තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා

තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා


තම ජීවිතය ද නොතකා ඔයට පැන දියේ ගසාගෙන යමින් සිටි වයස 11 ක දැරියක් බේරාගත් වීරයා

(27.12.2022 – 22:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 20 වැනි දින බිබිල – මැදගම 17 කණුව ප්‍රදේශයෙන් ගලා බසිනා බෙල්ලන් ඔය හරහා ඇති පාලමෙන් එගොඩ වීමට උත්සාහ කළ 11 හැවිරිදි පාසල් සිසුවියක් ඔයට වැටී ගසාගෙන යාමේ දී 17 හැවිරිදි තරුණයෙකු විසින් ඇයව බේරාගත් පුවතක් වාර්තා වනවා.

මෙම දැරිවිය සිය පවුලේ සාමාජිකයින් සමග දානමය පිංකමට ගොස් පැමිණෙමින් සිට ඇති අතර, පය ලිස්සා යාමෙන් ඇයව බෙල්ලන් ඔයට ඇද වැටී තිබෙනවා.

දැඩි වර්ෂාපතනයත් සමග ඔයෙහි ජල පහර සැඩ වී ඇති අතර, දැරිවිය ඔයට වැටුණු පසු මව විසින් ඇයව බේරාදෙන ලෙස ඉල්ලමින් කෑ ගසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව පාලමට මඳක් ඔබ්බෙන් සිටි උසස්පෙළ පන්තියක ඉගෙනුම ලබන තරුණයෙකු විසින් සිය ජීවිතය නොතකා ඔයට පැන මීටර් 50 කට වඩා දුරකට ගසාගෙන යමින් සිටි දැරිවිය මහත් පරිශ්‍රමයක් යොදා බේරාගෙන තිබෙනවා.

මෙම වීර ක්‍රියාව ඇගයීම වස් දැරිය බේරාගත් පාසල් ශිෂ්‍යයාට මොනරාගල අමුණේකඳුර ජාතික පාසල එක්ව එම දරුවා ඇගයීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

+


මිල ඉහළ ගිය සනීපාරක්ෂක තුවා හේතුවෙන් ජනයා පීඩාවට පත්වෙයි

(27.12.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala)

කාන්තා සහ කුඩා දරුවන් වෙනුවෙන් යොදාගන්නා සනිපාරක්ෂක තුවා මිල අධික වීමෙන් තමන් දැඩි අසීරුවකට ලක්ව ඇතැයි මහජනතාව පවසනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ විවිධ බදු මිල පැනවීම් හේතුවෙනුයි මෙලෙස සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ ගොස් ඇත්තේ.

මෙලෙස දිනෙන් දින මිල ඉහළ යාම බොහෝ පවුල් ඒකකවලට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

කොටස් 06 ක සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් මිල ඉහළ යාමට පෙර රුපියල් 150 ක පමණ මුදලකට ලබාගත හැකි වුව ද මේ වනවිට එහි මිල රුපියල් 500 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරනවා.

පසුගිය දිනවල දී ද මෙම සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වූ අවස්ථාවේ දී රජය ප්‍රකාශ කළේ, එම භාණ්ඩ සඳහා බදු පැනවීමක් සිදු නොකර, එය බදු බරින් නිදහස් කරන බවයි.

නමුත් මේ දක්වා ඒ සඳහා කිසිදු පියවරක් රජය විසින් ගෙන නොමැති බවට ජනතාව මැසිවිලි නගනවා ෴


ෂාෆ්ටර් මරණය ගැන යළිත් බිරිඳගෙන් ප්‍රශ්න කෙරේ

(27.12.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් යළිත් වරක් ඔහුගේ බිරිඳගෙන් සහ නැන්දනියගෙන් විමර්ශන නිලධාරින් අද (27) පෙරවරුවේ සිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මේ වනවිට ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 84 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා ෴


ජනවාරියේ සිට අනිවාර්‍යෙන් ම ඉහළ යන ලයිට් බිල

(27.12.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේදී ස්ථිරවම විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා.

ඊට අදාළ යෝජනාව ලබන මස 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අතර නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, කර්මාන්තශාලාවලට සහ අඩු ආදායම්ලාභීන්ට නව ගාස්තු සංශෝධනයෙන් සහනයක් ලබාදීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න කියා සිටියේ සියයට 60 ත් 65 ත් අතර අගයකින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

එසේම, විදුලිබල අමාත්‍යාංශයේ ගල් අඟුරු මාෆියාවක් පවතින බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ද අමාත්‍ය කංචන විජේසේකර අදහස් පළ කළා.

මේ අතර, ගල් අඟුරු සංචිත අවසන් වුවහොත් දිනකට පැය 08 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මේ බව කියා සිටියේ කොළඹ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, පවතින ගල් අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරයේ දැනට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක (2) සඳහා ජනවාරි මස 08 වනදා දක්වා ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මෙහිදී කියා සිටියා.

එසේම, ජනවාරි 5, 9 සහ 16 යන දිනවල නෞකා 3 ක් ඇතුළු නෞකා 6 ක් ජනවාරි මාසයේ දිවයිනට ළගා වීමට නියමිත බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.

එසේම, ගල් අඟුරු ටෙන්ඩරය ශ්‍රී ලාංකික සැපයුම්කරුවෙකු ද සහිත ඉන්දුනීසියානු සමාගමකට ලබාදීමට තීරණය කළ බව ද අමාත්‍ය කංචන විජේසේකර මෙහිදී කියා සිටියා.

+


තිළිණි ප්‍රියමාලි ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව යයි

(27.12.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 04 කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03 කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි මීට ටික වේලාවකට පෙර (27) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලද සියලුම ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

තිළිණි ප්‍රියමාලි අදාළ මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී අවස්ථා දෙකක දී නීතිවිරෝධී ලෙස ජංගම දූරකතන තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් ද බන්ධනාගාරය විසින් කොළඹ දිස්ත්‍රික් උසාවියට නඩුවක් ගොනු කර තිබුණා.

එම නඩුවට ද කොළඹ දිස්ත්‍රික් උසාවියේ මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළ අතර අද (27) දහවල් එම සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට තිළිණි ප්‍රියමාලි සමත් වූ අතර එහිදී ඇය විසින් ඇප කොන්දේසි සපුරන ලද නඩු සංඛ්‍යාව 08 ක්.

තිළිණි ප්‍රියමාලිට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් වන ශරීර ඇප 08 ක් සහ රුපියල් මිලියන 10 බැගින් වන ශරීර ඇප 20 ක් තබන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

+


ලබන මස සිට දුරකථන රැසක ‘වට්ස්ඇප්’ නවතියි?

(28.12.2022 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන මාදිලි 49 කට සිය සේවය ලබා දීම අත්හිටුවීමට ‘මෙටා සමාගම’ තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, වට්ස්ඇප් මෘදුකාංගය මෙම මස 31 වැනිදා සිට නව යාවත්කාලීන කිරීමේ හැකියාව අත්හිටුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

එම ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන් ඇතුළු ජංගම දුරකථන මාදිලි කිහිපයක් අයත් වෙනවා.

සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් මෘදුකාංගය විසින් ආරක්ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලීන කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේ දී ඇතිවන අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ‘මෙටා සමාගම’ පවසන්නේ.

එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින් දැක්වෙයි :

Apple iPhone 5
Apple iPhone 5c
Archos 53 Platinum

Grand S Flex ZTE
Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1

Quad XL

Lenovo A820

Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L

Wiko Cink Five
Wiko Darknight ZT

Memo ZTE V956

LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
LG Optimus L4 II Dual
LG Optimus L5
LG Optimus L5 Dual
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD

Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2


‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

(28.12.2022 – 18:21 +0530 – hirunews.lk/sinhala)

‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයට 2022 දෙසැම්බර් 28 දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර හිමිවන්නේ නැහැ.

තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින්, ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනය වෙත 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

‘බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ සම්බන්ධයෙන් නිකුත් කල නියෝගවලට අනුකූලව ‘එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී’ (එවකට එස්.එම්.බී. ලීසිං පීඑල්සී) ආයතනය විසින් ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයේ තැන්පතු නැවත ගෙවීම සඳහා දැක්වූ දායකත්වය මත ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයෙහි හිමිකම් නොපෑ තැන්පතු වගකීම් ඊට අනුරූපී වත්කම් සහ අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු සමඟ ‘එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී’ ආයතනය වෙත පවරනු ඇති.

තවද, ‘ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය’ ඔස්සේ එහි පවතින රෙගුලාසීන්ට අනුකූලව එහි රක්ෂණය වී ඇති තැන්පතුකරුවන් විසින් තවමත් ලබා නොගත් රක්ෂණ වන්දි මුදල්, රු. 1,100,000/- ක උපරිමයකට යටත්ව ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ඇති.

‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයේ තවමත් හිමිකම් ලබානොගත් තැන්පතු වගකීම් ‘එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී’ ආයතනය වෙත පැවරීමෙන් සහ ‘ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය’ ඔස්සේ ඉතිරි රක්ෂණ වන්දි මුදල් ගෙවීමෙන් පසු, ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී’ ආයතනයේ සමස්ත තැන්පතු වගකීම ශුන්‍ය වනු ඇති ෴


මෙරට වැඩිම ආහාර අනාරක්ෂිතභාවය දකුණු පළාතේ – ලෝක ආහාර වැඩසටහන කියයි

(28.12.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැඩිම ආහාර අනාරක්ෂිත භාවයක් බලපා ඇත්තේ දකුණු පළාතට බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ මෙරට ජනගහනයෙන් සියයට 52 ක් තමන් ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවයි.

මිලියන 22 ක ජනගහනයක් වෙසෙන මෙරට සියයට 76 ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවය නිසා විකල්පයන්ට යොමුවී ඇති බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂිතතා අධීක්ෂණය සම්බන්ධත්‍යන් සිය නවතම වාර්තාව එලිදක්වමින් ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ තවදුරටත් ජනගහනයෙන් සියයට 73 ක් මිලෙන් අඩු මෙන්ම පෝෂණයෙන් ද අඩු ආහාර විකල්ප සඳහා යොමුව ඇති බවයි.

ජනගහනයෙන් සියයට 40 ක් ආහාර වේල් අඩු කිරීමට ද පෙළඹී ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම, ආහාර අනාරක්ෂිතතාව, වැඩි වශයෙන් බලපා ඇත්තේ දකුණු පළාතට වන අතර, එහි ජනගහනයෙන් සියයට 48 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙමින් සිටිනවා ෴

+


ආසියානු පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට දඩයක්

(28.12.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)

උස්බෙකිස්තානයේ පැවැත්වුනු වයස අවුරුදු 17 න් පහල ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීම පැහැර හැරී බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 20,000 ක දඩයක් පනවා තිබෙනවා.

2022 ඔක්තෝබර් මස 05 වෙනිදා සිට 09 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බව සහතික වී තිබුනද අවසන් මොහොතේ එය මග හැරී ගියා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලන (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000 ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා තිබෙනවා.

මෙයට අමතරව ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ඉදිරි තරගාවලි වලට සහභාගී වීම සඳහා ද තහනමක් පැනවීමට සලකා බලමින් සිටින බවත් අනාවරණය වනවා.

දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහසයි.

එසේම, ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකාව ට ජාත්‍යන්තර පාපන්දු තහනමකට අමතරව මූල්‍ය සම්බාධක පැනවීමට ද බොහෝ දුරට ඉඩක් තිබෙන බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 17 න් පහල ජාතික කණ්ඩායමට උස්බෙකිස්තානයේ පැවැත්වුනු ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකිවූයේ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර මතුව ඇති කඹ ඇදීමක් හේතුවෙන්.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පසුගිය සැප්‍තැම්බර් 23 වනිදා ක්‍රීඩා සංගම් වලට ධූර කාලය මාස දෙකකින් (2) දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත්, එයට සුදුසු විකල්පයක් ලබා නොදීමත් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියළු කටයුතු ඇනහිට තිබීම ඊට හේතු වූ බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ වනවිටත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අවුරුදු 17 න් පහල ජාතික කණ්ඩායම පුහුණුකර තරගාවලිය සඳහා සූදානම් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ පළමු වරට දකුණු ආසියානු 17 න් පහල තරගාවලියක් ද පවත්වා තිබුනා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින ද පරදවා ජයග්‍රහණය කර තිබීම විශේෂ කාරණයක්.

කෙසේ වෙතත් වයස අවුරුදු 17 න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුනේ ඔක්තෝම්බර් 03 දායි.

මෙම කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමි වුනා.

උස්බෙකිස්තාන් සංචාරය සඳහා සියළු කටයුතු සැලසුම්කර තිබුනද අවසන් මොහොතේ සංචාරයට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය අවලංගු වීම හේතුවෙන් බාදා ඇති වුනා.

අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට මුදල් තිබුනද එයට අත්සන් කිරීමේ බලය ගැසට් පත්‍රය තුලින් අහෝසි වී තිබුන හෙයින් මෙම ගුවන් ටිකට් පත් ලබා දීමට නොහැකි වී වූ බවයි පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානින් පවසන්නේ.

මෙම අර්බුදය හිටපු පරිපාලනය සහ දෙමව්පියන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී තිබුනද, මෙම කණ්ඩායම සඳහා කිසිම විකල්ප සූදානමක් නොතිබුනු අතර ම බලධාරීන්ගේ වැරදි හේතුවෙන් මෙරට තරුණ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වීම පමනක් නොව මේ වන විට ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් 7,000.000.00 ට අධික දඩයක්ද ගෙවීමට ද සිදුව තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *