ඊයේ (28) දහවල් සිදුවූ මට්ටක්කුලිය අමානුෂික ඝාතනයේ තවත් කතාවක් එළියට

ඊයේ (28) දහවල් සිදුවූ මට්ටක්කුලිය අමානුෂික ඝාතනයේ තවත් කතාවක් එළියට


ඊයේ (28) දහවල් සිදුවූ මට්ටක්කුලිය අමානුෂික ඝාතනයේ තවත් කතාවක් එළියට

(29.11.2022 – 12:29 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (28) දහවල් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස ලබා සිටි පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු ජාඇළ ප්‍රදේශයේදී තවත් සැකකරුවන් සිව්දෙනෙකු (4) සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.

2019 වර්ෂයේදී සැකකරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එම පිරිස සතුව තිබී ඩෙටනේටර් දෙකක් (2), ඇමෝනියා කිලෝ දෙකකට (2) ආසන්න ප්‍රමාණයක්, යුද ඇඳුම්වලට සමාන නිල ඇඳුම් කට්ටල දෙකක් (2) සහ ජෙලට්නයිට් කූරු දෙකක් (2) පොලීසිය විසින් සොයාගෙන ඇත.

අනතුරුව අත්අඩංගුවට ගත් 5 දෙනාගෙන් තිදෙනෙකු (3) නිදහස් කර තිබේ.

ඔවුන්ට එරෙහිව එම නඩුව පැවරීමට නොහැකි තත්ත්වයක් තිබූ නිසා මෙලෙස සැකකරුවන් තිදෙනෙකු (3) නිදහස් කළ බව පොලීසිය පවසයි. 

ඒ අනුව ඊයේ (28) දිනයේ මට්ටකුලිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත්තේ එලෙස නිදහස ලැබූ පුද්ගලයින් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකි.

ඔහුට එරෙහිව පවරා තිබූ වෙනත් නඩුවක් සඳහා පෙනී සිටීමට අධිකරණය වෙත ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එම නඩුව ඔහුට එරෙහිව පවරා ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනාවකටය.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ ‘උණ්ඩියල්’ මුදල් හුවමාරු කිරීමේ නිරතවන අයෙකු බවටය.

එම නඩුවට පෙනී සිටි සැකකරු නැවත නිවසට පැමිණෙමින් සිටියදී ඔහු පැමිණි මෝටර් රථය පසුපසින් සැකකරුවන් පැමිණි මෝටර් රථය අනතුරට ලක්වීමට සලස්වා තිබේ.

අනතුරට ලක්වීමත් සමඟ සැකකරු මෝටර් රථයෙන් පිටතට පැමිණීමත් සමඟ ඔහුට පසුපස මෝටර් රථයේ පැමිණි සැකකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබේ.

කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් මෙම ඝාතනය සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

“එක පැත්තකින් අපිට ආරංචි වෙනවා පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් වෙලා ඉන්න පුද්ගලයෙක්ව මරල දමනවා. ඉතින් මම අහන්නේ ගරු කථානායකතුමනි මොකක්ද මේ රටේ වෙන්නේ. මේ අවනීතිය නේද. පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් එහෙම මරා දැමීම තුළ බොහොම සැකකටයුතු තත්ත්වයක් නිර්මාණය වෙනවා.”


මත්ද්‍රව්‍ය සහිත ලොසිංජර වෙළෙඳපොළේ

(29.11.2022 – 19:22 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000 ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ.

ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.

පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණි ෴


ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන (3) ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් රිමාන්ඩ්

(29.11.2022 – 14:31 +0530 – sinhala.adaderana.lk)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන (3) ලේකම් ලෙස කටයුතු කළ ඊ. කුෂාන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස දෙසැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඔහුව අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව වැඩිදුර විමර්ශන සඳහා ඔහුව “තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ විමර්ශන කොට්ඨාසය” වෙත රැගෙන ආවේය.

විදේශගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී අතවරයට ලක්කිරීම සහ කාන්තාවන් අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව ඔහුට එරෙහිව ඕමානයේ සිටින කාන්තාවන් චෝදනා එල්ල කරයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි වින්දිත කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ තානාපති කාර්යාලයේ පළමු සහ දෙවන ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී, සිය සේවාදායකයා එම වරදට හෝ මිනිස් ජාවාරමට කිසිසේත් සම්බන්ධයක් නොමැති බව ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.

සුරක්ෂා නිවාසයේ රඳවා සිටියදී තවත් කාන්තාවන් පිරිසක් සමග පළාගිය හා එලෙස පළායෑමට නායකත්වය දුන් කාන්තාවක් යළි සුරක්ෂා නිවාසයට රැගෙනඒමට පියවර ගැනීම නිසා පැමිණිලිකාරිය එකී අබූත චෝදනා නගා ඇතැයි සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් සිය සේවාදායකයාව ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී, සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳව අධිකරණය දැනුවත්කර ලබාගත් වරෙන්තු නියෝගයක් අනුව බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් අධිකරණයට පැවසීය. 

එකී ලිංගික අඩත්තේට්ටම් කිරීම මෙන්ම සංචාරක වීසා බලපත්‍ර මත ඕමාන් රාජ්‍යයට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සහ වෙනත් කටයුතු සඳහා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශනයක් සිදුකරන බවත් සැකකරු ඇපමත මුදාහැරීමෙන් එම විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බවත් පෙන්වා දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂණ සුදත් අමරසිංහ මහතා එම ඇප ඉලිලීමට දැඩි විරුද්ධත්වය දක්වනු ලැබීය.

විමර්ශන අවසන්වී නොමැති අවස්ථාවකදී සැකකරු ඇපමත මුදාහැරීමෙන් විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බවට කරුණු වාර්තාවී ඇති බැවින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම මෙම අවස්ථාවේදී සලකාබැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම මිනිස් ජාවාරම පිළිබඳ විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කාන්තාවන් විදේශගත කළ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවන් දෙදෙනෙකු (2), භාෂා පරිවර්තකවරිය සහ තැරැව්වකරුවන් දෙදෙනෙකු (2) ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් මීගමුව සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ආශා දිසානායක නමැති භාෂා පරිවර්තකවරිය හැර අන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි ෴


අන්තර්ජාලයෙන් බැංකු ගනුදෙනු කරන අයට අනතුරු ඇඟවීමක්

(29.11.2022 – 14:21 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8 දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට (2) අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000 ක මුදල් වංචා කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව නොවැම්බර් 26 වනදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල හා ගාල්ල යන ප්‍රදේශවලදී මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 36 ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළත් කිරීමෙන් පසු හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


රෙගුලාසි උල්ලංඝනය කර ගෙන්වූ කිරිපිටි

(29.11.2022 – 12:05 +0530 – sinhala.adaderana.lk)

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6 සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

එහිදි ඔහු සඳහන් කළේ අදාළ කිරිපිටි තොග ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බවය.

එම කිරිපිටි බහාලුම්වලට අදාළව පරීක්ෂණ වාර්තාවක් ඔහු අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙහිදී අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බවය.

කෙසේවෙතත් මෙම ගැටලුව හේතුවෙන් කිසිසේත් මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++

27-11-2022

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

(29.11.2022 – 11:27 +0530 – sinhala.adaderana.lk)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ දැඩි වන අලි තර්ජනයක් ආරණ්‍ය සේනාසනයට පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවදානය යොමුකර යළි විදුලි සැපයුම ලබාදෙන ලෙසටය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා,

“දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරලා තියෙනවා ඊයේ (28) රෑ ඇවිල්ලා. මෙම විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේලා 98 දෙනෙකුත්, පිරිවෙන්වාසීව අධ්‍යාපනය ලබන හිමිවරු 100 නමක් වැඩ ඉන්නවා. 1986 දී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මෙම විහාරස්ථානය පූජා භූමියක් ලෙස පාර්ලිමේන්තුවේ විශේෂ ගැසට් නිවේදනයකින් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම වත්මන් අගමැති තුමාත් මෙය පූජා භූමියක් ලෙස නිදහස් කරලා තියෙනවා. මීට සති කිහිපයකට පෙර දිඹුලාගල නායක හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට වැඩම කරලා ජනාධිපතිතුමාත් අගමැති තුමාත් හම්බවෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මමත් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා ගරු කථානායක තුමනි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා විදුලිය විසන්ධි කරන්නේ නෑ කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියනවා ගරු කථානායකතුමනි. විදුලිය නැවත ලබාදෙන්න කටයුතු කරන්න. මොකද වන අලින්ගෙන් විශාල තර්ජනයක් තියෙන ස්ථානයක් මෙම ස්ථානය ගරු කථානායකතුමනි.”


රුපියල් බිලියන 10 කට අධික මුදල් වැයකිරීමක් ගැන විගණකාධිපතිටත් තොරතුරු සඟවයි

(29.11.2022 – 07:39 +0530 – sinhala.adaderana.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10 කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (28) රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එතරම් මුදලක් වැයකර ස්ථාපිත කළ ද අදාළ පද්ධතිය නිසි ක්‍රියාකාරී මට්ටමක නොපවතින බවය.

එම පද්ධතිය පිහිටුවීමට අදාළ ගිවිසුම සහ මුදල් ගෙවීම පිළිබඳ තොරතුරු තමා වෙත ලබාදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

අතිවිශාල මුදලක් වැයකර ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කළ ද මේ වසරේ ජුනි මාසය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් රුපියල් බිලියන 773 ක මුදලක් අයකර ගැනීමට අසමත් වී ඇති බව ද හෙළි වී තිබේ.

එමෙන්ම මේ වසරේ ජුනි මාසය වන විට රුපියල් බිලියන 2.4 ක් වටිනා අගරු චෙක්පත් 4831 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ඉන් චෙක්පත් 3,817 ක්ම වසර තුනකට (3) වඩා පැරණි ඒවා බව ද කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

එහෙත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට දෙපාර්තමේන්තුවලට බලයක් නොමැති බව කමිටුව හමුවේ පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කර ඇත්තේ, මෙවැනි තත්ත්වයක් තුළ ලබන වසරේ අපේක්ෂිත ආදායම ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ ද යන්න විශාල ගැටලුවක් වී ඇති බවය.

එමෙන්ම ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත්කිරීම සම්බන්ධයෙන් දින වකවාණු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් කැඳවීමට ද කෝපා කමිටුව නිර්දේශ කර තිබේ.

අගරු චෙක්පත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද කමිටුව අදාළ බලධාරීන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴


සා.පෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු

(29.11.2022 – 19:51 +0530 – sinhala.adaderana.lk)

A සාමාර්ථ 09 ක් සමගින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුවෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය.

අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි. 

මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ පාසල් සිසුවෙක් A සාමාර්ථ නවයක් (09) සමගින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණි.

පසුගිය 26 වනදා රාත්‍රියේ පියා ද සමග ඔහු මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ තමන් ලද ඒ විශිෂ්ට ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇයට දැනුම්දීමටය.

ඔවුන් නැවත නිවස බලා පැමිණෙන අතරවාරයේ අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ සිසුවාගේ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තා වී ඇති අලුත්ම තොරතුර වන්නේ, එම පුද්ගලයා සිසුවාගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා එය නොදීම නිසා උරණ වී මෙලෙස ගිනි තැබූ බවය.

අත් දෙකට සහ බෙල්ලට සිදුවූ බරපතළ පිලිස්සුම් හේතුවෙන් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ඊයේ (28) පෙරවරුවේ සැත්කමකට භාජනය කර තිබේ.

සිසුවාගේ පියා පොලීසියට පවසා ඇත්තේ තම පුතුට ගිනි තැබූ පුද්ගලයා සමග තවත් කිහිපදෙනෙකු සිටි බවත් අඳුර වැටී තිබූ නිසා ගිනි තැබූ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බවය.

අම්පිටිය ප්‍රදේශය භීතියට පත්කරමින් බොහෝ කලක සිට ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ගිනිතැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ මව්පියන් ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් සැරිසරන මෙම මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරාම ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් මෙවැනි අමානුෂික ක්‍රියාවල නිරතවෙමින් සිටින බවය. 

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන මොවුන් කලක පටන් අම්පිටියේ ජනතාව බියගන්වා කප්පම් මුදල් ලබාගන්නා අතර ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.

එම මැර කල්ලියෙන් තමන් දැඩි පීඩාවට ලක්වන බවට ප්‍රදේශවාසීන් කරන චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහනුවර පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

කෙසේවෙතත් අම්පිටිය දඹවෙල ප්‍රදේශයේදී සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු අතර ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක් හා භූමිතෙල් තිබූ බවට සැකකරන ප්ලාස්ටික් භාජනයක් ද මහනුවර පොලීසිය භාරයට ගෙන තිබුණි.

https://www.youtube.com/watch?v=OYYJcSOag0I#t=5

සාෆිනගර් වැලි ජාවාරම සිදු කර ඇත්තේ ගොවියා ව එලවීමට – කන්තලේ එක්සත් ගොවි එකමුතුව

(29.11.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා කාර්යාංශයේ සභාපතිවරයාගේ මුතූර් සාෆි නගර් වැලි ජාවාරම සිදු කර ඇත්තේ එම පළාතේ පාරම්පරිකව වගා කළ ගොවි ජනතාව එළවා දැමීමෙන් පසුව බව කන්තලේ එක්සත් ගොවි එකමුතුව චෝදනා කරනවා.

ඊයේ (28) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔවුන් මේ බව හෙළි කළා.

මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් සිදු කරන බොරු මවාපෑමක් සිදුකරමින් මුතූර් සාෆි නගර් ප්‍රදේශයේ ඉඩම් අක්කර ගණනාවක් මෙම මහා පරිමාන වැලි ජාවාරම සඳහා වෙන් කර ගෙන තිබුනා.

මෙහි පුදුම සහගත කරුණ වන්නේ එම වැලි කැණීම් බලපත්‍රය ඉල්ලුම් කර තිබුනේ වත්මන් භූ විද්‍යා කාර්යාංශයේ සභාපතිවරයාගේ නමින්වීමයි.

මෙම නීති විරෝධී කැණීම් බලපත්‍රය ලබා දී තිබුනේ එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සඡ්ජන ද සිල්වා විසින්.

මේ සියළු කරුණු ‘හිරු සී.අයි.ඒ.’ හරහා අවස්ථා ගණනාවකදී හෙළි කළත් ඉහළ දේශපාලන රැකවරණ මැද තවමත් මෙම වැලි ජාවාරම සිදුවන්නේ මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කරමින්.

එසේම, සාෆි නගර් වැලි ජාවාරම ඇතුළු භූ විද්‍යා කාර්යාංශයේ අයථා ක්‍රියා හෙළි කළ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැඩතහනම් කර නිලධාරී දඩයමක් ක්‍රියාත්මත කිරීමටයි අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා ක්‍රියා කර තිබුනේ.

මෙවන් පසුබිමක් තුල මුතූර් සාෆි නගර් වැලි ජාවාරමේ නවතම තත්ත්වය සොයා බැලීම සඳහා ගොවි සංවිධාන නියෝජතයින්, පරිසර වේදීන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින් ඊයේ (28) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා.

අදාල නියෝජිතයන් එම ස්ථානයට ලගා වන විටත් මේ වනවිටත් නීති විරෝධීව ක්‍රියාත්මක වන සාෆි නගර් වැලි ජාවාරම්වල නිරත පිරිස් රිසි සේ වැලි ප්‍රවාහනය කරන අයුරු මෙලෙස දැකගත හැකි වුණා.

සිවිල් සංවිධාන ඇතුළු නියෝජිතයන් මෙහි එන බව දැනගැනීමත් සමග බෝට්ටුවලින් වැලි ගොඩදමමින් සිටි පිරිස් පළා ගොස් තිබුනා.


(හිටපු අමාත්‍ය විමල් වීරවංශ – 2022-11-29 – උත්තර ලංකා සභාගයේ ගාල්ල සම්ප්‍රාප්තිය)

+++++++++++

(නීතිඥ උදය ගම්මන්පිල – 2022-11-29 – උත්තර ලංකා සභාගයේ ගාල්ල සම්ප්‍රාප්තිය)

Derana 360 – 2022.11.28 – මහාචාර්ය චන්න ජයසුමන

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *