‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය

‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය


‘හිරු CIA’ වැටලූ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වැනි මහලේ හොර මගඩිය

(10.12.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කොටස් වෙළඳපලේ මෙරට නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජන ලබාගනිමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මුල්‍ය ආයතනය මුළු මනින්ම වසා දමා ගොස් තිබෙනවා.

අදාල ආයතනයේ පිරිස් එම ආයතනය හැර දමායාමේ සුදානමක් ඇති බවට ‘හිරු සී.අයි.ඒ.’ හරහා පසුගියදා තොරතුරු හෙළි කළ අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම ආයතනයේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

මේ අතර මෙම ආයතනය පිළිබදව මීට වසරකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කළ බව මෙම වංචාව හසු වු පුද්ගලයෙකු ‘හිරු සී.අයි.ඒ.’ වෙත ප්‍රකාශ කළා.

+++++++++

ප්‍රියමාලි මොඩලයේ තවත් මගෝඩියන් පිරිසකට වංචා විමර්ශනය දැල එළයි

(10.12.2022 – dinamina.lk)

• කාර්යාලය WTC 19 මහලේ
• කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් ලෙස පෙනී සිටලා
• මහ බැංකුවේ ලියාපදිංචියවත් නෑ

තිළිණි ප්‍රියමාලි විසින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය ආකාරයේම කාර්යාලයක් නැඟෙනහිර කුලුනේ 19 වැනි මහලේ පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතව සිටින වංචාකරුවන් පිරිසක් ගැන කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදේශීය කොටස් වෙළෙඳපොළේ ආයෝජන කරන මූල්‍ය ආයතනයක් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් දෙමින් එම ව්‍යාපාරිකයන්ව රවටමින් මේ වංචාව සිදු වන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

මේ වංචාවට හසුවී රුපියල් ලක්ෂ 39 ක් සහ ලක්ෂ 29 ක් අහිමි කර ගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) මේ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති බවත් අධිකරණයට ඊයේත් (09) පෙරේදාත් (08) කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කළ බවත් වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

මුල් මාස කිහිපය තුළ එම ආයෝජනයේ ලාභාංශ දෙමින් තව තවත් ආයෝජන සඳහා පොලඹවා ගත හැකි උපරිම මුදල ලබා ගැනීමෙන් පසු මඟ හැරීමක් වන බව මූලික විමර්ශනවලින් පෙනී යන්නේ යැයි වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ මූල්‍ය කටයුත්තේ ඔවුන් නිරතව සිට ඇත්තේද මහ බැංකුවේ ලියාපදිංචියකින් තොරව බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලය අත හැර මේ වන විට මේ වාංචාවට සම්බන්ධ පිරිස් පලායෑමේ සූදානමක් ගැනද තොරතුරු වංචා විමර්ශන කාර්යාංශයට ලැබී ඇත. එබැවින් ඉදිරියේදී මේ නීති විරෝධි මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් වංචාවල නිරත වූ පිරිස් වෙත රටින් පලා යෑමට ඉඩ නොතබමින් අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ


දරුවන් ඉලක්ක කරගත් සම්බාහන මධ්‍යස්ථාන

(10.12.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala)

‘ස්පා’ හෙවත් ‘සම්භාහන ආයතන’ නමින් මෙරට ක්‍රියාත්මක වන ආයතන පිළිබඳ සොයා බැලීම සඳහා සෘජු නියාමන ආයතනයක් නොමැතිවීම ගැටලුවක් බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේරත්න පවසනවා.

හිරු ප්‍රවෟත්ති සමඟ විශේෂ සාච්ඡාවකට එක්වෙමින් කොමසාරිස්වරයා සඳහන් කළේ කිසිදු ‘ස්පා’ ආයතනකට හෝ සම්භාහන මධ්‍යස්ථානයකට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් අවසර ලබා නොදෙන බවයි.

පාසැල් හා උපකාරක පන්ති අසල විශාල වශයෙන් පවත්වාගෙන යන ‘ස්පා’ ආයතන සම්බන්ධයෙන් මව්පියන්, විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ගෙන් නිතර පැමිණිලි ලැබෙන බව ද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළා.

+


අධික සීතලෙන් දරුවන් රැකගැනීමට උපදෙස්

(10.12.2022 – 20:24 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැහැදිලි කළේය :

“ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් මේ දවස්වල එළියට ගන්නවා නම් හොඳට ඇඳුමක් අන්දලා හිස්වැසුමක් දලා මේස් දෙකක් දලා එළියට ගන්න. නැතිනම් සීතල ඇතිවීමත් සමගම පහසුවෙන් උණ රෝග බෝ වෙන්න පුළුවන්.” 

“දූවිලි තත්ත්වය තිබෙන ප්‍රදේශයක නම් මුඛ ආවරණ තවදුරටත් පාවිච්චි කරන්න. අඩු බර නොමේරු දරුවන්ට සීතර එච්චරම හොඳ නෑ. ඒ වගේ ළමුන්ට හොඳට ඇඳුමක් අන්දලා, හිස්වැසුමක් දාලා මේස් දෙකක් දලා තියා ගන්න. අත් දෙකටත් මේස් දෙකක් දාලා රෙද්දකින් ඔතලා තියන්න. නැතිනම් එයාලාගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා ලෙඩ වෙන්න පුළුවන්.”

+++++++++

+


පාසල් භූමියට මත්ද්‍රව්‍ය ආ හැටි හෙළිවෙයි

(10.12.2022 – 20:05 +0530 – sinhala.adaderana.lk)

පාසල් ළමුන් හා මත් ලෝලින් වෙත මත්කරල් අලෙවි කළ බවට සැකපිට ගම්පහ අපරාධ කොට්ඨාසය විසින් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී මත්කරල් 6,000 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසීය.

ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාව තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7 ක් සහ මත්පෙති 38 ක් සමග පසුගිය පස්වනදා එය පවත්වාගෙන ගිය කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

කෙසේවෙතත් ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, පෞද්ගලික පළිගැනීමක් හේතුවෙන් අදාළ පාසලේ ආපන ශාලාවට පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය දමා ඇති බවය.

ඒ අනුව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව සමග පැවැති ආරවුලක් හේතුවෙන් නඩු කටයුත්තක් පවතින පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇයගෙන් පළිගැනීම සඳහා පාසලේ ආපන ශාලාවට මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙකු හරහා දැමූ බවය.

අදාළ සැකකරු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මුරකරුවෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගෙන් මුදල් පොලියට ලබාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු හරහා ඔහු විසින් මත්කරල් හා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවද පොලීසිය පවසයි.

එලෙස මත්ද්‍රව්‍ය තමාට ලබාදුන් පුද්ගලයින් කිහිපදෙනා අතරින් අයෙකු හරහා මත්ද්‍රව්‍ය ආපන ශාලාවට දැමූ බවද ඔහු විසින් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගෙන ඇත.

ඒ අනුව ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගත් රුක්මල්ගමවිල ප්‍රදේශයේ පැවැති ළමා චිකිත්සකාගරයක් හා ඖෂධ මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලනු ලැබීය.

එහිදී අයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්කරල් 6,576 ක් හා රුපියල් පනස්පන් ලක්ෂයකට (55,00,000) අධික මුදලක් ද පොලීසිය සොයාගෙන තිබේ.

එම පුද්ගලයා විසින් ළමා චිකිත්සකාගාරයෙන් ප්‍රතිකාර ගැනීමේ මුවාවෙන් පැමිණෙන ළමුන් හා මත්ලෝලීන් වෙත මත්කරල් විකුණා ඇති බවට පොලීසිය සැක කරයි.

එමෙන්ම ඔහු මත්ලෝලීන්ට ප්‍රතිකාර සිදුකරන බව පවසා ඔවුන්ට ද මත් කරල් විකුණා ඇති බවට සැකකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

+


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට ප්‍රහාරයක්

(11.12.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීමකින් එහි හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ දී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති බවයි.

ඉන් අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300 ක පමණ පිරිසක් අතුල සේනාරත්න රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව පේරාදෙණිය පොලීසිය එම ස්ථානයට පැමිණ ගැටුම සමතයට පත්කර පිරිස විසුරුවා හැර තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබූ අතුල සේනාරත්න ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පුත්‍රයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම පහරදීමෙන් අතුල සේනාරත්නගේ බිරිඳ සහ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) ද තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *