තිළිණි ප්‍රියමාලි යළි රක්ෂිත බන්ධනාගාරයට

තිළිණි ප්‍රියමාලි යළි රක්ෂිත බන්ධනාගාරයට


තිළිණි ප්‍රියමාලි යළි රක්ෂිත බන්ධනාගාරයට

(13.12.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ආයතනයේ කළමනාකරු වන ඉසුරු පෙරේරා ලබන 16 වනදා දක්වා අද (13) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන්ට එරෙහිව පවතින නඩු හතකින් (7) එක් නඩුවක් සඳහායි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතක් (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොනුකර තිබූ අතර, ඉන් නඩු හයකට (6) අදාළව ඇය ඇප මත මුදාහැරීමටයි මෙලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඒ අනුව මාස දෙකකට (2) අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ තිකෝ ආයතනයේ අධ්‍යක්ෂ ඉසුරු පෙරේරා සහ ප්‍රියන්ත කුමාර යන සිව්දෙනා (4) දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

එහිදී එක් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) නියම කළ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

සෑම මසක ම අවසාන ඉරුදින සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත්, ඇපකරුවන්ගේ පදිංචි සහතික සහ ආදායම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

සැකකරුවන් සතුව තිබී සොයාගත් රන් භාණ්ඩවලට අදාළ වාර්තා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ලැබී නැති බව, එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

එහි දී සිව්වන (4) සැකකරු ලෙස නම් කර සිටින ස්වර්ණාභරණ ආයතනයක හිමිකරුවෙකු වන නල්ලයියා ජයමෝහන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ අධිකරණයට දැන්වූයේ තම සේවා දායකයා සතුව තිබූ රුපියල් මිලියන 3 ක් වටිනා රන් පවුම් 40 ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්ර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම ඉසුරු බණ්ඩාරගේ අත්හිටුවා ඇති ගිණුම්වල විමර්ශන අවසන් නම් අධිකරණ භාරයේ ඇති බී.එම්.ඩබ්ලිව්. සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙසටද, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉදිරි දිනවලදී අදාළ විමර්ශනය සිදුකර අධිකරණයට දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ආයතනයේ කළමනාකරු වන ඉසුරු පෙරේරා, පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන්, ප්‍රියන්ත කුමාර, ස්වර්ණාභරණ ආයතනයක හිමිකරුවෙකු වන නල්ලයියා ජයමෝහන් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එමෙන්ම ව්‍යාජ හැඳුනුම්පතක් සහ විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප්‍රියමාලිට වෙනම නඩුකරයක් ගොනුකරන ලෙසටද කොටුව මහේස්ත්‍රාත් තිළිණි ගමගේ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ෴

++++++++++

තිලිණි ප්‍රියමාලි නාටකයේ සැබෑ තතු

(12.12.2022 – 06:34 +0530 – lankaleadnews.com)

තිලිණි ප්‍රියමාලි පිළිබඳ තොරතුරු පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඇය ඇවිදින ආකාරයේ සිට ඇයගේ යෝනියේ ප්‍රමාණය දක්වා මෙම මාධ්‍ය වාර්තාවල දිනපතා කතා කළා. විවිධ හඬපට, සී.අයි.ඩී. යේ ප්‍රකාශ, නානාප්‍රකාර යූටියුබ් සංවාද දැනට රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙය වගේ දිනපතා මෙය නොකඩවා, නොනවත්වා තොරතුරු වාර්තා වුණා.

මේ පිළිබඳ උනන්දු වු නීතිඥ හිතවතුන් සහ මාධ්‍යවේදී හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් තොරතුරු හොයල බලනකොට විශේෂයෙන් නීතිඥ මිතුරන් සඳහන් කළේ දැන් පැමිණිලිකරුවන් විත්තිකරුවන් වෙලා විත්තිකරුවන් පැමිණිලිකරුවන් වෙමින් යනවා කියලා. මොකද පැමිණිලිකරුවන් විසින් තිලිණි ප්‍රියමාලිට තබා දුන්නා යයි කියන මුදල් ඔවුන් උපයාගත් ආකාරය පිළිබඳ සොයන්න ඕන කියලා දැන් කතාබහක් වෙනවලු. මොකද ප්‍රියමාලිට විරුද්ධ ප්‍රධානම නඩුවක් වන කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අංක B/23436/22 දරණ නඩුවේ ක්ලැරන්ස් මොල්රිච් ගොඩ්වින් ද සිල්වා කියන පැමිණිලිකරු ප්‍රියමාලිට රුපියල් ලක්‍ෂ 7500 ක් දුන්න කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ‘කෑෂ්’වලින් එහෙම දෙන්න හේතු වුනා කියලා පැමිණිල්ලෙම කියන්නෙ හාමුදුරු නමක් හමුවෙන්න එකල තමන්ගේ මිතුරියක් වු තිලිණි ප්‍රියමාලි සමග ගියපු අවස්ථාවක ඒ හාමුදුරුවෝ තමන්ගේ මියගිය පියා වගේ අංග චලනය කරමින් සහ ඒ කටහඬින් කතා කරමින් කිව්වලු “සුවිටි පුතේ ඔබට ජීවත්වෙලා ඉන්න කාලේ මම වෙනුවෙන් කරන්න බැරි වුන දේවල් දැන්වත් කරන්න. මේ සුරංගනාවිය ඔබට උදවු කරාවි. මේ සුරංගනාවියට ඔබට දෙන්න තියෙන දේවල් දෙන්න” කියලා.

ඊට පස්සේ පැමිණිලිකරු පැමිණිල්ලේ ප්‍රකාශ කරන පරිදි “මට ඒක අහල මහත් භක්තියක් හා විශ්වාසයක් ඇති වුණා. මට මහත් ගෞරවයක් ද ඇති වුණා. ඒ නිසා මම ඒ කියපු දේවල් අහල සල්ලි දුන්නා” ඒ ආකාරයෙන් ඇති වු භක්තිය මත පුළුවන් විදියට දීපු සල්ලි ගාන තමයි රුපියල් ලක්‍ෂ 7500 !!

රුපියල් ලක්‍ෂ හත්දහස් පන්සීයක් තමන්ගේ මියගිය තාත්තා වගේ කටහඬින් කතා කළ කෙනෙකු කියු පලියට, ඇති වු භක්තියට පිනට දෙන්න පුළුවන් නම් ඒ තැනැත්තාගේ මුළු වත්කම කොපමණ වියයුතුද?

ඔහු ඒ වත්කම හොයාගත් ආකාරය රජයට අනාවරණය කර තියෙනවද?

ඒවට ආදායම් බදු ගෙවල තියෙනවද?

දැන් හොයමින් යන්නේ ඒව ගැනයි.

වාර්තා වෙන ආකාරයට තිලිණි ප්‍රියමාලි සහ මේ පැමිණිලිකරුවන් ඉඳල තියෙන්නේ කලු සල්ලි සුදු කරන බිස්නස් එකක. ව්‍යාපාරිකයන්, නළු නිළියන්, ජනප්‍රිය පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඇය ඇසුරු කලා කියලා මුල් වකවානුවේ මාධ්‍යවල පළවුනා. ඇය ඒ හරහා කරලා තිබුනේ මේ රටේ අනාවරණය කල නොහැකි මුදල් ‘කලු සල්ලි’ ගොඩ ගහගෙන හිටපු පිරිස් හඳුනා ගැනීම. අනාවරණය කල නොහැකි මුදල් උපයා ගන්නේ කොහොමද? බොහෝවිට එය සිද්ධ වෙන්නේ රටට ගෙනෙන විවිධ ව්‍යාපෘති, මහාමාර්ග වැනි ඉදිකිරීම් ආදියෙන් ලැබෙන කොමිස් මුදල් මෙන්ම උන්ඩියල් මගින්, මත්ද්‍රව්‍ය අලෙවිය, බදු නොගෙවමින් රත්රන් ඖෂධ වැනි දේ පිටරටින් ගෙන්වීම වැනි කූට ව්‍යාපාර වල යෙදීම මගින්. සාමාන්‍යයෙන් දැනට පවතින ක්‍රමවේදය අනුව, රුපියල් ලක්ෂ දෙකකට (2) වැඩි මුදලක් බැංකුවක තැන්පත් කරනවා නම් ඒ තැන්පත් මුදල පිළිබඳ විස්තර ලබාදිය යුතු වෙනවා. රුපියල් ලක්ෂ දහයකට (10) වැඩි තැන්පත් කිරීම්ක් නම්, එදිනම ඒ සියලු විස්තර මහ බැංකුවට අදාල බැංකුව විසින් යවන්න ඕන.

ප්‍රියමාලි ඒ විදියට හඳුනා ගත්තු කලු සල්ලිකාරයන්ගේ කලු සල්ලි තමන්ගේ ව්‍යාපාර කීපයක තැන්පත් කරන්න ඔවුන්ගේ සම්පුර්ණ අනුදැනුම සහ එකඟතාවය සහිතව කටයුතු කරල තියෙනවා. ඒ ව්‍යාපාර සැබවින්ම විශාල ලාභ ලබන ඒවා නොවුවත් තිකෝ සමූහ ව්‍යාපාරයට අයත් තිකෝ ෆිල්ම්ස්, තිකෝ කන්ස්ට්‍රක්ෂන්, තිකෝ රියල් එස්ටේට්, තිකෝ ජෙම් ඇන්ඩ් ජුවලරි, බ්ලැක් රොක් එන්ටර්ටේට්මන්ට්, තිකෝ ට්‍රේඩිංග්ස් යන ආයතන හරහා තමන්ගේ කලු සල්ලි සුදු සල්ලි බවට පත්කරගන්න පුළුවන් බව හොඳින්ම දන්න නිසා මේ පැමිණිලිකරුවන් ඔවුන්ගේ සල්ලි මේ ආයතනවල කැමැත්තෙන්ම තැන්පත් කළා.

තිලිණි ප්‍රියමාලිට එරෙහිව තියෙන එක නඩුවක පැමිණිලිකරු තිලිණිට මුදල් දීලා තියෙන්නේ 128 වතාවකට, ඒ එක් වරකට රුපියල් ලක්ෂ 40, 60, 70 වගේ ගණන් වලින්, මුදල් නෝට්ටු විදිහට. B/22520/22 නඩුවේ අබ්දුල් හසන් කමල හසන් කියන පුද්ගලයා ප්‍රියමාලිට ඩොලර් හැටදාහක් (60,000) සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් (1,00,000) දුන්න කියලා කියන්නේ හිල්ටන් හෝටලයේදි විදෙස් මුදල් නෝට්ටු වලින්. ඔහු කිසිම ආකාරයක එවැනි විදේශ මුදල් ළඟ තබාගත හැකි හෝ ගනුදෙනු කළ හැකි බලපත්‍රයක් හිමි අයෙක් නොවෙයි. ඔහුගේ නිවසේ නෝට්ටු ලෙස තිබී ඒවා රැගෙන ආ බව සඳහන්. අනික ඒ පැමිණිල්ලේ තියනවා තෙල් නැවක් ගේන්න සල්ලි ඕන කියලා ප්‍රියමාලි එම මුදල් ලබාගත් බව. මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් දන්නෙ නැද්ද පුද්ගලිකව කෙනෙකුට ලංකාවට තෙල් නැවක් ගේන්න කිසිම හැකියාවක් නෑ කියලා.

අනික මේ බොහෝ නඩුවල හරිම සිත්ගන්නාසුලු කාරනා දෙකක් (2) තියෙනවා. එකක් මේ සියලු ගනු දෙනු මිලියන ගනන් වල ගනුදෙනු. ඒ විදියට මිලියන ගනන් මුදල් ලබා දෙන අවස්ථාවේදී චෙක් පතක් තියා ලියුම් කෑල්ලක්වත් පැමිණිලිකරුවන් අරගෙන නැහැ. පිටිසර ගමක පොලී මුදලාලි කෙනෙක්වත් එහෙම කාටවත් එක රුපියල් දහ දාහක් (10,000) දෙන්නෙ නෑ. අනික් කාරනේ මුදල් ගන්නකොට දෙනවා යැයි කියන අධික ලාභ මුදල කුමන ආකාරයේ ව්‍යාපාරයක යොදවා උපයන්නේ දැයි ප්‍රියමාලිගෙන් නිකමටවත් ඇසුවේ නැද්ද යන්න පිළිබඳ විමර්ශකයන් පැමිණිලි කරුවන්ගෙන් අසා තිබුණත් ඔවුන්ට එයට දෙන්න පිළිතුරක් තිබිලා නැහැ. ඒ කියපු ඇතැම් ලාභ ලැබීම් කුඩු විකුණලාවත් ගන්න පුළුවන් ආකාරයේ ලාභ නොවන බව සාමාන්‍ය පෙළ ගිණුම්කරණය හදාරන දරුවකුට වුණත් තේරුම් ගත හැකි දෙයක්. මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් වෙලත් එම සුළු දෙය කල්පනා නො නොකර සුපිරිසුදු චේතනාවෙන් ම ප්‍රියමාලි ලඟ සල්ලි දාල අමාරුවෙ වැටුණා කියන එක විහිළුවක් නොවේ ද?

ඒ නිසා හරිම පැහැදිලියි මේ පැමිණිලිකරුවන් තමන් තැන්පත් කල මුදලම යලි ආපසු නොලැබෙන බව හොඳින්ම දැන සිටියා. නමුත් කීයක් ලැබුනත් ඒවා ඉහත සඳහන් ලියාපදිංචි සමාගම් හරහා ලාභාංශ ලෙස බැංකු පද්ධතිය මාර්ගයෙන් ලැබෙන නිසා ඔවුන්ට ඒවා අනාවරණය කළ හැකි මුදල් ලෙස බැංකුවල තමන්ගේ නම්වලට තැන්පත් කරගන්න පුළුවන් වුණා. මේ ආකාරයේ ගනුදෙනු මේ පැමිණිලිකරුවන් තිලිණි ප්‍රියමාලි සමග සිදු කිරීම අරඹා තිබුනේ වර්ෂ 2018 තරම් ඈතක සිටයි. වසර 05 කට වැඩි කාලයක් සහයෝගයෙන් ගියපු මේ ගනුදෙනුව කුමක් හෝ තැනකින් සිද්ධවුනු යම් බිඳ වැටීමක් නිසා මේ ආරවුල අද ඇති වෙලා තියෙනවා.

මේ සිදුවීම මාධ්‍යවලින් වාර්තා කරන්නෙ තනි කාන්තාවක් විසින් සිදුකළ මහා පරිමාන මූල්‍ය වංචාවක් විදියට. නමුත් මේ පැමිණිලිකරුවන් ගේ පැමිණිලි සහ විමර්ශකයන් අධිකරණයට බී වාර්තා මගින් හා වැඩිදුර වාර්තා මගින් සපයන තොරතුරු අධ්‍යයනයනය කළ විට පේන්නෙ සම්පූර්ණ වෙනස් කතාවක්. කවුරුත් කාටවත් රැවටිලා නෙවෙයි. වසර ගනනාවක් හොඳින් අදුනන මිතුරන් ‘කෑෂ්’ වලින් ප්‍රියමාලි ලඟ සල්ලි දාලා .. බැංකු වලට ඒවයින් කොටසක් ආපහු ලැබිල.. අවුරුදු ගනන් ගනුදෙනු කරල.. සමහර ඒව අස්සෙ ලිංගික සම්බන්ධතා තිබිලා.. සීඅයිඩී එක මේව නොදන්නව නෙවෙයි. එලියට යන හඬපට එලියට යන්නෙත්, උසාවියෙදි කරුණු හෙලි කරන්නෙත් බොහොම පිලිවෙලට. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට වසර දෙකක් පුරා 128 වතාවක් මිලියන ගනනින් වංචාවට ලක් වෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද කියන එක සිතා බලන්න වෙනවා. එය කිසි කිසිසේත්ම වංචාවට ලක් වීමක් නොවෙයි. දෙදෙනාගේම අවබෝධයෙන් සිදුකළ කළු සල්ලි සුදු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක පොඩි අවුලක් වෙච්ච පොඩි ගනුදෙනු කීපයක් පමණයි.

මේ නඩුවට අදාළ ඇතැමුන් ලබාදුන් ප්‍රකාශවලට අනුව මේ පැමිණිලිකරුවන්ගේ ගෙවල්වල බිම් මහලවල සල්ලි නෝට්ටු තැන්පත් කරල තියන්න වෙනම කාමර පවා තිබිල තියෙනවා. ඔය මහ ලොකු අසාධාරණයට ලක්වුණු තැන්පත්කරුවන් යැයි කියන අය සල්ලි තැන්පත් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ ‘මළුවල’ සහ පෙට්ටිවල දාගෙන. ඒව ගේන විදියේ වීඩියෝ දර්ශන පවා මේ වනවිට විමර්ශකයන්ට ලැබිල තියෙනවා. ඒ වගේම ඒ සල්ලි අරන් එන්න පැමිණිලිකරුවන්ගේ ගෙවල්වලට ගියපු තිලිණි ප්‍රියමාලිගේ සේවකයන් දැකල තියෙනවා ඒ කාමරවල රුපියල් පන්දාහේ නෝට්ටු මිටි මීයෝ කකා තියෙන විදිහ!

සල්ලි තියෙනව නම් බැංකුවකට නොදා ගෙදර මිටි බැදගෙන මීයන්ට කන්න අරින්නේ ඇයි කියල මොලේ සෛල කීපයක් හරි වැඩ කරන මිනිහෙකුට තේරෙන්න ඕනේ. ඒ සල්ලි මුළුමනින්ම අනාවරණය කල නොහැකි මුදල් හෙවත් උපයාගත ආකාරය හෙළි කල නොහැකි මුදල් හෙවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘කලු සල්ලි’.

ආරංචි විදිහට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මේ වෙනකොට මේ පැමිණිලිකරුවන්ගේ වත්කම් ඔවුන් විසින් අනාවරණය කර තිබේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරල තියෙනවා. සැබවින්ම මෙම සම්පුර්ණ සිදුවීම පිළිබඳව මේ රටේ ජනතාව ලෙස නැවත විචක්ෂණශීලිව සොයා බැලිය යුතුයි. මේ වනවිට සියලු වැරදි එක් තැනැත්තියක් මත පටවා ඇයව එල්ලුම්ගස් යැවීමට සූදානම් කොට තිබුණත් එයින් මෙම සිදුවීමේ ඇති සැබෑ ගැටලුව හෝ යථාර්ථය අනාවරණය නොවන බව පැහැදිලිය.

සැබවින්ම කියනවනම් කලු සල්ලි මහා සාගරයකින් ප්‍රියමාලි අරන් තියෙන්නේ දිය දෝතක්. ඇරත් ඇය වංචා කරලා තියෙනවා නම් තියෙන්නේ දැනටමත් මේ රටට අනාවරණය නොකල, දැනටමත් රටෙන් හොරකම් කරල තියන, ගෙවල් වල දූවිලි කකා තියෙන මුදල් වලින් සුලු කොටසක්. කොටින්ම කියතොත් ඇය හොරකම් කරල තියෙන්නෙ ලෝක හොරු රැලක ගෙන්. ඇය හොරුන්ටත් හොරකම ගැන පාඩම් කියාදුන් හෙරක්. නමුත් අප තේරුම් ගතයුතු වැදගත්ම දෙය නම්, අප මහජනතාවක් ලෙස වද වියයුත්තේ කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ කලු සල්ලි වලින් කොටසක් අහිමිවීම පිලිබදවද, එසේ නොමැතිනම් රටේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු සමස්ත ප්‍රජාවගේ සුබසාධනය සලසනු පිණිස මහා භාණ්ඩාගාරයට යා යුතු මුදල් කලු සල්ලි ලෙසින් කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ බිම් මහල් වලට ගොඩ ගැසීම පිලිබඳවද යන්න ය. සැබවින්ම ගතහොත් අද මේ මොහොතේ ප්‍රියමාලි සිරගෙදර නතර වී සිටියත් අපේ මුදල් අර කිහිපදෙනාගේ සාක්කුවට වැටීම නම් නතරවී නොමැති බව ද අප වටහාගත යුතුව ඇත.

මේ ප්‍රියමාලි නාටකයේ වැදගත්ම කොටස වන ‘මාධ්‍ය මෙහෙයුම’ මගින් මේ යථාර්තය අපෙන් ඈත් කොට ඇත. තිලිණි ප්‍රියමාලි යම් වංචාවක් සිදුකර ඇත්නම් එය සිදුකර ඇත්තේ තවත් වංචනිකයන් පිරිසකට බවත් රටක් ලෙස සැලකූ කල වඩා වැඩි හානියක් රටට සිදුකර ඇත්තේ මෙම සිදුවීමෙහි විත්තිකාරිය වන තිලිණි ප්‍රියමාලි විසින් නොව පැමිණිලිකරුවන් වන ‘කූට ව්‍යාපාරික රැළ’ විසින් බවත් කඩිනමින් අප තේරුම් ගත යුතුව ඇත.

ලක්මාල් රණබාහු
2022/12/11


නවකවදයට මුහුණදෙන සිසුවෙක් හෙළිකළ තිත්ත ඇත්ත

(13.12.2022 – 20:33 +0530 – sinhala.adaderana.lk)

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ නවකවදයට මුහුණ දෙන ශිෂ්‍යයෙකු ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළ ලිපියක් ‘අද දෙරණ උකුස්සා’ වෙත ලැබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ මව ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත ලිපියක් යොමුකර ඇත.

නවකවදයට මුහුණ දුන් සිසුවා සිය ලිපිය මගින් මෙලෙස පවසා තිබේ.

“මම කැම්පස් ආවේ ඉගෙන ගන්න. ඒත් පළමු SEMESTER එකත් හොඳටම ඇණගත්තා. පාඩම් කරන්න මානසිකත්වයක් නැහැ. පාඩම් කරන්න වෙලාවක් නැහැ. ආපු දවසේ ඉඳන්ම දුක විතරයි. මායි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ගොවිතැන් කරලා. වැලි එකක් ගොඩදාගෙන සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් හොස්ටල් එකේ නතර වෙනවා. ඒ සල්ලි ටික ඉවරවෙනකම් ඉඳලා ගෙදර යන්න ආපුවහම ගෙදර යන්න දෙන්නේ නැහැ. මොකක්ද මේ ජීවිතේ ? අම්මගේ සැප දුක හොයලා බලන්නවත් විදිහක් නැහැ. ෆෝන් ඔක්කොම අරගෙන. පුළුවන් නම් මට ගෙදර යන්න හදලා දෙන්න.”

අදාළ සිසුවාගේ මව ද විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත ලිපියක් යොමුකර තිබුණි.

එහි සඳහන් වන්නේ,

“මාගේ පුතා මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෙස පළමු වසරේ ඉගෙනුම ලබනවා. ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී සිට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඔහු අනතුරකට ලක්වී කකුලක් ආබාධව සිටියි. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ට ලබාදෙන නවකවදයට මාගේ පුත්‍රයාද මුහුණ පා සිටියි. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් මාගේ පුතාගේ කකුලෙහි ආබාධයද නොසලකා ඉතා අමානුෂික ලෙස නවකවදය ලබාදෙන බව මාගේ පුතා මා සමග පවසා ඇත. පියා ද නොමැතිව මා තනිවම දුක් මහන්සියෙන් උගන්වා විශ්වවිද්‍යාලයට එවන ලද මාගේ පුතා මානසික රෝගියෙකු හෝ ආබාධිතයෙකු කර ගැනීමට මා හට අවශ්‍ය නොවන බව දන්වමි. මෙම අමානුෂික නවකවදය නතර කර මාගේ පුතාට මෙන්ම විශ්වවිද්‍යාලයට පැමිණෙන අනෙකුත් දරුවන්ට ද නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.”

+++++++++++

උකුස්සාගේ හෙළිදරවට ශිෂ්‍ය භික්ෂූන්ගේ විරෝධය

(13.12.2022 – 21:48 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ ද නවකවදය ක්‍රියාත්මක වන බවට ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (12) කළ හෙළිදරව්වට විරෝධය පළ කරමින් අද (13) එහි සිසු සංගම්වල නියෝජිතයන් උද්ඝෝෂණයක නිරතවුණි.

එම අවස්ථාවේ විරෝධතාවේ නිරත භික්ෂූන් සහ පොලිස් නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් බව අප වාර්තාකරු පැවසීය.

රජයේ සෙසු විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවකවදය හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළද ක්‍රියාක්මක වන බවට ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (12) රට හමුවේ අනාවරණය කළේය.

උකුස්සාගේ එම අනාවරණයට විරෝධය පළ කරමින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (13) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට එලෙස විරෝධතාවක නිරත වුණි.

මෙහිදී මාර්ගය අවහිර නොකර විරෝධතාවයේ නිරත වන ලෙසට පොලිස් නිලධාරීන් දැනුම්දීමත් සමග විරෝධතාවයේ නිරතව සිටි භික්ෂුවක් පොලිස් නිලධාරියෙකුට පහරදීමට උත්සාහ කළේය.

එහිදී විරෝධතාකරුවන් රැගෙනවිත් තිබු ශබ්ද විකාශන යන්ත්‍රය හා එය සවිකර තිබු ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගැනුණි.

ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර ඇති වුයේ දැඩි උණුසුම් තත්ත්වයකි.

මෙහිදී විරෝධතාවයේ නිතරව සිටි ගිහි ශිෂ්‍යයින් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගැනුණි.

මේ අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති හිමියන් විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ වෙත ලිපියක් ද යොමු කරමින් සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

අදාළ ලිපියේ සඳහන්ව තිබුණේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති බුද්ධ මන්දිරයේ පවත්වන බුද්ධ වන්දනාව, ගිලන්පස පූජාව හා සෙත්පිරිත් සජ්ඣායනාව සිදු නොකිරීමට එහි නොපැමිණෙන ලෙස නේවාසිකාගාර උපපාලකවරුන් දන්වා සිටි බවය.

ඒ සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස බුද්ධ මන්දිරය අවට රැකවල් ලා සිටින බැවිනි.

ඒ අනුව, බුද්ධ වන්දනාව හේතුවෙන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සිසුන්ගේ මරණීය තර්ජන එල්ලවී ඇති බැවින් සුදුසු පරිදි ආරක්ෂාව තහවුරු කරන තෙක් ඒ සඳහා සහභාගි විය නොහැකි බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි ෴

++++++++++

සරසවි සිසුන් දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාරයට

(14.12.2022 – 14:44 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් හෝමාගම පිටිපන නගරයේදී විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනාව (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

ඔවුන් දෙදෙනා අද (14) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අයුතු ජන රාශිය, රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් (4) යටතේ සැකකරුවන්ට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙකි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *