ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක්

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක්


ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කෝටි ගණනක ගැහිල්ලක්

(05.12.2022 – 09:13 +0530 – mawbima.lk)

ගොඩනැගිලි ද්‍රව්‍ය අඩු මිලට ලබාගෙන ව්‍යාජ ලේඛන සහ මුද්‍රා පාවිච්චි කර වැඩි මිලක් පෙන්වා කර ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පැමිණිල්ලක් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

සහනදායී ක්‍රමයට ගොඩනැගිලි ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම වංචාව කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

එම වංචාව සඳහා යොදාගත් සැපැයුම්කරුවන්ගේ නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විසින් මෙම පැමිණිල්ල කරනු ලැබ තිබේ.

ඉකුත් ඔක්තෝබර් 27 වන දා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සමග පැවැත්වූ හදිසි රැස්වීමකින් අනතුරුව වාණිජ අංශය විවෘත කර විශේෂ පරීක්ෂාවට ලක් කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

අනතුරුව එදින ම එම වාණිජ අංශයට මුද්‍රා තබා සාමාන්‍යාධිකාරිගේ වැඩ තහනම් කිරීමට සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

පසුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ විගණන නිලධාරීන් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වාණිජ අංශය විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමේදී අලෙවි සහායකවරයාගේ හා සාමාන්‍යාධිකාරිගේ මේස ලාච්චුව තුළ තිබී සැපැයුම්කරුවන් ලෙස කටයුතු කරන ආයතන කිහිපයක නිලමුද්‍රා සහ ලිපි ශීර්ෂ කිහිපයක් හමු වී ඇතැයි පැමිණිල්ලේ සඳහන් ය.

මෙම නිලමුද්‍රා සහ ලිපි ශීර්ෂ භාවිත කරමින් සැපැයුම්කරුවන්ගෙන් අඩු මිලට බඩු ලබාගෙන වැඩි මිලක් පෙන්වා විශාල මුදල් වංචාවක් කර ඇති බවත් මේ වංචා කර ඇති මුදල කොපමණ ද යන්න පසුව දැනුම්දෙන බවත් පවසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වංචා විමර්ශන කාර්යාංශය වෙත වෙත කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධ්‍ය‍ක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඩබ්ලිව්. වික්‍රමසේකරගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරියගේ මෙහෙයවීමෙන් ඒකක පොලිස් සැරයන් වනිගරත්න (7189) පරීක්ෂණ පවත්වයි ෴


බොරු මහේස්ත්‍රාත් නියෝගයක් හදා උසාවියේ තිබූ පවුම් 48 ක රත්‍රන් උස්සලා

(05.12.2022 – 08:50 +0530 – mawbima.lk)

ව්‍යාජ ලෙස සැකැසූ මහේස්ත්‍රාත් නියෝගයක් භාවිත කර කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් උසාවිවල නඩු භාණ්ඩ ලෙස තිබූ පවුම් 48 ක රත්‍රන් සොරා ගැනීමක් ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

කොළඹ අලුත්කඩේ අංක 2 හා 4 යන මහේස්ත්‍රාත් උසාවිවල විභාග වන නඩු දෙකකට (2) අදාළ නඩු භාණ්ඩ මෙසේ සොරකම් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

මහේස්ත්‍රාත්ගේ නියෝගයක් පරිදි ඒවා මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරයාගේ අස්සන හා මුද්‍රා ද තබා සකස් කළ ව්‍යාජ ලේඛනයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් මෙම සොරකම කරනු ලැබ ඇතැයි එම නිලධාරියා කීය.

කෙසේ වෙතත් පසුව මේ පිළිබඳ සැක සිතී සොයා බලද්දී මහේස්ත්‍රාත් නියෝගය ගෙන ආ තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන්නෙකු නොවන බව අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කී නිසා ඒ විශ්වාසය මත නඩු පොත නොබලා මෙසේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් පවුම් 48 ක් නිදහස් කර ඇතැයි කියැවේ.

එහිදී නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කීය ෴


වෛද්‍යවරුන්ගේ වැටුප් වංචා කළ කළමනාකාරවරයෙකුට සිර දඩුවම්

(05.12.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන් හතර දෙනෙකුගේ (4) වැටුප වංචනික ලෙස සිය බැංකු ගිණුමට බැර කරගත් කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ කළමනාකාරවරයෙකුට වසර 10 ක සිර දඩුවම් අද (05) නියම කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හමුවේ කැඳවූ අවස්ථාවේ දී යි.

2003 වසරේ දී අදාළ වංචාව සිදු කර ඇති අතර ඊට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුට එරෙහි ව නඩු පවරා තිබුණා ෴


ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(05.12.2022 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250 කින්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45 කින් ඉහළ යනු ඇති.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,610 ක්.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,850 ක් වන අතර, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 860 දක්වා ඉහළ යන බව යි වාර්තා වන්නේ ෴


ඔස්ට්‍රේලියාවට යාමට උත්සහකළ 20 දෙනෙකු නාවික හමුදා භාරයට

(05.12.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

නිතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයින් 20 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අද (05) අළුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු නැගෙනහිර මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් සෝදිසි කිරිමේදි මෙම පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම පිරිස අතර කාන්තාවක් සහ වයස අවුරුදු 18 අඩු ළමුන් 03 තුන්දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් කලවංචිකුඩි, මඩකලපුව, මුතූර්, යාපනය සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


රුපියල් ලක්ෂ 350 ක් වැයකර පිඩැලි ඇල්ලූ බෝගම්බර ක්‍රීඩාංගණය මඩ වගුරක් වෙයි

(05.12.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරය තුළ පිහිටි ප්‍රධානතම ක්‍රීඩාංගණය වන බෝගම්බර ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සඳහා වැය කළ රුපියල් ලක්ෂ 350 ක මුදලක් අපතේ ගොස් ඇති බවට එම ක්‍රීඩාංගණයේ භාරකරුවන් චෝදනා කරනවා.

සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙම ක්‍රීඩාංගණය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු, රගර්, අත්පන්දු, දැල්පන්දු ඇතුලු ක්‍රීඩා රැසක් පැවැත්වීමට යොදාගන්නවා.

එමෙන්ම මහනුවර නගරයේ පාසල් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා තරග පවත්වනු ලබන්නේද මෙම ක්‍රීඩාංගණයේයි.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගණයට අලුතින් පිඩැලි අල්ලා නවීකරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 350 ක්, 2019 වසරේ වෙන් කර වැඩ ආරම්භ කර තිබුණත්, අද වනවිට එහි කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි ආකාරයට පත්ව ඇති බවයි ක්‍රීඩා භූමි පාලක එස්.ඩී.ජී. විතානගේ සඳහන් කළේ.

මෙම තත්වය සොයාබැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ඊයේ බෝගම්බර ක්‍රීඩාංගණයට පැමිණ තිබුණා ෴


14 හැවිරිදි සිසුවෙක් සරසවි වරම් හිමි කරගනියි

(05.12.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කඩවත මාවරමංඩිය නැණමල් විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දෙව්ම් සනහස් රණසිංහ සිසුවා වාණිජ අංශයෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගෙන තිබෙනවා.

8 වන ශ්‍රේණියේ දී අපොස සාමාන්‍ය පෙළ ලියා ඉන් මාස 6 කට පසුව 9 වන ශ්‍රේණියේ දී උසස් පෙළ විභාගයට පෙනී සිට ‘බී’ සාමාර්ථ තුනක් (3) ලබා ගැනීමට දෙව්ම් සමත් වුණා.

ඒ අනුවයි ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා තිබෙන්නේ.

දෙව්ම් ව පිළිගැනීමේ උත්සවයක් අද (05) දින එම විද්‍යාල භූමියේ දී පැවැත්වුණ අතර එහිදී දෙව්ම පිළිගනු ලැබුවේ රිය පෙරහැරකිනි.

පළමු (1) ශ්‍රේණියේ සිට පස්වන (5) ශ්‍රේණිය දක්වා දෙව්ම් ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර, එතැන් සිට අද දක්වා ම නැණමල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබෙනවා.

දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන දෙව්ම්ගේ දෙමාපියන් ද ගුරුවරුන් ෴


අමෙරිකානු පොලිස් වෙඩිපහරින් ශ්‍රී ලාංකිකයෙක් මරුට

(05.12.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ ටෙක්සාස්හි වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 33 හැවිරිදි රාජන් මුණසිංහ නමති තරුණයෙකු ඉකුත් නොවැම්බර් 15 වනදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තම නිවසේ ආලින්දයේ ගිනි අවියක් තබා ගනිමින් සිටි රාජන් නැමැත්තාට එම අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ඔස්ටින් පොලීසිය විසින් ලබා නො දී ඔහුව පොලීසිය විසින් ඝාතනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දින කිහිපයක් නිවසේ නො සිට නැවත නිවසට පැමිණෙන විට තම නිවස සොරුන් විසින් බිඳ ඇති බවට අනුමාන කොට තම නිවසේ දොර අසල සඟවා තිබූ ගිනි අවියක් ඔහු ගෙන ඇත්තේ සිය ආරක්ෂාව සඳහා බවයි පවුලේ සාමාජිකයන් විසින් පවසා ඇත්තේ.

කෙසේ නමුත් රාජන්ගේ ඥාතීන් අධිකරණයට පවසා ඇත්තේ රාජන් සතුව තිබූ ගිනි අවිය බිමතැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා පොලිස් නිලධාරීන් රාජන් ට ඉකුත් නොවැම්බර් 15 වනදා අලුයම 12:30 ට වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු මේවන විටත් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ෴


ලබන වසරේ (2023) විදුලි ඒකකයක් රුපියල් 56 ක් වේවි! – ඇමති

(05.12.2022 – 11:10 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ අඛණ්ඩ විදුලිය සැපයීමට නම් එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 56.90 ක් වැය වනු ඇතැයි ලංවිම ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, “මගේ මතය නම් ඒකකයක් සඳහා රුපියල් 56.90 ක නිෂ්චිත ගාස්තුවක් අය කළ යුතු බවත්, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක් ලබා දිය යුතු” බවයි.

එසේ ම ලංවිම බිල්පත් දත්තවලට අනුව ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් 6,709,574 ක් සිටින බවත්, දැනට ඒකකයක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14 ක් අය කරන නමුත් රුපියල් බිලියන 423.5 ක හිඟ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු බවයි.

  • තව ද, ඒකක 0-30 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,460,828 ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 8 ක් බවත්,
  • 30-60 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,683,172 ක් සිටින බවත් එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 10 ක් බවත් පවසනවා.
  • මේ අතර ඒකක 60-90 දක්වා ප්‍රමාණයක් මාසිකව පරිභෝජනය කරන පාරිභෝගිකයින් 1,702,515 ක් සිටින බවත් මේ වන විට එම කාණ්ඩයේ විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ රුපියල් 16 ක් බවත්,
  • ඒකක 90-180 ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයින් 1,559,131 ක් සිටින බවත් එම කාණ්ඩයේ ඒකකයකට රුපියල් 50 ක් අය කරනු ලබන බවත් පවසනවා.
  • එසේ ම ඒකක 180 ට වඩා භාවිත කරන පාරිභෝගිකයින් 303,928 ක් සිටින අතර ඒකකයකට රුපියල් 75 ක් අය කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, පහළ ස්ථරවලට විශාල වශයෙන් සහනාධාර ලබා දෙන අතර ඉහළ ස්ථරය සහනාධාරයේ කොටසක් සඳහා වන්දි වශයෙන් සාමාන්‍ය පිරිවැයට වඩා ගෙවීමට සිදුව ඇති බවත් ඉතිරිය සහනාධාර වශයෙන් මහා භාණ්ඩාගාරය විසින් දරනු ලබන බව‍යි.


කැළණිය – ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික ගොඩනැගිල්ලක ගින්නක්

(05.12.2022 – 08:50 +0530 – hirunews.lk/sinhala)

කැළණිය ප්‍රදේශයේ අද (05) උදෑසන හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ කැළණිය – ගල්බොරැල්ල මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික ගොඩනැගිල්ලක පෞද්ගලික රෝහලට අයත් ගබඩා ගොඩනැගිල්ලකයි.

මේ වනවිට අදාළ ස්ථානයට ගිනි නිවීමේ රථ හා ජල ප්‍රහාරක රථ කැළණිය ප්‍රාදේශීය සභාවෙන් පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මර්දනයට ගිනි නිවීමේ රථ 06 ක් යොදවා තිබෙනවා.

ගින්නට හේතුවක් තවමත් සොයාගෙන නොමැති අතර, ඇතුළත සිදු වූ කාර්මික දෝෂයක් මෙලෙස ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.

ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇති මුත්, ජීවිතවලට ඉන් හානියක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සුඛෝපභෝගී බස් රථයක් පෙරළී 23 දෙනෙකුට තුවාල

(05.12.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අතිසුඛෝපභෝගී බස් රථයක් අද (05) අලුයම කිලිනොච්චිය 155 වැනි කිලෝමීටර කණුව අසළ දී අනතුරට ලක්වීමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකු ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූවන් කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තාවනවා ෴


ඩීසල් මිල පහළට

(05.12.2022 – 18:45 +0530 – hirunews.lk/sinhala)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඔටෝ ඩීසල් (සුදූ ඩීසල්) ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක නවතම මිල රුපියල් 420 දක්වා අඩු වනු ඇති.

ඩීසල් මිලට අඩු වීමට සාපේක්ෂ ව පෙට්‍රල් මිල ද අඩු වන බවට තවමත් තොරතුරු වාර්තා වන්නේ නෑ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *