හිරු අනාවරණය කළ දඹුල්ල තැරැව්කාරිය ඕමාන මිනිස් ජාවාරමට අල්ලයි

හිරු අනාවරණය කළ දඹුල්ල තැරැව්කාරිය ඕමාන මිනිස් ජාවාරමට අල්ලයි

*********************************************

හිරු අනාවරණය කළ දඹුල්ල තැරැව්කාරිය ඕමාන මිනිස් ජාවාරමට අල්ලයි

(21.11.2022 – 10:46 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති හරහා මෙම තැරැව්කාරිය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු අනාවරණය කළ අතර ඇය අද (21) පෙරවරුවේ ‘තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය’ වෙත භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ 49 හැවිරිදි ආශා දිසානායක නැමැති මෙම කාන්තාව දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

හිරු අනාවරණයෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

ඒ අනුවයි ඇය අද (21) ‘තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය’ වෙත භාරවී ඇත්තේ.

ඕමාන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අප සිදුකළ අනාවරණයෙන් පසුව එහි ප්‍රධාන තැරැව්කරු පසුගිය 19 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන්තොටුපළේදීයි.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සිද්ධියට සම්බන්ධ උප තැරැව්කරු පෙරේදා අවිස්සාවේල්ල – පුවක්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

සංචාරක වීසා මත විදේශ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගොස් ඕමානයේ අතරමංවී සිටින කාන්තාවන් පිරිසක් තමන්ට යළි දිවයිනට පැමිණීමට පහසුකම් සළසා දෙන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍යයට වීඩියෝවක් එක්කර තිබෙනවා ෴

+++++++++++

රුමේනියානු රැකියා ජාවාරමට ඇල්ලූ දෙදෙනෙකු (2) රිමාන්ඩ් – දෙදෙනෙකුට (2) ඇප

(21.11.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීම් පළකරමින් නීතිවිරෝධි ලෙස බදුල්ලේ හෝටලයක සම්මුඛ සාකච්ඡාවකට තරුණ තරුණියන් කැඳවූ ඉතාලි ජාතිකයා සහ තවත් සැකකරුවෙකු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ඩී. ද සිල්වා හමුවට සැකකරුවන් 04 දෙනාම අද (21) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු (2) රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා ෴

+

***************************************

රුපියල් කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

(21.11.2022 – 07:18 +0530 – hirunews.lk/sinhala)

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් බැංකු ගිණුම් 23 ක් හරහා ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු (2) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ෂණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන්.

‘ව්‍යාපාරිකයෙකුව සිට මියගිය තම පියාගේ නමින් පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති රුපියල් කෝටි 100 ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට’ බව පවසා මොවුන් අදාළ ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන තිබෙනවා.

2021 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුල වරින්වර නෝර්වේ රාජ්‍යයේ පදිංචි අදාළ ශ්‍රී ලාංකිකයාගෙන් රුපියල් කෝටි 12 කට ආසන්න මුදල ලබාගෙන ඇති අතර එලෙස ලබාගත් මුදල් වලින් කොටසක් තවත් පුද්ගලයන්ගේ ගිණුම් වෙත යවා ඇති බව අනාවරණ වී තිබෙනවා.

නෝර්වේ රාජ්‍යයේ පදිංචි අදාළ පුද්ගලයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ෂණ කොට්ඨාසය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත මේ පිළිබඳ විමර්ෂණ ආරම්භ කර තිබුණා.

මොවුන් ළඟ තිබී මෙම මූල්‍ය වංචාව සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් අධිකරණ විනිසුරුවරුන්ගේ, බැංකු කළමණාකරුවන්ගේ, නීතීඥවරුන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ ඇතුළු රජයේ විවිධ නිලතල දරණ නිලධාරින්ගේ අත්සන් සහ නිල මුද්‍රා සහිත ලේඛන තොගයක් ද විමර්ෂණ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

සැකකාරියන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස පළමුවනදා (01.12.2022) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

***************************************

මෙරට දරුවන් 56,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – යුනිසෙෆ්

(21.11.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට (5) අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් මෙම වසරේදී වැඩිවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර, 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා.

ශ්‍රී ලංකාවේ පවුල් පහකින් (5) දෙකක්ම (2) තම මාසික වැටුපෙන් සියයට 75 ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටයි.

ඒ හේතුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ හැක්කේ ඉතා අඩු ප්‍රමාණයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ ෴

***************************************

පාසල් කිහිපයක ගුරුවරුන් පහසු ඇඳුමින් සැරසී පාසලට

(21.11.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බව යි.

ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉකුත් දිනක දී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගෙන්, හිරු නිවුස් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ, අදාළ තීරණය කිසිදු ගුරු සංගමයක බලපෑමෙන් සිදු වූවක් නො ව රාජ්‍ය පරිපාලනයට අදාළ 5/2022 චක්‍රලේකයට අනුව ගුරුවරුන්ට ඇති අයිතියකට අනුව සිදු කරන ක්‍රියාවක් බව යි ෴

***************************************

රුපියල් මිලියන 15 ක් නොගෙව්වොත් කොළඹ අඳුරේ – මාර්ග සංඥා අක්‍රීය වීමේ අවදානමක්

(21.11.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා කොළඹ නගරයේ වීථි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය වීමේ අවධානමක් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා.

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න කියා සිටියේ කොළඹ නගරයේ විථි ලාම්පු සහ මාර්ග සංඥාවලට අදාළව මාස 05 කින් පමණ බිල්පත් ගෙවා නොමැති බවයි.

මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවක දි විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතැත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වනවා.

මෙම තත්ත්වය මත මාර්ග සංඥා සහ වීථි ලාම්පු විසන්ධි වුවහොත් ඉදිරියේ දී රථවාහන තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඉංජිනේරු සංගමයේ සමලේකම්වරයා සඳහන් කළා.

එමෙන්ම වෙනත් මාර්ග රැසකම ඇති විදුළි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධති සඳහා විදුලි බිල්පත් ගෙවීමට ඇති බව ද ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න ප්‍රකාශ කළා ෴

***************************************

හොරණ පොලිස් බල්ලන් ගැන කාන්තාවකගෙන් චෝදනා

(21.11.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

= හොරණ පොලිසියේ ක්‍රියාකලාපය ගැන කාන්තාවකගෙන් චෝදනා =

තමන් සිදුකළ පැමිණිල්ලකට අදාළව හොරණ පොලිස් ස්ථානය විසින් නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් ඉහළ පොලිස් නිලධාරියෙකු දැනුවත් කිරීමට කටයුතු කිරීමත් සමග හොරණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සාවද්‍ය චෝදනා ගොනුකර තම සැමියා සිරගත කිරීමට කටයුතු කළට එම ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් විසින් චෝදනා කරනවා.

ඇය සදහන් කළේ තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් අධිකාරි කාර්යාලය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සහාය සාර්ථක වුයේ නැහැ.

සුනඛයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් හොරණ පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අදාළව විමර්ශනයක් අතරතුර එම පොලිසියේ නිලධාරීන්ගෙන් මෙලෙස බලපෑම් එල්ල වූ බවට පැමිණිළිකාර පාර්ශ්වය චෝදනා කරනවා.

සිය නිවසේ ඇති කළ සුනඛයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් හොරණ පොලිසිය වෙත මෙම කාන්තාව අදාළ පැමිණිල්ල සිදුකර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.

එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් හොරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් නිසි විමර්ශන සිදු නොකළ බැවින් තමන් ඒ පිළිබඳව ඉහළ පොලිස් නිළධාරියෙකු දැනුවත් කිරීමට කටයුතු කළ බවයි පැමිණිළි පාර්ශ්වය සදහන් කළේ.

තමන්ට සිදු වූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් ඇය විසින් පොලිස් අධිකාරී කාර්යාලය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.

***************************************

ගණිත ගුරුවරුන්ගේ ගැටලු විසඳාගැනීමට වෙබ් පෝටලයක්

(21.11.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ගණිත විෂයට අදාළව ගුරුවරුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශය සැලසෙන ප්‍රථම වෙබ් පෝටලය ‘මෙටාහබ්’ නමින් අධ්‍යාපන අමාත්‍යංශයේ දී එළිදක්වා තිබෙනවා.

වෙබ් අඩවිය ඔස්සේ ගුරුවරුන්ට අදාළ වෙබ් පෝටලයට පිවිස ලියාපදිංචි වන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ෴

YouTube : Meta Hub

***************************************

ඖෂධ වර්ග 152 ක හිඟයක් – රෝහල් කිහිපයක් දැඩි අර්බුදයක

(21.11.2022 – 14:10 +0530 – sinhala.adaderana.lk)

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද (21) අනාවරණ කළේය.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය.

ප්‍රශ්නය – දැන් උදේ තත්ත්වය ගත්තොත් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය වැඩ කරන්නේ නැහැ කියලා එයාලා චෝදනාවක් එල්ල කරනවා. ඔවුන්ට අවශ්‍ය කරන උපකරණ හා අනෙකුත් දේවල් නැතිවෙලා තියෙනවා. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ හදවත් ඒකකයත් වැඩ කරන්නේ නැහැ. මෙහෙම ගියාම ජනතාවට බෙහෙත් ගන්න ගිහිල්ලා වැඩක් නැති තත්ත්වයක් ඇතිවෙනවානේ රජයේ රෝහලකට ?

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා :

“ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නවා මේ වෙනවිට අපිට ඖෂධ 152 ක හිඟයක් තියෙනවා ලංකාවේ. මේ ඖෂධ මිලදී ගැනීමට අපි භාවිත කරන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය. අපිට අනිවාර්යයෙන්ම මහ භාණ්ඩාගාරයේ අනුමැතිය වගේම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ගන්න ඕනේ. මේ ක්‍රියාපටිපාටිය ඉතාම දිගයි. ඒක නිසා අපේ සමහර පෞද්ගලික සැපයුම්කරුවනුත් මේ ක්‍රමයට යන්න කැමති නෑ. මොකද මේ ණය යෝජනා ක්‍රමය තුළින් අපි මාස දෙක තුනක් ඇතුළත අපි බලාපොරොත්තු වුණා අපේ ඖෂධ හිඟය සපුරාගන්න පුළුවන් වෙයි කියලා. ඒක සාර්ථක වුණේ නෑ. ඒ වගේම ADB බැංකු ඩොලර් මිලියන 66.6 ක්. ඒකෙත් ක්‍රියාපටිපාටිය දීර්ඝයි. හැබැයි ලෝක බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ අපිට ඩොලර් මිලියන 23 ක් ලැබුණා. එයින් මේ වනවිට සියලුම බෙහෙත් වර්ග දෙකක් (2) ඇරෙන්න අපිට ලැබිලා තියෙනවා. අපි මේ ගැටලුව තුළ අපි ඖෂධ ඇනවුම් කරලා තියෙනවා වසර 2 කට ප්‍රමාණවත් තරම්. ඩීසල් පෙට්‍රල් ගේන්න වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි අපිට.”

ප්‍රශ්නය – ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර 5 න් වැඩ එකයි (1). ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාර දෙකක (2) වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒක හින්දා අනිත් ඒවා නැවතිලා.. ඇයි මේ පොඩි දේවල්වත් කරන්න විදියක් නැතිවෙලා තියෙන්නේ ?

“මහනුවර රෝහලෙත් තවත් රෝහල් කිහිපයකත් අපිට A/C යන්ත්‍ර කැඩිලා තියෙනවා. නමුත් ඒ සැපයුම්කරුවන් ට මුදල් ගෙවන්න තියෙනවා. ඒවා ලබාදෙන්නේ නැති නිසා ඒ අය හැමවෙලාවේම අර වගේ ගැටලුවක් ආවහම ‘ඩිමාන්ඩ්’ කරනවා. ඒ ගෙවීම නිසා තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. සමහර බැංකුවලිනුත් අපිට සෞඛ්‍යට ද සල්ලි දෙන්නේ නෑ. අපි දන්නේ නෑ සෞඛ්‍ය කවදා සල්ලි හම්බෙයිද කියලා. ඒ නිසා සැපයුම්කරුවන්ගේ හිඟ මුදල් ගෙවලා ඉවර වුණොත් මේ ගැටලුව ඉක්මනින් නිරාකරණය කරන්න පුළුවන්.”

***************************************

කොළඹ දුප්පතුන් වකුගඩු විකුණති.. රාජගිරියේදී හොරෙන් බද්ද කරති.. මුදල් නොගෙවා මගහරිති..

(21.11.2022 – 22:22 +0530 – lankacnews.com)

කොළඹ ප්‍රදේශයේ අඩුආදායම් පවුල් වල සාමාජිකයන් ගේ වකුගඩු විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දෙරණ රූපවාහිනිය වාර්තා කළේය.

මෙරට වකුගඩු බද්ධ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ව තිබියදී රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක මෙම නීති විරෝධී කටයුත්ත ව්‍යාජ ලිපි ලේඛන හරහා සිදුකරන බවත් එම වාර්තාව පැවසීය.

පසුව මුදල් දෙන පදනම මත වකුගඩු ලබාගත් ඇතැම් පුද්ගලයන්ට මුදල් පවා ගෙවා නැති බවද වාර්තාවේ.

***************************************

20-11-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *