සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම

සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම


සල්ලි නො දුන්නොත් අධිකරණයට යනවා – මැතිවරණ කොමිසම

(07.02.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බවයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු ඡන්ද විමසීමට දායකත්වය ලබාදෙන ආයතනවලට අත්තිකාරම් මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලූ බව ඔහු සඳහන් කළා.

මේ අතර වෙනත් ජන්ද වීමසීම්වලට සාපේක්ෂ ව මෙම ඡන්දයේ නාමයෝජනා භාරදී ගෙවී ගිය සති දෙක (2) තුළ සාමාකාමි තත්වයක් පවතින බව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී යි ෴


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බෙදීමක්

(07.02.2023 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය පළ නොකරන මන්ත්‍රීවරුන් 5 දෙනා අතර මේ වන විට බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වනවා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඉන් 9 දෙනෙකු දැනටමත් වෙන්ව කටයුතු කරනු ලබනවා.

අමාත්‍ය ධුර භාරගත් රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේන් රාගවන්, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර මෙන්ම නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන 9 දෙනා ආණ්ඩුවට සහය පළ කළ යුතු බවට ස්ථාවරයක පසුවනවා.

එවන් පසුබිමක් තුළ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුෂ්මන්ත, අංගජන් රාමනාදන් ආණ්ඩුව සමඟ එක් නොවිය යුතුයි යන ස්ථාවරයේයි සිටින්නේ.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ‘අත’ ලකුණින් තරඟ කිරීමට නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබියදී පක්ෂ මහලේකම්වරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ‘හෙළිකොප්ටරය’ ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් මත භේදාත්මක තත්වයක් හටගෙන ඇති බව සඳහන්.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හෙළිකොප්ටරය ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අගංජන රාමනාදන් පවසන්නේ, නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කළ යුතු බවටයි.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සහ මහලේකම් දයාසිරි ජයසේකර පෙනී සිටින්නේ හෙළිකොප්ටරයෙන් තරඟ කළ යුතුයි යන මතයේයි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිති වල සාමාජිකත්ව අරමුදල්වලින් රුපියල් දසලක්ෂ විසිහතර දහසක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙළිකොප්ටරයෙන් තරඟ කරන අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

එවන් පසුබිමක් තුළ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ මස 11 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක පසු වන බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ෴


තුර්කියට යැවීමට 300ක භට කණ්ඩායමක්

(07.02.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක එරටට යැවීම සඳහා 300ක හමුදා කණ්ඩායමක් සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි සඳහන් කළා.

ඊට ඉංජිනේරු සහ වෛද්‍ය බලකායේ කණ්ඩායම් ඇතුළත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 4300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

+


සේවක භාර අරමුදල් පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

(07.02.2023 – 10:43 +0530 – hirunews.lk/sinhala)

සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

2023 අයවැය කතාවේ දී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ, අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීම සඳහා වන යෝජනාව යි.

මේ අතර, දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55 ක් වසා දැමීමටත්, තවත් ව්‍යාපෘති කළමණාකරන ඒකක 32 ක් අත්හිටුවීමටත් අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම ව්‍යාපෘති කළමණාකරන ඒකක 46 ක් අවම කාර්‍යමණ්ඩල සහිතව පවත්වා ගෙන යාම යෝග්‍ය බවට මෙම ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව නිර්දේශ කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ෴


බාල වයස්කාර දැරියකට අතවර කළ වල්කපුවකු සොයා පොලිස් විමර්ශන

(07.02.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

= බාල වයස්කාර දැරියකට අතවර කළ කපුවකු සොයා පොලිස් විමර්ශන =

දොළොස් (12) හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8 ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැ යි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර, ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක් ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැ යි පොලිසිය සඳහන් කරනවා.

සැමියාට ඇතැ යි කියන අපලයක් දුරු කර ගැනීමට යැ යි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර, දොළොස් (12) හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව ද පවසා ඇතැ යි වාර්තා වනවා.

සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී තිබෙනවා.

පුද පූජා පවත්වා දින අටකට පසු ව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසු ව කපුවා එම දැරිය සමඟ නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැ යි පොලිසිය සඳහන් කරනවා.

දින 8 ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාට ම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිට ව යන ලෙස කපුවා පරල වී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.

පසුව දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැ යි වාර්තා වනවා.

ඉන් පසු ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුව හොත් පවුල පිටින් ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් පොලිසිය පවසනවා.

දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන් ෴


තුර්කි භූමිකම්පාව ඇති වූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු නිරුපද්‍රිත බවට නිවේදනයක්

(07.02.2023 – 11:41 +0530 – hirunews.lk/sinhala)

තුර්කියේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු නිරුපද්‍රිත ව සිටින බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති හසන්ති දිසානායක පවසනවා.

අන්කාරා හි ශ්‍රී ලංකා මෙහෙයුම තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය අය සඳහා හදිසි අංක දෙකක් ද මේ වන විට පිහිටුවා තිබෙනවා.

0090 312 427 1032, 0090 534 456 9498 යන අංකවලින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි යි ෴

++++++

තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 5000 පනී

(07.02.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග තුර්කියේ සිරියානු දේශ සීමාවට යාබද ව සිදු වූ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 5,000 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මේ අතර තුර්කියේ උප ජනාධිපතිවරයා පවසන්නේ භූ කම්පන හේතුවෙන් මිය ගිය තුර්කි වැසියන් ගණන 3,419 ක් බවයි.

එසේ ම අවම වශයෙන් සිරියානුවන් 1,602 ක් මිය ගොස් ඇති බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වනවා.

කෙසේ නමුත් පවත්නා අධික ශීත කාළගුණය සුන්බුන් අතර සිරවී සිටින ජනතාව ගලවා ගැනීමේ කටයුතුවලට දැඩි බාධාවක් සිදුව ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සුන්බුන්වලට යට වී විසි දහසකට (20,000) ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

15,834 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබන බව යි විදෙස් වාර්තා පවසන්නේ ෴


පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස් වීම, ජනපති පිළිගනියි

(07.02.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සභික පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ බව ඇයට දැනුම් දුන් බව යි සඳහන් වන්නේ.

පසුගිය සතියේ, පී.එස්.එම්. චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉවත් වූ බව වාර්තා වුණ ද නිල වශයෙන් ඒ පිළිබඳ තහවුරුවක් තිබුණේ නෑ ෴


රජයේ වෛද්‍යවරුන් හෙට (08) උදෑසන සිට සංකේත වැඩවර්ජනයක

(07.02.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්ති හේතුවෙන් වෘත්තිකයින් අපහසුතාවට පත්ව ඇති බව පවසමිනුයි ඔවුන් මෙම සංකේත වැඩවර්ජනය සිදු කරන්නේ.

එමෙන්ම, නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (08) රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති විරෝධතාවක් ද සැළසුම් කර තිබෙනවා ෴

+

+


ජනාධිපති ලේකම් කාර්යාලයේ කෝටි ගාණක් වටින වාහන වලට මොකද වුනේ ?

(07.02.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබු වාහන 56 ක් එම කාර්යාලයේ නොමැති අතර එම එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරික්ෂාවක් ද සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුනා.

එමෙන්ම මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරුකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

එසේ කාර්යාලයේ නොතිබු එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරික්ෂාවක් කළ බව තහවුරු කිරිමට ප්‍රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිර සහ ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම් වලින් වාහන 45 ක් ලියාපදිංචිකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදිම සහ එය අධික්ෂණය කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇති බව සඳහන්.

ජනාධිපති ලේකම් නමින් ලියාපදිංචිව ඇති වාහන පිළිබඳ තොරතුරු කැඳවිම් කර පොලිස්පති වෙත ලිපි යොමුකර ඇති බවත් මේ පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සමග සාකච්ඡා කරමින් පවතින බවත් ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *