තිලිණි ප්‍රියමාලි වංචා කළ මුදල රුපියල් බිලියන 1.3 ඉක්මවයි

තිලිණි ප්‍රියමාලි වංචා කළ මුදල රුපියල් බිලියන 1.3 ඉක්මවයි

*********************************************

තිලිණි ප්‍රියමාලි වංචා කළ මුදල රුපියල් බිලියන 1.3 ඉක්මවයි

(16.11.2022 – 17:04 +0530 – hirunews.lk/sinhala)

තිලිණි ප්‍රියමාලි විසින් විවිධ ආයෝජනයන් සිදුකර රුපියල් බිලියන 1.3 කට අධික මුදලක් වංචා කර ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

රුපියල් මිලියන 226 ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව ඇතුළු නඩු 9 ක් විවෘත අධිකරණයේදී අද කැඳවූ අතර ඊට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ.

බොරැල්ලේ සිරිසුමන + ඉසුරු බණ්ඩාර + ජානකී සිරිවර්ධන + තිළිණි ප්‍රියමාලි

තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර හා බොරැල්ලේ සිරිසුමන ස්වාමීන් වහන්සේ, නොවැම්බර් 30 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව යි.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව යි මොවුන් අත් අඩංගුවට ගැනුණේ ෴

++++++++++

https://www.youtube.com/watch?v=2_bQnvqvB4g

++++++++++

https://www.youtube.com/watch?v=FAvbLRoRG-I

++++++++++

https://www.youtube.com/watch?v=7NyP28MDZwo
14-11-2022

++++++++++

තිළිණි ගත් මුදල්වලට වූයේ කුමක්ද ?

(16.11.2022 – 21:32 +0530 – sinhala.adaderana.lk)

තිළිණි ප්‍රියමාලි සතුව ජාතික හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් පවතින බව අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, ඇය සිදුකර ඇති මුල්‍ය වංචාවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.28 ක් බවය.

සැකකාර තිළිණි ප්‍රියමාලි, ඉසුරු බණ්ඩාර, බොරැල්ලේ සිරිසුමන හිමි සහ ජානකි සිරිවර්ධන ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මහා පරිමාණ මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදි අද (16) යළි කැඳවීය.

ඊට සැකකරුවන් සහභාගි කරනු ලැබුවේ, ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

මෙහිදී මුල්‍ය වංචාවලින් ඉසුරු බණ්ඩාර මිලදීගත් බවට පැවසෙන BMW වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නඩු භාණ්ඩයක් ලෙස අද (16) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

“ස්වාමිනි, මේ වංචාව සම්බන්ධයෙන් දැනට සිදුකරන ලද විමර්ශන අනුව එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.28 ක් පමණ වනවා. තිළිණි, ඉසුරු බණ්ඩාර සමඟ එක්වී රුපියල් කෝටි 04 කට ආසන්න මුදලක් ඩොලර් බවට මාරු කර තිබෙනවා. නමුත් එම මුදල්වලට කුමක් වූයේද යන්න මෙතෙක් හෙළිවී නැහැ. තිළිණි ප්‍රියමාලි විසින් ගනුදෙනු කළ මෙම මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව තමයි ජානකී සිරිවර්ධන නැමැති සැකකාරියට එල්ල වන්නේ. ඇය මෙම මුල්‍ය වංචාවට අදාළ මුදල් එක්වරකදී රුපියල් මිලියන 55 ක් සහ තවත් වරකදී රුපියල් මිලියන 20 ත් – 30 ත් අතර මුදලක් ලෙස අවස්ථා දෙකකදී වෙනත් පුද්ගලයින්ටදී තිබෙනවා. එමෙන්ම ස්වාමිනි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා මෙම මුල්‍ය වංචාවෙන් එක්රැස් කර ගත් මුදල් තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන විසින් අවස්ථා දෙකකදි ‘ගාල්ලේ රත්තරන්’ නොහොත් ක්‍රිශාන්ත පුෂ්පකුමාර නැමැත්තාට ලබාදී ඇති බව. ජානකී සිරිවර්ධන විසින් එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද, තිළිණි ප්‍රියමාලි විසින් තවත් අවස්ථාවක රුපියල් ලක්ෂ 30 ක මුදලක්ද එම පුද්ගලයාට ලබාදී තිබෙනවා. එමෙන්ම යළිත් වරක් ජානකි සිරිවර්ධන විසින් ‘රත්තරන්’ නැමැත්තාගෙන් ඉල්ලාගත් රුපියල් ලක්ෂ 22 ක මුදලක් බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ ගිණුමට බැරකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙහීදි විශේෂ අනාවරණයක් සිදුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකාර තිළිණි ප්‍රියමාලි තම නමට ජාතික හැඳුනුම්පත් 02 ක් සහ විදේශ ගමන් බලපත්‍ර 02 ක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ඉන් එක් ජාතික හැඳුනුම්පතක ඇගේ උපන් දිනය 1980 වර්ෂයේ යැයි සඳහන් වන බවද, අනෙක් ජාතික හැඳුනුම්පතේ උපන් දිනය 1982 වසර බවට සඳහන් වන බවද ඔවුන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

මෙහිදි තිළිණි ප්‍රියමාලි සහ අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් සිය සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළේය.

සැකකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දසුන් නාගස්හේන මහතා කියා සිටියේ තම සේවාදායිකාව මාස 1½ කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සහ සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුනොකිරීම පදනම් කරගනිමින් ඇයට ඇප ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පැවසුවේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදීත් තිළිණි ප්‍රියමාලි පැමිණිලිකරුවන්ට දුරකතනයෙන් අමතා බලපෑම්කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇති බවය.

එමෙන්ම මෙහිදී නීතිඥ දසුන් නාගස්හේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කළේ, තිළිණි ප්‍රියමාලිගේ සහ ජානකී සිරිවර්ධනගේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී ද, ඔවුන් සම්බන්ධ හඬපට මාධ්‍යයට නිකුත් වී මාධ්‍ය සංදර්ශන ක්‍රියාත්මක වන බවය.

කෙසේ වෙතත් එම චෝදනාවට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ තමන් කිසිදු අයුරකින් මාධ්‍යයට හඬපට ලබාදීමක් සිදු නොකරන බවත් යම්හෙයකින් තමන් සන්තකයේ පවතින හඬපට මාධ්‍යයට ලබාදුන්නේ නම් දැනට පවතිනවාට වඩා විශාල මාධ්‍ය සංදර්ශනයක් ඇති කිරීමේ හැකියාවක් පවතින බවය.

මෙහිදි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේ මෙම මුල්‍ය වංචාව තුළින් රැස්කළ මුදල්වලට කුමක් සිදු වූයේද යන්න මේ වන විට සොයාගෙන ඇත්ද යන්නය.

එයට පිළිතුරු දුන් විමර්ශන නිලධාරින් එම මුදල්වලට සිදුවූ දෙය පිළිබඳ විත්තිකරුවන් නිවැරදි තොරතුරක් ලබා නොදෙන බැවින් ඒ පිළිබඳ සොයාබැලීමට තවත් කල් අවශ්‍ය බවය.

මෙහිදි විත්තිකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ මහතා කියා සිටියේ විත්තිකරුවන් හමුවේ මුදල් තැන්පත් කළ පුද්ගලයින් එම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව විමර්ශන කළ යුතු බවය.

ජීවන් කුමාරතුංග, ශෙරින් කුමාරතුංග, සංගීතා වීරරත්න වැන්නවුන් මෙම විමර්ශනයට අදාළව ලබාදුන් සාක්ෂි පිළිබඳවත් අධිකරණය දැනුවත් කළයුතු බව ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තිළිණි ප්‍රියමාලි, ඉසුරු බණ්ඩාර, බොරැල්ලේ සිරිසුමන හිමි සහ ජානකි සිරිවර්ධන යන සැකකරුවන් එළඹෙන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

+

***************************************

IMF එකෙන් ඩොලර්වලින් විශ්‍රාම වැටුපක් ගන්නා නිසා රුපියල අවප්‍රමාණය වීම මහ බැංකු අධිපතිට වාසියක් – විමල් වීරවංශ

(16.11.2022 – 09:23 +0530 – lankaleadnews.com)

රුපියල අවප්‍රමාණය වීම මහ බැංකු අධිපතිවරයාට වාසියක් බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද වර්තමාන මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ඩොලර්වලින් ලබාගන්නා බවත්, මෙරට මහ බැංකු අධිපතිවරයාව සිටිමින් රුපියල් ලක්ෂ ගණනක වැටුපක් ලබාගන්නා බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු සේවය කරන්නේ ඩොලර්වලින් වැටුප් ගන්නා රටවලට බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටුපස සිටින බලවේගවලට අවශ්‍ය සේවය ඔහු සපයමින් සිටින බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පවසයි.

රුපියල අවප්‍රමාණය වීම මහ බැංකු අධිපතිට වාසියක් :

***************************************

විහිලුව දුරදිග ගොස් 6 වසරේ සිසුවාට ගණන් සර්ගෙන් කනේ පාරක්

(16.11.2022 – 21:58 +0530 – sinhala.adaderana.lk)

ගුරුවරුන්ගේ පහරදීම් හේතුවෙන් හිංසනයට ලක්වන දරුවන් පිළිබඳ පුවත් දිගින් දිගටම පසුගිය දිනවල වාර්තා විය.

එවැනි සිදුවීම් දෙකක් හේතුවෙන් දරුවන් දෙදෙනෙකු රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි.

එසේ රෝහල්ගත කර ඇත්තේ හංවැල්ල සහ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් දෙදෙනෙකි.

හංවැල්ල පාසලේදී පහරකෑමට ලක් වූ සිසුවා පැවසුවේ,

“අපි ඉස්කෝලෙදි ආගම සිහිකරලා ජාතික ගීය කියනවා. ජාතික ගීය කියද්දි මම මුල ටික කියන්න පුළුවන් ගාණට කිව්වා. අග ටික හයියෙන් කියන්න පුළුවන් නිසා හයියෙන් කිව්වා. ඊටපස්සෙ අග ටික විතරක් හයියෙන් කිව්වෙ ඇයි කියලා ඇදලා අරගෙන ස්ටේජ් එක උඩට නග්ගලා ඊට පස්සෙ ඉතිරි ටිකත් ආයේ මුල ඉඳලා ජාතික ගීයේ ඔක්කොම හයියෙන් කියන්න කියලා ඔළුවට ගැහුවා. පිටුපස්සටත් ගැහුවා. ඉතින් මම හිතුවෙ නැහැ ආයෙ ගහයි කියලා. එක පාරක් කිව්වම තව සැරයක් සද්දෙට කියපන් කියලා ගැහුවා. එහෙම හතර පස් සැරයක් හය පාරක් විතර ඔළුවට ගැහුවා”.

එම සිසුවා පෙරේදා උදෑසන පාසල් රැස්වීමේදී ජාතික ගිය හඬ නගා ගායනා කළේ යැයි උරණ වූ නැටුම් ගුරුවරයාගේ මෙලෙස එම සිසුවාට පහරදී තිබුණි.

ඔහු පාසල නිමවී නිවසට පැමිණි පසු හිසේ වේදනාවක් ඇතිවී ඒ පිළිබඳව මව්පියන්ට දන්වා තිබුණි.

“ඊට පස්සෙ මගෙ ඔළුව රිදුණා. මම ගෙදර ඇවිත් තාත්තට කිව්වා. තාත්තා මාව රෝහලට එක්කගෙන ගියා. සාලාව රෝහලෙන් ඇම්බියුලන්ස් එකක දාලා අවිස්සාවේල්ලට එක්කගෙන ගියා. එක්ස් රේ ගන්න ඕනේ චෙක් කරන්න ඕනේ කියලා. ඔළුවෙ මේ හරිය රිදෙනවා”.

දරුවාගේ පියා මේ සම්බන්ධයෙන් කොස්ගම පොලිසියට හා ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර කොළඹ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු විසින් 6 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට පසුගිය නොවැම්බර් 11 වැනිදා පහර දී ඇති බව වාර්තා විය.

සිසුවාගේ පියා පැවසුවේ ඊට පසුදින පස්වරුවේ දරුවා වමනය දැමීම නිසා කලුබෝවිල රෝහලට ඇතුළත් කළ බවය.

“දරුවා වෛද්‍යවරයාටයි අධිකරණ වෛද්‍ය නිලධාරියාටයි විතරයි හරි විස්තරේ කිව්වේ මේ විදිහට පහරදුන්නෙ කියලා. ඉස්සෙල්ලම ගහලා තියෙනවා කන්අඩිවලට අත් දෙකෙන්ම හතර සැරයක්. පිටකොන්ද පාත්කරලා පිටට ඇනලා තියෙනවා. පිටට ඇන්නාම පුතා වැටෙන්න වගේ ගියාම ආයෙ ඇදලා අරගෙන මේ ඉලඇටවලට අතමිට මොලවලා ගහලා තියෙනවා. එතකොටම පුතා බඩ කොරවෙලා අල්ලගෙන තියෙනවා. කනෙන් ඇදගෙන ගිහින් පඩිපෙළෙන් තල්ලු කරපු පාර තමයි පුතා රෝල්වෙලා වැටිලා ගිහිල්ලා පඩිපෙළේ අත්වැටේ ඔළුව පිටිපස්ස වැදිලා. වැටුණට පස්සෙත් ආයෙ පුතාව ඇදලා අරගෙන එයා උගන්වන පන්තිය ඒ කියන්නේ 7 ශ්‍රේණියේ පන්තියටත් ගිහින් ආයෙ කනේ පාරක් ගහලා තියෙනවා”.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා කළ පැමිණිල්ලට අනුව බම්බලපිටිය පොලිසිය විසින් අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (16) ඉදිරිපත් කළේය.

එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ගුරුවරයා මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

පොලීසිය පැවසුවේ පාසලේ ගණිත ගුරුවරයාට සිසුන් කිහිපදෙනෙකු උසුළු විසුළු කිරීම නිසා මෙලෙස සිසුන්ට දඬුවම් කර ඇති බවය.

මේ අතර හොරණ මිල්ලනිය කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ දරුවන් පිරිසකට පහර දී වදහිංසා කර ඇති බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විදුහල්පතිවරිය සහ මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.

ජනවාරි 18 වනදා නඩුව යළි කැඳවීමට නියමිතය ෴

***************************************

ඩයනාගේ බ්‍රිතාන්‍ය පාස්පෝට් කොපිය එළියට ?

(16.11.2022 – 20:21 +0530 – sinhala.adaderana.lk)

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ඔහු අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ඇයට එරෙහිව පවතින සාක්ෂි පිළිබඳව රජයේ පාර්ශ්වය, සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගයද දැනුවත් කළ නමුත් ඔවුන් කිසිවෙක් පියවරක් ගැනීමට ඉදිරිපත් නොවූ බවය.

ඔහු පැවසුවේ,

“ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට මම පැමිණිලි කළා. CID විමර්ශනයක් සිදුකළා. 2021 අප්‍රේල් මාසයේ බී වාර්තාවක් නිකුත් කළා.
බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් භාවිත කරලා මෙරටට ඇවිත්. (බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් පෙන්වයි) අද වෙනකම් ලංකාවේ ඉන්නේ විදේශ පුරවැසියෙක් ලෙස සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස් දැනුවත් කළා. කවුරුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිසිය සහ එවක ආණ්ඩුවත් වගකිව යුතුයි. අරගලයත් වගකිව යුතුයි. බී වාර්තාවත් ඔවුන්ට ලබාදුන්නා. අනුර කුමාරටත් කියලා තියෙනවා. බී වාර්තාව පාර්ලිමේන්තු සභාගත කරන්න විරුද්ධ වුණා. සමස්ත සමාජයම වගකියන්න ඕනේ මේකට”.

විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතාගේ පාර්ශ්වය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගය නිර්මාණය කරගත්තේ වත්මන් සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනක සිල්වා මහතාගේ සහාපතීත්වය යටතේ පැවති අපේ ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂය යොදා ගනිමිනි.

ඒ වෙනුවෙන් ඩයනා ගමගේ මහත්මියට සමගි ජන බලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදුනි.

විපක්ෂ මන්ත්‍රිවරියක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් පසුව ආණ්ඩු පක්ෂයට එක්වුණාය.

මේ වන විට ඩයනා ගමගේ මහත්මිය සංචාරක රාජ්‍ය අමාත්‍යධුරය දරන අතර සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා අභියාචනාධිකරණයට ඊයේ (15) පෙත්සමක් ගොනුකළේ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසන්නේ, “හැඳුනුම්පත් දෙක තුනක් තියෙනවලු. නීතිය ක්‍රියාත්මක කරන්න. මේ රටේ පුරවැසියෙක් නෙවෙයි නම් පුරවැසි බව තියෙන රටේ ගංජා වවාගෙන ඉන්න පුළුවන්නේ. ගංජා නෙවෙයි මොකක්ද ත්‍රෛලෝක විජය පත්‍ර ටිකක් වවාගෙන වවාගෙන විතරක් නෙවෙයි ගහගෙනත් ඉන්න පුළුවන්,” යනුවෙනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *