ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්


ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

(29.12.2022 – dinamina.lk)

• සැකකරු හිටපු හමුදා සෙබළෙක්
• විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා
• ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට

මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සපයා ඇති අන්තර්ජාල ගෙවීම් දොරටුව ‘හැක්’ කර රුපියල් කෝටි 10 කට අධික මුදල් වංචාවක නිරත වූ යුද හමුදාවේ හිටපු සෙබළකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (27) සවස කොළඹට නුදුරු ප්‍රදේශයකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අධිකරණයට ඉදිරිපත් මෙම සැකකරු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසුරිය මහත්මිය ඊයේ (28) නියෝග කළාය.

සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මංජු ශ්‍රී මහතා සඳහන් කරනු ලැබුවේ සැකකරු යුද හමුදාවෙ සිටි අයකු බවත් මෙවැනි දෙයක් සිදු කිරීමට ඔහුට දැනුමක් නොමැති බවය.

මෙම සිද්ධිය පිටුපස සිටින සැකකරුවන් අත්අඩංගුවට නොගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකරුණේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සැකකරු ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් කඩා වැදී සිදුකළ මෙම ක්‍රියාව නිසා විදුලිබල මණ්ඩලයට කිසිඳු මූල්‍යමය පාඩුවක් සිදුව නොමැති බවත් අවිශ්වාසනීය බාහිර පුද්ගලයන් හරහා විදුලිබිල් ගෙවූ විදුලි පාරිභෝගිකයන්ට මූල්‍යමය පාඩුවක් සහ ඔවුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කියා සිටියේය. විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර ගන්නා තුරු අන්තර්ජාලය හරහා සිදුකරන ගෙවීම් (Online Payments) තාවකාලිකව නවතා දමා ඇති බවත් ඉදිරි දින දෙක (2) ඇතුළත විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කරගත හැකි වනු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවල විශාල විදුලි බිල් තමා හරහා අන්තර්ජාලය ඔස්සේ ගෙවීමේදී සියයට 25 ක වට්ටමක් ලබා දෙන බව සඳහන් කරමින් ව්‍යාපාරික ආයතනවලින් මුදල් ලබා ගන්නා මෙම පුද්ගලයා එම මුදල් සිය සාක්කුවේ දමාගෙන මෙම වංචාව කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දත්ත පද්ධතිය තුළ එකී ගෙවීම් සිදු කර ඇති බව පෙන්වමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන ඇත. මෙම වංචාව ඔහු විසින් සිදු කර ඇත්තේ පසුගිය සැත්තැම්බර් 18 වෙනිදාත් නොවැම්බර් 25 වෙනිදාත් අතර මාස තුනක (3) පමණ කාලසීමාවක් තුළ දී බව ද හෙළි වී තිබේ.

විදුලිබල මණ්ඩලයට මාර්ගගත ක්‍රමයට ලද ගෙවීම් සටහන් සහ බැංකු වෙත බැර වූ මුදල් අතර, වෙනසක් විදුලිබල මණ්ඩලයේ ගිණුම් අංශයට පෙනී යාම හේතුවෙන් ඒ ගැන නොවැම්බර් 25 වෙනිදා කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ විදුලි පාරිභෝගිකයන් 400 කට ආසන්න පිරිසක් මේ කාලය තුළ මාර්ගගත ක්‍රමයට කළ ගෙවීම් පද්ධතිය තුළ සටහන්ව ඇතත් එම ගෙවීම්වලට අදාළ මුදල් බැංකුවට බැර වී නොමැති බවය.

මේ ගැන විදුලිබල මණ්ඩලයේ තොරතුරු තාක්ෂණික අංශයේද පරීක්ෂාවට ලක්වී ඇත. විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ ගෙවීම් අංශයේ දොරටුව හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව පෙනී ගොස් ඇත්තේ එවිටය.

මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට විදුලිබල මණ්ඩලයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ පසුගිය නොවැම්බර් 28 වෙනිදාය. එහිදී විදුලිබල මණ්ඩලය විසින් ප්‍රශ්නගත ගෙවීම් සම්බන්ධයෙන් වූ 400 ක් පමණ වූ ලැයිස්තුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. එහි රුපියල් කෝටි එකහමාරක (1,50,00,000) ගෙවීමක්ද සටහන් වී තිබී ඇත. එම ගෙවීමට අදාළ විදුලි පාරිභෝගිකයා පොලොන්නරුවේ අ‍යෙකු බව පෙනී ගොස් ඇත.

එම පාරිභෝගිකයා ඇතුළු ප්‍රශ්නගත ගෙවීම් සිදු කළ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් උපාය දූතයන් යොදා ගනිමින් එම පාරිභෝගිකයන් මුණගැසී කළ සියුම් විමර්ශනයකදී පෙනී ගොස් ඇත්තේ මාර්ගගත ක්‍රමයට සිය විදුලි බිල්පත් ගෙවීමේදී ඔවුන්ට සියයට 25 ක වට්ටමක් ලැබී ඇති බවය. එම වට්ටම ලබා දී ඇති පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඔහු රාත්‍රී සමාජ ශාලාවල සහ කැසිනෝ ශාලාවල කරක් ගසන අවුරුදු 26 ක් පමණ වන තරුණයකු බවය. ලුණුගම්වෙහෙරේ පදිංචිකරුවෙක් වන ඔහු ඒ වන විට කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සොයා ගත්තේය.

ඒ අනුව පෙරේදා (27) සවස මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු යුද හමුදාවේද වසර 03 ක පමණ කාලයක් සේවයේ නිරතව සිටි අයෙක් බවය. ඔහු හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බව පවසන බවත් ඒ ගැන යුද හමුදාවට දැනුම් දී තොරතුරු සොයා බැලීමක් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අපොස උසස් පෙළ කලා විෂයන් හදාරා ඇති මෙම සැකකරු අන්තර්ජාලය පරිශීලනය කරමින් වෙඩ් අඩවි ‘හැක්’ කිරීමේ ශිල්පය හදාරා ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු එම දැනුම ලබා ගත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ගිණුම් කිහිපයකම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් හමුවේ පවසා තිබේ.

විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියේ ගෙවීම් දොරටුවේ තාක්ෂණික දුර්වල ස්ථානයක් හඳුනාගෙන තමන් එම වෙබ් අඩවියට රිංගා මුදල් ගෙවීමකින් තොරව විදුලි බිල්පත් ගෙවීමට ඇති හැකියාව හඳුනාගත් බව ද ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත.

ඒ අනුව ඔහු සමාජ ශාලාවලදී දැන හඳුනා ගන්නා ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ විදුලි බිල්පත් මේ ක්‍රමය ඔස්සේ ගෙවමින් මෙම වංචාවේ නිරතව සිට ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

“මේ පුද්ගලයා ඉලක්ක කරන්නේ ව්‍යාපාරිකයන්වයි. ඔහු දන්නවා ඒ අයගේ විදුලි බිල ලක්ෂයකට වැඩියි කියල. මුලින්ම ඔහු ඒ අය සමඟ සම්බන්ධකම් ඇති කර ගන්නවා. එම සම්බන්ධකම් එක්කම විශ්වාසයකුත් ගොඩනඟා ගන්නවා. මෙම පුද්ගලයා කියනවා කැසිනෝ ගසන්නට මෙරටට පැමිණෙන විදේශිකයෙක් ඉන්නවා, එයා තමාගේ මිතුරෙක් බව. එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක කැසිනෝ ගහන්න පාවිච්චි කරන්න බැරි නිසා රුපියල්වලින් එයාට සල්ලි දුන්නම එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ මුදලට වැඩි ප්‍රමාණයකින් ඔන්ලයින් ගෙවීම් කරන්න අවස්ථාවක් ලැබෙනවා කියල. ඒ වැඩෙන් තමාට විශාල කොමිස් මුදලක් ලැබෙන බවත් ඔහු පවසනවා. ව්‍යාපාරිකයන්ට ඔහු හඟවනවා විදුලි බිල්පත් ගෙවීමේදී විදුලි බිලෙන් සියයට 25 ක් අඩුවෙන් අය කරන්නේ තමාට ලැබෙන කොමිස් මුදලින් වාසියක් ලබා දෙමින් බව. මෙහිදී මේ පුද්ගලයා විදුලි බිල ගෙවන්න මුලින් සල්ලි ගන්නේ නැහැ. ව්‍යාපාරිකයා සමඟ යම් එකඟතාවකට ඇවිල්ල මුලින් ඔහු මුදල් ගෙවීම් කරනවා. ඒ අතේ සල්ලිවලින් හෝ ක්‍රෙඩිට් කාඩ්පතකින් නෙමෙයි. විදුලිබල මණ්ඩලයේ වෙබ් එකට රිංගලයි. ඊට පස්සේ ඔහු එම ව්‍යාපාරිකයාට පවසනවා අන්තර්ජාලයෙන් හෝ විදුලිබල මණ්ඩලයට ගොස් හෝ මුදල් ගෙවීම් බැර වී තිබේ දැයි පරීක්ෂා කර බලන ලෙස. ව්‍යාපාරිකයා විදුලිබල මණ්ඩලයෙන් කරන පරීක්ෂාවේදී තහවුරු වෙනවා ගෙවීම් සිදු කරල තියෙනවා කියල. ඒ ‘සිස්ටම්’ එක ‘අප්ඩේට්’ වෙලා තියෙන නිසා. ඊට පස්සේ තමයි ඔහු ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා ගන්නේ. ඒ ගෙවූ මුදලින් සියයට 75 ක් පමණයි.” යනුවෙන් මෙම වංචාව සිදු වන ආකාරය ගැන තොරතුරු විමර්ශන නිලධාරියෙක් අනාවරණය කරනු ලැබුවේ එසේය.

මෙසේ මෙම පුද්ගලයා විදුලි බිල්පත් 400 කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් මාස තුනක (3) කාලසීමාව තුළ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විදුලිබල මණ්ඩලයෙන් ලබා දී තිබුණු ලේඛනවලින් තහවුරු වී ඇත. මෙම වංචාව හෙළි වූ මොහො‍තේම නව ආරක්ෂක ක්‍රම මඟින් විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික අංශය ගෙවීම් දොරටුවේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මෙම පුද්ගලයා මෙසේ විදුලි බිල්පත් ගෙවීම ව්‍යාපාරයක් කර ගනිමින් නියෝජිතයන්ද සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරා පත්කර ගනිමින් සිට ඇති බවය. එහිදී ඔහු නියෝජිතයන් කිහිප දෙනෙකුද පත්කර තිබී ඇති අතර, ඒ අයට එක් බිල්පතක් සඳහා සියයට 10 බැගින් වූ කොමිස් මුදල්ද ලබා දී ඇති බවය.

මෙම පුද්ගලයා විසින් වැඩිපුරම ගෙවීම් කර ඇත්තේ රුපියල් ලක්ෂ 10 හා 15 ප්‍රමාණයේ බිල්පත් බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම පුද්ගලයා මෙසේ වංචා සහගතව උපයා ගන්නා මුදල්වලින් සුළු ප්‍රමාණයක් කැසිනෝවලටද වැය කර තිබෙන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. වැය නොකර තවත් විශාල මුදලක් ඔහු සතුව ඇති බව පෙනී යන බැවින් එම මුදල් සොයා ගැනීමටත්, ඔහුට මෙම වංචාවට සහාය දුන් පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජයනෙත්සිරි මහතාගේ අධීක්ෂණයෙන් සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන රංග බණ්ඩාර, චාරුක පැතුම් ජයවර්ධන, නිලාන් සමරසිංහ, එච්. අසංක, එම්. විජේසුන්දර සහ ලහිරු සඳකැළුම් යන මහත්වරු විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටියහ.

~ ගයාන් කුමාර වීරසිංහ, සිරන්ජනී කුමාරි, පී.කේ.බණ්ඩාර සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ


ශාෆ්ටර් ඝාතනයේ – ලියුම වයර් එක බොරුවක් – තවමත් හරි තොරතුරු නෑ

(29.12.2022 – divaina.lk)

‘වගකීමක් නැති පුවත් විමර්ශනවලට බාධාවක්’ – පොලිස්පති හා විමර්ශකයන් අතර පැය දෙකක (2) සාකච්ඡාවක්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය තවමත් අබිරහසක් බවත් මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සහ සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනතුරුත් නිවැරදි තොරතුරු ලැබී නැති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඇතැම් මාධ්‍ය වගකීම් රහිතව පළකරන ප්‍රවෘත්ති නිසා විමර්ශන කටයුතුවලට ද විශාල බාධාවක්වී ඇති අතර සමාජය තුළ වැරදි මතයක් ගොඩනැඟෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ එසේ කළ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බවයි.

ඇතැම් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කරන බවත් එය ඉතාම භයානක තත්ත්වයක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ශාෆ්ටර් මහතා සිය මවට ලියූ ලිපියක් හමුවූ බවට පළවූ ප්‍රවෘත්තිය ද අසත්‍ය බවත් ඒ මහතාගේ ගෙල සිරකර තිබූ වයරයට සමාන වයරයක කොටසක් නිවසින් හමුවූ බවට පළවූ වාර්තා ද සත්‍යයෙන් තොර බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන ඒවාද යන්න පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය දැඩි අවධානය යොමුකර ඇත.

මේ අතර ජනශක්ති ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ (28) පුරා පැය දෙකක (2) පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූහ.

මෙම හමුව සඳහා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවී තිබේ.

මෙම මිනීමැරුම පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට අසීරුවීම මඟහරවා ගැනීමට පොලිස්පතිවරයා රහස් පොලිස් කණ්ඩායමට උපදෙස් රැසක් ලබා දී ඇත.

මේ හැර දිනේෂ් ශාෆ්ටර් මහතා සිය වාහනය පදවාගෙන ගිය අයුරු දැක්වෙන ආරක්‍ෂක කැමරා පද්ධතිය වඩාත් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය.

මෙම අභිරහස් මිනීමැරුවේ සුලමුල අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇත.

මේ හැර උපායදූතයන් රැසක්ම යොදාගෙන ඇත. මිනීමැරුම සිදුකළ ඝාතනයන්ට නීතියේ රැහැනින් මිදීයෑමට කිසිසේත් ඉඩ නොලැබෙන බව පොලිසිය කියයි.

~ හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

++++++++++

28-12-2022

++++++++

29-12-2022

+


කොරියානු නියෝජිතයා ශ්‍රී ලංකාව හදන්න යයි

(29.12.2022 – divaina.lk)

“මෙවැනි සම්පත් අපිට තිබෙනවා නම් ලෝකයේ හොඳම සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – රට නංවන්න අවුරුදු 10 ක සැලැස්මක් ඕනෑ” : කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සින්ග් ලී

“මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවායින් මේ රටේ අය ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේ වාගේ රටක් අපට තිබෙනවා නම් අවුරුදු 10 ක් ඇතුළත දී ලෝකයේ හොඳම සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා. මේ රට සම්පත් අධික රටක්. එසේ තිබියදී රටේ සම්පත් විකුණන්නට යනවා” යැයි ‘කොරියානු ආපදා සහන පදනමේ’ සභාපති ‘චෝ සින්ග් ලී’ මහතා කෑගල්ල පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් කරුණු සඳහන් කළ සභාපති වරයා අපේ පදනම කොරියාවේ තිබෙන දෑවැන්ත මානුෂීය පදනමක් ලෙස කටයුතු කරනවා. ලංකාව වැනි රටවල් වලට ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගැනීමට උදව් කරනවා. අපි සහනධාරවලට යන්නේ නෑ. ආයෝජන සඳහා උපකාර කරනවා. කොරියාව ගොඩ නඟන්නටත් මෙම පදනම කටයුතූ කර තිබෙනවා, මනුෂ්‍යයාගේ මනස වෙනස් කරන්න සිතුවිලි වෙනස් කරන්න ඕනෑ. එවිටයි ක්‍රියාව වෙනස් වෙන්නේ. මනසේ කරුණු 120 ක් සටහන් වනවිට එය සිරුරේ සටහන් වෙනවා. එය ජීවිතයට බද්ධ විය යුතුයි. ඒ සඳහා අප නව ගම්මාන ව්‍යාපෘතියක් ඇති කළ යුතුයි. එමගින් මිනිසාගේ මනසට හොඳ දේවල් ඇතුලත් කරලා ඒ සිතුවිලි හොඳ තැනකට ගෙන යායුතුයි. ඒ අනුව මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් කියා. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යූතුයි. ඒවා රටේ සංස්කෘතියට ගැළපෙන ආකාරයට පිහිට විය යුතුයි. එසේ කරන්න නම් මේ රටේ පාලකයන්ට ද පුහුණුවක් ලබා දිය යුතුයි. අපේ රටේ සෑම බලවතෙක්ම මේ පුහුණුව ලබා තිබෙනවා.

මාධ්‍ය කොයි රටෙත් ඉතා බලවත්. අපි මේ රටේ ප්‍රවෘත්ති බලනවා. මාධ්‍යයට පුළුවන් මිනිසාගේ සිතුවිලි වෙනස් කරන්න. මාධ්‍යයෙන් පුළුවන් රටක් වෙනස් කරන්න. මාධ්‍යය දේශපාලනයෙන් තොරවිය යුතුයි. සත්‍යය පෙන්නන්න ඕනෑ. ධනාන්මක ප්‍රවෘත්ති රටට දෙන්න ඕනෑ.

මේ රටේ ක්‍රියාකලාප වෙනස් විය යුතුයි. එය මේ රටේ නායකත්වය දක්වා විය යුතුයි. මේ රටේ පිහිටීම අනුව රට දියුණු කරන්න සංවර්ධනය කරන්න පුළුවන්. මේ රටේ තිබෙන සම්පත් හොඳටම ඇති. ඒ අනුව තව අවුරුදු 10 කින් මේ රට අපේ රටේ තත්ත්වයට ගන්න පුළුවන්. මේ රටේ කොතරම් ද්‍රව්‍ය තිබෙනවාද? පලතුරු, එළවලු, කෘෂිකාර්මික භෝග අපනයනය කරන්න පුළුවන්. රටේ සම්පත් විකුණන්නේ නැතිව ඊට වැඩි ගුණයකින් මුදල් හොයන්න පුළුවන්. මේ රටේ පාරවල්වල මුදල් අතුරලා තිබෙනවා. ඒවා නායකයන්ට පේන්නේ නැහැ. ඔවුන් පිටරටවලින් ආධාර ඉල්ලනවා. මේ රටේම සම්පත් එකතු කර ගත යුතුයි.

අතීතය කරපු දේවල් අමතක කරන්න ඕනෑ. අලුත් විදියට හිතලා ඒවා ජිවිතයට ලබා ගන්න ඕනෑ. මේ දේශය සංවර්ධන කිරීමට අවුරුදු 10 ක සැලැස්මක් ඇති කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළ යුතූයි.

තාක්ෂණික පාසල් රටේ ඇති කළ යුතූයි. ඒවාට හොඳ ගුරුවරු යොදා පුහුණු කළ යුතූයි. අපේ රටේ එවැනි ගුරුවරුන්ට ඩොලර් 10,000 ක් ගෙවනවා, එවැනි පාසැල් මෙහි ගොඩ නඟලා පිටරටින් හෝ දැනුමක් තිබෙන ගුරුවරු ගෙන්වා ගෙන අවුරුදු දහයක් (10) තුළ මෙරට සංවර්ධනය කරන්න පුළුවන්. මේ සම්බන්ධව දැනටමත් අගමැතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා.

අපිට අපේ රටට යන්න වීසා දෙන්න පුළුවන්. ඒත් එහි ගිය අය ආපසු එන්නේ නැහැ. ඒ නිසා වීසා දීම නවත්වලා තිබෙනවා. ඒක අපේ රටටත් මේ රටටත් හොඳ මදි යයිද පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආර්ථික හා ව්‍යාපාර ව්‍යවසායකත්ව උපදේශක දිනිඳු එඬරගල්ල, මාධ්‍ය සම්බන්ධීකාරක උපදේශක නිලීමා වික්‍රමාරච්චි යන අයද සම්බන්ධ වී සිටියහ.

කෑගල්ල – එම්. බී. පහළවත්ත


දවසකට බිලියන ගාණක් සල්ලි අච්චු ගහන ආණ්ඩුවට මැතිවරණයකට සල්ලි නැහැ කියන්නේ බොරුවක් – ගම්මන්පිල කියයි

(29.12.2022 – 10:51 +0530 – lankaleadnews.com)

දවසකට රුපියල් බිලියන තිහක හතළිහක (30-40) මුදල් ආණ්ඩුව මුද්‍රණය කරන බවත්, ඡන්දයකට ආණ්ඩුවට රුපියල් බිලියන දහයක් (10) හොයාගන්න නැහැ යැයි පැවසීම අතාර්කික තර්කයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

“මාර්තු 20 වන විට පළාත්පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඊට පෙර පළාත් පාලන ආයතන යළි පිහිටුවීමට නම් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි 09 දා දක්වා කල් තිබෙනවා. නීතිය අනුව මැතිවරණය ප්‍රකාශයට පත්කරන දිනයෙන් 14 වැනි දින සිට 17 දින දක්වා නාමයෝජනා භාර ගත යුතුයි. අපි මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනය ජනවාරි 04 කියලා හිතුවොත් ජනවාරි 18 දා සිට 21 දක්වා නාමයෝජනා භාරගත යුතුයි.

නීතිය අනුව නාමයෝජනා අවසන් කර සති පහකට (5) නොඅඩු සති හතකට (7) නොවැඩි කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව පෙබරවාරි 25 සහ මාර්තු 11 දින අතර මැතිවරණය පැවැත්විය යුතුයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 09 දක්වා කල් ගියොත් මැතිවරණයය මාර්තු 16 වන විට පවත්වා අවසන් කළ යුතුයි.

සමහරුන් කියනවා නාමයෝජනා අරගෙන කල් දැමීම තමයි ආණ්ඩුවේ සූදානම කියලා. පසුගිය වතාවේ නාමයෝජනා අරගෙන කල් දැමීම සිදු කළේ ආණ්ඩුව නොවෙයි මැතිවරණ කොමිසම. කොවිඩ් වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්වීමට වාතාවරණයක් නැහැ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා. දැන් මේ මැතිවරණය පැවැත්වීමේ පසුබිමක් නැතැයි කියන්නේ ආණ්ඩුව මිසක් මැතිවරණ කොමිසම නොවෙයි. මැතිවරණ කොමිසම උසාවියට කරුණු දක්වලා තියෙනවා මැතිවරණය පැවැත්වීමට නීතිය අනුව කටයුතු කරනවා කියලා. මෙසේ නීතියට අනුව කටයුතු කරන්න නම් ජනවාරි 09 වන විට මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුයි. ඒ නිසා උසාවිය මේ නඩුව යළි කැඳවනවා ජනවාරි මස 18 වැනිදා. ජනවාරි 18 දා වනවිට උසාවියට දුන් පොරොන්දු ප්‍රකාරව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කරලා නොතිබුණොත් උසාවි නියෝගයක් ලැබෙනවා වහාම මැතිවරණය තියන්න කියලා. මැතිවරණය කල් දැමීමේ මානසිකත්වයක මැතිවරණ කොමිසම නැහැ. මැතිවරණ කොමිසම ඡන්දය තබන්න යනවිට එය කල්දැමීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ.

මැතිවරණයට මුදල් නැහැ කියනවා නම් රුපියල් බිලියන 3,300 ක අයවැයක් අනුමත කරගත්ත ආණ්ඩුවකට, දවසකට බිලියන තිහක්-හතළිහක් (30-40) මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට රුපියල් බිලියන දහයක් (10) හොයාගන්න නැහැ; ඡන්දයකට සල්ලි නැහැ කියන එක අතිශයින්ම අතාර්තික තර්කයක්.”

28-12-2022

++++++++++

28-12-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *