‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට

‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට

*********************************************

‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ විමර්ශන අපරාධ කොට්ඨාසයට

(25.11.2022 – 20:17 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකෙරුණු වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

ඒ අනුව එම රෝහල තුළ අවයව බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ අතර අද (25) එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙනු ලැබීය.

ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතය.

ඒ අනුව, වකුගඩු ලබාදුන් පිරිසක් අද (25) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරුණි.

මේ අතර වකුගඩු ජාවාරමට සහාය වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වංචා විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සිටි එම පොලිස් නිලධාරියා, උකුස්සා මෙම අනාවරණය කිරීම ආරම්භ කළ දින සිට ලෙඩ නිවාඩු දමා සේවයට පැමිණ නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිලධාරියාට මීට පෙරද විවිධ විෂමාචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඔහු වංචා විමර්ශන කොට්ඨාසයේ රාජකාරීවලින් ඉවත් කිරීමට ද ක්‍රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

***************************************

මිනිස් ජාවාරමේ අලුත්ම මධ්‍යස්ථානය ලෙබනනය

(25.11.2022 – 17:00 +0530 – sinhala.adaderana.lk)

මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තාවී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙන්නේ ඒ පිළිබඳව තොරතුරු රැසක් ලැබී ඇති බවය.

මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.

එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසද සිටින බවයි ඉන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස කාර්යාංශය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.

• පැය 24 තොරතුරු මධ්‍යස්ථානය : 1989 ක්ෂණික ඇමතුම් අංකය

• විමර්ශන අංශය : 011 286 4214

***************************************

ලොකු හාමුදුරුවන්ට ඉන්ධන පිරවුම්හලක් පෙන්නා රුපියල් ලක්ෂ 470 කට විද්ද උපාසකම්මා දැලේ

(26.11.2022 – dinamina.lk)

කොළඹට නුදුරු ප්‍රදේශයක විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට ඉන්ධන පිරවුම්හලක් දෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 470 ක මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 71 ක් වන එම කාන්තාවට කඩවත සහ ගණේමුල්ලේ ඉන්ධන පිරවුම්හල් දෙකක් (2) හිමිව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඇය ගෝනවිල පමුණුවිල නානායක්තාර මාවතේ පදිංචිව සිටින තැනැත්තියකි.

මේ කාන්තාවට රැවටී රුපියල් ලක්ෂ 470 ක මුදලක් අහිමි කර ගත් විහාරාධිපති හිමියන් විශ්වවිද්‍යාල කථිකාචාර්ය හිමිනමක්ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. ජපානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති තරුණ භික්ෂුවක් වන මේ හිමිනමට ජපානයේ විහාරස්ථානයක්ද හිමිව ඇති බව සඳහන්ය.

මේ හිමිනම විහාරාධිපති ධුරය දරන විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වීමටද පැමිණෙන මේ කාන්තාව ඒ ඔස්සේ හිමිනම සමඟ කුලුපග වෙමින් මේ වංචාව කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ගයාන් කුමාර වීරසිංහ

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *