උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න – මහජන උපයෝගිතා කොමිසම සහ ගුරු සංගම් අධිකරණයට

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න – මහජන උපයෝගිතා කොමිසම සහ ගුරු සංගම් අධිකරණයට


උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න – මහජන උපයෝගිතා කොමිසම සහ ගුරු සංගම් අධිකරණයට

(01.02.2023 – 19:30 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලිය විසන්ධි කිරීම වැළැක්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින්.

ඔහු පවසන්නේ උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 331,000 කට අධික පිරිසකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බවය.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, එම කාලසීමාව තුළ දී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් එය අනවසර සහ නීතිවිරෝධී ලෙසට සලකන බවයි.

මේ අතර, විභාගය පැවැත්වෙන අවස්ථාවේ විදුලිය කප්පාදු කිරිම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් විසින් අදාළ පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.

එම ප්‍රතිඥාව කඩ කරමින් වගඋත්තරකරුවන් විදුලිය කප්පාදු කිරීම නිසා උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර, ඒ තුලින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඊයේ (31) දිනයේ ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලිය නිෂ්පාදනයෙන් සියයට 27.99 ක දායකත්වයක් ලබාදී ඇති අතර, සියයට 42.92 ක දායකත්වයක් ජාතික විදුලිය නිෂ්පාදනයට ලබාදී ඇත්තේ ගල් අඟුරුවලින්.

කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිසමේ ඉල්ලීම පරිදි පසුගිය දින දෙකේ (2) අතිරික්ත ජලය විදුලි උත්පාදනය සඳහා ලබාදීම හේතුවෙන් විදුලිය කප්පාදුවක් සිදුවූයේ නැහැ.

නමුත්, විදුලි උත්පාදනය සදහා අද (01) සිට අතිරික්ත ජලය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ජල කළමනාකරණ කමිටුව පවසනවා.

ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශ සදහා පසුගිය දින වල ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම ඊට හේතුව බවයි එම කමිටුවේ ලේකම්, මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදි විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ එලෙස අතිරික්ත ජලය නොලැබුන හොත් අද (01) සිට යලි විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි.

ඒ අනුව, පැය 2 යි මිනිත්තු 20 ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කළා ෴


නව ජාතික ආරක්ෂක නීතියක් කෙටුම්පත් කිරීම අවසන් අදියරේ – අලි සබ්රි

(01.02.2023 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක නීතියක් කෙටුම්පත් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 42 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද (01) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළා.

ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ඉදිරිපත් කළා.

මේ අතර මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපද නියෝජිතයින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිදුකළ යුතු බවයි.

එමෙන්ම සමලිංග ක්‍රියා අපරාධ නීතිය යටතට ගැනීමෙන් ඉවත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියා.

+


ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කරයි

(01.02.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

අද (01) මධ්‍යම රාත්‍රී 12:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 ක් දක්වා ඉහළ යනු ඇති.

නමුත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ.

මෙම මිල ගණන් සංශෝධනයට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් මිල වැඩි කර තිබෙනවා.

+


රජයේ ආයතනවල වියදම් කැපෙන හැටි

(01.02.2023 – 23:39 +0530 – hirunews.lk/sinhala)

2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන වියදම් 6% කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඊට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් වැඩි දුරටත් දක්වන්නේ, 2023 වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ අදායම රැස් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතා අවම කිරීමට අදාලවයි මෙලෙස පුනරාවර්තන වියදම් 6% කින් කපාහැරීමට රජය විසින් තීරණය කර තිබෙන්නේ.


රෙදි මදින්නට එපා කියූ මවකට පුතෙක් පහර දෙයි

(02.02.2023 – 07:44 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල ඉහළ යෑම නිසා තම නිවසින් රෙදි මදින්නට එපා යැයි කියූ මවකට පහරදුන් පුතෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අගලවත්ත – ඔමත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් පුත්‍රයා බස් රථ රියදුරෙකු වන අතර, ඔහුගේ නිවසේ විදුලිබිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඔහු රෙදි මැද ගැනීම සඳහා යාබදව පිහිටි තම මවගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී 66 හැවිරිදි මව පවසා ඇත්තේ විදුලිබිල ඉහළ යෑම නිසා තම නිවසෙන් රෙදි මැදීම සිදු නොකරන ලෙසටයි.

එහිදී මව සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පුත්‍රයා මවගෙන් කෙස් වැටියෙන් අල්ලා පහරදුන් බවට ඇය විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්.

ඒ අනුවයි සැකකාර 37 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


විභාග පරීක්ෂකවරයෙකුට එරෙහිව මාතලේ සිසුවියකගෙන් පොලිසියට පැමිණිල්ලක්

(02.02.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් විභාග පරීක්ෂකවරයෙකුට එරෙහිව මාතලේ මූලස්ථාන පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තමන්ට වැඩිපුර කොළ ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරු ලෙස රාජකාරියේ යෙදී සිටි ගුරුවරයෙකු ඊට දැක්වූ ප්‍රතිචාර නිසා තමන් කම්පනයට පත් වූ බවයි ඇය සිය පැමිණිල්ලේ සඳහන් කළේ.

පසුගිය ජනවාරි 27 වනදායි ඇය මෙම ගැටළුවට මුහුණ දී ඇත්තේ.

තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදී වැඩිපුර කොළ ඉල්ලීම නිසා විභාග පරික්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා ඊට දැක්වූ ප්‍රතිචාර (?) හේතුවෙන් විෂය කරුණු අමතක වී ගිය බවට මෙම සිසුවිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කළේ ෴


මොරවක අධිකරණයට රැගෙනයමින් සිටි රැඳවියන් දෙදෙනෙකු (2) පලායයි

(02.02.2023 – 10:00 +0530 – hirunews.lk/sinhala)

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ, බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී මෙම දෙදෙනා ඊයේ (01) මෙලෙස පළාගොස් ඇති බවයි.

රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ද මේවන විට ආරම්භ කර තිබෙනවා ෴


රුසියානු ජාතික කාන්තාවකගේ අත්බෑගයක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

(02.02.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මාතර – පොල්හේන ප්‍රදේශයේ දී රුසියානු ජාතික කාන්තාවකගේ අත්බෑගයක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ අත්බෑගය යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයා කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

30 හැවිරිදි සැකකරු කම්මල්වත්ත – පල්ලිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොල්ලකන ලද අත්බෑගය සහ එම සැකකරු පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


STF සෙබලුන් ගමන්ගත් බස් රථ 3 ක් ගැටීමෙන් 9 දෙනෙකු රෝහලේ

(02.02.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දින පෙරහුරුවට සහභාගී වීම සඳහා සෙබළුන් පැමිණෙමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අද (02) අලුයම සිදු වූ අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර – නල්ලුරුව ප්‍රදේශයේ දි සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා ෴


පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

(02.02.2023 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ගෝනගංආර, දෙමෝදරමුල්ල ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) රාත්‍රී පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම කර ඇත්තේ.

පොලිසිය පවසන්නේ එහිදී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ කිහිපයක් ද සොයා ගත් බවයි.

23 සහ 33 හැවිරිදි සැකකරුවන් අඹගස්දෝව, ඌවපරණගම, පොල්පිතිගම, අකුරැස්ස, රිදීගම හා අඹන්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද (02) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමට නියමිතයි ෴


ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

(02.02.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක් හෙරොයින් සමඟ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ඇය කටුනායක, කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජාතික රෝහලේ සේවය කරමින් සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය නිෂ්පාදනය කළ කාන්තා රූපලාවන්‍ය කුඩා ආලේපන බදුන් තුළ හෙරොයින් සූක්ෂම ලෙස සඟවා මෙම ජාවාරම් සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම ආලේපන බදුන් තුළ රුපියල් 250,000 ක් වටිනා හෙරොයින් හමු ව ඇති අතර සැකකාරිය ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒවා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකුට ලබාදීමට උත්සහ කළ අවස්ථාවේ දී යි ෴

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *