අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය


අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(06.02.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (08) සියලු වෘත්තීයවේදීන් විසින් කැඳවන දැවැන්ත විරෝධතා රැස්වීම කොළඹ දී පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ අද (06) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, සමස්ථයක් ලෙස එදිනට පෞද්ගලික අංශය හදිසි ප්‍රතිකාර කටයුතු හැර අනෙකුත් සියලු ප්‍රතිකාර කටයුතු අකර්මන්‍යව පවතින බවයි.

මේ අතර රජය විසින් පනවා ඇති නව බදු වලට විරෝධය පළකිරීම සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිස කොළඹ – රීගල් සිනමා ශාලාව ඉදිරිපිටට රැස්වුණා.

අනතුරුව ඔවුන් පා ගමනින් මුදල් අමාත්‍යාංශයට ගමන් ආරම්භ කරන අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් ඔවුන් අතරින් 10 දෙනෙකුට මුදල් අමාත්‍යාංශය වෙත ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමි වුණා.

+++++++

+


ජලය, විදුලිය නොමැතිව පීඩා විඳින ඉන්දුශක්ති ගම්මානයේ වැසියෝ

(06.02.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මීට වසර හතළිහකට (40) පමණ පෙර රට තුළ ඇති වූ භීෂණ තත්ත්වයකින් පසුව නිවෙස් අහිමි වූ පිරිසක් මහනුවර කුණ්ඩසාලේ අඹකොටේ ගම්මානයේ ඉදි කළ පේලි නිවාසවල පදිංචි කර තිබුණා.

පසුකාලීනව පසුගිය යහපාලන සමයේ ක්‍රියාත්මක වූ ‘සැමට සෙවන’ නිවාස වැඩසටහන යටතේ එලෙස පදිංචි කළ පවුල් 28 ක් සඳහා රජය මගින් නව ඉඩම් කට්ටි ලබා දී තිබෙනවා.

‘ඉන්දුශක්ති ගම’ ලෙස නම් කළ එහි නිවාස ඉදි කර ගැනීම ඉඩම් ලාභීන්ට පැවරුණු අතර ඒ අනුව ඉඩම් ලබා ගත් බොහෝ දෙනා තමන්ට හිමි වූ ඉඩම් කොටසේ නිවාස ඉදි කිරීම ආරම්භ කළා.

නමුත් මෙම නිවාසවලට විදුලිය සහ ජල පහසුකම් මෙතෙක් ලබා දී නැහැ.

ඒ හේතුවෙන් ගම්මානයේ පදිංචිකරුවන් පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

තම ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස වසර හතරක් (4) පුරා වග කිව යුතු අංශවලින් ඉල්ලීම් කළ ද තවමත් ඊට කිසිදු පිළියමක් නොලැබුණු බවයි ඔවුන් සඳහන් කළේ.

ගම්වාසීන් පවසන්නේ ප්‍රධාන විදුලි කණුවේ සිට ගම්මානය කෙළවරේ ම පිහිටි අවසන් නිවාසය දක්වා ඇත්තේ මීටර් 500 කටත් වඩා අඩු දුරක් බවයි.

+


කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව හෙළි වෙයි

(06.02.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

ඒ අද (06) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) අත්අඩංගුවට ගත් අඹු – සැමි යුවල අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට එහිදී පොලිසියට අවසර හිමිවුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සැකකරු සමඟ පසුගිය 30 වනදා පස්වරුවේ සිය මෝටර් රථයෙන් ඔහුට අයත් පැලවත්ත, එම්.ඩී.එච්. පුර පිහිටි නිවසට ගොස් තිබුණා.

එහි දී නිවසක් කුලියට ගැනීම සඳහා ඉල්ලා සිටි රුපියල් ලක්ෂයක (100,000) මුදල ලබා නොදුන් නිසා ව්‍යාපාරිකයා ඝාතනය කළ බවටයි සැකකරු පාපොච්ඡාරණය කර ඇත්තේ.

ව්‍යාපාරිකයා අන්තර්ජාල මිතුරු යෙදවුමක් හරහා මෙම සැකකරු හදුනාගෙන ඇති අතර, අවස්ථා කිහිපයක දී ඔවුන් පණිවුඩ හුවමාරු කරගෙන ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් පළමු වරට හමු වී ඇත්තේ, පසුගිය 30 වනදා වන අතර පළමුව ව්‍යාපාරිකයාට අයත් නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් වෙත යාමට සාකච්ඡා කර ඇතත් පසු ව පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි නිවසට යාමට යි තීරණය කර ඇත්තේ.

එහි දී දෙදෙනා නාන තටාකයේ දිය නාමින් විනෝද වී තිබෙනවා.

මුදල් නොදුන් නිසා එල්ල කළ ප්‍රහාරයෙන් පසු ව්‍යාපාරිකයා මියගොස් ඇති අතර පසුව සැකකරු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ බැංකු කාඩ්පත් රැගෙන ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

ඉන් අනතුරුවයි විදේශ ගතවීමේ අරමුණින් සැකකරු සිය බිරිඳද කැටුව කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පතින් ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ටිකට්පත් දෙකක් (2) මිලදී ගත්තද එම අවස්ථාවේදී වීසා ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ආපසු පැමිණ තිබෙනවා.

අනතුරුව මෙම අඹු- සැමි යුවල පසුගිය 03 වනදා ත්‍රිකුණාමලය බලා බස් රථයකින් පිටත්ව ගොස් හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වුණා.

ඒ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වීම සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ බිරිඳගේ පුංචි අම්මා ඔවුන්ට පැමිණ පොලිසියට භාරවෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුවයි ඊයේ (05) ත්‍රිකුණාමලයේ සිට පැමිණ සැකකරු කඳාන පොලිසිය වෙත භාරවී ඇත්තේ.

පසුව මෙම අපරාධය වසන් කිරීම ඇතුළු චෝදනා මත සැකකරුගේ බිරිඳද අත්අඩංගුවට ගනු ලැබුවා.

මියගිය ව්‍යාපාරිකයාගේ බැංකු ගිනුමෙන් රුපියල් ලක්ෂ 07 කට ආසන්න මුදලක් සැකකරු තම බැංකු ගිනුම වෙත හුවමාරු කරගෙන ඇති අතර කුලී නිවසක් සඳහා තවත් රුපියල් 130,000 ක මුදලක්ද ව්‍යාපාරිකයාගේ බැංකු ගිනුමෙන් ලබාගෙන ඇති බවටයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.

(සමලිංගික මානසික රෝගීන් දෙදෙනාට සිදුවූ විපත !)

+++++++

+

(07.02.2023 – 19:22 +0530 – hirunews.lk/sinhala)

පැලවත්ත – එම්.ඩී.එච්. පුර සිය නිවසේ නාන තටාකයේ තිබී සිරුර සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිස පිටුපසට එල්ල කළ තදබල පහරදීමක් නිසා මෙම කෝටිපති නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී ඇති බව ඊයේ (06) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

අද (07) දිනයේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ ඝාතනයට යොදාගත් මුගුරද මේ වනවිට සොයාගෙන ඇති බවයි.

සැකකාර අඹුසැමි යුවළ වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී සිට නොමැති අතර, මනුෂ්‍ය ඝාතනයක තොරතුරු සැඟවීමේ චෝදනාවටයි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+

+


තවම බය හම්බ වුණේ නෑ – දර්ශන හඳුන්ගොඩ මාධ්‍යයට කිය යි

(06.02.2023 – 18:33 +0530 – hirunews.lk/sinhala)

අද (06) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔහුට ඇප හිමිවුණා.

2022 මැයි මස නව (09) වැනි දින මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවා විසින් අරගලය සිදුවන අවස්ථාවේදී අරලියගහ මන්දිරය ඉදිරිපිට සිට සිදුකළ සජීවී ෆේස්බුක් ඉදිරිපත් කිරීමක් හේතුවෙන් ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඇප ලබාගැනීමෙන් පසු අධිකරණය භූමියේදී මාධ්‍යවේදීන් ඇමතූ දර්ශන හදුන්ගොඩ කියා සිටියේ, රටේ අධිකරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබන බවයි.

පවතින සමාජ වටපිටාව වෙනස් කිරීම සඳහා තමන් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් ඉදිරියටත් එලෙසින්ම සිදු කරන බවත්, මේ අවස්ථාවේ සිදු කළ අත්අඩංගුවට ගැනීම පලිගැනීමේ චේතනාවෙන් සිදුකළ එකක් ද යන්න පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම්ට තවම කල් වැඩි බවත් ඔහු කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියකු විසින් මෙම බලපෑම් සම්බන්ධයෙන් යම්කිසි චකිතයක් ඇත්දැයි යනුවෙන් විමසූ විට එයට පිළිතුරු දුන් දර්ශන හදුන්ගොඩ කියා සිටියේ “තමන්ට තවම බය හමු නොවූ බවයි”.

ඒ නිසා තමා කිසිදු බියක් සැකක් නො මැතිව සිය කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බවත් බය හමු වූ දිනට තමන් සිදු කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

+


සියම් ලංකා බෞද්ධ සංගමයෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ට උපහාර

(06.02.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ‘හිරු මාධ්‍ය ජාලය’ ඉටු කරන අනභිභවනීය සේවය අගයමින් සියම් ලංකා බෞද්ධ සංගමය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙත උපහාර පිරිනැමුවා.

ඒ, කැලණිය – බොල්ලෑගල නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති උත්සවයකදීයි.

සියම් නිකාය මෙරට පිහිටුවා වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් ලංකා බෞද්ධ සංගමය පසුගිය දින කිහිපය පුරා ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහනක් රැසක් සංවිධාන කර තිබුණා.

එහි තවත් අදියරක් අද (06) පැවැත්වුණේ කැලණිය – බොල්ලෑගල නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දියි.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට තායිලන්තය නියෝජනය කරමින් වැඩම කළ භික්ෂුන් වහන්සේ සියක් (100) නමක් සහ උපාසක උපාසිකාවන් පිරිසක් එක්ව සිටියා.

එහිදි මාධ්‍ය ජාලයක් ලෙස හිරු මාධ්‍ය ජාලය සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසාත් සියම් නිකායේ ප්‍රවර්ධනය උදෙසාත් ඉටුකරනු ලබන මහගු සේවය සියම් ලංකා බෞද්ධ සංගමයේ ඇගයීමට ලක්වුණා.

ඊට අදාළ උපහාර සහතිකපත් සහ තිලිණ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වෙත පිරිනැමුණේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් විසින්.

රේනෝ සිල්වා මහතාගේ සංකල්ප මත සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා ‘ශ්‍රද්ධාභිවන්දනා’, ‘උත්තම ධාතු වන්දනා’, ‘හිරු සීල පාරමිතාව’ ආදී මෙරට බෞද්ධ ජනතාවගේ නොමද ප්‍රසාදයට ලක්වු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.

සියයකට අධික කුලදරුවන් පැවිදි කර පෝෂණය කරමින් දහම් අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩහසර ලබාදෙන හිරු ශාසනාවතරණය සහ වෙහෙර විහාරස්ථාන නගා සිටුවමින් ඉටු කරනු ලබන සුවිශාල ශාසන මෙහෙවර ද සියම් ලංකා බෞද්ධ සංගමයේ සුවිශේෂි ඇගයීමට ලක්වුණා.

+


කොරියානු රැකියා සඳහා මෙවර 6500 ක රැකියා කෝටාවක්

(06.02.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක රැකියා කෝටාවක් ලැබී තිබෙනවා.

2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500 ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණයි.

ඒ අනුව ගිය වසරට වඩා 28.79% කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453 ක් ලැබී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වනවා.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14,588 කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12,189 ක්, ධීවර අංශය 2149 ක් සහ ඉදිකිරීම් අංශයේ 250 ක් ලෙසින්.

පසුගිය වසරේදී 5047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණා.

මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා ෴


ඔනේෂ්ගේ මරණය ගැන CCTVවලින් අලුත් සාක්ෂියක්

(06.02.2023 – 19:39 +0530 – sinhala.adaderana.lk)

ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයකදී අබිරහස් ලෙස මියගිය මෙරට පොහොර ආනයන සමාගමක් වන ‘ඔපෙක්ස් හෝල්ඩිංග්ස්’ හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ‘ඔනේෂ් සුබසිංහ’ මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ජකර්තා පොලීසිය පවසන්නේ ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කෙරෙන බවය.

ඔහු මෙලෙස මරණයට පත්ව ඇත්තේ සිය බ්‍රසීල ජාතික බිරිඳ, දියණිය සහ තවත් කාන්තාවක් සමග කෙටි නිවාඩුවක් සඳහා ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවක නිරතව සිටි අතරතුරය.

ඔනේෂ් සුබසිංහ මහතා, සිය බ්‍රසීල ජාතික බිරිඳ වන ‘රෝසා සිල්වා’, සිව් (4) හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව සමඟ ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 20 වනදාය.

ඔවුන් ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයක නැවතී ඇත්තේ තාවකාලික පදනමිනි.

ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට ‘වට්ස්ඇප්’ ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකිවූ බව අනාවරණය වී තිබේ.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ මහතා සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැක සිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.

මේ පිළිබඳව එහි පාලනාධිකාරිය ඔනේෂ් සුබසිංහ මහතාගේ මෙරට පෞද්ගලික ලේකම්වරිය වෙත පෙබරවාරි 03 වනදා දැනුම් දී තිබුණි.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, සිව් (4) හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

කෙසේවෙතත් ඔවුන් මේ වන විට රැඳී සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

+


ජලභීතිකා මරණ ඉහළ යා හැකියි – PHI සංගමයෙන් අනතුරු අඟවයි

(06.02.2023 – 10:24 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවය.

නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද ඔහු පැවසීය.

“පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ, සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි. නමුත් අවාසනාවන්ත ලෙස මේ වන විට එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඬාල වී තිබෙනවා.සුනඛයින් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත විශාල හිඟය මේ වෙද්දි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. එන්නත් අඛණ්ඩ සැපයුමක් නැති නිසා, මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. විශේෂයෙන්ම එන්නතක් ලබාගෙන වසරකට වරක් නැවත වරක් අවම වශයෙන් සුනඛයින්ට එන්නත් ලබාදිය යුතුයි. පසුගිය මාස කිහිපයේම මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. කොවිඩ්-19 කාලයේ මාස 5 කට ආසන්න කාලයක් මේ වැඩසටහන අක්‍රීයව තිබුණා.

එමෙන්ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ්-19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වගේම එන්නත් හිඟය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවධානමක් තියෙනවා. මහජනතාවට අපි අනතුරු අඟවනවා, සුනඛ සපාකෑම්වලින් හැකිතරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේම සැක සහිත සුනඛ සපාකෑමක් සිද්ද වුණොත් ළඟම පිහිටි රෝහලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *