ඩයනා ගමගේ ලංකාවට ආවේ මෙහෙමයි

ඩයනා ගමගේ ලංකාවට ආවේ මෙහෙමයි

*********************************************

ඩයනා ගමගේ ලංකාවට ආවේ මෙහෙමයි

(28.11.2022 – 18:59 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පාර්ශවකරුවන්ට දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කරුණු සලකාබැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයකදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

ඊට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය.

“ස්වාමීනි…එම විමර්ශනයට අදාළව ආගමන සහ විගමන පාලකවරයා ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. එම ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ඩයනා ගමගේ මහත්මිය 2014 වසරේ අගෝස්තු මස 27 වනදා සිට 2015 වසරේ ජුලි මස 16 වන දා දක්වා වූ කාල සීමාව සඳහා ‘වාස වීසා’ ලබාගෙන බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව. ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති නිසයි ඇය මේ ආකාරයෙන් වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ ඇත්තේ.” යනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා,

“ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයට අනුව ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වසන් කරමින් ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව අඟවමින් මෙරට උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි සඳහන් කර තිබෙනවා. ඉන් පෙනී යන්නේ ඇයට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති බව. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම් විග්‍රහ කර තිබෙනවා. ඒ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වූ ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි තැනැත්තියක් නොවෙයි. ඒ නිසා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 89, 90 සහ 91 වගන්ති විග්‍රහ කිරීමේ දී පෙනී යනවා,” යනුවෙනි.

අනතුරුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව මගින් කරුණු අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රජයෙන් අලුත් තීරණයක්

(28.11.2022 – 16:11 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජනාධිපති කාර්යාලය සමඟ එක්ව කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව පැවසීය.

මෙම නව කාර්යාලය ‘Oversease Sri Lankan Office’ යනුවෙන් හඳුන්වයි.

නව කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විදේශයන්හි ජීවත් වන ඩයස්පෝරා සමග සාකච්ඡා කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කැනඩා සහ එංගලන්තයේ සිටින ඩයස්පෝරා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවත් ලාංකික සම්භවයක් ඇති විශාල සංඛ්‍යාවක් එම රටවල ජීවත් වන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලක්ෂ 50 ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බවය.

මෙරට විදේශ ප්‍රතිපත්තිය වූ නොබෙදී ප්‍රතිපත්තිය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී රටවල් සමග ආර්ථික සබඳතා දියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද පැවසීය.

මෙම වසරේ 280,000 ක් පමණ පිරිස විදෙස් රැකියා සඳහා යැවීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තව දුරටත් එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා සංචාරක වීසා මත ගොස් ඕමානයේ රැඳී සිටි 300 ක් පමණ පිරිස මෙරටට ගෙන්වා ගැනිමට හැකි වූ බවද සඳහන් කළේය.

එම එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 17 ක් පමණ වියදමක් දැරීමට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය ෴

***************************************

කොළඹ සැරිසැරූ ATM කාඩ් හොරා දැලේ

(28.11.2022 – 15:27 +0530 – sinhala.adaderana.lk)

විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරකම් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොම්පේ කපුගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

බම්බලපිටිය පොලීසියට ලද පැමිණිලි 2 කට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් සැකකරු ATM යන්ත්‍ර හරහා සොරකම් කරන ලද කාඩ්පත් භාව්ත කර මුදල් ලබාගන්නා අවස්ථාවල CCTV දර්ශන උපයෝගී කරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ සැකකරු මෙලෙස රුපියල් ලක්ෂ 4 කට අධිකාර මුදලක් වංචා කර ඇති බවය.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද ATM කාඩ්පත් 10 ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

***************************************

2023 දී ‘කළුවර ජූලියක්’ – ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

(28.11.2022 – 14:09 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවු දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න මහතා පවසා සිටියේ, මේ වනවිට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නැව් 38 ක් අප රටට අවශ්‍ය වුවත් රටට ලැබී ඇත්තේ නැව් 4 ක් පමණ බවය.

මේ දිනවල නොරොච්චෝලේ ජනන කටයුතු සඳහා ගල් අඟුරු ලැබෙමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“වාරකන් කාලය 2022 සැප්තැම්බර් අවසන් වුණා. එතැන ඉඳලා 2022 ඉතුරු කාලපරිච්චේද වගේම 2023 අප්‍රේල් දක්වාත් විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 ක නැව් 38 ක් එන්න ඕනේ. මේ වෙද්දි අපිට ඇවිත් තියෙන්නේ නැව් 4 ක් පමණයි. පස්වෙනි (5) නැව වරායේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා ඒ නැව එන්න ප්‍රමාද වෙනවා. මේ නැව් 38 ලබාගත්තේ නැත්නම් අප්‍රේල් 15 වෙද්දි පැහැදිලිවම ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වෙද්දි ලොකු විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. ඉතිහාසයේ ප්‍රථම විශාලතම විදුලි කප්පාදුව සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ 2023 දී ‘කළුවර ජූලියක්’ එන්න පුළුවන්. දැනටමත් නැව් 20 ක් ඇණවුම් කරලා එයින් 4 යි ඇවිත් තියෙනවා. තව 16 ක් තියෙනවා. ඒ නැව් හැකි ඉක්මනින් ළඟා කර ගැනීම අවශ්‍ය වෙනවා.

ලක්විජය විදුලි බලාගාරය රටේ අවශ්‍යතාවය ඇති විදුලි ප්‍රමාණයෙන් 45% ලබා දෙනවා. දැන් ගල්අඟුරු නොලැබුණොත් වෙනත් තාපවිදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගතහොත් ඒකට වැයවන පිරිවැය ඉතා විශාල මුදලක්. ලංකා විදුලිබල මණ්ඩලය විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අඩු මුදලකින් විදුලිය නිපදවා ගැනීමට. එහෙම නැති වුණොත් වෙන්නේ පැහැදිලිවම ලොකු විදුලිය විසන්ධි වීමකට යන්න වෙනවා. ඒ විදුලි කප්පාදුව මොනම විදියකින්වත් හදිසි විදුලිය මිල දී ගැනීමකින් කරන්න බෑ.”

***************************************

මට්ටකුලියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්?

(28.11.2022 – 13:57 +0530 – sinhala.adaderana.lk)

මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

අද (28) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී එල්ලවූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මියගොස් ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත ෴

***************************************

දෑස් නොපෙනුණත් රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ හිමාෂා – O/Lවලටත් A නවයක්

(28.11.2022 – 12:21 +0530 – sinhala.adaderana.lk)

උපතින්ම දෑස් නොපෙනුණත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 09 ක් ලබාගත් දක්ෂ දියණියක් පිළිබඳව අපට වාර්තා විය.

ඇය කුරුණෑගල හිමාෂා කාවින්ද්‍යා හේරත් නම් සිසුවියයි.

උපතින්ම දෙනෙත් නොපෙනුණත් ඇය සැබෑම දක්‍ෂ දැරියක් බව ගුරුවරු පවසති.

සිය සැබෑ දක්‍ෂතාව පහේ ශිෂ්‍යත්වයෙන් පිළිබිඹු කළ ඇය තවත් වසර පහක් (5) ගතවන විට මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගයේ විෂයයන් නවයටම A සාමාර්ථ 09 ක් ලබාගෙන තම ප්‍රතිභාව රටටම පසක් කර ඇත.

විවිධ බාධක හමුවේ සාමාන්‍ය පෙළ ජයගත් තවත් දරුවන්ද සිටිය හැකි වූවත් අපගේ අවධානය යොමුවූ විශේෂතම කාරණය වූයේ ඇය අන්ධ දැරියක් වීමය.

A සාමාර්ථ 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාව හදාරා වෛද්‍යවරියක් වීමේ සිහිනය ඇයට ඇතත් මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් එවැනි තැනකට යෑමට පහසුකම් නොමැති නිසා ඇය කලා විෂයයන් හදාරා නීතිය හැදෑරීමට අදහස් කරගෙන සිටින්නීය.

හිමාෂා කාවින්ද්‍යාගේ උපන්ගම අනුරාධපුරයයි. 

ඇයගේ මුල්ම පාසල වූයේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසලය. එම පාසලෙන් 2016 වසරේදී ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගත් කාවින්ද්‍යා උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවාය. සිය ජයග්‍රහණය පිළිබඳව කාවින්ද්‍යා මෙසේ පැවැසුවාය.

“මම සඳකඩ විශේෂ පාසලේදී ශිෂ්‍යත්වය සමත්වෙලා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවා. මම හැමදාම පන්තියේ පළමුවැනියා වුණා. ගුරුවරුන් කියල දෙන දේ මම නිතරම තනියෙන් කරන්න කටයුතු කළා. මම අධ්‍යාපනයට අමතරව සංගීතයත් හැදෑරුවා. මම තමයි 2017 වසරේ රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වුණේ. මම A 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න ආසයි. නමුත් අපේ පහසුකම් නොමැති නිසා කලා අංශයෙන් ඉගෙන ගෙන නීතිය හදාරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. මගේ ජයග්‍රහණයට අපේ ගෙදර වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලබාදුන්නා. මම ඒ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා.”

හිමාෂා කාවින්ද්‍යා සිසුවියට වැඩිමහල් සොහොයුරෙකු සිටින අතර ඔහු මලියදේව ආදර්ශ විදුහලේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරයි.

පියා අනුර හේරත් වන අතර මව කුරුණෑගල මහින්ද විද්‍යාලයේම විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරන්නීය.

***************************************

උතුරු මාර්ගයේ මාස 5 කට දුම්රිය ධාවනය නවතී

(28.11.2022 – 12:06 +0530 – sinhala.adaderana.lk)

අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5 ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මෙසේ අද (28) පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට (5) නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩකළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5 ක් ඇතුළත ඒක නිමකරනවා.”

***************************************

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

(28.11.2022 – 11:58 +0530 – sinhala.adaderana.lk)

ලබන වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය.

ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද පැවසීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක (01) කාලයක් සඳහා අත්හිටුවන බවත් කියා සිටියේය.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12 ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක (01) කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ලකුණු කැපෙන හැටි,

  • මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පළා ගියොත් ලකුණු 10 ක් කැපේ.
  • පැයට කිලෝමීටර 150 ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8 ක් කැපේ.
  • මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6 ක් කැපේ.

+++++++

රියදුරු බලපත්‍ර‍ය වෙනස් වෙයි ? – රජයෙන් අලුත් අපේක්ෂාවක්

(28.11.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

රිය ධාවනය කිරීමේ දී රියදුරු අතින් සිදුවන වැරදි සඳහා ලකුණු අඩු කිරීමේ සහ ඊට අදාළ දඬුවම් පැනවීමේ ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස මාර්ගයෙ රිය ධාවනයේ දී වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය යටතේ ලකුණු 24 කට යටත්ව මෙම ලකුණු කැපීම සහ දඬුවම් පැනවීම සිදුවන බවයි.

කිසියම් රියදුරෙකු ලකුණු 24 සීමාවට ළඟා වූ පසු ඔහුගේ හෝ ඇයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන බවත්, යළි ලිඛිත විභාගයෙන් සහ පුහුණුවීම් මගින් යළි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බවයි.

නව ක්‍රමය යටතේ, පොලිසියට සහ සියලුම මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප්‍රවේශ වීම සඳහා ජංගම දුරකථන සපයනු ලබන අතර දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රියදුරෙකුට දඩයක් සහ වරදක් සඳහා ලකුණු අඩු කළ යුතු නම්, පුද්ගලයාට එය උසාවියේ දී අභියෝගයට ලක් කළ හැකි වන අතර, වරදකරුට ලකුණු අඩු කිරීමට අමතරව උසාවියකින් දඩයක් ද නියම කරනු ලබනවා.

රියදුරෙකුට වසරක් තුළ ලකුණු 2 ක් පමණක් අහිමි වුවහොත්, ලකුණු 24 යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුට ඊළඟ වසරේ ලකුණු 2 ක් ලබාදීම ද සිදු වනවා.

දශකයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය ලබන වසරේ හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය අදහස් කරන බවයි වාර්තා වන්නේ.

මේ සතියේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය ගැන අලුත්ම හෙළිදරව්ව

(28.11.2022 – 08:07 +0530 – sinhala.adaderana.lk)

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවට පර්යේෂණ මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අයිස් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කරගැනීම වෙනුවෙන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බවය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මෙම අදහස් පළ කළේය.

“අද සමාජයේ මානසික රෝග හා අයිස් කියන මත්ද්‍රව්‍ය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා කියලා. බලන බලන කෙනා අහනකොට අයිස් අරගෙන. අන්තිමේ දී මේ අය අයිස් නිසාම විවිධ මානසික රෝග හා රෝග ලක්ෂණ ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණවලින් හොයා ගෙන තියෙනවා අයිස් මත්ද්‍රව්‍ය හා විවිධ මානසික රෝග අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන් අපේ පාසල් ශිෂ්‍යයන්, තරුණ පරපුර මේ අයිස්වලට ගොදුරු කරගන්න සංවිධානාත්මක වැඩසටහන් යනවා. ඒවා පාසල්වලටම ඇවිල්ලා. මානසික රෝගී ලක්ෂණ තියෙන බොහෝමයක් අය අයිස් ගන්න අය. මේක ලංකාවේ විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා. අද ලංකාවේ පාසල්වල පන්ති පිටින් මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න පටන් අරන්.”

පාසල් දරුවන් පිළිබඳ අවධානය දෙමව්පියන්ගෙන් ගිලිහීම දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට රුකුලක් වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ සමාජ අවබෝධය ඈත්වීම හේතුවෙන් දරුවන් විවිධ අපරාචයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය ෴

***************************************

UK Armed Forces’ Buddhist Chaplain, Prof. Sunil Kariyakarawana, joins Indeewari Amuwatte (29.11.2022)

***************************************

දෙරණ හෙළිදරව්වෙන් එළියට ආ යාල හෙළිපෙහෙළි කිරීම ගැන අලුත්ම කතාව…

++++++++

***************************************

***************************************

විදුලි මල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට ගෙන ආ කමිටු යෝජනාවලියට කැබිනට් අනුමැතිය

(28.11.2022 – 22:01 +0530 – hirunews.lk/sinhala)

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලිය අද (28) විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාවලියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බව යි විදුලි බල අමාත්‍යවරයා ට්විටර් පණිවිඩ්‍යක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ලබා දුන් නිර්දේශ අනුව විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු හෙට (29) සිට ක්‍රියාත්මක වන බව යි අමාත්‍ය කංචන විජේසේකරගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ අනුව මෙරට පාඩු පිට පාඩු විඳිමින් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යූහගත කිරීමට යෝජිත යි.

ඒ අනුව යි විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා යෝජනාවලියක් ලබා ගැනීමට කමිටුවක් පත් කෙරුණේ ෴

***************************************

ගෑස් හිඟයක් නැහැ – හෙට (29) සිට භූමිතෙල් ලබාදීමත් ඇරඹේ

(28.11.2022 – 19:35 +0530 – sinhala.adaderana.lk)

රට තුළ නැවත වරක් ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අවධාරණය කරනවා.

එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ඉදිරි දින තුන තුළ සියලු කෘෂිකාර්මික ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙලක් රජය විසින් හෙට (29) සිට ආරම්භ වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ධීවරයින්ගේ භූමිතෙල් ගැටළුව විසදනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහාද භූමිතෙල් ලබාදෙන බවයි.

ඉන්ධන අන්තර් පළාත් දිස්ත්‍රික් හුවමාරු භාණ්ඩයක්ද බව සළකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂි වගාවන්ට භූමිතෙල් සැපයීමේදී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමටද සිදුවනවා ෴

***************************************

උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරෙයි

(28.11.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වී තිබෙනවා.

මීට පෙර අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මඟින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා තිබුණා.

නමුත් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ෴

***************************************

වසර 22 ක් ඇතුළත වල් වැදුණු තක්සලාව

(28.11.2022 – 14:36 +0530 – hirunews.lk/sinhala)

‘එක් පාසලක් වැසී යාම සිරගෙවල් 10 ක් බිහිවීමට හේතුවන්නක්’ යන්න ඔබ අප කවුරුත් හොඳින් දන්නා කියමනක්.

අද (28) ‘රතු මිනිත්තුවෙන්’ අවධානය යොමු කරන්නේ, එලෙස වැසී ගිය පාසලක් පිළිබඳවයි.

මේ, පොලොන්නනරුව දිස්ත්‍රික්කයේ බකමූණ අධ්‍යාපන කොට්ඨාසයේ, බකමූණ තරුණ ගොවි ව්‍යාපාරයේ දරුවන් වෙනුවෙන් 1993 වසරේදී ආරම්භ කළ ‘පුවක්ගහඋල්පත ප්‍රාථමික විද්‍යාලය’යි.

දහස් ගණනක් දරුවන්ගේ නැණ නුවණ පෑදූ මේ පාසල අද වනවිට වල් බිහිවෙමින්, ගොඩනැඟිලි විනාශ මුඛයට ඇද වැටෙමින් සොර සතුරන්ගේද පාරාදීසයක් බවට පත් වෙමින් තිබෙනවා.

මෙම ප්‍රදේශයේ පවුල් 120 ක් පමණ ජීවත් වන අතර, ප්‍රාථමික පාසල් යන වයසේ දරුවන් 100 ක් පමණ ඒ අතර වනවා.

කිලෝමීටර් 5 කටත් අධික දුරක් ගෙවමින් එම දරුවන්ට වෙනත් පාසලක් කරා යාමට සිදුව ඇත්තේ, මෙම පාසල වසා දැමීම හේතුවෙන්.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, 2013 වසරේදී ක්‍රියාත්මක වූ ළමා මිතුරු පාසල් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ප්‍රථමික පාසල් 5,000 ක් ප්‍රතිපෝෂණය කිරීමේ වැඩසටහනින් පසු, අවට පාසල් කිහිපයක් නවීකරණය කිරීම හේතුවෙන් මෙම පාසල වැසී ගිය බවයි.

පාසල් වෙනුවට, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කර, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවට විසඳුමක් දීමට හෝ මෙය යොදා ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *