ශ්‍රී ලංකාවේ ධනය සූරාකන ඉන්දීය ජාවාරම්කරුවන් රේගු බුද්ධි මෙහෙයුමට කොටුවෙයි

ශ්‍රී ලංකාවේ ධනය සූරාකන ඉන්දීය ජාවාරම්කරුවන් රේගු බුද්ධි මෙහෙයුමට කොටුවෙයි

*********************************************

ශ්‍රී ලංකාවේ ධනය සූරාකන ඉන්දීය ජාවාරම්කරුවන් රේගු බුද්ධි මෙහෙයුමට කොටුවෙයි

(27.11.2022 – 00:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් මැඩපවත්වා සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර දීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

රේගු මධ්‍යම බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පළමුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ජාඇළ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී එම පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී දිවයිනේ ප්‍රධාන පෙළේ ටයර් අපනයන සමාගමක් නමින් සැකසු රේගු සටහන්කර කිහිපයක් හමුවී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එම සැකකරු සහ තවත් අයෙක් එකී ටයර් සමාගමේ නම අවභාවිත කර ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ ආනයනය කර ඇති බවය.

එසේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කළ කන්ටේනර් 144 ක තොරතුරු එහිදී ලැබී තිබුණි.

පසුව තවත් බහාලුම් 5 ක් වැලිසර ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවිය. එම බහාලුම් 5 සහ අපනයනය කර තිබූ බහාලුම් 44 සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශන අවසන් වනතෙක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාර ගත කෙරිණි.

අනතුරුව රේගු විමර්ශන නිමවා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 400 ක දඩයක් පනවා බහාලුම් 5 රාජසන්තක කර තිබේ.

තවදුරටත් විමර්ශන සිදුකළ රේගු බුද්ධි නිලධාරීන් ඊට මසකට පසුව නැවතත් තවත් බහාලුම් 10 ක් ව්‍යාජ ලේඛන සකසා අපනයනය කිරීමට තැත් කිරීමේදී එය අනාවරණය කරගැනීමට සමත්විය.

ඊට සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර විමර්ශන නිමවනතෙක් ඔවුන්ව රිමාන්ඩ් කෙරිණි.

ඊට පසුව සිදුකළ විමර්ශන වලදී තවත් බහාලුම් දෙකක් (2) සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

එම සැකකරුවන් ගෙන් ලැබුණු තොරතුරු අනුව හෙළිවී ඇත්තේ ඒ ආකාරයට බහාලුම් 144 ක් ඉන්දියාවට අපනයනය කර ඇති බවය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි රේගු මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන්ට තවත් ජාවාරම්කරුවන් පිරිසක් අපනයනය කිරීමට සූදානම් වූ බහාලුම් 5 ක් ගැන තොරතුරු ලැබී තිබේ.

එය අනාවරණය වී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

මේ වනවිට බහලුම් 22 ක් රේගුව භාරයේ තිබේ.

ඒ සම්බන්ධයෙන්ද විමර්ශන නිමකර ඇති බව සඳහන් ය.

රේගු වාර්තා සඳහන් කරන්නේ ව්‍යාජ තොරතුරු සඳහන් කර ජාවාරම්කරුවන් විසින් අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ බහාලුම් 200 ක් පමණ ඉන්දියාවට යවා ඇති බවය.

මෙරටින් ඉන්දියාවට මේ ආකාරයට ජාවාරම් කළ සියලු සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ව නීතියේ ඉදිරියට ගෙනඒමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති අතර එසේම සමහර නැව් සමාගම්ද ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඊට සහාය වී ඇති බව අනාවරණය වෙයි.

සැකකරුවන් අතර මෙරට පුරවැසිභාවය හිමි ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙක් ද සිටිති.

එබැවින් ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට ශ්‍රී ලංකා රේගුව සැලසුම් කරයි.

අදාළ පරීක්ෂණ කටයුතු රේගු අධ්‍යක්ෂ P B S V නෝනිස් මහතා සහ රේගු මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂක රෝහණ සේනාධීර මහතා විසින් මෙහෙයවා ඇත ෴

***************************************

ඇණවුම් අඩු වූ නිසා ගෑස් සැපයුම සීමා කළා; හිඟයක් නෑ – ලිට්රෝ කියයි

(27.11.2022 – 21:53 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය එළඹීමත් සමඟ යලි ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් දැනට පවතින සංචිත සීමා සහිතව බෙදා හැරීමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව අද (27) දිනයේදී ගෑස් නිකුත් කර තිබුණේ කර්මාන්තශාලා සහ හෝටල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි.

කෙසේ වෙතත් හෙට (28) සහ අනිද්දා (29) ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 ක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවයි එම සමාගම කියා සිටියේ.

පසුගිය කාලය තුළ මෙරට ගෑස් ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එම තත්ත්වය සැළකිල්ලට ගෙන ලබාදෙන ඇණවුම් ප්‍රමාණය අඩු කිරීමටයි ලිට්රෝ සමාගම කටයුතු කර තිබුණා.

එමෙන්ම එළඹෙන බදාදා මෙට්‍රික් ටොන් 4,000 ක නෞකාවක් මෙරටට ලගා වන අතර උත්සව සමයේ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ද එම සමාගම ප්‍රකාශ කළා.

මේ අතර හෙට (28) සහ අනිද්දා (29) විදුලිය විසන්ධි කෙරෙන කාලය විනාඩි 20 කින් දීර්ඝ කර ඇති අතර ඒ අනුව පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල හේතුවෙන් අද වන විට වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ද නිර්මාණය වී ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවදී කියා සිටියේ.

***************************************

ඕමානයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු (2) තානාපති කාර්යාලයට දෙස් තබයි

(27.11.2022 – 21:23 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා ඕමානයට ගොස් යලි මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු (2) අද (27) දිවයිනට පැමිණීමෙන් පසු ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවෙචනයට ලක් කළා.

ඔවුන් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි තත්වය සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බවයි.

මෙලෙස දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකළේ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසක රැදීසිටි කාන්තාවන් දෙදෙනෙකුයි.

ඕමාන් රාජ්‍යයේ සිදු කෙරෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ දිගින් දිගටම අනාවරණය කළා.

ඒ අනුවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

ඕමානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සඳහා ජවාරම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

එමෙන්ම ඕමාන් බලා යන කාන්තාවන්ට බලපෑම් කළ බවට වන චෝදනා මත වැඩ තහනමට ලක් කළ ඕමාන තානාපති කාර්යායේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් එළැඹෙන සතියේ මෙරටට පැමිණෙනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළා.

++++++++

***************************************

‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව පැවත්වීමට ඉදිකර තිබූ වේදිකාවට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එස්. බී. දිසානායකගේ සොහොයුරාට චෝදනාවක්

(27.11.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව පැවත්වීමට ඉදිකර තිබූ වේදිකාවට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායකගේ සොහොයුරා වන සමඟි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක ප්‍රතික්ෂේප කරනවා.

මෙම රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබූ ස්ථානයට කිසියම් පිරිසක් හානිකර එහි සිටි පුද්ගලයින්ට පහරදී තිබුණේ අද (27) අලුයමයි.

සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු හඟුරන්කෙත රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කියා සිටියේ මෙම ප්‍රහාරය සමඟි ජනබලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත්දි සානායකගේ නිවසට අද (27) ගොස් තිබෙනවා.

එහෙත් ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නැහැ.

+++++++

***************************************

ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදය වටලයි

(27.11.2022 – 18:39 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් මාතර කොට්ඨාස මර්දන අංශය විසින් වටලා තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් අටදෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගංජා, කොකේන් සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බව වැලිගම පොලිසිය ප්‍රකාශ කළා ෴

***************************************

රේගුවේ හිර වුණු කිරිපිටි ගැන වාර්තාවක් එවන්න – ඇමති සියඹලාපිටියගෙන් නියෝගයක්

(27.11.2022 – 14:53 +0530 – hirunews.lk/sinhala)

නිෂ්කාශනය නොකර රේගු දෙපාර්තමේන්තුව භාරයේ පවතින කිරිපිටි තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, තමා වෙත වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගුවට සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආනයනය කරන ලද කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4 ක් නියමිත කාලය තුළදී නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නරක්වන තත්ත්වයකට පත්ව ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ, රට තුළ යළිත් කිරිපිටි හිඟයක් මතුවන්නට ඉඩ හැර ජනතාව අපහසුතාවට පත් කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම හේතුවෙන්, කිරිපිටි නිදහස් නොකර මෙලෙස තබා ගන්නා බවයි.

***************************************

අයවැයෙන් සුළු ව්‍යාපාරිකයා දොට්ට දමා ඇති බවට මැසිවිලි

(27.11.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

මෙවර අයවැය මගින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක් ලැබී නොමැති බව ව්‍යවසාය අරගල මධ්‍යස්ථානය පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තම ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමට රජය මැදිහත්ව සහන ලබා දෙන ලෙසයි.

***************************************

ආනයනය කළ කිරි ගවයින්ගෙන් බැටකන ගොවියා

(27.11.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

කිරි ගවයින් ආනයනයේ දී සිදු වූ අක්‍රමිකතාවට වගකිව යුත්තන් කෝප් කමිටුව හරහා හෙළිවී ඇති බැවින්, ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බව කිරි ගොවි සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට කිරි කර්මාන්තය ද කඩා වැටී ඇති බවයි.

තම දේශපාලන ජීවිතය තුළ මහජනතාවගේ මුදල් සොරකම් කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ මීගමුව ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්.

***************************************

2022 සා/පෙළ 2023 මුල

(27.11.2022 – 13:50 +0530 – hirunews.lk/sinhala)

2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ (2023) අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතියේ පැවැත්වීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළා.

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සමස්තයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 74 ක ප්‍රතිශතයක් සමත්වී ඇති බවයි.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකළ ගුරුවරුන්ට ගෙවීම් කටයුතු සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම පාසල් පෙළපොත් මුද්‍රණයට විදේශ විනිමය හිඟය බලපා තිබුණද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයේ සහයෝගය ද ඇතිව එය නිසි පරිදි අවසන් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

චීනය පරිත්‍යාග කළ ඩීසල් ගොවීන් සහ ධීවරයන්ට නොමිලේ

(27.11.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය මෙරට ධීවර හා කෘෂිකාර්මික ප්‍රජාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.

මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඊයේ (26) දිවයිනට පැමිණි එම නෞකාවේ ඩීසල් තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එය නිල වශයෙන් භාරගැනීම අද (27) පෙරවරුවේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් මෙන්ම චීන තානාපතිවරයා ද එක්ව සිටියා.

මේ එම අවස්ථාවෙන් පසු හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කියා සිටියේ මේ වනවිට එම ඩීසල් තොගය සපුගස්කන්ද පිරිපහදුවට පොම්ප කිරීමේ කට යුතු ආරම්භ කර ඇති බවයි.

***************************************

රුහුණු විද්‍යාපීඨයේ ගැටුමකින් 12 කට තුවාල

(27.11.2022 – 22:52 +0530 – hirunews.lk/sinhala)

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙපිරිසක් අතර අද ඇතිවූ ගැටුමකින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම පීඨයේ දෙවන වසරේ සහ අවසන් වසරේ දෙපිරිසක් අතර අධ්‍යයන කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ගැටුමට සිසුන් 40 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *