පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා

පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා


පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා

(14.01.2023 – divaina.lk)

• සැබෑ ඝාතකයන් සොයා ගන්නා තුරු ව්‍යායාමය දිගටම – කාදිනල්තුමා
• බී වාර්තාව සැඟවීමේ උත්සාහයකුත් තිබුණා – කාදිනල්තුමා
• මෛත්‍රීලාට අපරාධ නඩු දමයි කියා විශ්වාස කරනවා – ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා

පාස්කු දින ප්‍රහාර නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් බව අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (13 දා) ප්‍රකාශ කළහ.

පාස්කු නඩුවේ ‘බී’ වාර්තාව යට ගැසීමට දැරූ අසාර්ථක උත්සාහයක් පිළිබඳව ද තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඉහළ තනතුරක් දරන නිලධාරියකු ඊට සම්බන්ධවී ඇති බවට තමාට දැනගන්නට ලැබුණ බවත් කාදිනල්තුමා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් (7) සාමාජිකයන් යුක්තිය හා සාධාරණත්වය තම තීන්දුව මගින් ලබාදුන් බවද කාදිනල්තුමා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙරේදා ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය වෙත කරුණු දක්වමින් කාදිනල්තුමා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට හෝ කිසිදු ඉහළ නිලධාරියකුට නීතියෙන් පැන යෑමට නොහැකි බැව් වත්මන් පාලකයන් මෙන්ම අනාගත පාලකයන් හා සියලු රාජ්‍ය නිලධාරීන් දැනගත යුතු බැව්ද කාදිනල්තුමා සඳහන් කළේය.

මෙම පාස්කු ප්‍රහාරයේදී මියගිය හා තුවාල වූ ආබාධිත වූ මිනිසුන්ගේ බදු මුදලින් ජීවත් වන සියලු දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් යුක්තිය යට ගැසීම නොව මිනිසුන්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ට සාධාරණය හා යුක්තිය ලබාදිය යුතුව ඇතැයිද කාදිනල්තුමා සඳහන් කළේය.

කාදිනල්තුමා මෙසේ ද පැවසීය :

“හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මෙම පාස්කු ඝාතනයන් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා කීවා. එහි සත්‍ය සොයායන ගමනේ මෙම තීන්දුව ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් වෙනවා. සැබෑ ඝාතකයන් කවුද? යන්න සොයා ගන්නා තුරු අපගේ ව්‍යායාමය ඉදිරියට ගෙන යනවා. මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සමහර වැදගත් කරුණු යට ගැසුවා. හිටපු ජනාධිපතිවරයා බොරු පොරොන්දු දුන්නා – ස්කොට්ලන්ඩ්යාඩ් ගෙන්වා වැඩිදුර පරීක්‍ෂණ කරනවා කීවා. නමුත් මේ කිසිවක් සිදුවුණේ නැහැ. ‘නීතිය’ බලවතාට එක විධියකටත්, දුබලයාට එක විධියකටත් ක්‍රියාත්මක කරන්න නොහැකියි.

නීතියේ ආධිපත්‍ය හා නිදහස දේශපාලන නායකයන්ගේ තීන්දු වෙනස් කරනවා. මෙම ප්‍රහාරයට වගකිවයුතු නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරුකර, වෙනත් නිලතල ලබාදී සත්‍ය යටගහන්න උත්සාහ කළා. මෙම දුෂ්ඨ ක්‍රමවේදයේ දූෂිතයන් බවට පත්වෙමින් පොලිසිය එසේ ක්‍රියා නොකරන ලෙසටත්, දේශපාලකයන්ගේ පදයට නටන්නේ නැතිව ජීවිතය වෙනස් කර ගනිමින් ඔබත් වෙනස් වන ලෙසටත් මතක් කරනවා.

1970 වකවානුවේ සිට පැවැති රජයන් නීතිය හා අධිකරණය බාල්දු කරන්න ක්‍රියා කළා. අධිකරණයේ තීන්දු වෙනස් කරන්න රජයන්හි බලවතුන් ක්‍රියා කළා. අධිකරණයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ගේ නඩු ගාස්තු රජය මගින් ගෙව්වා. මෙම වසරේ අප නිදහසේ 75 වැනි සංවත්සරය සමරමින් ජාතික ධජය ඔසවමින් ලොවට පෙනෙන්න පම්පෝරි ගැසීමෙන් වැඩක් නෑ.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ බෝම්බයක් ඇටවූවා කියා නිසි පරීක්‍ෂණයක් නොකර අහිංසක මිනිසුන් කීප දෙනකු කූඩු කළා. කිසි දෙයක් ඔප්පු කරන්න බැරිවුණා. ඔවුන්ව නිදහස් කළා. පොලිසියේ වගකීම මේකද? පොලිස්පතිවරයා හා පොලිසිය දේශපාලකයන්ට ඕනෑ විදියට වැඩ කිරීම වැරදියි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත්වූ පසු ඇමැතිවරුන් සය (6) දෙනකුගෙන් යුත් කමිටුවක් සාදා ඔවුන්ට වාසිවන නිර්දේශ ඇතුළත් කරන්න උත්සාහ කළා. සමහර නිර්දේශ වෙනස් කරන්න උත්සාහ කළා. මනුෂ්‍යයන්ගේ යුක්තිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විශේෂ සේවයක් ඉටු කළා. තනතුරු නිසා නීතියෙන් එහාට යන්න නොහැකියි. ජනාධිපතිවරයකුට මුක්තිය අවශ්‍යය ඇයි? ජනතාවට බයද? යන ප්‍රශ්නය ඇති වෙනවා. අහිංසක මිනිසුන්ගේ කඳුළු තම කඳුළු බවට පත් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට මෙන්ම නීතිඥයන්ටද තම ස්තුතිය පුද කරනවා යැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පදනම් කර ගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩු ගොනු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බැව් අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා සඳහන් කළේය.

කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක හා ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා හා නීතිඥ දූතික පෙරේරා මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

+++++++++

+


ඇතිමලේ OIC, SSP සිසිලගේ ගෙදරට ගංජා ගෙන ගිය ආකාරය හෙළිවෙයි

(13.01.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ගංජා සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ ඇතුළු 05 දෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (13) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම සිද්ධියට අදාළව ඊයේ (12) අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති ‘සංජය ධර්මදාස’ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (12) පස්වරුවේයි.

මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ගේ නිල නිවසේ තිබී සොයාගත් ගංජා පැළ අදාළ ස්ථානාධිපතිවරයා (සංජය ධර්මදාස) විසින් සිය නිල රථයෙන් රැගෙන ගොස් භාරදී ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය දිනෙක යාල ජාතික වනෝද්‍යාන රක්ෂිතයට අයත් පිඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අක්කර එකහාමාරක (1½) පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ ගංජා පැළ 25,000 ක් පමණ මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ යටතේ තිබූ විමර්ශන ඒකකයක නිලධාරින් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබුණා.

එම විමර්ශන නිලධාරින් අදාළ වැටලීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඇති අතර පසුව ඔහු විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා තවත් පොලිස් කණ්ඩායමක් සමඟ වැටලීම සිදුකළ ස්ථානයට ගොස් තිබුණා.

ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඒකකයේ නිලධාරින් විසින් අදාළ ගංජා පැළ ගළවා ඉවත් කර ගොඩගසා තිබී ඇති අතර ට්‍රැක්ටරයක රැගෙන ආ හැකි ප්‍රමාණය පමණක් ඇතිමලේ පොලිසිය වෙත රැගෙන ඒමටයි පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලිස් වාර්තාවල නඩු භාණ්ඩ ලෙස දක්වා ඇත්තේ අදාළ ගංජා තොගයෙන් ගස් 253 ක් පමණක් වන අතර ඉතිරි ගංජා පැළ පසුගියදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසෙන් සොයා ගත් ඒවා බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’, නිවසේ සිවිලිමේ සඟවා තිබූ අදාළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 08 වනදා රාත්‍රියේයි.

එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු, තවත් පොලිස් සැරයන්වරයෙකු, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සිසිල කුමාර’ ගේ වැඩ තහනම් කිරීමට ද පොලිස්පතිවරයා කටයුතු කළා.

ඒ අනුව මොණරාගල කොට්ඨාසය භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස නුවරඑළිය කොට්ඨාසය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.යූ. උඩුගමසූරිය පත්කර තිබෙනවා.

+


ඖෂධ හිඟයෙන් රෝගීන් දැඩි පීඩාවක

(13.01.2023 – 23:49 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් සායනික රෝගීන් මරණයට පත්වීම ද දිනෙන් දින ඉහළ යන බවයි.

පිළිකා ඖෂධ වර්ග බොහෝ ප්‍රමාණ්‍යක් මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් රෝහල්වල නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ඖෂධ ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් ඖෂධ නොමැතිකමින් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයටයි.

හිස් අතින් නිවෙස් බලා යන ඔවුන් තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අදහස් පළ කළා.

රෝහලවල පවතින ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සේවක පිරිස රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක ද නිරත වුණා.

+


ටැප් එක කැඩුවා කියා විදුහල්පතිනියක් සිසුවියන්ට හොඳට ම ගුටි දීලා

(14.01.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

උරගස්මංහන්දිය ප්‍රදේශයේ විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට (3) එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් පුවතක් වාර්තා වනවා.

අදාල පහර දීමෙන් අනතුරුව එම සිසුවියන් තිදෙනා (3) ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි උරගස්මංහන්දිය පොලීසිය පවසන්නේ.

මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙක් (3).

මෙම සිසුවියන් තිදෙනා (3)ට පහර දීමට හේතුව, පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට වූ චෝදනාවක් බව වාර්තා වන අතර පහර දීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමවුපියන් උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා ෴


මාගේ මරණින් පසු දෙවියන් විසින් මම තව්තිසාවට ගෙන යනු ලබමි – බෝසත් ජානක මානසික රෝගී තුමා කියයි

(14.01.2023 – 03:25 +0530 – lankacnews.com)

= මා මරණින් පසු දෙවියන් විසින් තව්තිසාවට ගෙන යනවා.. – බෝසත් ජානක කියයි =

‘පොතුහැර ජානක බෝධිසත්ත්ව’ යනු ජනතාව මුලා කරන පුද්ගලයකු බවත් තමන් වැඩසිටින උත්පලවන්නා මෙහෙණි ආරාමය ඔහු විසින් නිර්මාණය කළ බවට ‘ජානක බෝධිසත්ව’ අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවත් පොතුහැර උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සඳහන් කරති.

ඔහු මුලින්ම උප්පලවන්නා ආරාමයට පැමිණ ආධාර උපකාර ලබා ගත් බව පවසන මෙහෙනින් වහන්සේ සඳහන් කරන්නේ මරණයෙන් පසු ‘ජානක බෝධිසත්ව’ තමාව දෙවියන් තව්තිසා දිව්‍ය ලෝකෙට රැගෙන යන බවට අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටින බවයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මෙම අදහස් පල කර ඇත.

+


විභාග සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි ඉල්ලීමක්

(14.01.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් බැවින් මෙම කාලසීමාව, තමන් අධ්‍යයන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකරන කාලයක් බවයි.

2022 වසරට අදාළ උසස් පෙළ විභාගය මේ මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමටයි සැළසුම්කර ඇත්තේ.

විභාග මධ්‍යස්ථාන 2200 කදී දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විභාගයට ඉතා ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් රාත්‍රි කාලයේ හෝ යම් සහනයක් ලබාදෙන ලෙස විභාග අපේක්ෂිත සිසු දරු දැරියන් සහ දෙමාපියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ෴


කොල්ලුපිටියේ ගණිකා නිවසක් වටලා විදෙස් කතුන් 5 ක් අත්අඩංගුවට

(14.01.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය මුහුදු මාවතේ පවත්වාගෙන ගණිකා නිවාසයක් වටලා එහි සිටි විදෙස් ජාතික කාන්තාවන් පස් (5) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් සමත් වී තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් මතයි ඊයේ (13) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර වයස අවුරුදු 30, 35 සහ 38 යන වයස්වල පසුවන විදෙස් ජාතික කාන්තාවන් සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සැකකාරියන් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අහුන්ගල්ලේ පාළු ඉඩමක ක්ලේමෝ බෝම්බයක්

(14.01.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – මරදාන වත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අහුන්ගල්ල පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමක දී එම ඉඩමේ කෙසෙල් පදුරක් යට සඟවා තිබිය දී මෙම ක්ලේමෝ බෝම්බය සොයා ගත් බවයි.

පසුව පොලිස් විෂේශ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ එය රැගෙන ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය වෙත ලබා දී තිබෙනවා ෴


මැදපෙරදිග ගෘහ සේවිකාවන්ට නව රක්ෂණාවරණයක්

(14.01.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය තීරණය කර තිබෙනවා.

එම කාර්යාංශය සඳහන් කළේ හෙට (15) සිට මෙම නව රක්ෂණාවරණය හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

විගමණික ශ්‍රමික කාන්තාවන් බඳවාගනු ලබන සේවායෝජකයන් විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යයෙන් ලබාදිය යුතු වන අතර, විදේශ රැකියා සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට ද හැකියාව පවතිනවා.

එමෙන්ම වසර දෙකක (2) සේවා කාලයක් සඳහා විදෙස් ගතවන කාන්තාවන් වෙනුවෙන් මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට 140 ක මුදලක් සේවා යෝජකයා විසින් ගෙවිය යුතු වනවා.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුර දී ශ්‍රමිකයා මියගියහොත් හෝ සදාකාලික ආබාධයකට ලක්වුවහොත් ඇමරිකන් ඩොලර් 15,000 ක මුදලක් වන්දි වශයෙන් හිමිවනවා. එමෙන්ම අර්ධ ආබාධිත තත්වයේ පසුවන්නන්ට ඇමරිකන් ඩොලර් 10 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ලබාදීමට නියමිතයි.

මේ අතර පසුගිය වසරේ රැකියා සඳහා විදෙස්ගතවූ ශ්‍රමිකයින්ගෙන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියාවල ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

2022 වසරේදී ශ්‍රමිකයින් 3,11,232 දෙනෙකු විදේශ රැකියා සදහා යොමුව තිබුණා. ඉන් සියයට 24 ක් ගෘහාශ්‍රිත රැකියා ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


සාරි ඉස්සූ ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු හතරකට (4) වැඩ වරදී

(14.01.2023 – 10:59 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ පිහිටි රෙදි පිළි අලෙවි සැලකින් වටිනා සාරි සොරාගත් බව කියන කාන්තාවන් තිදෙනකු (3) සහ ඊට සහාය ලබා දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු 12 දා අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය පවසනවා.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකාරියන් තිදෙනා (3) සහ ත්‍රිවිල් රථ රියැදුරු ගම්පහ, මීගමුව, කඩවත, කලුතර, පානදුර සහ අවිස්සාවෙල්ල යන නගරවල පිහිටි රෙදිපිළි අලෙවි සැල්වලින් ද සාරි සොරාගෙන ගොස් ඇති බවටයි පොලිසිය අනාවරණය කරන්නේ.

කාන්තාවන් තිදෙනා (3) අතර මව සහ දියණියකුත් ඔවුන්ගේ ඥාති වන කාන්තාවකුත් වන බවත් මොවුන් සහ ත්‍රිරෝද රථ රියැදුරු සංවිධානාත්මකව මෙම සාරි සොරකම සිදු කර ඇති බවත් වාර්තා වනවා.

මෙම කාන්තාවන් තිදෙනා (3) රෙදි පිළි වෙළෙඳ සල්වල වෙත ගොස් දෙදෙනකු 2 සාරි තෝරා බලමින් සිටින අතරතුර අනෙක් කාන්තාව තම ඇදුම් තුළ සාරි සඟවා ගැනීම සිදු කරමින් වටිනාකමින් අධික සාරි සොරකම් කිරීම සිදු කොට තිබෙන අතර මොවුන් වෙළෙඳසල්වලින් මෙලෙස සොරාගත් වටිනා සාරි 38 ක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

ගම්පහ නගරයේ රෙදිපිළි වෙළෙඳසැලක සාරි අඩුවීමක් සිදුව ඇති බව පෙනීයෑම මත එහි හිමිකරු විසින් ගම්පහ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වෙළෙඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී සැක සහිතව කාන්තාවන් තිදෙනෙකු (3) හැසිරීම සහ ත්‍රිරෝද රථයක් වෙත කිහිපවරක් ගමන් කරන ආකාරය අනාවරණය කරගෙන ඒ අනුව කරන ලද පරීක්ෂණවලින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ ෴


මිනිස් ජාවාරමේ යෙදුණු යාත්‍රා 42 ක් පසුගිය වසරේ නාවික හමුදා භාරයට

(14.01.2023 – 12:14 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ජාවාරමේ යෙදුනු යාත්‍රා 42 ක් සහ පුද්ගලයින් 1,532 ක් පසුගිය වසර තුළ නාවික හමුදාව විසින් තම භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යාත්‍රා සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මේ අතර ගජමුතු 46 ක්, රත්‍රං කිලෝ 2 යි ග්‍රෑම් 384 ක් සමඟ පුද්ගලයින් 39 දෙනෙකු පසුගිය වසර තුළ නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

එමෙන්ම මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 36 ක් සහ ඉන්දීය ජාතිකයින් 264 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴


සංචාරකයින්ගේ කොරෝනා පරීක්ෂාවට උදයංගගේ විරෝධය

(14.01.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයන් සඳහා පැය 72 කට පෙර නිකුත් කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාව රුසියානු සංචාරකයින්ට අනිවාර්ය නොකරන ලෙසට රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ඉල්ලීමක් කරනවා.

ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ යුක්රේන – රුසියානු යුද්ධය හේතුවෙන් රුසියානුවන්ට ලොව බොහෝ රටවල සංචාරය සීමා කර ඇති වකවානුවක එරෝ ෆ්ලොට් සමාගම ඉකුත් ඔක්තෝම්බර් මස මෙරටට පැමිණි බවයි.

එවැනි වාතාවරණයක් තුළ ඊයේ (13) නිකුත් කළ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන බවයි ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

තුර්කිය, ඊජිප්තුව, මාලදිවයින, තායිලන්තය වැනි රටවල් බහුතරයක් සංචාරකයින්ට කොරෝනා පරීක්ෂණ සිදුනොකරන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් කොවිඩ් එන්නත් කාඩ්පත ළඟ තබාගත යුතු බවට සහ එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (13) නව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sisila Kumara, see his teeth and synical smile. Someone should kick it in in my opinion. These are the crooked policemen that are supposed to protect the law abiding citizens. Instead they are busy engaging in criminal activities, and helping the fake president to suppress peaceful demos and imprisoning poor citizens under PTA. Hope that all these crooks get a thunderbolt from the sky.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *