පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ?

පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ?


පුතා කළ වරදට මව ව ඝාතනය කරලා ?

(05.02.2023 – 09:11 +0530 – sinhala.adaderana.lk)

ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04) සොයාගෙන තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු (3) විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට එම කාන්තාවගේ දියණිය විසින් සූරියවැව පොලීසිය වෙත පසුගිය 03 වැනිදා සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකළ බව පොලීසිය පැවසීය.

ඒ අනුව, ලැබුණු තොරතුරක් මත අදාළ කාන්තාවගේ මළසිරුර ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගය ප්‍රදේශයේ තිබී ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෝටලයක සේවය කරන බවත් එහි හිමිකරුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඔවුන් පසුව පළාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

පසුව ඔවුන් සොයා හෝටලයේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු (2) මෝටර් රථයකින් පැමිණ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහ සූරියවැව පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


රුපියල් කෝටි එකහමාරක් (1½) වටිනා බුදු පිළිම 03 ක් උණු කිරීමට ගිය දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(05.02.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ගත් බව පවසමින් රනින් නිම වූ බුදු පිළිම 03 ක් උණු කිරීම සඳහා රුපියල් කෝටි එකහමාරකට (1½) අලෙවි කිරීමට උත්සාහ කළ පියෙකු සහ පුතෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි සහ 21 හැවිරිදි වියේ පසුවන ගලේවෙල – බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

දඹුල්ල පොලිසියේ විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත ගැනුම්කරුවන් ලෙස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායමක් වෙස්වලාගෙන ගොස් මෙම වැටලීම සිදුකර තිබුණා.

සැකකාර පියා ප්‍රකාශ කර ඇත්තේ මෙම බුදු පිළිම නිධානයකින් ලබාගත් බවයි.

මෙම එක් පිළිමයක් කිලෝ එකයි ග්‍රෑම් 450 ක බරකින් යුතු අතර, අනෙක් පිළිම දෙක ග්‍රෑම් 580 සහ ග්‍රෑම් 78 ක බරකින් යුක්ත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


නිදහස් දිනේ වැසිකිළි වලට විතරක් රුපියල් ලක්ෂ 142 ක් වියදම් කරල. මේව හෙන ගහන වැඩ චමුදිත (04.02.2023)

+


රුපියල් කෝටි 100 ක සුපිරි වාහන වසර 7 ක් තිස්සේ වරායේ ගුදම්වල : ඇමති හෙළි කරයි

(04.02.2023 – 09:58 +0530 – mawbima.lk)

රේගු භාරයට ගෙන, කොළඹ වරායේ ගුදම් තුළ තිබෙන රුපියල් කෝටි හාරසියයකට (400) අධික භාණ්ඩ සහිත කන්ටේනර් 89 ක් සතියක් ඇතුළත එම ගුදම් තුළින් ඉවත් කරන ලෙස වරාය අධිකාරියට නියෝග කළ බව, වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

මෙම භාණ්ඩ අතර ඇති සුඛෝපභෝගි වාහනවල පමණක් වටිනාකම රුපියල් කෝටි 100 කට අධික බව ඇමතිවරයා සඳහන් කළේ ය.

වසර ගණනාවක් තිස්සේ මේ අන්දමට රේගු භාරයට ගෙන ඇති කන්ටේනර් වරාය තුළ රඳවා තබා ගැනීම නිසා රජයට අතිවිශාල මුදල් සම්භාරයක් අහිමි වන බැවින්, යල් පැන ඇති රේගු ආඥා පනත වහාම අදට ගැළපෙන අන්දමට සංශෝධනය කරන බව සඳහන් කළ ඇමතිවරයා රේගු නිලධාරීන් විසින් අයථා අන්දමට කන්ටේනරයක් රේගු භාරයේ රඳවා ගෙන තිබූ අවස්ථාවක් පිළිබඳ තහවුරු වුවහොත්, අදාළ රේගු නිලධාරියාගෙන් ඔහුට ලැබෙන ප්‍රසාද මුදල්වලින් එම කන්ටේනරය තුළ තිබෙන භාණ්ඩ ආනයනය කළ පුද්ගලයාට ඒවායේ වටිනාකම ලබා දීම සඳහා ප්‍රතිපාදන රේගු ආඥා පනතට ඇතුළත් කරන බව ද ඇමතිවරයා පැවසීය.

තමා වෙත ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂා කිරීමේදී මෙසේ ගුදම් තුළ වසර කිහිපයක් තිස්සේ කන්ටේනර් 89 ක් තිබෙන බවට තොරතුරු වාර්තා වූ බව ඇමතිවරයා කීය.

මෙම කන්ටේනර් අතර, 2015 වසරේ රේගු භාරයට ගත් පුවක් කන්ටේනර් 12 ක්, 2019 වසරේ රේගු භාරයට ගත් බාස්මතී සහල් කන්ටේනර් 39 ක්, 2015 වසරේ රේගු භාරයට ගත් සුඛෝපභෝගි බෙන්ස් රථයක්, රේන්ජ් රෝවර් රථයක් සහ තවත් වාහන 15 ක්, ටයිල් කන්ටේනර් 15 ක්, රෙදිපිළි ඇතුළත් කන්ටේනර් 2 ක්, වාහන අමතර කොටස් කන්ටේනර් 6 ක්, වයින් කන්ටේනර් 2 ක්, සිගරට් කන්ටේනර් 1 ක්, මෙසේ ගුදම් තුළ තිබෙන කන්ටේනර් අතර වන බව ඇමතිවරයා සඳහන් කළේ ය.

රට ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේ, බාස්මති සහල් කන්ටේනර් 39 ක් වරායේ වසර තුනක් (3) තිස්සේ නිදහස් නොකර තබා ගැනීම නිසා එම සහල් ප්‍රයෝජනයට ගත නොහැකි සේ දිරාපත්ව ඇති බව සඳහන් කළ ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රේගු ආඥා පනත කඩිනමින් සංශෝධනය කිරීම හරහා ඉදිරියේදී අනවශ්‍ය අන්දමින් වරාය තුළ කන්ටේනර් රඳවා තබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බව පැවසීය ෴


මහජන කොමිසමේ හිස් වූ ධුරයක් ඩග්ලස් නානායක්කාරට

(05.02.2023 – 10:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර පත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් ඊට අදාළ ලිපිය ඔහු වෙත යොමුකර ඇති අතර, එහි දැක්වෙන්නේ පසුගිය 02 වනදා සිට අදාළ පත් කිරීම බලපැවැත්වෙන බවයි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, එය ලබන වසරේ ජූලි මස 16 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකත්වයෙන් පසුගියදා එහි සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ ඉල්ලා අස්වුණා ෴


ගෑස් මිල ඉහළට – මාර්තුවලත් යළිත් වැඩිවෙයි ?

(05.02.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 334 කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,743 ක් බවයි.

එසේම කිලෝග්‍රෑම් පහ (5) ගෑස් සිලින්ඩරයක් රුපියල් 134 කින් ඉහළ දැමෙන අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,904 ක්.

ඊට අමතරව කිලෝග්‍රෑම් 2.3 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 61 කින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 883 ක් බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 950 කින් ඉහළ දැමිය යුතු වුවත් ජනවාරි මාසයේ ඇණවුම් කළ ගෑස් තොග හේතුවෙන් එවැනි ඉහළ දැමීමකට යෑමේ අවශ්‍යතාවක් මතු නොවූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලිට්රෝ සමාගමෙන් නව ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ලබන මාර්තු මාසයේ සිට සිදු කරන බව ද ඔහු කියා සිටියා.

+


බිලියනපතියෙකුගේ යෝජනාවක් මහබැංකු අධිපති ඉවත දමයි

(05.02.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

බිලියනපති ආයෝජන ‘ටිම් ඩ්‍රේපර්’ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එම ප්‍රකාශයට අනුව මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට ‘බිට්කොයින්’ භාවිතයට යොමුවීම අර්බුදය ඉහළ යාමට හේතු විය හැකි බවයි.

මේ හේතුවෙන් ‘බිට්කොයින්’ භාවිතයට යොමු වීම පිළිබඳ මහබැංකුව තවමත් තීරණය කර නොමැති බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴


ඉන්දියාවෙන් තවත් බස් රථ 50 ක් ශ්‍රී ලංකාවට

(05.02.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය ලබාදුන් බස් රථ 50 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංකේතාත්මකව භාරදීම සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත ලබාදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදියි.

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එහි පළමු බස් රථ 75 පසුගියදා ඉන්දීය රජය විසින් මෙරටට භාරදෙනු ලැබුවා.

එම වැඩසටහන යටතේ බස් රථ 500 ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.


අමරවීරගේ පඩි ටෝකෙන් නැසී ගිය ගොයම

(05.02.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ගොයම කහ පැහැවීමේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇළහැර ව්‍යාපාරයේ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ ගොයම සඳහා නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසකින් ගොයම කහ පැහැවීමේ රෝගී තත්ත්වය පිළිබඳ පසුගිය දින කිහිපයේදීම වාර්තා වුණා. ඒ, සෑම අවස්ථාවකදීම ගොවීන් චෝදනා කළේ සිය වගාවන් සඳහා අවශ්‍ය පොහොර නිසිකලට නොලැබීම හේතුවෙන් ගොයම විනාශ වී ඇති බවයි.

මේ අතර ඇළහැර ව්‍යාපාරයේ දියබෙදුම සහ නෑහින්න යන ප්‍රදේශවල ගොයම ද කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරු වී තිබෙනවා. අක්කර දහසක (1000) පමණ වගා කර ඇති ගොයම මුළුමනින්ම විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

මේ අතර ගම්පහ, මීරිගම, දංඕවිට ආදී ප්‍රදේශවල මහකන්නයේ අස්වනු නෙළීම මේ දිනවල සිදුවනවා. නමුත් ගොවීන් චෝදනා කරන්නේ අක්කර දහසක (1000) පමණ වී වගා කර අස්වැන්නක් නෙළා ගත්ත ද ඉන් තමන්ට නිසි මිලක් නොලැබෙන බවයි. වී මිළදී ගැනීම සඳහා රජයෙන් මිල ගණන් තීරණය කර තිබුණ ද කළු කඩ ව්‍යාපාරිකයින් ඉතා අඩු මිළට සිය අස්වැන්න මිළදී ගන්නා බව ඔවුන් පෙන්වා දෙනවා. සම්බා වී සඳහා රුපියල් 85 ක් වැනි මුදලක් සහ නාඩු වී සඳහා රුපියල් 80 ක් වැනි මුදලක් පමණක් ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.

+


වෙහෙරගල පුදබිම ම කළු දුඹුලින් වැසී යන ලකුණු

(05.02.2023 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අතීත රජවරුන් වර්තමානයට ඉතිරි කර ගිය මෙරට උරුමය ඉදිරි පරම්පරාවටත් දායාද කිරීම බලධාරීන් සතු වගකීමක්.

නමුත් එම වගකීම ඉටුනොවීම හමුවේ විනාශ මුඛයට යන බෞද්ධ උරුමයක් පිළිබඳවයි මේ තොරතුරු.

මින් වසර 2100 කට අධික කාලයකට පෙර එනම් ක්‍රිස්තු පූර්ව පළමු (1) වන සියවසේ මෙරට රජකම් කළ වළගම්බා රජු විසින් නිර්මාණය කරන ලද, මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික වෙහෙරගල ලෙන් රජමහ විහාරයයි මේ.

ඉපැරණි උරුමයට වත්මන් බලධාරීන්ගේ අවධානය යොමු නොවීමේ පසුබිම හමුවේ මෙම විහාරස්ථානය මේ වනවිට නටඹුන් වෙමින් පවතින ආකාරය දක්නට ලැබෙනවා.

ක්‍රිස්තු පූර්ව පළමුවැනි (1) සියවසේදී ඇතිවූ සතුරු ආක්‍රමණ නිසා වළගම්බා රජු කන්ද උඩරටට පැමිණ ලෙන්වල සිටිමින් සේනා සංවිධාන කළ අතර, වෙහෙරගල ද ඉන් එක් ස්ථානයක්.

සේනා සංවිධාන කළ රජු පසුව පරසතුරන් පරාජයට පත්කිරීමෙන් අනතුරුව තමාට සෙවන දුන් ස්ථානවල වෙහෙර විහාරස්ථාන ඉදිකරවා ඇති අතර, වෙහෙරගල රජමහ විහාරයද ඉදිවන්නේ ඒ අනුවයි.

කෙසේ වෙතත් වර්තමානයේදී මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් එය විනාශය කරා යොමුවෙමින් පවතින බවයි විහාරාධිකාරී පූජ්‍ය කළුගමුවේ චන්දාන්ද හිමියන් පවසන්නේ.

කන්ද උඩරට විහාරස්ථාන අතරින් සෙල්ලිපි සහිත විහාරස්ථාන විරල වන අතර, වෙහෙරගල රජමහ විහාරස්ථානය එවැනි සෙල්ලිපි සහිත විහාරස්ථානයක්.

බෙහෙවින් දුර්වර්ණ වී ඇති බිතු සිතුවම් සහ පිළිම වහන්සේ විවිධ සතුන්ගෙන් සිදුවන හානිවලින් ද තවදුරටත් විනාශ වෙමින් තිබෙනවා.

ප්‍රධාන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට දැඩි ලෙස හානි සිදුව ආකාරය ද දැකිය හැකියි.

සෙල්ලිපි, ඉපැරණි සිතුවම් ඇතුළු ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් අංග රැසකින් සමන්විත වෙහෙරගල රජමහ විහාරස්ථානය අනාගත පරපුරටත් දායාද කිරිම සඳහා අවශ්‍ය කටයුතු සැලසීම මෙරට පුරාවිද්‍යා බලධාරීන්ගේ වගකීමක් නොවන්නේද?

+


අවුකන පිළිමෙට ඉඩම් කොල්ලකරුවන්ගෙන් තර්ජනයක්

(05.02.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික අවුකන රජමහා විහාරය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ප්‍රදේශවාසීන් විසින් අත්පත් කරගෙන ඇති බවට අවුකන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේල්ලීයේ ධම්මකිත්ති හිමියන් පවසනවා.

මේ නිසා විහාරස්ථානයේ ආරක්ෂාවටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ.

අවුකන විහාරස්ථානය දෙස් විදෙස් සංචාරකයින් ගේ මෙන්ම බොදු බැතිමතුන් අතර සුප්‍රසිද්ධ වි ඇත්තේ ලෝක ප්‍රකට අවුකන ප්‍රතිමාව හේතුවෙන්.

නමුත් මෙම ඵෙතිහාසික වටිනාකමකින් යුතු අවුකන විහාරස්ථානය සතු ඉඩම්වලට අනවසරයෙන් පුද්ගලයින් ඇතුළු වී එම ඉඩම් අත්පත් කර ගැනීම නිසා මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී වී තිබෙනවා.

මේ හේතුව නිසා විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක නටඹුන්වලට ද දැඩි බලපැමක් එල්ල වී තිබෙන අතර විහාරස්ථානයේ ආරක්ෂාවටද බලපෑම් එල්ල වන බව විහාරාධිපති හිමියන් පවසනවා.

+


කුඩම්මාගේ කරදර දරාගත නොහැකි තැන අවුරුදු 11 දැරියක් තනිවම පොලිසියට

(05.02.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

සිය කුඩම්මාගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකි වූ අවුරුදු 11 දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව එම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කඩවල පදිංචි දැරිය පා ගමනින්ම හොරොව්පතානේ පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියගේ මව මීට වසර 05 ට පමණ පෙර මියගොස් ඇති අතර, පියා නැවත විවාහ වී ඇති අතර, ඇයට ද පෙර විවාහයේ දරුවෙකු සිටින බව සඳහන්.

දැරියගේ පියා සහ මිත්තනිය පොලිසියට ගෙන්වා විමර්ශනයක් සිදුකර දරුවා පියා හට බාරදීම හෝ අධිකරණයට කරුණු වාර්තා කර පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, දින දෙකක් (2) වයසැති බිළිදෙකු ත්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් සිටියදී ගම්වැසියන් විසින් සොයාගෙන පොලිසියට බාර දී තිබෙනවා.

බිළිඳා මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, දරුවා මහ මඟ දමාගිය පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ත්‍රිකුණාමලය පොලිසිය සඳහන් කළේ ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *