2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි

2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි


2022.12.14 දින දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වල දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4586 කට අධික යි

(18.12.2022 – news.navy.lk)

= දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4586 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන එයි =

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ (කිලෝමීටර් 424 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 4586 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි බවට සැකකෙරෙන තවත් බහුදින ධිවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) 2022 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද (2022 දෙසැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දින ගණනාවක් ආවේක්‍ෂණය කරමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 424 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහ තුනක (13) පැකට් 94 ක් තුළ අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327 ක් සහ පැකට් 98 ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474 කට අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගැනීමෙන් අනතුරුව, එම බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් අට දෙනෙකු (08) 2022 දෙසැම්බර් මස 14 වන දින අත්අඩංගුවට ගන්නා ලදි.

තවද, සමුදුර නෞකාව මඟින් අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකුද (06) නාවික හමුදාව මඟින් එහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණි.

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 4586.755 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව, මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 29 ත් 59 අත‍ර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ මැදිහත් වීමෙන් සියළුම බුද්ධි අංශ ඒකාබද්ධ කර පොදු අරමුණක් කරා මෙහෙයවීමෙන් මෙවැනි සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සිදු කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබි ඇත.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් බිලියන 28.05 කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

+++++++++++

+


මෙරට මුහුදු සීමාව තුල ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104 ක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

(18.12.2022 – news.navy.lk)

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා මියන්මාර් ජාතිකයින් 104 ක් ප්‍රවාහනය කරමින් තිබූ මගී ප්‍රවාහන යාත්‍රාවක් එහි ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වී, වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5 ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට 2022 දෙසැම්බර් මස 17 වන දින රාත්‍රියේ අනවසරයෙන් පැමිණ ඇති අතර, එම මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මියන්මාර් ජාතිකයන් 104 ක් නිරුපද්‍රිතව මුදාගැනීමට අද (2022 දෙසැම්බර් 18) උදෑසන නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විදේශීකයන් පිරිසක් රැගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වී ඇති බවට උතුරු නාවික විධාන මෙහෙයුම් මැදිරිය වෙත ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ එම නාවික විධානයට අනුයුක්ත හතරවන (4) වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 411 හා පී 497 යාත්‍රාවන් ආපදාවට පත් මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි මගීන් බේරාගැනීම සඳහා එම යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත 2022 දෙසැම්බර් මස 17 වන දින පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, මුහුදේ රළු ස්වභාවය හමුවේ මහත් පරිශ්‍රමයක් යොදා ආපදාවට පත් යාත්‍රාවෙන් නාවික හමුදාව මඟින් නිරුපද්‍රිතව මුදාගත් මියන්මාර් ජාතිකයින් 104 දෙනෙකු මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කරන ලද අතර, එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතව ඇත.

තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, මුහුදේ දී ජීවිත ආරක්‍ෂාව පිළිබඳ 1974 ජාත්‍යන්තර සම්මුතිය (The International Convention for the Safety of Life at Sea 1974 – SOLAS) සහ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම පිළිබඳ 1979 ජාත්‍යන්තර සම්මුතිය (International Convention on Maritime Search and Rescue 1979) යන සම්මුතීන් වෙත දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැදීමට අනුව, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.


විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(18.12.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

2021 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ, අදාළ සිසුන්ට ඔවුන් තෝරාගත් අධ්‍යයන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය සඳහා ලියාපදිංචි වීමට හෙට (19) දිනයේ දී හැකියාව ලැබෙන බවයි.

එයට අදාළ කෙටි පණිවුඩය හා විද්‍යුත් තැපෑල හෙට (19) ලබාදෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


ඇහැටුවැව විභාග මධ්‍යස්ථානයක අසාධාරණයක් වූ බවට දෙමාපියන්ගෙන් චෝදනා

(18.12.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

2022 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂත්ව විභාගය අද (18) පැවැත්වුණා.

විභාග මධ්‍යස්ථාන 2,894 ක දී පැවති මෙම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 3,34,698 ක්.

මේ අතර ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයේ ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනීසිටි සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවූ බවට දෙමාපියන් පිරිසක් චෝදනා කළා.

එහිදී දෙමාපියන් කියා සිටියේ අදාළ පාසලේ ගුරුවරියක් ප්‍රශ්න පත්‍රය බෙදාහැරීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් තම දරුවන් අසාධාරණයට ලක්වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ගෙන් විමසීමක්ද කළ අතර ඔහු කියා සිටියේ හෙට (19) දිනයේ මේ පිලිබඳ විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා බවයි.

+++++++++

+


දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට 30 කගෙන් ප්‍රකාශ ගනී – කැමරා 42 කුත් පිරික්සයි

(18.12.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. දේහය කොළඹ හත මල් පාරේ නිවසේ තැන්පත් කර තිබූ අතර පසුව ආගමික වතාවත් සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් පසුවයි බොරැල්ල සුසාන භූමියේදි අවසන් කටයුතු සිදුකෙරුණේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක්ද අද (18) එක්ව සිටියා.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට අදාළව මේ වන විට 30 කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහුගේ ආයතනයේ සේවකයින්, රියදුරුගෙන්, බොරැල්ල සුසාන භූමියේ සේවකයන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වීමට පෙර දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් පුද්ගලයින් සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් ගෙන්ද ප්‍රකාශ සටහන්කර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වූ දිනයේ ඔහු ගමන් කළ මාර්ග මෙන්ම බොරැල්ල සුසාන භූමියේ ප්‍රවේශ මාර්ගවල ඇති ‘සීසීටීවී’ දර්ශන පුළුල් ලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ‘සීසීටීවී’ කැමරා 42 ක දර්ශන පිරික්සූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

බොරැල්ල සුසාන භූමියේදී අත්පා ගැටගසා බරපතල තුවාල සහිතව සිය මෝටර් රථය තුළ සිටියදී බරපතල තත්වයෙන් රෝහල් ගත කළ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඔහු ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්.

+++++++++++

++++++++++

+


‘Ocean Odyssey’ කොළඹ වරායට

(18.12.2022 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් ‘ඕෂන් ඔඩිසි’ නෞකාව අද (18) දහවල් කොළඹ වරායට සේන්දු වුණා.

සංචාරකයින් 108 දෙනෙකු රැගත් මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිටයි කොළඹ වරායට පැමිණියේ. එම නෞකාව හෙට (19) ත්‍රිකුණාමලය වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි.

‘ඕෂන් ඔඩිසි’ නෞකාවෙන් පැමිණෙන සංචාරකයින් කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කෙරුණු ඇති.

මෙම නෞකාව මේ මස 21 වනදා රාත්‍රී 07 ට ත්‍රිකුණාමල වරායෙන් තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි ෴

+++++++++

+


මෝටර් රථයක් මුහුදට වැටෙයි

(18.12.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් අද (18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයෙන් මුහුදට වැටී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මොහු අවුරුදු 50 ක් පමණ වයසේ පසුවන ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අනතුරෙන් තුවාල ලැබූ කථිකාචාර්යවරයා මාතර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *