ආදායම් බදු වාර්තා ඔන්ලයින් ගොනු කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

ආදායම් බදු වාර්තා ඔන්ලයින් ගොනු කිරීම ගැන විශේෂ දැනුම්දීමක්


ආදායම් බදු වාර්තා ඔන්ලයින් ගොනු කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

(01.12.2022 – 10:40 +0530 – sinhala.adaderana.lk)

ආදායම් බදු වාර්තා ඔන්ලයින් ගොනු කිරීම සඳහා නොවැම්බර් මස 30 වන දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ.

අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවය.

ප්‍රශ්නය : Income tax refund submit කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්‍රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා කරපු දෙයක් ද, තද බදයක් ද මොකක් ද ?

“ඊයේ දිනය (30) වෙද්දි සියලුදෙනාම තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. ඊයේ දිනයත් (30) එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද, ආදි බදු ෆයිල් submit කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේක මෘදුකාංගයේ ගැටලුවක්. එයට විසඳුමක් ලෙස අපි අමතර සතියක කාලයක් ලබාදෙනවා. ඒ සතියක කාලය තුළ රිටන්ස් භාරදුන්නහම එය නොවැම්බර් මස 30 භාරදුන්නා යැයි සලකන්න අපි අවශ්‍ය වැඩකටයුතු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”


ගාල්ල – උණවටුණේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී රුසියානු කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු (2) මරුට

(01.12.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උණවටුන ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

අද (01) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථය පැදවූ 62 හැවිරිදි රියදුරු සහ රුසියානු ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව සිය දරුවා පෙර පාසලට යොමු කර යළි පැමිණෙමින් සිටිය දී අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය ද අක්‍රිය ව පැවත ඇති බවයි.

++++++++

++++++++

+


ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

(01.12.2022 – 17:22 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 15 ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව උපකාරක පන්ති ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ පන්නල ප්‍රදේශයෙනි.

අත්අඩංගුවට ගත් සැකකාර 24 හැවිරිදි වියේ පසුවන උපකාරක පන්ති ගුරුවරයාව එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සැකකරු අද (01) කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා දංකොටුව, වෙන්නපුව, මාකඳුර ආදී ප්‍රදේශ රැසක විද්‍යා විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙකි.

පන්නල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් සන්තකයේ තිබී ‘උපත් පාලන පෙති’ කිහිපයක් හමුවීමත් සමඟ සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

උපකාරක පන්ති පැවැත්වීම සඳහා නිර්මාණය කර තිබූ වට්ස්ඇප් සමූහයකදී මෙම ගුරුවරයා අදාළ දැරියගේ දුරකථන අංකය සොයාගෙන ඒ හරහා ඔවුන් අතර දැන හැඳුනුම්කමක් ඇතිකරගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බව අධිකරණයේදී පිළිගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී සැකකාර ගුරුවරයා වෙනත් උපකාරක පන්තියක ඉගැන්වීම් කරමින් සිට ඇති බවද වාර්තා වෙයි.

මේ අතර සැකකාර උපකාරක පන්ති ගුරුවරයාගෙන් ඉගෙනුම ලබා ඇති අනෙකුත් සිසුවියන් පිළිබඳවද විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

පන්නල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ ෴


මෙදාපාර රනිල් බෙදුම්වාදී කොන්ත්‍රාත්තුව අවසන් කරනවා – ජාතික සංවිධාන කියයි

(01.12.2022 – 11:12 +0530 – lankaleadnews.com)

උතුර හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම පිළිබද විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 13 වැනි සංශෝධනය බලාත්මක කරමින් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සදහා සියලු සැලැසුම් සකස්කර අවසන් බවයි.

නමුත් ජනාධිපතිවරයා බෙදුම්වාදීන්ට රට පාවාදීමේ පාපයෙන් ගැලවීම සදහා එම වගකීම සර්ව පාක්ෂික සමුළුවක් මත පැටවීමට ක්‍රියාකරන බවට ද ඔහු චෝදනා කරයි.


රුපියල් ට්‍රිලියනය 5 ක් කාබාසිනියා කිරීමේ ආණ්ඩුවේ සැලසුම – උදය ගම්මන්පිල (01.12.2022)

++++++

ලබන වසරේ දැවැන්ත විදුලි කප්පාදුවක් ? – උදය ගම්මන්පිල (01.12.2022)


සිසුවාට අතවර කළ වල් ගුරී රිමාන්ඩ්

(01.12.2022 – 21:09 +0530 – sinhala.adaderana.lk)

= සිසුවාට අතවර කළ ගුරුවරිය රිමාන්ඩ් =

පාසල් සිසුවෙකුගේ මුහුණ සිඹ අතවර කළ බව කියන ගුරුවරියක් පිළිබඳ පුවතක් වාර්තා විය.

සිද්ධියට මුහුණදී ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි.

සිසුවා පදිංචිව සිටින නිවෙසට ගොස් ඇති අදාළ ගුරුවරිය එහිදී මෙම ක්‍රියාව සිදුකර තිබේ.

චෝදනා එල්ලවී ඇත්තේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියකටය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරියව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළ ඉතිහාසය විෂය උගන්වන 42 හැවිරිදි තිදරු මවකි.

සිද්ධියට මුහුණ දුන් සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ රැකවරණය යටතේ සිසුවා සිටින බව පොලීසිය පවසයි.

ඉකුත් 05 වනදා සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයාගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි පැවසෙයි.

පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩිවී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩවූ පුංචි අම්මා විසින් දැක නොදැක්කා සේ නිවස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම්දී ඇතැයි පොලීසිය කියයි.

ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ කෙටි පණිවුඩ හමුවී තිබෙන බවද පොලීසිය පවසයි. 

අනතුරුව සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම්දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ තිබේ.

පසුව, මොරගහහේන පොලීසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බවද පොලීසිය පැවසීය.

ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මාරු කරයැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ද ලබාදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

චෝදනා ලත් පාසල් ගුරුවරියව අද (01) දින මොරගහහේන පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මොරගහහේන පොලීසිය පැවසීය ෴


රට හැර ගිය වෘත්තිකයින් ගැන හෙළිවෙයි

(01.12.2022 – 20:42 +0530 – sinhala.adaderana.lk)

වසරේ පළමු මාස 8 ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මේ බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැරයන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්,  රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477 ක් වෛද්‍යවරු රටින් ගිහින් තිබෙනවා.”

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා,

“ලංකා විදුලිබල මණ්ඩලයේ 1,000 කට වැඩියෙන් ඉංජිනේරුවරු ඉන්නවා. එයින් 10 න් 1 ක් අද වෙනකොට රට හැරදාලා ගිහින්.”


මන්දපෝෂණයේ අවදානම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(01.12.2022 – 19:54 +0530 – sinhala.adaderana.lk)

පාසල් දරුවන්ගේ කෘශ භාවය ඉහළ ගොස් ඇති බව පෝෂණ මාසය තුළ සිදුකළ සමීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබේ.

ඒ වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි තහවුරු කරගැනුණු පසුබිමකය.

සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5 ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සමීක්ෂණයක් සිදුකරන අතර ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වුණි.

2021 වසරේදි 8.2% ක් පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1% ක් දක්වා ඉහළ මට්ටමකය.

දරුවන් 18,420 දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.4% කි. 

මෙලෙස මන්දපෝෂණට ගොදුරුවීම නිසා දරුවන්ට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් ළමා විශේෂඥ වෛද්‍යවරුන් කරුණු පැහැදිලි කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ,

“සමහර වෙලාවට රෝග ලක්ෂණ විදිහට දරුවන්ගේ ප්‍රෝටීන් අඩු වුණාම දරුවන්ව ඉදිමිලා පේන්න පුළුවන්. ඒ දරුවගේ අක්මාවත් ඉදිමිලා.. මුහුණත් ඇඟත් ඉදිමිලා තියෙන්න පුළුවන්. ඒ වගේම පේෂිවල ප්‍රෝටීන අඩුවීම නිසා පේෂිවල අඩුවීමක් පේන්න පුළුවන්.”

“දරුවෙක් කෘශභාවයට පත්වෙලා නම් උසයෑම අඩුවෙලා තියෙන්න පුළුවන්. ඒක ඒ දරුවාට දීර්ඝ කාලීනව බලපාන්න පුළුවන්. ඒ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණයත් අඩුයි. රෝගවලට නිතර නිතර ගොදුරු වෙනවා. ඉගෙන ගැනීමේ හැකියාව අඩුවෙන්න පුළුවන්.”

මේ අතර දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ගේ කෘශභාවය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරයි.

2021 වසරේ 16.7% ක ප්‍රතිශතයක්ව පැවැති කෘශභාවය මේ වසරේදී 22.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා පෙන්වාදෙයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 5.8% ක වර්ධනයකි.

4 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් සිදුකළ සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ 2021 වසරේ 15.4% ක් ව පැවැති කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 21.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ කෘශ බව මේ වසරේදී 6.1% න් ඉහළ ගොස් තිබේ.

7 ශ්‍රේණියේ දරුවන්ගෙන් 12.7% ක් ව පැවැති කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී දැක්වෙන්නේ 17.9% ක ඉහළ අගයකය.

එය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ 5.2% ක වර්ධනයකි.

එමෙන්ම පසුගිය වසරේ 10 ශ්‍රේණියේ කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය 11.1% ක් ලෙස දැක්වුණ ද එය මේ වසරේ 13.7% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *