වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක්

වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක්


වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක්

(03.02.2023 – dinamina.lk)

• දින තුනකට (3) පසු සිරුර පැලවත්තේ පිහිනුම් තටාකයකින් හමු වෙයි
• ඝාතකයන් කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ගුවන් ටිකට්පත් අරන්
• කටුනායක ගුවන් තොටේ සුපර් මාකට් එකකින් රුපියල් ලක්ෂ 5 ක බඩුත් අරන්
• ඝාතනයට කාන්තාවකගේත් සම්බන්ධයක් ඇත්දැයි සැකයක්

දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ මළසිරුර ඔහුට අයත් පැලවත්ත එම්.ඩී.එච්. පුර පිහිටි සුවිසල් නිවෙසේ තෙවැනි (3) මහලේ ඇති පිහිනුම් තටාකයේ පාවෙමින් තිබියදී ඊයේ (02) සවස සොයාගෙන තිබේ.

මළසිරුර තිබී ඇත්තේ නිරුවතින් වූ අතර, සිරුර හඳුනාගැනීමට නොහැකි පිරිදි ඉදිමී තිබී ඇත. පිහිනුම් තටාකය ආසන්නයේ ලේ පැල්ලම් රැසක්ද ඇති බැවින් පොලිසිය විශ්වාස කරනුයේ මෙය ඝාතනයක් විය හැකි බවයි. හිසට පහර දීමකින් මේ ව්‍යාපාරිකයා ඝාතනය කර නිරුවත් සිරුරු ඇදගෙන විත් පිහිනුම් තටාකය වෙත දමා ඇති බව මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ ව්‍යාපාරිකයාගේ යටඇඳුම් මෙන්ම තවත් ඇඳුම් කිහිපයක්ම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ඇති අතර, ඔහු මිය යන විට සිට ඇත්තේ නිරුවතින් බවට සැකයක් ඒ අනුව මතු වන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය. පිහිනුම් තටාකය පිහිටි ස්ථානයේම උපත් පාලන කොපු දෙකක්ද තිබී ඇති අතර, ඉන් එක් උපත් පාලන කොපුවක් භාවිත කර ඇති බව පෙනී යන බවද එම නිලධාරියා කීය.

මේ ව්‍යාපාරිකයා 50 හැවිරිදි වියේ පසු වන අවිවාහක තැනැත්තෙකි. ඔහු පදිංචිව සිට ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ‘මයාරා‘ නිවෙසේය. ඔහුගේ සිරුර හමු වූ නිවෙස අලුත්වැඩියා සිදු කරමින් පවතින එකක් බවත් එහි තවමත් ඔහු ස්ථිර ලෙස පදිංචියට ගොස් නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මේ කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇත්තේ පසුගිය 30 දා සිටය. මෙදින සවස 05:30 ට පමණ මේ ව්‍යාපාරිකයා වැල්ලම්පිටියේ පිහිටි නිවෙසින් පිටත්ව ගොස් ඇත්තේ ඔහුට අයත් KE 9998 අංකය දරන මෝටර් රථයේ නැඟීය. සවස 07:00 ට පමණ ව්‍යාපාරිකයාගේ නැඟණිය ඔහුට දුරකතන ඇමතුම් කිහිපයක් ගෙන ඇති අතර, ඊට ඔහු ප්‍රතිචාර දක්වා නැති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඇය එම ඇමතුම දී ඇත්තේ රාත්‍රී ආහාර සූදානම් කිරීම සම්බන්ධයෙන් බව සඳහන්ය. පසුව ඔහු රාත්‍රී 07:29 ට පමණ සිය නැඟණියට ඇමතුමක් ගෙන තමා ඇමතුවේ ඇයිදැයි විමසා ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම ඇමතුමෙන් පසු සිය සහෝදරයාගේ ජංගම දුරකතනය පවා අක්‍රිය තත්ත්වයෙන් පැවති බවත්, ඔහු අතුරුදන්ව සිටින බවත් සඳහන් කරමින් නැඟණිය විසින් පෙරේදා (01) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. මේ අතර යම් සැකයක් මත නැඟණිය ඇතුළු පවුලේ සාමාජිකයන් පැලවත්තේ පිහිටි නිවෙසට ගොස් ඊයේ (02) කළ පරීක්ෂා කිරීමේදී මළ සිරුර දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ මුදල් පසුම්බියේ තිබුණු ක්‍රෙඩිඩ් කාඩ් පත් 4 ක් අතුරුදන්ව ඇති බවද පොලසිය විසින් හෙළි කරගෙන ඇත. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීමෙන් පසු එම ක්‍රෙඩිඩ් කාඩ් පත් මගින් ගුවන් ටිකට් පත් 5 ක් වෙන් කරගෙන ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ල ලැබීමෙන් පසු වැල්ලම්පිටිය පොලිසිය කළ මූලික විමර්ශනයකදී පෙනී ගොස් තිබුණේ එක්සත් රාජධානියට ගුවන් ටිකට් පත් 2 ක් ව්‍යාපාරිකයා වෙන් කරගෙන ඇති බවයි. එහෙත් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඉන්දුනීසියාව බලා යෑමට ගුවන් ටිකට්පත් 5 ක් වෙන් කරගෙන ඇති බව හෙළි වී ඇත. එසේම ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා භාණ්ඩ මිල දී ගැනීමක්ද එක් (1) ක්‍රෙඩිඩ් කාඩ් පතකින් සිදු කර ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇත.

මේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට කාන්තාවකගේ සම්බන්ධයක් ඇති බව බැලූ බැල්මටම විමර්ශකයන්ට පෙනී ගොස් ඇත. එම කාන්තාව සමඟ ඔහු පැලවත්තේ සිටි නිවෙසේ සිටියදී ඇගේද සහාය ඇතිව යම් පිරිසක් විසින් ඔහු ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශකයෝ සැක කරති.

ඝාතනය සිදු වූ නිවෙසේ ආරක්ෂක කැමරා සවි කර නැති බැවින් අවට නිවාස සහ ගොඩනැඟිලිවල ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කරමින් එම කාන්තාව සහ ඝාතකයා හඳුනාගැනීමට පියවර ගැනීමට පොලිසිය විසින් ඊයේම (02) මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ව්‍යාපාරිකයාගේ සිරුර හමු වූවත් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ඊයේ (02) සවස් වන තුරුම හමු වී නැත. පොලිසිය සැක කරනුයේ ව්‍යාපාරිකයාගේ ඝාතකයන් මේ වන විට රටින් පලාගොස් ඇති බවයි.

~ ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම – බිමල් ජයසිංහ

+

+

(03.02.2023 – 09:00 +0530 – hirunews.lk/sinhala)

පැලවත්තේ සිය නිවසේ පිහිණුම් තටාකයේ මියගොස් සිටිය දී සිරුර සොයාගත් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයකින් සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා ෴

+

ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ණය පතින් බැංකොක් යෑමට ගුවන් ටිකට් පත් මිල දී ගෙන

(03.02.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පැළවත්තේ සිය නිවසේ පිහිණුම් තටාකයේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී සිරුර සොයා ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ ණය කාඩ් පත භාවිත කරමින් තායිලන්තයට ගුවන් ටිකට් පත් දෙකක් (2) වෙන් කරවාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදන් වීමෙන් අනතුරු ව ඔහුගේ ජංගම දුරකතනය සහ මුදල් පසුම්බිය අස්ථානගත වී ඇති අතර, එම මුදල් පසුම්බියේ තිබූ ණය කාඩ් පතක් භාවිතා කරමිනු යි ඔහු මෙලෙස අන්තර්ජාලය හරහා තායිලන්තයට යාම සඳහා ගුවන් ප්‍රවේශපත් වෙන් කරගෙන ඇත්තේ.

ඊට අමතර ව එම ණය කාඩ් පත භාවිත කරමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ දී වතුර බෝතල් දෙකක් (2) ද මිල දී ගෙන ඇති බවටත් මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි කරගෙන තිබෙනවා.

මේ අනුව විමර්ශන කණ්ඩායම් සැක කරන්නේ 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා ඝාතනය කළ කවුරුන් හෝ ඇතැම් විට දිවයිනෙන් බැහැර ව ගොස් ඇති බවට යි.

එසේම මේ සම්බන්ධ විමර්ශන වෙනතකට යොමු කිරීම සඳහා ද මෙලෙස සිදු කිරීමට ඉඩ ඇති බවත් විමර්ශන කණ්ඩායම් සැක පළ කරනවා.

කිරිබත්ගොඩ කේන්ද්‍ර කර ගත් ප්‍රසිද්ධ නිමි ඇදුම් වෙළෙඳසල් ජාලයක් හිමි මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර ඔහුට අයත් බත්තරමුල්ල – පැළවත්ත, එම්.ඩී.එච් පුර ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයක තිබී ඊයේ (02) දහවල් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන දියත් කළ පොලිසිය, මෙම මළසිරුර සොයාගත් අතර, ඔහු දින කිහිපයක සිට අතුරුදන් ව ඇති බවට යි එමඟින් දක්වා තිබුණේ.

මේ අතර, මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළි ව තිබෙනවා.

පසුගිය 31 වැනි දා රාත්‍රියේ ආපදා රථයකින් එම මෝටර් රථය අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බව යි පොලිසිය සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

කටුනායක අධිවේගි මාර්ගයේ ජා -ඇල පිටවුමේ දී එම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක් ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී තිබෙනවා.

දින කිහිපයක සිට තම ගරාජය ඉදිරිපිට මාර්ගයේ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බව දුටු ගරාජයේ හිමිකරු ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ගරාජයේ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව, ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත්, මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් එම ආපදා රථයේම නැඟී පිට ව යන ආකාරයත් සටහන් වී තිබෙනවා.

මේ වන විට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මෝටර් රථය සමඟ පැමිණි යුවළ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව සඳහන්.

මෙම ව්‍යාපාරිකයා අවසන් වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත තම මෝටර් රථයෙන් පැමිණ පැළවත්ත, එම්.ඩී.එච්. පුර ප්‍රදේශයේ නිවසේ යතුර රැගෙන ගොස් ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඔහු සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇතත් මෝටර් රථයේ නැඟී නිවසින් පිට ව ගොස් ඇත්තේ, එක් පුද්ගලයෙකු පමණක් බව යි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සැක කරන්නේ, අදාළ පුද්ගලයා ඝාතකයා විය හැකි බවට යි ෴


වෙඩි බේතුත් අරන් ශ්‍රී මහා බෝධිය වඳින්න ඇවිත් !

(03.02.2023 – dinamina.lk)

වෙඩි බෙහෙත් තොගයක් රැගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු වාහල්කඩින් ඇතුළු වීමට තැත් කළ පුද්ගලයයකු උඩමළුව පොලිසිය විසින් ඊයේ (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මේ පුද්ගලයා වෙඩි බෙහෙත් ග්‍රෑම් 35 ක් සහ සේවා නූලක් බෑගයක බහා රැගෙන යමින් සිටියදී ඊයේ (02) උදෑසන 06:30 ට පමණ සිදු කළ පරීක්ෂවේදී සොයාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54 ක පමණ පුද්ගලයෙකි. සැකකරු අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ නිධානයක් හැරීම සඳහා මේ වෙඩි බෙහෙත් සහ සේවා නූල් ගෙන පැමිණි බවත්, පසුව එම නිධානය පිහිටි ස්ථානය වතුරට යට වී තිබීම හේතුවෙන් ඊයේ (02) එම කටයුතු සිදු නොවන බැවින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගැනීමට පැමිණි බවත් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළ බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි. සැකකරු උඩමළුව පොලිසිය විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කරනු ලබයි ෴


ගංජා ඇද්ද වනජීවි නියාමක වෙනුවට වෙන 4 ක් ඇතුළට යැවූ ලුණුගම්වෙහෙර රාලහාමිලාගේ වැඩ තහනම්

(03.02.2023 – dinamina.lk)

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් දුන් තොරතුරකට අනුව වනජීවී වාහනයකින් ප්‍රවාහනය කරමින් තිබියදී ගංජා කිලෝ 20 කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් වනජීවී නියාමකවරයකු මුදාහැර, වෙනත් පුද්ගලයන් 4 දෙනකු ගංජා සුළු ප්‍රමාණයක් සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කියන ලුණුගම්වෙහෙර පොලීසියේ නිලධාරීන් තිදෙනකුගේ (3) වැඩ තහනම් කිරීමට හම්බන්තොට පොලිස් අධිකාරීවරයා ඊයේ (02) පියවර ගෙන තිබේ.

මෙසේ වැඩ තහනම් කර ඇත්තේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුගේ (2) සහ පොලිස් කොස්තාපල් රියැදුරකු (1) ගේය. මේ වන විට ලුණුගම්වෙහෙර පොලිසියෙන් ස්ථානමාරු වීමක් ගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් සිටින පොලිස් පරීක්ෂකවරයකුද මෙම දූෂිත ක්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇති බවත්, ඔහු සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙන බවත් හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළේය.

ලුණුගම්වෙහෙර බෝගස්වැව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශ තොරතුරට අනුව මෙම වැටලීම කෙරෙන්නේ පසුගිය ජනවාරි 09 දාය. වනාන්තරයේ සිට මෙම වියළි ගංජා තොගය රැගෙන විත් ඇති අතර කාලයක් තිස්සේ මෙම ජාවාරම ඔහු විසින් කරන බවට තොරතුරු බුද්ධි අංශ සතුව තිබී ඇත.

මෙම වනජීවී නියාමකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසියේ නිලධාරීන් සමඟ යම් එකඟතාවකට පැමිණ ඔහු වෙනුවට පොලිසිය වෙනත් 4 දෙනකු ඉදිරිපත් කර ගංජා සුළු ප්‍රමාණයක් සමඟ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙම විමර්ශනයේදී හෙළිවී තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ 4 දෙනාව පොලිස් ස්ථානයට ගෙන්වා දී ඇත්තේද වනජීවී නියාමකවරයා බව ද අනාවරණය වී ඇත. අධිකරණයෙන් ඔවුන් 4 දෙනා රුපියල් 10,000 බැගින් දඩ නියම කර මුදාහැර ඇති බව සඳහන්ය ෴


මහජන මුදලින් නඩත්තු වන හිටපු ජනපතිවරුන්ට වෙන්කර ඇති මුදල් මෙන්න

(03.02.2023 – 00:06 +0530 – hirunews.lk/sinhala)

2023 වසර සඳහා ද හිටපු රාජ්‍ය නායකයින් නඩත්තුව සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර තිබෙනවා.

එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ හිටපු ජනපතිවරුන්ගේ මන්දිර සහ වාහන නඩත්තු කිරීම සඳහා යි.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන සිව් (4) දෙනා සඳහා රජය මෙලෙස මුදල් වෙන් කර ඇති අතර ඊට අමතරව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද මේ යටතේ අයවැය ප්‍රතිපාදන ලැබී තිබෙනවා.

2022 වසර තුළ දී ශ්‍රී ලංකාව මුහුණ පෑ බරපතළ ආර්ථික ව්‍යසනය හේතුවෙන් භාණ්ඩාගාරයට හැකි සෑම ක්ෂේත්‍රයකින්ම වියදම් අඩු කිරීම සඳහා පියවර ගන්නා ලෙස උපදෙස් දෙනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය හරහා ම හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ මන්දිර සහ ප්‍රභූ රථ පෙළ නඩත්තු සඳහා 2022 වර්ෂයටත් වඩා වැඩි මුදලක් වෙන් කිරීම කෙතරම් හාස්‍යයට කරුණක්ද?

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 වසර සඳහා අතීත රාජ්‍ය නායකයින්ට වෙන් කර ඇති ප්‍රතිපාදන මිලියන ගණනකින් වැඩි වී තිබෙනවා.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 1,17 ක් වෙන් කර ඇති අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ අගය ම වනවා.

කෙසේ වෙතත් “වෙනත්” වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 300 ක් වෙන් කර ඇති අතර එය 2022 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 200 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 143 ට සාපේක්ෂව විශාල වැඩි වීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හට ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ තවත් රුපියල් ලක්ෂ 100 ක් වෙන් කර ඇති අතර එහි වෙනස් වීමක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් 2022 වසර සඳහා වාහන නඩත්තුවට වෙන් කළ රුපියල් ලක්ෂ 200 ට සාපේක්ෂව 2023 වසරේ දී රුපියල් ලක්ෂ 1,000 ක දැවැන්ත මුදලක් වෙන් කර තිබෙනවා.

2023 වසර සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ටත් ‘වෙනත්’ වියදම් යටතේ 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 110 ක් වෙන් කර ඇති අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 100 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 68 ට සාපේක්ෂව දැවැන්ත වැඩිවීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ රුපියල් මිලියනයක් (1) වෙන් කර ඇති අතර එය ද 2022 වසර සඳහා වෙන් කළ මුදලම වනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2022 වසර සඳහා වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබෙනවා.

මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට පදිංචිව සිටින්නේ ද ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද රජය විසින් රුපියල් මිලියන 800 ක අතිවිශාල මුදලක් වැය කොට පිළිසකර කළ කොළඹ 7 විජේරාම පාරේ නිවසේ යි.

මෙම විජේරාම නිවසේ අළුත්වැඩියා කටයුතු කරමින් සිටියදී ඔහු බෞද්ධාලෝක මාවතේ තාවකාලිකව පදිංචියට ගිය රජයේ නිවස මේ වන විට ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පවරා දී ඇත්තේ 2022 ජූලි මාසයේදී ඔහුගේ වැරදි කළමනාකාරිත්වය හේතුවෙන් බලයෙන් ඉවත් වීමට සිදු වූ පසු බිමක් යටතේයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ මෙරට බරපතළ ආර්ථික අර්බුදයක් කරා තල්ලු වී, මිනිසුන්ට ඖෂධ සහ ආහාර ඇතුළු මූලික දේ සඳහා පැය ගණන් පෝලිම්වල සිටීමට සිදු වූව ද ඔහු දැන් ජීවත් වන්නේ ජනතා මුදලින් නඩත්තු වන රජය විසින් සපයන ලද සුඛෝපභෝගී නිවෙසකයි.

2022 දී, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව සිටියදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අතිකාල සහ නිවාඩු ගෙවීම් යටතේ මහා භාණ්ඩාගාරය හරහා රුපියල් මිලියන 70 ක් වෙන් කර ඇති අතර, 2021 වසරේ දී එම මුදල රු. මිලියන 74 ක්.

මීට අමතරව ‘දේශීය හා විදේශීය ගමන් වියදම්’ සඳහා ද 2022 වසරේ දී භාණ්ඩාගාරය විසින් රු. මිලියන 12, වෙන් කර ඇති අතර 2021 දී ඒ සඳහා වෙන් කර තිබුනේ රුපියල් මිලියන 37 ක් පමණයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ රජයට එරෙහිව රටපුරා ඇති වූ විරෝධතා හේතුවෙන් 2022 මැයි මාසයේදී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විමට ප්‍රථම 2022 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය නඩත්තු කිරීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 229 ක් වෙන් කර තිබූ අතර ‘නඩත්තු වියදම්’ යටතේ, 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 213 ක්.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් ලක්ෂ 11.7 ක් වෙන් කර තිබෙනවා.

එසේම “වෙනත්” වියදම් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට 2023 වර්ෂය සඳහා තවත් රුපියල් මිලියන 11 ක් වෙන් කර දී තිබෙනවා.

එය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 10 සහ 2021 සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 7.9 ට සාපේක්ෂව විශාල වැඩි වීමක්.

මීට අමතරව ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපතිවරයාට 2022 වර්ෂයේ මෙන්ම ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ යටතේ තවත් රුපියල් මිලියන‍යක් (1) වෙන් කර දී තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ද වාහන නඩත්තුව සඳහා 2022 වර්ෂය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබෙනවා.

2023 වසර සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ද විශ්‍රාම ප්‍රතිලාභ ලෙස මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 11.7 ක් වෙන් කර ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට “වෙනත්” වියදම් යටතේ, 2023 වසර සඳහා තවත් රුපියල් මිලියන 10 ක් වෙන් කර ඇති අතර ප්‍රාග්ධන වියදම් යටතේ, ‘ගොඩනැගිලි සහ ව්‍යුහයන්’ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියනයක් (1).

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට 2023 වසරේ වාහන සඳහා රුපියල් ලක්ෂ 20 ක් වෙන්කර ඇති අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වාහන සඳහා අඩුම මුදලක් වෙන්කර ඇත්තේ ඔහුටයි.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස ට 2023 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 780,000 ක් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස වෙන් කර ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

එසේම වෙනත් වියදම් යටතේ හේමා ප්‍රේමදාස ට තවත් මුදලක් වෙන් කර ඇති අතර එය 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 15 ක්.

එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 13 සහ 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් 7,70,000 ට සාපේක්ෂව ප්‍රමාණාත්මක වැඩි වීමක්.

ප්‍රාග්ධන වියදම් යටතේ ද හේමා ප්‍රේමදාසට ‘ගොඩනැගිලි’ සහ ව්‍යුහය යටතේ තවත් රුපියල් මිලියන‍යක් (1) වෙන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ආර්‍යාවක වන හේමා ප්‍රේමදාසට ද ‍රථවාහන නඩත්තුව සඳහා 2022 වසරේ වෙන් කළ රුපියල් ලක්ෂ 8 ට සාපේක්ෂව 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 50 ක දැවැන්ත මුදලක් වෙන්කර තිබීම විශේෂත්වයක් ෴


01-02-2023

තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23 සහ 24

(03.02.2023 – 06:53 +0530 – hirunews.lk/sinhala)

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 09 වැනි දා පැවැත්වීමට යි දැනට නියමිත ව ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *