HIV පරීක්ෂා කිරීමට ස්වයං පරීක්ෂණ කට්ටලයක්

HIV පරීක්ෂා කිරීමට ස්වයං පරීක්ෂණ කට්ටලයක්


HIV පරීක්ෂා කිරීමට ස්වයං පරීක්ෂණ කට්ටලයක්

(01.12.2022 – 18:46 +0530 – sinhala.adaderana.lk)

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින්ගේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

2022 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටින් HIV ආසාදිතයින් 479 දෙනෙකු හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් 2021 සමස්ත වර්ෂය තුළම මෙරටින් හඳුනාගෙන තිබු‍ණේ HIV ආසාදිතයින් 411 දෙනකු පමණි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙන්නේ වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස් අතර HIV ආසාදනය සහ සෙසු ලිංගාශ්‍රිත රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන බවය.

මෙවැනි පසුබිමක වෛද්‍යවරු පෙන්වා දෙන්නේ HIV ව්‍යාප්තිය පාලනයට පරීක්ෂණ සහ ප්‍රතිකාර වෙත කඩිනමින් යොමුවීම අත්‍යවශ්‍ය බවය.

කොළඹ 10, ද සේරම් පෙදෙසේ පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ මධ්‍යම සායනය හරහා HIV ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීමේ පරීක්ෂණ, ඒඩ්ස් රෝගී ප්‍රතිකාර, උපදේශන සේවා ඇතුළු සේවා රැසක් ජනතාවට නොමිලේ සපයයි.

ඊට අමතරව HIV ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ සහ සෙසු සේවා සැපයීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේද මේ වනවිට පහසුකම් සපයා තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය :

“සතියේ දින 5 ම උදේ 8 සිට සවස 4 වෙනකම් සායනය ඇරලා තියෙන්නේ. සෙනසුරාදාත් උදේ 8 සිට දහවල් 12 වෙනකම් සායනය විවෘතයි. සමහර පරීක්ෂණ තිබෙනවා.. අපේ ළඟට ආවට පස්සේ විනාඩි 20 න් ප්‍රතිඵල ලබාදෙනවා. සායනවලට එන්න කැමති නැති අයට ස්වයං පරීක්ෂණ කට්ටල තිබෙනවා. තමන්ගේ මුඛ තරලය යොදාගෙන මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. ප්‍රතිඵලවල ප්‍රශ්නයක් තිබෙනවා නම් අප වෙත යොමුවෙන්න පුළුවන්. අපේ ආරක්ෂක මුරකුටියේ අපි මේවා තියෙලා තිබෙනවා. ඕනම කෙනෙකුට මේක ලබාගන්න සැකය දුරුකරගන්න පුළුවන්.”

HIV ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ සහ සෙසු සේවා සැපයීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට මෙතැනින් පිවිසෙන්න :


සීසරුන් තල්ලුකළ බව පවසමින් පොහොට්ටු ප්‍රා ස මන්ත්‍රීවරිය රෝහල්ගත වෙයි

(01.12.2022 – 14:32 +0530 – sinhala.adaderana.lk)

ලීසිං වාරිකය ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසරුන් විසින් තල්ලුකිරීමෙන් ඇදවැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් කළ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය.

පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත.

එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ.

දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසරුන් හත් දෙනෙකු (7) පැමිණ යතුරුපැදිය රැගෙන යාමට උත්සාහ කළවිට මන්ත්‍රීවරිය ඊට විරෝධය පළකිරීමේදී ඇය තල්ලුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලීසිය පැවසීය.

ඇය මේ වනවිට රෝහල්ගත වී සිටින්නීය.


ප්‍රියමාලිගේ මගඩිවලට රුකුල් දුන් ‘තිකෝ’ ලොක්කාට ඇප

(02.12.2022 – dinamina.lk)

කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලිගේ වංචාවට ආධාර අනුබල දුන් එම ආයතනයේ විධායක නිලධාරියෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) ඇප මත මුදා හැරිණි.

රුපියල් 43,100,000 ක මුදලක් තිළිණි ප්‍රියමාලිට ලබා දීමට ආධාර අනුබල දුන් සිද්ධියක් හේතුවෙන් එම ආයතනයේ සේවකයෙක් වන ‘ජයවර්ධන ලියනගේ මධුක නෙරංජන්’ යන අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු ඇප මත මෙලෙස මුදා හරින ලෙස නියෝග කළේය.

කිරිල්ලවල පදිංචි දොන් නුවන් අමරසේකර යන අය සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ (5,00,000) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදා හැරිණි. ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය ෴


විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කෙරේ

(02.12.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

2021 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ, කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු ලබාගත හැකි බවයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසු සිසුවියන් 44,000 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

කඩඉම් ලකුණු UGC වෙබ් අඩවියෙන් පළ කර ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

(02.12.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (02) රාත්‍රී දහයේ (10:00) සිට හෙට (03) පස්වරු එක (01:00) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට යි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ නව සම්ප්‍රේෂණ නළ එළීමක් මෙලෙස ජල කප්පාදු කිරීමට හේතු වී තිබෙනවා ෴


යාපනය විශ්වවිද්‍යාලය චීන විශ්වවිද්‍යාලයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි

(02.12.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

චීනයේ සැඟවුණු න්‍යාය පත්‍රයන් ඇති බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලය චීන විශ්වවිද්‍යාලයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන යාපනය විශ්වවිද්‍යාලය පවසන්නේ චීනය උතුරුකරයේ ඉඩම් සහ සාගර කලාප අත්පත් කර ගැනීම සඳහා සැඟවුණු න්‍යාය පත්‍ර සමඟ විවිධ ගිවිසුම් සඳහා පිවිසෙන බවයි.

මුහුදු කූඩැල්ලන් වගාවන් ප්‍රවර්ධනය කිරීම මුවාවෙන් චීනය සෘජුව සහ වක්‍රව විශාල මුහුදු ප්‍රදේශ ඩැහැගෙන යාපනයේ ධීවරයින් අතර මේ වන විටත් භේද ඇති කරමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙලස චීන රාජ්‍ය කෘෂිකාර්මික විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම යාපනය විශ්වවිද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත් පළුදු වී ඇති බවයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය නොවැම්බර් 25 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති සිවකොළුඳු ශ්‍රී සත්කුනරාජා මෙලෙස චීනය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර උතුරේ මහජන කැමැත්තට පිටුපාමින් චීනය සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් නොකරන ලෙස යාපනය ශිෂ්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටි අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමය සිය උපකුලපතිවරයාට කෘතඥතාව ද පළ කර තිබෙනවා.

“දැන් චීනය බලා සිටින්නේ දස වසරකින් (10) චීනයේ ඇති වන දරුණු ආහාර අර්බුදය කළමනාකරණය කිරීමට උතුරු නැගෙනහිර සරුසාර කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගැනීමටයි”.

මීට අමතරව චීනය විසින් ශ්‍රී ලංකාවට පොහොර ලෙස හානිකර බැක්ටීරියා සහිත මළ අපද්‍රව්‍ය සැපයූ බවත්, ඒ හරහා රජයට රුපියල් මිලියන ගණනක අලාභයක් විඳීමට සිදු වූ බවත්, චීනය මේ රටේ සාරවත් කෘෂි කෘෂිකාර්මික ඉඩම් සූක්ෂම ලෙස අත්පත් කරගනිමින් චීනයේ ඉදිරි ආහාර අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා මෙරට ජනතාව වහල්භාවයෙන්ට පතත් කිරීමේ සූදානමක් ඇති බවත්, යාපනය ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩි වැඩිදුරටත් රජයට චෝදනා නගමින් පවසන්නේ චීනයේ ප්‍රවේශය මත පදනම්ව, උතුරු හා නැගෙනහිර සරුසාර කෘෂිකාර්මික ඉඩම් සහ මුහුද චීනයට විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් බීජිං සමඟ රහසිගත ගනුදෙනු සිදු කර ඇති බවට සැක පල කරමින්.

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයට ගොදුරු වූයේ ද විනිවිදභාවයෙන් තොර තිරසාර නොවන චීන ණය නිසා බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා ෴


ආබාධිත තෙසක රියදුරාට මහමග දී පහර දුන් දෙපා තිරිසන්නු

(02.12.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද රථ කුලී ගාස්තුව නොගෙවූ පුද්ගලයින් දෙදෙනකු (2) විසින් රථයෙහි රියදුරුට පහර දී පලා යාමට උත්සාහ කළ පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත අද (02) වාර්තා වුණා.

මෙම මගීන් දෙදෙනා (2) රැගත් ත්‍රීරෝද රිය කොට්ටාවෙන් පිටත් ව පැමිණ ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයට වන අතර, පසුව ඔවුන්ව බත්තරමුල්ලට රැගෙන යන ලෙස පැමිණි දෙදෙනා (2) රියදුරුට දැනුම්දී තිබෙනවා.

ඉන් අනතුරුව බත්තරමුල්ලට ද ගොස් යළිත් එතැනින් කොට්ටාවට රැගෙන යන ලෙසයි මගීන් දෙදෙනා (2) රියදුරුට දැනුම්දී ඇත්තේ.

එම ඉල්ලීම මත යළිත් කොට්ටාවට ගිය ත්‍රීරෝද රථ රියදුරුට මගීන් පවසා ඇත්තේ තමන්ව තලවතුගොඩ සම්පත් බැංකුවට රැගෙන යන ලෙසයි.

ඒ අනුව යළිත් සිය ත්‍රීරෝද රථයෙන් මොවුන්ව රැගෙන තලවතුගොඩට පැමිණි රියදුරුට මගීන් දෙදෙනා (2) පහර දී ත්‍රීරෝද රථ කුලී මුදල නොගෙවා පලා යාමට උත්සාහ කර තිබෙනවා.

පහරකෑමට ලක් වූ ත්‍රීරෝද රථයෙහි රියදුරු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ මෙවැන්නක් :

“ත්‍රීවීල් හයර් එක රු. 2500 ක් සර්. මං කොට්ටාවෙන් මේ අය ගත්තේ. මට කිව්වා තලවතුගොඩට අරන් ‍යන්න කියලා. එතැනට ගෙනාවට පස්සේ කිව්වා බත්තරමුල්ලට යමු කියලා. එතැනටත් ගියා. ඊට පස්සේ කිව්වා ආයෙ කොට්ටාවට අරන් යන්න කියලා. මං ඒකත් කළා. එතැනට ගියහම කිව්වා ආයෙත් තලවතුගොඩ සම්පත් බැංකුව ළඟට ගෙනියන්න කියලා. එතැනට ආවට පස්සේ මගේ කොණ්ඩෙන් අල්ලගෙන මට හොඳටම ගැහුවා සර්. පස්සේ මේ ගෑනු එක්කෙනා දැකලා තමයි මාව බේරගත්තේ…”

කෙසේවෙතත්, මෙම පුද්ගලියින් දෙදෙනා (2) ත්‍රීරෝද රථ රියදුරුට පහර දෙන අවස්ථාවේදී, බැංකුවට පැමිණ එළියට එමින් සිටි කාන්තාවක් එය දැක ඇති අතර, ඇය විසින් එම රියදුරුව බේරාගෙන, ප්‍රදේශවාසීන්ගේ සහායෙන් පහරදුන් පුද්ගලයින් දෙදෙනාව (2) පොලිසියට භාරදීමට කටයුතු කෙරුණා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පාදයේ ආබාධිත තත්ත්වයෙන් පසුවන ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර ප්‍රදේශවාසීන් පැවසුවේ, එම සැකකරුවන් බීමත්ව සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා (2) පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


මෝටර් රථයක සිරවී 17 හැවිරිදි පාසල් සිසුවෙකු මරුට

(02.12.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල – ජයමාවත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ සිය නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළට ඇතුළු වූ සිසුවා එහි සිරවී ඇති අතර, ඔහුට මෝටර් රථයේ දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

පසුව මෙම සිසුවාගේ පියා පැමිණ මෝටර් රථයේ දොර විවෘත කර ඇති අතර ඒ වන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.


‘මැණිකේ ඔබේ සිනාවේ – දෑස පා සිනා – නෙත් යුග රන්තරු’ ලියූ හේමශ්‍රී ද අල්විස් සමුගනී

(02.12.2022 – gossiplankanews.com)

ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගී රැසක් දායාද කළ ගේය පද රචක හේමශ්‍රී ද අල්විස් මහතා ජීවිතයෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහුට වයස 81 ක් විය.

මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා…, මධු සඳෙන් තවත් සුපුන් සඳක්…, නෙත් යුග රන් තරු…, සුදු සඳ රැස් ගලන…, ශ්‍රීණි විභූෂිත ලංකා…, සීත වනමල් පෙතේ… , කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක.., දුනුකෙයියා මලක් වගේ.., මාගේ මේ රට.., සඳක් නැගී සඳක් ගිලෙයි.. ඇතුළු ගීත 4000 ක් පමණ රචනා කළ ඔහු කාලයක් වෙළෙඳ දැන්වීම් ක්ෂෙත්‍රයේ නිර්මාණ රචකයෙකු ලෙස ග්‍රාන්ට් ආයතනයේ සේවය කළේය.

1977 සිට 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළේය.

හේමශ්‍රී බිරිය වූයේ ගායිකා අයිරින් ද අල්විස් ය. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක වූ ඇය දෑස පා සිනා…, සඳ වගෙ ලස්සන රූපිකා…, ඔබෙයි මගෙයි මධුර පෙම් අතීතේ…, වසුන්දරා…, ආදරේට නැද්ද ලෝකේ ආදරය… වැනි හේම ශ්‍රී අතින් ලියැවුණ ජනප්‍රිය ගීත ගායනය කර තිබුණි. 1969 විවාහ වූ ඔවුනට පුතුන් දෙදෙනෙක් (2) සිටී. අයිරින් ද අල්විස් මහත්මිය 2018 වසරේදී ජීවිතයෙන් සමුගෙන තිබුණි.

හේමශ්‍රී මහතාගේ දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (05) සවස 4 ට තල්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *