ගම්පොළ බැංකුවක ටෙලර් මැෂිම ඉස්සූ මහමොළකරු ඇතුළු දෙදෙනකු (2) පොලිස් දැලේ

ගම්පොළ බැංකුවක ටෙලර් මැෂිම ඉස්සූ මහමොළකරු ඇතුළු දෙදෙනකු (2) පොලිස් දැලේ


ගම්පොළ බැංකුවක ටෙලර් මැෂිම ඉස්සූ මහමොළකරු ඇතුළු දෙදෙනකු (2) පොලිස් දැලේ

(01.02.2023 – dinamina.lk)

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියා පුටුවක තබා ගැට ගසා රුපියල් ලක්ෂ 76 කට අධික මුදලක් සමඟ ‘මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය’ (සී.ඩී.එම්) කොල්ලකෑ කල්ලියේ දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත. ඒ අතර මෙම කොල්ලයේ මහමොළකරුද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

යුද හමුදාවේ විශේෂ බළකායේ වසර 22 ක් පමණ සේවය කර ඇති අයකු වන මෙම සැකකරුත් අනෙත් සැකකරුත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පසුගිය 25 වැනිදා අලුයම් කාලයේදී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි සිව් (4) දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කොල්ලය සිදු කර තිබුණේ මෙරට ඉතිහාසයේ පළමු වරට මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් පැහැර ගැනීමක් සනිටුහන් කරමිනි. මෙම කොල්ලයෙන් පැය 04 කට පමණ පසු වෑන් රථය පේරාදෙණිය ගලහා හන්දියේ දමාගොස් තිබියදී පොලිසියට හමුවී තිබිණි. එහි රියැදුරුද දෑත් බැඳ වෑන් රථය අසල දමා ගොස් තිබිණි. එම රියැදුරු අරණායක පදිංචිකරුවෙකි. ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික සෙබළකු වන ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ කුලී ගමනක් යන මුවාවෙන් වෑන් රථය පේරාදෙණියට ගෙන්වාගෙන තමාගේ දෑත් සහ දෑස් ගැටගසා වෑන් රථය පැහැරගෙන ගොස් නැවත වෑන් රථය සමඟ තමාව අතහැර ගිය බවය. රියැදුරුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඇතිවුණු පරස්පර සහ සැකයන් මත ඔහුව දින කිහිපයක්ම පොලිස් භාරයේ තබාගෙන විමර්ශන පවත්වන ලදි. ඒ අතරතුර අවස්ථා දෙකකදී (2) ඔහුට අයත් බැංකු ගිණුමකට වෑන් රථයේ කුලිය බව කියමින් ලක්ෂයක මුදලක් කොල්ලකරුවන් විසින් බැර කර තිබිණි. මෙම වෑන් රථය කුලී ගමන සඳහා පේරාදෙණියට ගෙන්වා ගත්තේ යැයි කියැවුණේද වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේය. එම ඇමතුම ලබාදුන් දුරකතන අංකය සහ බැංකුවට මුදල් තැන්පත් කළ බැංකු ශාඛාව ඔස්සේ කළ විද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.

ගම්පොළ බැංකුවෙන් කොල්ලකෑ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය කේ.ඩී.එච්. වෑන් රථයේ දමාගෙන ගියද එය අතරමඟදී වෙනත් වාහනයක පටවාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි. බොහෝ විට මෙම යන්ත්‍රය පන්නලට රැගෙන ගොස් එය කඩා මුදල් රැගෙන ඇති බව පොලිසිය විශ්වාස කරයි. අද හෙටම එම යන්ත්‍රය සමඟ සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

බැංකුවේ යන්ත්‍රය ගලවාගෙන රැගෙන යාමට කොල්ලකරුවන්ට හැකියාව ලැබී ඇත්තේ එම යන්ත්‍රය බිමට සවි වන්නට අල්ලා ඇති ඇණ හතරකින් (4) දෙකක් (2) පමණක් සවිකර තිබීමත් එම සවිකර ඇති ඇණද සවිමත් ලෙස තිබී නැති නිසා බවත් පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එසේ එම යන්ත්‍රය අනාරක්ෂිත ලෙස සවි කර ඇති බව මෙම කොල්ලකරුවන්ට යම් පුද්ගලයකුගෙන් තොරතුරු ලැබී ඇති බවට සැකයක්ද ඇති වී තිබේ. ඒ ගැනද පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. වෑන් රථ රියැදුරුව පෙරේදා (30) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

~ ගයාන් කුමාර වීරසිංහ


ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව ‘අපේ අම්මා’

(31.01.2023 – ada.lk)

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි.

මීට අමතරව ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව ආසියාව තුළ මෙන්ම ඕෂනියා කලාපය තුළද ඉහළම ආදායමක් උපයන නාළිකා අතර පවතින බව එම වෙබ් අඩවිය පවසයි.

2023 ජනවාරි මස 30 දා වන විට මෙම නාළිකාව ඇමෙරිකානු ඩොලර් 962,386 ක් උපයා ඇත. නාළිකාවට ග්‍රාහකයන් මිලියන 2.72 ක් ඇති අතර එයට මිලියන 495 ඉක්මවූ නැරඹුම්වාර සංඛ්‍යාවක් පවතී.

60 හැවිරිදි පුහුණු උපාධිධාරී ගුරුවරියක් විසින් පවත්වාගෙන යන මෙම නාළිකාවේ වැඩි කොටසක් ශ්‍රී ලාංකේය ආහාර වට්ටෝරු වෙත යොමු වී ඇත. ඇය තවත් නාලිකා තුනක් (3) ද පවත්වාගෙන යයි: Wonder of Asian Life and Cooking, Ape Amma Vidyalaya සහ Ape Amma Cooking Academy එම යූටියුබ් නාළිකා තුනයි (3).


සැරයන්වරයා අල්ලස් දැලේ පැටලේ

(31.01.2023 – ada.lk)

ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක (3½) අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31 දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගෙ නිවසට පැමිණ මුදල් ලබා ගැනීමට යාමේදී අදාළ සැරයන්වරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරුට එරෙහිව පවතින ස්ත්‍රී දුෂණ නඩුවකට අදාළ අනෙක් පාර්ශවය සමථයකට පත් කිරීමත් තවත් නඩු කිහිපයක් වෙනුවෙන් පැවති වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමටත් මෙම සැරෙන්වරයා පැමිණිලිකරුගෙන් මෙම රුපියල් ලක්ෂ තුනහමාරක (3½) මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ ෴


බස් රථවලට නැඟ මුදල් පසුම්බි දුරකතනවලට විද්ද පීසීට වැඩ වරදී

(01.02.2023 – dinamina.lk)

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි සහ ජංගම දුරකතන සොරා ගැනීම් ඇතුළු කොල්ලකෑම්වල නිරතව සිටි කොළඹ වරාය පොලිසියේ කොස්තාපල්වරයකු හමුදා සෙබළකුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය කොල්ලකා බස් රථයෙන් බැස පලා යෑමට සූදානම් වූ අවස්ථාවේදී හමුදා සෙබළා මගීන්ගේ සහායද ඇතිව ඔහු අල්ලා පෑලියගොඩ පොලිසියට භාර දී තිබේ.

කොළඹ සිට කඩවත දක්වා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් තුළ දී මෙම කොස්තාපල්වරයා බස් රථයේ ගමන් කරමින් සිටි හමුදා සෙබළාගේ මුදල් පසුම්බිය කොල්ලකා බස් රථයෙන් පලා යෑමට සූදානම් වී ඇත්තේ කැලණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේදීය. ඒ ඉකුත් 29 වැනිදාය.

කැලණිය පට්ටිය හන්දියේ දුටුගැමුණු මාවතේ පදිංචිකරුවකු වන ප්‍රියංකර මධුෂාන් ඩයස් නමැති මෙම සෙබළාගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය කොල්ලකා පලා යන්නට සූදානම් වූ අවස්ථාවේදී අල්ලාගත් මේ පුද්ගලයා පොලිස් නිලධාරියකු බව දැනගෙන ඇත්තේ පෑලියගොඩ පොලිස් ස්ථානයට ඔහුව භාර දුන් අවස්ථාවේදීය. මෙම පොලිස් නිලධාරියාව අල්ලාගත් අවස්ථාවේදී බස් රථයේ සිටි මගී කාන්තාවක තමාගේ ජංගම දුරකතනය කොල්ලකෑවේද මෙම පුද්ගලයා බව පවසා ඔහුට පහරවල් කිහිපයක්ද එල්ල කර තිබේ. මීතොටමුල්ල වැල්ලම්පිටියේ පදිංචිකාරියක වන මෙම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ පසුගිය 15 වැනිදා ඇගේ ජංගම දුරකතනය සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේදී බස් රථය තුළ දී මෙම පුද්ගලයා කොල්ලකා පලා ගිය බවය. මෙම කොල්ලකෑම් දෙකම සිදුව ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බැවින් සැකකාර පොලිස් කොස්තාපල්වරයාව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට භාර දීමට පෑලියගොඩ පොලිසිය පියවර ගෙන තිබේ. ටී.ජී.ආර්. ජගත් කුමාර නමැති මෙම කොස්තාපල්වරයාව පෙරේදා (30) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර ඇත.

මෙම සැකකරුගේ වැඩ තහනම් කිරීමට කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ (31) පියවර ගෙන තිබුණි.

~ ගයාන් කුමාර වීරසිංහ


මොරටුවේ ඇඳුම් ගබඩාවක ගින්නක් – ඉහළ මහලේ සිටි දරු තිදෙනා ප්‍රදේශවාසීහු බේරා ගනිති

(01.02.2023 – dinamina.lk)

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල ගබඩාවක ඊයේ (31) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි මොරටුව පොලිසිය පවසයි. මොරටුව, රාවතාවත්ත පූජ්‍ය දොඩංගොඩ අස්සජී නාහිමි මාවතේ, 6 වැනි පටුමඟේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක පස්වරු 02:50 ට පමණ මේ ගින්න හටගෙන තිබිණි.

එහි හිමිකරු ඉහළ මාලයේ පදිංචිව සිටින අතර, ගින්න හටගන්නා මොහොතේ ඔහුගේ දරු තිදෙනා එහි සිට ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන ඇතැයිද සඳහන් වේ. පස්වරු 03:20 ට පමණ ගින්න සැලවීමත් සමඟින් මොරටුව මහා නගර සභාවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී දුල්සිරි කුමාර මහතා සමඟ ගිනි භටයන් 16 ක්, රථ 4 ක් සමඟ ස්ථානයට ළඟා වී තිබිණි.

ගිනි භටයන් මොරටුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන තිබේ. ගින්නෙන් ගොඩනැඟිල්ලට විශාල වශයෙන් හානි සිදු වී තිබූ අතර, පහත මාලයේ තිබූ කොරෝනා ආරක්ෂිත ඇඳුම් විශාල වශයෙන් පිලිස්සී ඇත.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ ඝනද්‍රව්‍ය ඒකකයේ සේවකයන් 50 ක් පමණ ගින්න මැඬපැවැත්වීමට කැඳවා තිබිණි. ගින්නට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැතැයිද ගිනි නිවන නිලධාරියකු පැවසූ අතර, ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 250 කට අධික බව එහි හිමිකරු පැවසීය ෴


වකුගඩු ජාවාරමේ මහමොළකරු කවුද ?

(31.01.2023 – 19:27 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ලේ රෝහලක සිදුවූ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් පොලීසිය තවමත් ප්‍රකාශ ලබාගෙන නොමැති බව අධිකරණයේදී අද (31) අනාවරණය වී තිබේ.

විත්තියේ නීතීඥවරු මෙම චෝදනාව එල්ල කළේ සිද්ධියට අදාළ නඩුව අද (31) යළි කැඳවූ අවස්ථාවේදීය.

ජාවාරමේ තවත් තැරැව්කරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගත් අතර පළමු සැකකරු ලෙස රිමාන්ඩ් භාරයේ සිටි තැරැව්කරුවාව අධිකරණය විසින් අද ඇප මත මුදා හරිණු ලැබීය.

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ සිදුකළ අනාවරණය රටේ ආන්දෝලනයක් ඇති කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තැරැව්කරුවන් දෙදෙනෙකු (2) සහ ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර තවත් 53 හැවිරිදි තැරැව්කරුවෙකු (1) ද ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදීය.

එම සැකකරුවන් පිරිස අද (31) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලා සිටියේ ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසය.

ඊට අධිකරණය අවසර ලබාදුනි.

මේ අතර රිමාන්ඩ් භාරයේ සිටින ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) අසත්‍ය තොරතුරු සමාජගත කර තිබීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට අපහසු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී පැවසුවේ ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් සිටිය ද පොලීසිය ඔවුන්ගෙන් තවමත් ප්‍රකාශ ලබාගෙන නොමැති බවය.

තැරැව්කරුවන්, රෝහලට වකුගඩු ලබාදීම සඳහා පුද්ගලයන් හඳුන්වා දී ඇත්තේ රෝහලෙන් ලබාදෙන ඇණවුම් මත බවත් ඔවුන් එහිදී හෙළි කළේය.

එම වෛද්‍යවරුන් පිරිස මෙහි මහමොළකරුවන් වන පසුබිමක හාල්මැස්සන් පමණක් ඇල්ලුව ද තෝරුමෝරු තවදුරටත් එළියේ සිටින බව විත්තියේ නීතීඥවරුන් සඳහන් කළේය.

පොලිස් නිලධාරියෙක් ද වකුගඩු ලබාදුන් පුද්ගලයින්ට මුදල් ලබාදෙන අයුරු මාධ්‍යයේ පෙන්වූව ද තවමත් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බවත් නීතීඥවරුන් සඳහන් කර තිබුණි.

එමෙන්ම පොලීසිය අදාළ රෝහලේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් නීතීඥවරුන් අධිකරණයට පැවසීය.

ඊට ප්‍රතිචාර ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ එම කාන්තාවට විදෙස් ගමන් තහනම පැනවීමට පෙර ඉන්දියාවට ගොස් තිබූ අතර ඇය යළි පැමිණි පසු අත්අඩංගුවට ගත් බවය.

ඇය ඉන්දියාවට ගොස් ඇත්තේ ගර්භණීභාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බවත් ඇය පැමිණි පසු රුධිරය වහනයවීමක් සිදුවී ඇති නිසා මානුෂීය හේතු මත ඇයට පොලිස් ඇපයක් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.

ඇය තැරැව්කරුවන් හා රෝහල අතර සම්බන්ධීකරණය සිදුකළ ප්‍රධාන තැනැත්තියක් වීම නිසා ඉදිරියේදී ඇයව අත්අඩංගුවට ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

කරුණු විමසා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පළමු සැකකරු ඇප මත මුදාහැරීමටත් ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) ඇතුළු සෙසු සැකකරුවන් ලබන 14 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළාය.

+


මුදල් ඇමතිට ජනාධිපතිගෙන් නියෝගයක්.. මැතිවරණ කොමිසම එකතැන නවතී..

(01.02.2023 – 09:20 +0530 – lankacnews.com)

මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද නියෝගයක් හේතුවෙන් මැතිවරණ කොමිසම බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එහි නිලධාරියකු උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බවත් රාජ්‍ය ආයතන සඳහන් ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වැලකිය යුතු බවටත් ය.

එම නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම නියෝගය මැතිවරණ කොමිසමේ අත් පා බැඳ ගැනීමක් යයිද අදාළ නිලධාරියා පුවත්පතට සඳහන් කර තිබේ.

මැතිවරණ කාලයේ දී කොමිසම දරන වියදම් බොහොමයක් සිදු කරන්නේ ඉදිරියේ දී ගෙවීමට ණය පදනම මත බවද ඔහු සඳහන් කර තිබේ.

ආහාර, ප්‍රවාහන හා මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ කරගන්නා රජයේ සේවකයන්ගේ දීමනා ද ඉදිරියේ දී ගෙවීමේ පදනම මත සිදු කරන ඒවා බවද ඔහු පෙන්වා දී ඇත ෴

අස්වුනා කියු චාල්ස් මහත්මිය මැතිවරණ ගැසට්ටුව ගෙදරට ගෙන්වාගෙන අත්සන් තබයි..

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැවසූ ජී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (31) දිනයේ මුද්‍රණයට යවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා තිබේ.

තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළේය.

ඇය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය ඉල්ලා අස් වූ බවත් එදින සිට මැතිවරණ කොමිසමට පැමිණ කටයුතුවලට සහභාගී නොවූ බවත් වාර්තා විය.

කෙසේ නමුත් ඊයේ (31) දිනයේ මුද්‍රණය වූ ගැසට් නිවේදනයට අත්සන් කරන ලද හෙයින් තවදුරටත් ඇය කොමිසමේ සාමාජිකත්වය දරන බව පිලිගැනේ.

අදාළ නිවේදනයට අත්සන් තබා ඇත්තේ කොමිසමේ නිලධාරීන් මගින් එම නිවේදනය තම පෞද්ගලික නිවසට ගෙන්වා ගෙන බවද වාර්තා වෙයි ෴


මම රූපවාහිනියේ කිසිම තනතුරකට ආයේ යන්නේ නැහැ.’සිහිනයකි රෑ’ නතර කළේ මටවත් කියන්නේ නැතුව. මම ලිංගික අල්ලස් ඉල්ලපු එක කාන්තාවක් ඉන්නවනම් පෙන්වන්න. පොහොට්ටුවට වැඩ කළ මෙලෝ දැණුමක් නැති අයට තනතුරු දෙනවා. රූපවාහිනිය දේශපාලන හිතවතුන්ට තෑගිදෙන තැනක් වෙලා. මෙහෙම පලිගන්නවට වඩා හොඳයි තරහක් තියෙනව නම් මාව වෙඩිතියල මරල දාන්න – මහේෂ් නිස්සංක (31.01.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *