි 6000 ක් විනාශ වී තිබූ අතර දේශසීමාවේ ඇතැම් නගර මුළුමනින්ම පාහේ සුන්බුන් වී ඇතැයි දෙරටේ ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙනවා.

එසේ හානි වූ බහුතර ගොඩනැගිලි මහල් නිවාස සංකීර්ණයි.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන අතර පීඩාවට පත් වැසියන්ට ආධාර දෙන ලෙසයි දෙරටේ නායකයන් ඉල්ලා ඇත්තේ.

මේ අතර නෙදර්ලන්ත විශ්ලේෂකයෙකු වන ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් පසුගිය 03 වනදා භූකම්පනයක් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් ලොව විශාල පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.

ඔහු විසින් එහි දක්වා ඇත්තේ තුර්කිය ආසන්නයේ ඒකක 7.5 ක භූ කම්පනයක් ඇතිවන බවටයි ෴


මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

(08.02.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්.ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගොනු කළ රිට් පෙත්සමට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර ඇත්තේ ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහන වලට සහ විදුලි ජනක යන්ත්‍ර වලට වෙන් කරනු ලබන ඉන්ධන පංගුව වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බවයි.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව දිවුරුම් ප්‍රකාශයේ දැක්වෙනවා.

ඉන් අනතුරුව ඉකුත් ජනවාරි මස 18 වනදා මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන, විදුලිය ඇතුළු පහසුකම් සම්පාදනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතන වල ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී විදුලිය හා ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර බව එම බලධාරීන් වෙතින් ප්‍රකාශ වූ බවයි එහි දිවුරුම් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වන්නේ.

ඉන් අනතුරුව මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළා.

එහිදී මැතිවරණ කටයුතුවලට අදාල ඉන්ධන හා විදුලිය සම්පාදනය කරගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත විදේශ විනිමය සපයා ගැනීම අති දුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 10,000 ක මුදලක් ඇස්තමේන්තු ගත කොට වෙන් කර ඇති බවත් එය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉකුත් ජනවාරි මස 24 වනදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් මුදාහරිණ ලෙස ඉල්ලා සිටියද ඉන් රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ජනවාරි මස අවසන් දින ලැබුණු බවත් එම දිවුරුම් ප්‍රකාශයේ දැක්වෙනවා.

මෙම තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාල කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බවයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ තවදුරටත් දැක්වෙන්නේ ෴


අයියා ව ඝාතනය කළාට 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

(08.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කළුතර, තේක්කවත්ත, පළාතොට ප්‍රදේශයේ දී සහෝදරයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සැකපිට 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) දහවල් අදාළ ඝාතනය සිදුව තිබුණි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු වැඩිමහල් සහෝදරයා ව නගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර, ඔවුන්ගේ මව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇයගේ සැමියාවෙ බැලීමට රෝහලට ගොස් සිටිය දී අදාළ ආරවුල ඇතිව තිබේ.

එහිදී බහින්බස්වීමක් දුරදිග යෑමෙන් බාල සහෝදරයා විසින් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහර දී තිබුණි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ, 26 හැවිරිදි ‘අනුරුද්ධ ධනංජය ද සිල්වා’ නොහොත් ‘සඳුන්’ යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙකි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *