නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023)

නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023)


නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023)

(02.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ‘කිව්.ආර්. කේතය’ සහිත නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සංවර්ධන අංශයේ කොමසාරිස් කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදිත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, දැනට පවතින සියලුම වර්ගයේ රියදුරු බලපත්‍ර වෙනුවට ‘කිව්.ආර්. කේතය’ සහිත නව රියදුරු බලපත්‍රයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

+


තුන්වන (3) වාරයේ දෙවන (2) අදියරයේ පාසල් අද (02) ඇරඹේ

(02.01.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ තුන්වන (3) වාරයේ දෙවන (2) අදියර යටතේ පාසල් අද (02) ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ යටතේ මේ මස 20 වනදා දක්වා පාසල් පැවැත්වෙන බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරී 21 වනදා යලි පාසැල්වලට නිවාඩු ලබා දෙන අතර 3 වන වාරයේ අවසන් අදියර යටතේ යලි පාසැල් ඇරඹෙන්නේ පෙබරවාරි මස 20 වනදායි.

තුන්වන (3) පාසැල් වාරයේ අවසන් අදියර මාර්තු මස 24 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

+


අද (02) උදෑසන දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි

(02.01.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සේවකයින් පිරිසක් විශ්‍රාම යෑමත් සමඟ මතුව ඇති සේවක පුරප්පාඩු හේතුවෙන් අද (02) පෙරවරුවේත් දුම්රිය ගමන් වාර 11 ක් අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

කැළණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ අද (02) පස්වරුවේත් දුම්රිය ගමන් වාර 11 ක් පමණ අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි.

සේවක පුරප්පාඩු හේතුවෙන් ඊයේ (01) දිනයේත් ගමන් වාර 30 ක් අවලංගු කිරීමට සිදුවුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන්ගේ සිට ඉහළ ශ්‍රේණිවල සේවකයන් දක්වා 500 කට අධික පිරිසක් පසුගිය දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යනු ලැබුවා.

මෙම විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, නව අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

ජනාධිපති කාර්යාලය, දුම්රිය දෙපාර්තමේන්තුවට මීට පෙර දැනුම් දී තිබුණේ තවදුරටත් සේවය අවශ්‍ය නම් වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසටයි.

මේ අතර රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තුවල විශ්‍රාම යන තනතුරු සඳහා දෙවන (2) පෙළක් නිර්මාණය කිරීමේ වගකීම පවතින්නේ එම දෙපාර්තමේන්තු හා ආයතන වෙත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (02) එම අමාත්‍යාංශයේ නව වසරේ රාජකාරි අරඹමින්.

++++++++

අද (02) සවස 05 න් පසු දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 02 ක්, කැලණිවැලි මාර්ගයේ 03 ක් හා පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 04 ක් ද අද (02) දින අවලංගු වි තිබෙනවා.

එසේ ම මුහුදුබඩ මාර්ගයේ ද දුම්රිය ගමන් වාර 03 ක් අවලංගු වී ඇති බව යි වාර්තා වන්නේ.

මීට අමතර ව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 02 ක් ඉන්දන ප්‍රවාහන දුම්රිය ගමන් වාර 04 ක් ද ඇතුළු සමස්ත දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු කෙරී ඇති බව සඳහන්.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු සඳහා හෙට (03) දින ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල මඟ නැඟුම කාර්යාලයයේ දී පත්වීම් ලබා දීමට නියමිත ව ඇති බව ද වාර්තා වනවා ෴


මෝටර් රථ ලියාපදිංචි ආකෘතිපත්‍රය සංශෝධනය කෙරේ

(02.01.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, මෝටර් රථ ලියාපදිංචියේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල හා භාර දිය යුතු MTA 6 සහ 8 ආකෘතිපත්‍ර ඇතුළත් පිටු 24 කින් යුත් වාහන පැවරුම් ලියාපදිංචි ආකෘති පත්‍රය සංශෝධනය කර තිබෙනවා.

ඒ, සේවාලාභීන්ගේ පහසුව සඳහා යි.

ඒ අනුව, පිටු 24 කින් යුත් ආකෘති පත්‍රය පිටු 10 කින් යුත් ආකෘති පත්‍රයක් ලෙස සංශෝධනය වී ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ආකෘති පත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අබවිය වන https://www.dmt.gov.lk/ ඔස්සේ භාගත කර ගත හැකි බවයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙන්නේ ෴


මග නැගුම සභාපති සහ විධායක අධ්‍යක්ෂ සේවකයින්ගේ ග්‍රහණය

(02.01.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

මග නැගුම මාර්ග ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ සමාගමේ සේවකයින් එහි සභාපතිවරයාව සහ විධායක අධ්‍යක්ෂවරයාව අද (02) පෙරවරුවේ සිය ග්‍රහණයට ගනු ලැබුවා.

ඒ, ඔවුන්ගේ අත්තනෝතමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.

පෑලියගොඩ පිහිටි මග නැගුම ප්‍රධාන කාර්යාලය අද (02) උදෑසන නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේදී මෙම තත්ත්වය හටගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

සේවකයින් එහි සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලයෙන් පිටතට යාමට ඉඩ නොදී ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා.

නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේදී පොල්තෙල් පහණ දැල්වීම සඳහා සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා පැමිණි අවස්ථාවේදී සේවකයින් කැවුම් සහ කිරිබත්වලින් ඔවුන්ට පහරදීමට ද උත්සාහ කර ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමඟ එය ව්‍යර්ථ තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට මග නැගුම මාර්ග ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාව සහ එහි විධායක අධ්‍යක්ෂවරයාව පොලිසිය මැදිහත්වී කාර්යාලයෙන් පිටතට රැගෙන ගිය බවයි එම ස්ථානයේ සිටින හිරු වර්තාකරු කියා සිටියේ ෴

+++++++

+


නාගරික මන්ත්‍රීවරියකගේ දියණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගනී – ඥාතීන් වෛද්‍යවරයෙකුට පහරදෙයි

(02.01.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ගෙළ වැළලාගත් බදුල්ල නාගරික මන්ත්‍රීවරියකගේ දියණියක් රෝහල්ගත කිරීමෙන් පසුව ඥාතීන් විසින් වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියකට තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ බදුල්ල – කණුපැලැල්ල පාරේ පිහිටි මන්ත්‍රීවරියගේ නිවස තුළදී ඇයගේ 17 හැවිරිදි දියණිය ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබුණා.

පසුව එම දැරිය ඥාතීන් විසින් බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර, පැයක පමණ කාලයක් දැරිය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය උත්සහ දරා තිබෙනවා.

දැරිය මිය ගිය ගිය බව වෛද්‍යවරු පැවසීමත් සමඟ එම ස්ථානයේ සිටි නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයෙකු ඇතුලු ඥාතීන් බව කියන කිහිපදෙනෙකු වෛද්‍යවරයෙකුට පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්වුණේ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථානභාර වෛද්‍ය නිළධාරී පාලිත රාජපක්ෂයි.

පහරදුන් පිරිස අතර සිටි ඇතැම් පුද්ගලයින් බීමත්ව සිට ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ රෝහලට දැරිය රැගෙන ආ 1990 ගිලන් රථයේ රියදුරා වෛද්‍යවරයාට සිදු කළ ප්‍රකාශයක්, පහරදීමට හේතුව වී ඇති බවයි.

ගිලන් රථ රියදුරා පවසා ඇති ආකාරයට ගෙළ වැළලාගත් දැරිය නිවසින් පිටතට රැගෙන ඒමට (ලණුව කැපීමට ?) මිනිත්තු 20 ක පමණ කාලයක් ගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ ඥාතීන්ගෙන් විමසා ඇති අතර, එහිදී පහරදීම සිදුවී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ ෴

02-01-2023

+++++++++

+


පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් පැහැරගෙන දඩයමේ ගිය පුද්ගලයෙකු වනජීවී භාරයට

(02.01.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

තන්තිරිමලේ පොලිසියේ නිලධාරියෙකුට අයත් T56 වර්ගයේ ගිනි අවියක් පැහැරගෙන ගොස් විල්පත්තු වනෝද්‍යානයේ සතුන් දඩයමේ නිරතවූ සැකකරුවෙකු වනජීවී භාරයට ගෙන තිබෙනවා.

අදාළ ගිනි අවියෙන් විල්පත්තු වනෝද්‍යානයේ සැරිසැරූ මුවෙකු වෙඩි තබා ඝාතනය කර පැමිණෙමින් සිටියදී සැකකරු ඊයේ (01) වනජීවී භාරයට ගෙන ඇති අතර, එම අවස්ථාවේ ඔහු සමඟ සිට පලාගිය තවත් අයෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


වගා ළිඳකට වැටී තුන් (3) හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

(02.01.2023 – 16:58 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ – හුනුගල්දෝව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු තුනහාමාරක් (3½) පමණ වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නිවසෙහි සෙල්ලම්කරමින් සිටි අවස්ථාවේ දී එය ආසන්නයේ තිබූ වගා ළිඳකටයි දැරිය වැටී ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ මව පමණක් සිට ඇති අතර පියා විදෙස්ගතව සේවය කරන බවයි පොලිසිය පවසන්නේ ෴


පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) විසින් වසර දෙකක් (2) තිස්සේ තරුණියක්ව ලිංගික අපයෝජනයට ලක් කරයි

(02.01.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

යාපනය පේදුරුතුඩුව පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) වසර දෙකක් (2) තිස්සේ තරුණියක්ව ලිංගික අපයෝජනයට ලක් කර ඇති පුවතක් වාර්තා වෙනවා.

එම තරුණිය මුල් වරට යාපනයේ දී පොලිස් කොස්තාපල්වරු දෙදෙනා (2) විසින් බලහත්කාරයෙන් අපයෝජනය කළ අවස්ථාවේ දී දර්ශන පෙළක් වීඩියෝ කොට ඇති අතර ඇයට එම වීඩියෝව පෙන්වා බියගන්වා වසර දෙකක් (2) තිස්සේ ඇයව අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට එම වීඩියෝ දර්ශන ද යාපනය පොලීසිය වෙත ලැබී ඇති අතර තරුණිය මෙම සිද්ධියට මුහුණපාන ලද අවස්ථාවේ දී වයස අවුරුදු 16 ක් වූ පාසල් සිසුවියක්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

නමුත් මේ වන විට ඇයට වයස අවුරුදු 18 ක්.

පසුගිය දිනක මෙම තරුණිය ක්ලාන්ත වී ඇද වැටී ඇති අතර ඇයව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇය දැඩි මානසික පීඩාවකින් සිටින බවට වෛද්‍යවරුන්ට දැන ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ පිළිබදව වැඩි විස්තර විමසූ අවස්ථාවේ දීයි ඇය සිද්ධිය පවසා ඇත්තේ.

යාපනය හා පේදුරුතුඩුව පොලීසි විසින් සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වනවා ෴


විදුලි ඇමති කංචන – ගුටි කෑමට නියමිතයි (02.01.2023)

+


විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

(02.01.2023 – 16:54 +0530 – sinhala.adaderana.lk)

නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය මේ බව සඳහන් කර ඇත.

මේ අතර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යාංශය වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව පසුගිය 24 වැනිදා පළමු කණ්ඩායම වශයෙන් 8 දෙනෙක් මෙරටට පැමිණි අතර තවත් කාන්තාවන් 6 දෙනෙකු අද (02) දිවයිනට පැමිණෙන බවය.

තානාපති කාර්යාලය මගින් කාර්යාංශයේ නීත්‍යානුකූලව ලියාපදිංචිය නොගත් සංචාරක වීසා මගින් ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි 18 දෙනෙකු අතරමංව සිට ඇති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඔවුන් සේවය කළ සේවා ස්ථානයෙන් පැනයාම හේතුවෙන් එරට කම්කරු අමාත්‍යාංශය මගින් අසාධුලේඛනයට ද ඔවුන්ගේ නම් ඇතුලත් කර තිබේ.

එම නිසා අදාළ හාම්පුතුන්ගේ අවසරය මත ඔවුන් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර නීතිවිරෝධී ලෙස එරට රැඳී සිටින පිරිසක් වශයෙන් ඔවුන් මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් සැපයීම ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් සැලසිය යුතු බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *