ගේල්, TM, දිමුත් පාවා දෙමින් ඇමරිකානු ඩොලර් 250,000 කට ආසන්න මුදලක් සොරකම් කළ ලාංකියා ඔස්ට්‍රෙලියාවේ දී කොටු වේ

ගේල්, TM, දිමුත් පාවා දෙමින් ඇමරිකානු ඩොලර් 250,000 කට ආසන්න මුදලක් සොරකම් කළ ලාංකියා ඔස්ට්‍රෙලියාවේ දී කොටු වේ


ගේල්, TM, දිමුත් පාවා දෙමින් ඇමරිකානු ඩොලර් 250,000 කට ආසන්න මුදලක් සොරකම් කළ ලාංකියා ඔස්ට්‍රෙලියාවේ දී කොටු වේ

(30.11.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හි ප්‍රදේශීය ක්‍රිකට් තරගාවලියකට ඉහළ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු එක්කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 250,000 කට ආසන්න මුදලක් සොරකම් කළ බවට මෙල්බර්න් ඩොන්කැස්ටර් හි පදිංචි 35 හැවිරිදි ‘නවිෂ්ත ද සිල්වා’ නමති ශ්‍රී ලාංකිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙල්බර්න් අධිකරණය පවසන්නේ අදාළ චෝදනා ලැබූ පුද්ගලයා වසරකට වැඩි කාලයක් තිස්සේ තම සේවායෝජකයාගේ බැංකු ගිණුමෙන් මෙම මුදල් පැහැරගෙන ඇති බවයි.

35 හැවිරිදි නවිෂ්ත ද සිල්වාට ඊයේ (29) මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සොරකම් කිරීම සහ වංචා කිරීම සම්බන්ධ වැරදි 19 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කළා.

උසාවි ලේඛනවලට අනුව, මෙල්බර්න් පොලිසිය චෝදනා කරන්නේ නවිෂ්ත ද සිල්වා ඔහුගේ සේවායෝජකයා වන ඔම්නි විෂන් (Omni Vision) සමාගම සඳහා සී.සී.ටී.වී මාස්ටර්ස් (CCTV Masters) නම් නීත්‍යානුකූල සැපයුම්කරුවෙකු ලෙස පෙන්වූ ‘ව්‍යාජ සැපයුම්කරුවෙකු’ වෙනුවෙන් ගැනීමේ නියෝග සහ බදු ඉන්වොයිස් ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි.

2021 මාර්තු සිට 2022 ජූලි දක්වා කාලය තුළ විවිධ අවස්ථා 18 කදී නවිෂ්ත ද සිල්වා විසින් මෙවැනි ව්‍යාජ මිළදී ගැනීමේ නියෝග සහ බදු ඉන්වොයිස් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය චෝදනා කරයි.

මේ යටතේ නවිෂ්ත ද සිල්වා විසින් ක්‍රියාත්මක කළ බව කියන බැංකු ගිණුමකට මෙලෙස මාරු කළ මුදල ඇමරිකානු ඩොලර් 2700 සිට 36,407 දක්වා පරාසයක පවතිනවා.

මෙල්බර්න් අධිකරණය හමුවේ පොලීසිය පවසා සිටියේ මෙම මුදල් අදාළ පුද්ගලයා විසින් ඔහුගේම ව්‍යාපාරයකට යොදවා ඇති බවත්, එම ව්‍යාපාරය හරහා දේශීය තරග සඳහා සහභාගි වීමට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දහදෙනෙකුට (10) ගෙවීම් සිදුකර ඇති බවත්.

මෙහිදී ක්‍රිස් ගේල්, ඩේවිඩ් මලාන්, තිලකරත්න ඩිල්ෂාන්, ෂොයිබ් මලික්, දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයින් සඳහා මෙලෙස ගෙවීම් සිදුකර ඇති බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් නොවැම්බර් 24 වැනි දින අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනු කරන අවස්ථාව වන විටත් මෙම කිසිදු ක්‍රීඩකයෙකු තරග සඳහා සහභාගි වී නොමැති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

මෙල්බර්න් හි ‘එන්ඩෝවර් හිල්ස්’ ක්‍රිකට් සමාජයේ සාමාජිකයෙකු වන නවිෂ්ත ද සිල්වා ‘ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන්ට්’ නම් සමාගමේ නිර්මාතෘවරයා වන අතර මෙම ක්‍රීඩා සමාජය සමඟ එක්ව සති අන්තයේ Dandenong හි Shepley Oval හි පැවති Twilight T20 ඉසව්වේ සංවිධායකයෙකු වනවා.

මෙම තරගාවකිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්, එංගලන්ත පිතිකරු ඩේවිඩ් මාලන්, පාකිස්තානයේ හිටපු නායක ෂොයිබ් මලික් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ක්‍රීඩා කරන බව ඒ සඳහා වූ ප්‍රචාරක දැන්වීම්වල ඇතුලත් කර තිබුණා.

නමුත් පසුව එංගලන්ත පිතිකරු ඩේවිඩ් මාලන් ඉවත් වූ බව සිකුරාදා තහවුරු කළා.

සැණකෙළි ස්වරූපයෙන් සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා සුප්‍රකට ඔස්ට්‍රෙලියානු ‘ඩීජේ හවානා බ්‍රවුන්’ ද එක්වීමට නියමිතව තිබූ අතර සංවිධායකයින් විසින් මෙම තරගාවලිය හඳුන්වා දී තිබුණේ “කිසිදා නො පැවති ආකාරයේ ක්‍රිකට් සැණකෙළියක්” ලෙසින්.

මෙම සැණකෙළියේ ප්‍රවේශ පත්‍රයක මිල දක්වා තිබුණේ ද ඩොලර් 120 වැනි ඉහළ මුදලකටයි.

ඔහුගේ ඇප කාලය දීර්ඝ කළ අතර නව වසරේ නැවත අධිකරණයට ඉදිරිපත් වන ලෙස ද නියෝග කෙරුණා.

කෙසේ වෙතත් චෝදනාවට ලක්ව සිටින නවිෂ්ත ද සිල්වා ගේ ඇප කාලය දීර්ඝ කළ අතර 2023 පෙබරවාරි මාසයේදී නැවත අධිකරණයට කැඳවිමට නියමිතයි ෴


කෙලවෙච්ච මේ වෙලාවේදී වත් මොළය පාද ගන්න අපට බැරි නම් … විමල්ගෙන් හැගීම්බර කතාවක් (30.11.2022)

28.11.2022

++++++++

‘උම්මා අක්කා’ රිමාන්ඩ්

(30.11.2022 – 16:51 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලිපිලේඛන යොදාගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට යැවීමේ ජාවාරමක නිරතවූ ‘උම්මා අක්කා’ නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියාලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශගතවීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු (2) පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

පසුව ඔවුන් දෙදෙනාව (2) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.

එහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ ‘උම්මා අක්කා’ නමැති කාන්තාවක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා (2) විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම කාන්තාවගේ නිවසේ මාස එකහමාරක (1½) පමණ කාලයක් නැවතී සිට ඇත.

මොවුන් දෙදෙනාට (2) විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම ‘උම්මා අක්කා’ නම් කාන්තාව සිදුකර දී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් පසුගිය දා ඇයව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මීට තවත් පුද්ගලයකු සම්බන්ධ බව පවසා ඇතත් ඔහුගේ තොරතරු විමර්ශන නිලධාරීන්ට පැවසීමට ඇය අපොහොසත් වී ඇත.

සැකකාරිය මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ෴


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

(30.11.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට ලබන දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී 10:00 සිට පසුදින (03) දවල් 01:00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලව පවසනවා.

ඒ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන් ෴


ඇල්ලේ සහ දකුණේ රාත්‍රී විදුලි කප්පාදුව නවතී

(30.11.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

දකුණු සහ ඇල්ල සංචාරක කලාප හෙට (01) සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කර තිබෙනවා.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් (01) සහ රාත්‍රී කාලයේදී පැයයි (01) මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි.

එමෙන්ම, දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලු සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ ෴


ඉසුරුට ඇප – තිළිණි තවත් හිරවෙයි

(30.11.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු 03 දෙනෙකු දෙසැම්බර් 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (30) කැඳවූ අවස්ථාවේදීයි.

තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙදෙනා වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එසේම, මුදල් වංචා කිරීම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලීගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර සහ පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුළු පිරිස ඇප මත මුදා හරින ලෙස නියෝග කළා.

රුපියල් මිලියන 10 සහ රුපියල් මිලියන පහ (05) බැගින් වූ ශරීර ඇප මත සහ රුපියල් පනස් දහසක (50,000) සහ රුපියල් විසිපන් දහස (25,000) බැගින් වූ මුදල් ඇප මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

ඇප මත මුදා හරින ලද සැකකරුවන් සියළු‍ දෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටද දැනුම් දුන්නා ෴

බොරැල්ලේ සිරිසුමන සහ ඉසුරු බණ්ඩාර

‘මේන් ෂිෆ් ෆයිව්’ නෞකාව මාගම්පුරට

(30.11.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 2,000 කට අධික පිරිසක් රැගත් ලොව ප්‍රකට ‘මේන් ෂිෆ් ෆයිව්’ නෞකාව අද (30) හම්බන්තොට වරායට සේන්දු වුණා.

නෞකාවේ පැමිණි සංචාරකයින් යාල, කතරගම, ආදී ප්‍රදේශ රැසක අද (30) දිනයේ සංචාරය කිරීමට නියමිත යි.

සංචාරකයින් 2534 දෙනෙකු රැගත් ‘මේන් ෂිෆ් ෆයිව්’ නෞකාව අද (30) පෙරවරු 06:30 ට පමණ යි හම්බන්තොට වරායට සේන්දු වුණේ.

මෙම සංචාරකයින් පිරිස අද (30) දිනය තුළ කතරගම, යාල, බුන්දල, රිදියගම, උඩවළව ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මීටර් 296 ක දිගින් යුතු ‘මේන් ෂිෆ් ෆයිව්’ නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 දෙනෙකු සහ මගීන් 2030 දෙනෙකු සමඟින් ඕමානයේ මස්කට් වරායේ සිට කොළඹ වරායට සේන්දු වුණේ ඊයේ (29) පෙරවරුවේ දී යි.

එම නෞකාව මෙරටට ආ පළමු අවස්ථාව මෙය වන අතර පැමිණි සංචාරකයින් ගෙන් බහුතරය යුරෝපා ජාතිකයින්.

මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන මෙම මගී නෞකාව ප්‍රථම සංචාරය කර ඇත්තේ, 2016 වසරේ දී යි.

අද (30) රාත්‍රී 8 ට අදාළ මගී ප්‍රවාහන නෞකාව මැලේසියාවේ පීනෑන්ග් වරාය බලා යාත්‍රා කිරීමට නියමිත යි.

++++++++


මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000 ක් හඳුනා ගැනෙයි

(30.11.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

දැනට කළ සමීක්ෂණවලට අනුව ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඔහු එහි දී වැඩිදුරටත් කියා සිටියේ, එම තත්වය 40,000 දක්වා වැඩි වනු ඇතැ යි අපේක්ෂා කරන බව යි.

එමෙන්ම ඊට කඩිනම් විසඳුම් මේ වන විටත් සැලැසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


HIV ආසාදිතයින් සමාජයේ කොන්කරන්න එපා – ඔවුන්ට සමානව සළකන්න

(30.11.2022 – 19:49 +0530 – sinhala.adaderana.lk)

HIV ආසාදිතයින් සමාජයේ කොන් කිරීමකින් තොරව ඔවුන්ට සමානව සැළකිය යුතු බවත් ඔවුන්ගේ සමානාත්මතාවය සුරැකිය යුතු බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා පවසයි.

හෙටට (01) යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මෙවරත් සෑම දිස්ත්‍රික්කයකම විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව වැඩසටහන් ක්‍රියාත්මක බවත් එහි අරමුණ ජනතාව දැනුවත් කිරීම බවත් ඒ මහතා පවසයි.

මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබගේ ලිංගික දිශානතිය, ලිංගික හැසිරීම කුමන පැත්තක වුවත් වැදගත් වනුයේ ආරක්ෂිත ලිංගික හැසිරීමක යෙදීම බවත් ඔබගේ ස්ථිර සහකරුට බාහිරව වෙනත් කුමන හෝ සහකරුවෙකු හෝ සහකාරියක් සමග ලිංගික හැසිරීමක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සදනහා කොන්ඩම් භාවිතා කරන ලෙසත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේ ස්ථිර නොවන සහකරුට තවත් සහකරුවන් සිටිය හැකි බැවින් HIV හෝ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග සෑදීමේ අවදානමක් පවතින බවය.

මේ අතර ඉන්දුනීසියාවේ අවුරුදු 14 සහ ඊට අඩු වයස්වල පසුවන ළමුන් 12,553 දෙනෙකු එච්.අයි.වී. ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය කර තිබේ.

ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ 2010 වසරේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ එම ආසාදිත ළමුන් හදුනාගෙන ඇති බවය.

ගැහැණු ළමුන්ට සාපේක්ෂව පිරිමි ළමුන් අතර HIV ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවන බවට හදුනාගෙන තිබේ.

ඉන්දුනීසියාවේ ආසාදිත දරුවන් වැඩි පිරිසකට ඔවුන්ගේ මව්පියන්ගෙන් HIV ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබීම හේතුවෙන් මව්පියන් දැනුවත් කිරීමේ වැදගත්කම ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය ෴


කැළණිවැලි දුම්රිය කාලසටහන වෙනස්වෙන්නේ මෙහෙමයි

(30.11.2022 – 15:42 +0530 – sinhala.adaderana.lk)

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ.

දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින් :


‘ඇල්සයිමර්’ පාලනයට ඖෂධයක් සොයාගැනේ

(30.11.2022 – 11:33 +0530 – sinhala.adaderana.lk)

‘ඇල්සයිමර්’ මේ වනවිට ලොව පැතිරයමින් පවතින රෝගී තත්ත්වය කි. 

එම රෝගී තත්ත්වය හේතුවෙන් මොළයේ සෛල විනාශවෙයි.

එබැවින් මෙම රෝගය සඳහා සුදුසු නිපදවීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වුණු අතර එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතී.

‘ඇල්සයිමර්’ හේතුවෙන් මොළයට සිදුවන හානියේ වේගය අවම කළ හැකි පළමු ඖෂධය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළේය.

‘ඇල්සයිමර්’ යනු බහුලව හමුවන ‘ඩිමෙන්ෂියා’ රෝගී තත්ත්වයකි.

“lecanemab” නම් එම ඖෂධය ඇල්සයිමර් මුල් අවස්ථාවේදී ලබාදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව විද්‍යාඥයෝ පවසති ෴


කඩුවකුත් අරන් බයික් තුනකින් (3) ඇවිත් කැඩුව මාලෙ රෝල් ගෝල්ඩ් (30.11.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *