කුරුණෑගල රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක තිබූ මුදල් සොරා ගනී

කුරුණෑගල රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක තිබූ මුදල් සොරා ගනී


කුරුණෑගල රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක තිබූ මුදල් සොරා ගනී

(05.02.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – ගැට්ටුවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ තිබූ මුදල් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා.

බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රය අලුත්වැඩියා කරන පුද්ගලයින් ලෙස හඟවමින් එහි පැමිණ මෙලෙස මුදල් සොරාගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ. සොරාගත් මුදල කොපමණද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

රාජ්‍ය බැංකුවෙන් වෙන්ව කුරුණෑගල දුම්රියපොළ ආසන්නයේ මෙම ඒ.ටී.එම්. යන්ත්‍රය සවිකර තිබුණා.

එමෙන්ම ඒ.ටී.එම්. යන්ත්‍රය සවිකර ඇති ස්ථානයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවද ඔවුන් විසින් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

++++++

+


නිමි ඇදුම් ව්‍යපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවතදී අත්අඩංගුවට

(05.02.2023 – 18:47 +0530 – hirunews.lk/sinhala)

පැලවත්ත නිවසක තිබියදී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 27 ක් වන අතර බිරිඳ 21 වන වියේ පසුවනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි.

49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ නිවසේ සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයෙන් පැමිණ නිවසට ඇතුළුවන ආකාරයත් එක් පුද්ගලයෙකු පමණක් නිවසෙන් පිටව යන ආකාරයත් නිරීක්ෂණය වී තිබුණා.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය පසුගිය 03 වනදා මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබියදී සොයාගෙන තිබුණා.

තරුණ යුවලක් ආපදා රථයකින් එම මෝටර් රථය රැගෙනවිත් ගරාජය ඉදිරිපිට මාර්ගයේ දමා යන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සටහන්වී තිබූ අතර වැඩිදුර විමර්ශනවලදී හෙළිවුණේ පැලවත්ත නිවසෙන් පිටවූ මෝටර් රථයේ සිටි පුද්ගලයා අතරමඟදී කාන්තාවක් ඊට නංවා ගෙන ඇති බවයි.

පසුව මෙම මෝටර් රථය කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ ජාඇල පිටවුමේදී කාර්මික දෝෂයකට ලක්ව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවල කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

++++++++

ada.lk :

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මූලික ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයා සමඟ කලක් තිස්සේ සමලිංගිකයන් ලෙස හැසිරෙන බවත් සැකකරු පසුව අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා බැණ වැදී මරණීය තර්ජනය කළ බවත් ඊට බිය වී පොල්ලක් රැගෙන හිසට පහර දුන් බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

සැකකරු පවසන තොරතුරු ව්‍යාජ විය හැකි බවත් සැකකාර අඹුසැමි යුවළගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ කොට්ඨාසය වෙත සැකකාර යුවල බාර දුන් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි ෴

+++++++

gossiplankanews.com :

ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය රැගෙන ගොස් තිබුනේද මෙම යුවළයි. 27 හැවිරිදි තරුණයා හා 23 හැවිරිදි තරුණිය නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ පදිංචි බව කියැවිණි. ඝාතනයට ඔවුන් සම්බන්ධවී ඇතැයි සැකකරන ආකාරය ප්‍රශ්න කිරීමට නියමිතය ෴

+++++++

‘බීඩි ගෙදරින්’ මහ මැදුරට ගිය Shades රොෂාන්ගේ අවාසනාවන්ත ඉරණම

(05.02.2023 – gossiplankanews.com)

ෂේඩ්ස් නිමි ඇඳුම් ජාලය හිමි ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ ඝාතනය සම්බන්ධ තවත් තොරතුරු කිහිපයක් මේවනවිට වාර්තාවේ.

පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට ආරංචි වී පසුව 01 වනදා සවස බත්තරමුල්ල තෙමහල් නිවසක පිහිනුම් තටාකයක තිබී මළ සිරුර හමුවීමෙන් පසු ඔහු ඝාතනය කර ඇති බවක් හදුනාගත් අතර එම තොරතුරු ඔස්සේ පොලිස් විමර්ශන සිදුවූ නමුත් මියගිය අයගේ සිරුර ඔහුගේමද යන්න තවම නිශ්චය කරගෙන නොමැත.
පශ්චාත් මරණ පරීක්ෂණයට එක්වූ රොෂාන්ගේ මව හා සොයුරියන් පවසා තිබුනේ මේ රොෂාන් නොවන බවයි. ජලයේ ගිලී නරක්ව ඉදිමී තිබූ සිරුර දැක ඔවුන් බියවූ බව කියැවේ.

මියගිය අය සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් ඒ අනුව ඇරඹූ අතර එහි ප්‍රතිඵල සමග සඳුදා (6) නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නට නියමිතය.

රොෂාන්ට සිටින්නේ සහෝදරියන් පස් (5) දෙනෙකි. ඔහු පවුලේ තෙවැන්නා (3) මෙන්ම එකම පිරිමි දරුවා විය. වත් පොහොසත්කම අඩු පවුලක ඉපදුණ ඔහු උත්සාහයෙන් ඉහළට ආ ව්‍යාපාරිකයෙකි. රොෂාන්ගේ පියා බෝතල් පත්තර වෙළෙඳාමේ කලක් නිරතවූ බවත් පසුව බීඩි නිෂ්පාදනය කරන්නෙකු බවට පත්වූ අයෙකු බවත් පැවසේ. වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ඔවුන් වාසය කරන නිවසට අසල්වැසියන් කියන්නේ ‘බීඩි ගෙදර’ කියාය. දරුවන් හය (6) දෙනාද සමග එක්ව බීඩි නිෂ්පාදනය කරමින් එදිනෙදා වියදම සරිකරගන්නා අගහිඟකම් මැද ජීවත්වූ පවුලක් විය. ජීවත් වූ නිවසේ තාර තහඩු හෙවිල්ලා තිබුණ අතර මැටි බිමක් සහිත පැල්පතකි. මෙම පවුලේ වෙනසක් ඇති කරේ රොෂාන්ගේ වැඩිමල් සොයුරියයි. ඇය හොඳින් අධ්‍යාපනය ලබා වරලත් ගණකාධිකාරීවරියක බවට පත්වූ අතර කලක් සේවය කළේ ඉහළ පෙලේ ඇඟලුම් කම්හලකය.

ඇය තම සොයුරාට දියුණුවට අතදුන් අතර ඇඟලුම් කම්හලේ ඉවත දැමෙන රෙදි කැබලි ටෙන්ඩරය ලබාගන්නට උදව් කර තිබේ. රොෂාන් එම රෙදි කැබලි මූට්ටු කර නිමි ඇඳුම් අලෙවි කරන ව්‍යාපාරයක් සුළුවෙන් ආරම්භ කළ අතර මහන මැෂින් කිහිපයකින් පටන්ගෙන පසුව සේවකයින් විශාල පිරිසකගේ ව්‍යාපාරයක් දක්වා එය දියුණු කරගත්තේය.

නිමි ඇඳුම් සාප්පුවක් ෂේඩ්ස් (shades) වෙළද නාමයෙන් ස්ථාපිත කළ ඔහු එහි ශාඛා බත්තරමුල්ල, රාජගිරිය, කොටිකාවත්ත හා මාළඹේ දක්වාද ව්‍යාප්ත කළේය.

කුඩා කල සිටම බුද්ධ ධර්මයට ළැදිව කටයුතු කළ ඔහු මහණවීමේ ආසවකින්ද පෙළුණ අයෙකු බව වාර්තාවිය. විවාහ ජීවිතයට නොපිවිසුණ අතර වයස 49 ක් දක්වාම ගත කළේ තනිකඩ දිවියකි. කඩුවෙල පූජ්‍ය ඥාණානන්ද හිමිගේ අසපුව සමග සමීප ඇසුරක් පැවැත්වූ ඔහු නිරන්තරයෙන් ඒ වෙත ගමන්කළ අතර අසපුවට අයත් ‘ශ්‍රද්ධා රූපාවාහිනී නාලිකාවේ’ අධ්‍යක්ෂවරයෙකු ලෙසද මුල සිටම කටයුතු කළේය.

රොෂාන් අතුරුදන්වූ අවස්ථාවේ කඩුවෙල පිහිටි අසපුවට පවා ඇමතුම් ගෙන එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේගෙන් සිය සහෝදරයා එහි පැමිණියේදැයි සොයා බලන්නට රොෂාන්ගේ සහෝදරියන් පියවර ගෙන තිබුනේ ඔහු නිතර එහි යන එන නිසාය.

කෙතරම් ව්‍යාපාරික වශයෙන් ඉහළට ගියත් ඔහු ගෙවල් දොරවල් හදන්නට එතරම් උනන්දුවක් නොවූ අතර වැල්ලම්පිටිය කිත්තම්පහුවේ නිවස වැඩිදියුණු කරගෙන සහෝදරියන් සමග එහිම වාසය කරමින් සිටියේය.

මරණය සිදුවූ බත්තරමුල්ල පැලවත්ත නිවස රොෂාන් හැදූ එකක් නොවන බවත් ඔහු එය මීට ටික කලකට පෙර මිලට ගත් එකක් බවත් පැවසේ. අලුතින් හැදූ නිවසක් වුවත් එහි වැඩ අවසන්ව නොතිබී කාලාන්තරයක් තිස්සේ පාළුවට ගොස් ජරාවාසවී තිබූ එකකි.

එය පිළිසකර කර පදිංචියට ඒමට රොෂාන්ගේ සැලසුමක් තිබී ඇත. රොෂාන්ගේ මිතුරන් පවසා ඇත්තේ ඔහු පමාවී හෝ විවාහවී මෙම නිවසට එන්නට සැලසුම්කර තිබූ බවයි.

ජනවාරි 30 වෙනිදා සවස 05:30 ට පමණ කිත්තම්පහුවේ නිවසින් KE 9998 ටොයොටා වර්ගයේ සුදුපැහැති වාහනයෙන් පිටත්ව බත්තරමුල්ල නිවසට යන බව කියා යන රොෂාන්ට රෑ කෑම ලෑස්ති කර තබන්නද යන්න අසන්නට සොයුරියක රාත්‍රී 7 ට පමණ ඇමතුමක් ගන්නා අතර පසුව ඔහු ගැන හෝඩුවාවක් නොලැබේ. අවසන් ඇමතුමට එකවර සම්බන්ධ කරගන්නට නොහැකිවීමත් මිස් කෝල් එකකට ඔහු 07:29 ට පිළිතුරු දීමත් නිසා ඔහුගේ අවසන් ඇමතුම ගැන සැකයක්ද සොයුරියට පැනනැගුණ අතර එතැන් සිට ඔහු දුරකථනයට උත්තර දුන්නේ නැති නිසා අතුරුදන් බවට පැමිණිල්ලක්ද කර තිබුණි. මළ සිරුර හමුවන්නේ දින 2 කට පසුවය. මේ අතර කාලයේ සිදුවූ දේවල් ගැන විවිධ සොයා ගැනීම් පොලිසිය සිදුකර තිබේ.

පොලිසිය පවසන්නේ අවසන් වරට බත්තරමුල්ල නිවසට රොෂාන් එන්නේ ඝාතන සැකකාර යුවළ සමග බවයි. මෙම යුවළ එසේ පැමිණෙන්නට පෙර කළුබෝවිල ෆාමසියකින් කොන්ඩම් මිලට ගැනීමක් සිදු කරන ආකාරය සීසීටීවී ඔස්සේ පරීක්ෂා කර ඇති පොලිසිය පවසන්නේ එතැන සිටින කාන්තාව විදෙස් නිළියක මෙන් පෙනුමක් ඇති අයෙකු බවයි. පිරිමියාද හැඩිදැඩි පෙනුමක් ඇති අයෙකු බවයි. මේ දෙන්නා රොෂාන්ගේ වාහනයට නගින්නේ බත්තරමුල්ල නිවසට ඔහු එන්නට පෙර මහමග කිසියම් ස්ථානයකදී විය හැකි බවට අනුමාන කර තිබේ. රොෂාන් සමග නිවසට යන ඔවුන් එම නිවසේ පැය කිහිපයක්ම ගතකරන අතර අනතුරුව රොෂාන්ගේ වාහනය පදවාගෙන පිරිමියා පමණක් යන්නට ඇති බව පොලිසිය මුලින් කියා තිබුණද දැන් පවසන්නේ යුවළම වාහනයෙන් පිටව ගිය බවය.

නිවසේදී ඔවුන් රොෂාන් මරාදමන්නට ඇතැයි සැකකරන අතර එය කෙසේ කළේදැයි තවම පැහැදිලි නැත. පිහිනුම් තටාකය ආසන්න ලේ පැල්ලම් හා ඇදගෙන ආ සලකුනු නිසා වෙනත් තැනක නිරුවත් කර මරා දමා ඔහු ඇදගෙනවිත් පිහිනුම් තටාකයට දමා යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. හිසට පොල්ලකින් පහරදී මරා දමා ඇති බවට සලකුනුද හමුව තිබේ.

රොෂාන් ඇඳසිටි බව කියන ඇඳුම්ද ඒ ආසන්නයේ තිබූ අතර පොලිසියට හෝඩුවාවන් ලබාදුන් කොන්ඩම් තුනක් (3) හා අදාළ බිල්පත්ද ඒ අසළින් හමුවිය.

පාවිච්චි කළ කොණ්ඩමය පොලිසිය නොමග යවන්නට යෙදූ උප්පරවැට්ටියක්ද යන්න සැකයක් මතුව තිබේ. එහි තැවරුණු ද්‍රව්‍ය ඩීඑන්ඒ පරීක්ෂාවකට මේවනවිටත් යොමු කර ඇත.

යුවළ නිවසේ සිටින අවස්ථාවේ රොෂාන්ගේ ජංගම දුරකථනය ඔස්සේ ගුවන් ටිකට් පත් සඳහා අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර ඇති අතර පාවිච්චි කර ඇත්තේ ඔහුගේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් හා අදාළ රහස්‍ය අංකයි.

රොෂාන්ගේ වාහනයෙන්ම පළායන යුවළ කටුනායක වෙත යද්දී අධිවේගී මාර්ගයේදී වාහනයේ දෝෂයක් හටගැනීම නිසා කිසියම් වේලාවක් රස්තියාදු වෙමින් කාලය ගත කර තිබෙන අතර මේ කාලය තුළ කිසිදු කලබලයක් නැතිව හැසිරීමද ගැටලුකාරීය. ඔවුන් වාහනය ගරාජයක් වෙත ගෙන යාමටද වේලාව නාස්තිකරන අතර වාහනය ගෙනවිත් දුන් අයට සේවා ගාස්තුව ලෙස රුපියල් 15,000 ක් ගෙවා තිබුණි. මාරු නැතැයි කියූ ඔවුන් එම 15,000 න් 10,000 ක් මුදලින්ද ඉතිරි 5000 රොෂාන්ගේ දුරකථනයෙන් ‘ලොග්වී’ බැංකු ගිණුම හරහා අදාළ සේවා සැපයුම්කරුගේ ගිණුමටද බැර කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ ඔවුන් රොෂාන්ගේ බැංකු ගිණුම්, රහස්‍ය අංක විස්තර පවා දැන සිටි බවයි.

පොලිසියට කට උත්තර සපයා ඇති සේවා සපයන්නා පවසා ඇත්තේ මෙම යුවළ සිංහල බස නිවැරදිව උච්චාරණය කරන්නට අපහසු අය යයි හැඟුණ බවයි. කාන්තාව විදේශ ජාතිකයෙකු හෝ බර්ගර් ජාතිකයෙකු යයි අනුමාන කරන බවයි. ඉංග්‍රීසි බසින් හා කැඩුණ සිංහලෙන් පිරිමියා කතා කර ඇත.

ගුවන් තොටුපලෙන් බැස්ස පසුව ගුවන් තොටුපළේ වෙලෙඳ සැලකදී රුපියල් 300 ක් ගෙවා වතුර බෝතල් දෙකක් (2) මිලට ගන්නටද මෙම යුවළ කටයුතුකර ඇත්තේ රොෂාන්ගේ කාඩ්පතක් පාවිච්චි කරමිනි.

එදින රාත්‍රී මැලේසියාව හරහා ඉන්දුනිසියාවට යාමට යුවළ සැලසුම් කර ටිකට්පත් ලබාගෙන තිබූ බව පොලිසිය පැවසූ අතර ඊයේ (04) වනවිටත් එම යුවළ රටින් පිටවුනේද නැද්ද යන්න පොලිසිය තහවුරු කරගෙන තිබුනේ නැත ෴

++++++++

+


‘ඔපෙක්ස් හෝල්ඩිංග්ස්’ අධිපති ‘ඔනේෂ් සුබසිංහ’ ඉන්දුනීසියාවේදි ඝාතනය කර බ්‍රසීල ජාතික බිරිය පැනගිහින්

(05.02.2023 – gossiplankanews.com)

‘ඔපෙක්ස් හෝල්ඩිංග්ස්’ අධිපති කෝටිපති ව්‍යාපාරික ‘ඔනේෂ් සුබසිංහ’ මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී මහල් නිවාස කාමරයක් තුළදී හදිසියේ මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

45 හැවිරිදි වියෙහි පසුවන ඔනේෂ් ඔහුගේ පවුලේ බිරිය සිව් (4) හැවිරිදි දියණිය හා තවත් කාන්තාවක සමග විනෝද චාරිකාවක් සදහා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරට ගොස් එහි මහල් නිවාස ඒකකයක පසුගියදා නවාතැන්ගෙන තිබේ.

දින කිහිපයක් යද්දී ඔහුගෙන් හෝ පවුලේ අයගෙන් ආරංචියක් නැති නිසා ශ්‍රී ලංකාවේ ඔහුගේ ඥාතීන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා ඔමේෂ් සුබසිංහ සිටිනා ඒකකය පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබේ.

මහල් නිවාස කළමනාකාරිත්වය කිහිප වතාවක්ම සම්බන්ධ කරන්නට උත්සාහ කළද ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. නිවාස ඒකකයට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී එහි එක් කාමරයක් අගුළු දමා තිබී ඇති අතර ඔවුන් කාමරයේ දොර කඩා විවෘත කර බලද්දී මියගිය ඔනේෂ්ගේ සිරුර හමුවී තිබෙයි.

ඔහු සමග නවාතැන් ගන්නට පැමිණි බිරිය දියණිය හෝ අනෙක් කාන්තාව ඒ වනවිට එම ස්ථානයේ නොසිටි අතර ඔවුන් එම ස්ථානයෙන් ඊට පෙර දිනක පළාගොස් ඇති බව සීසීටීවී පරීක්ෂාවේදී මහල් නිවාස කළමණාකාරීත්වයට සොයාගන්නට හැකිව තිබේ.

මහල් නිවාසයේ සීසීටීවී දර්ශනවල දැක්වෙන්නේ සුබසිංහ මහතාගේ බිරිඳ, දියණිය සහ නාඳුනන කාන්තාව දින කිහිපයකට පෙර අඟහරුවාදා මහල් නිවාසයෙන් පිටව යන්නේ ‘බාධා නොකරන්න’ යන පුවරුව දොරේ තැබීමෙන් පසුව බවයි.

ඔනේෂ් සුබසිංහ විවාහවී සිට ඇත්තේ බ්‍රසීල ජාතික බිරියක සමගිනි. දියණියට වයස 4 කි. ඔවුන් සමග පැමිණි කාන්තාව බ්‍රසීලියානු ජාතිකයෙකු බවත් ඥාතීන් පවා හඳුනන්නේ නැති කෙනෙකු බවත් පැවසිණි.

ඔනේෂ් ශ්‍රී ලංකාවේ එළවළු වගාවන් සඳහා දියර පොහොර නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ‘ඔපෙක්ස් හෝල්ඩිංග්ස්’ හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අතර ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක් ලබා ඇති ඔහු පෝෂණ කළමනාකරණ ශාස්ත්‍රඥයෙකි. ඔහුගේ නිෂ්පාදන දෙස් විදෙස් කීර්තිය දිනා ඇත.

ජකර්තා හි විනෝද චාරිකාවක යෙදෙන්නට පෙර ඔහු පවුලේ ඥාතීන් කොළඹදී මුණගැසී විනෝද චාරිකාව ගැන විස්තරද පවසා තිබුණි. අවසන් වරට පසුගිය අඟහරුවාදා (02) ඔහුගේ පවුලේ අය සමඟ එරට සිට සම්බන්ධ වී ඇති අතර ඉන් පසුව සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින පවුලේ අය මහල් නිවාස කළමනාකාරිත්වය අමතා සුබසිංහව පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබුණි.

සැමියාගේ සිරුර කාමරයේ තිබියදී නිවසින් පිටව යන බිරිය, දැරිය හා කාන්තාව අඟහරුවාදා ඉන්දුනීසියාවේ සිට දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බවද ඒ පිළිබද පරීක්ෂණ පවත්වන ජකාර්තා පොලිසිය සොයාගෙන තිබේ. පළාගිය අය දැනට සිටින ස්ථානය තවම සොයාගෙන නැත.

සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ව්‍යාපාරිකයා මරාදමා බිරිය පළාගොස් ඇති බවට ඔවුන් සැක කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයද වැඩිදුර කරුණු සෙවීම සම්බන්ධීකරණය කරමින් සිටී ෴


ඉන්දියාවේ රාජාස්ථාන්හි වෛද්‍ය සිසු නේවාසිකාගාරයක හයවෙනි (6) මහළින් අනපේක්ෂිත ලෙස වැටී මියගිය වෛද්‍ය සිසුවා – CCTV

(05.02.2023 – gossiplankanews.com)

ඉන්දියාවේ රාජාස්ථාන්හි වෛද්‍ය සිසු නේවාසිකාගාරයක සිසුවෙකු නේවාසිකාගාර ගොඩනැගිල්ලේ හයවන (6) මහලෙන් අනපේක්ෂිත ලෙස බිමට වැටෙන බිහිසුණු වීඩියෝ පටයක් එරට සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පැතිර යමින් පවතී.

ඉන්දීය පුවත් ඒජන්සියකට අනුව මෙම හද කම්පා කරවන සිදුවීම සිදුව ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ කෝචිංනගරි හිය. ගොනැගිල්ලේ 6 වන මහලේ බැල්කනියේ බිත්තියක යකඩ දැලක් හරිහැටි සවිකර නොතිබීමෙන් ඔහු එම දැලට බර තබා සිය පාවහන් පළඳින්නට උත්සාහ දරද්දී නොදැනීම දැල සමග ඔහු බිමට කඩා වැටේ. නේවාසිකාගාරයේ හයවන (6) මහලෙන් වැටුන සිසුවා බරපතල තුවාල ලබා ලේ ගලමින් වේදනාකාරී ලෙස සිටියදී රෝහල් ගතකළ පසු මියගොස් ඇත.

ඔහු මියයාමේ සිද්ධියේ සජීවී වීඩියෝ කරළියට පැමිණි පසු නේවාසිකාගාරයේ සිසුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූයේ බලධාරීන් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වා තිබුණ අඩු සැලකිල්ල ගැනයි. නේවාසිකාගාරයේ ආරක්ෂක පද්ධතිය පිළිබඳව ඔවුන් විරෝධය පළ කර ඇත.

මියගිය සිසුවා බටහිර බෙංගාලයේ ඉන්සන්ෂු, ජලපායිගුරි හි පදිංචිකරුවෙකි නේවාසිකාගාරයේ නැවතී වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *