ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දින්නේ මගේ කතාවක් හොරකම් කරලා.. – රාජ්පාල් අබේනායක

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දින්නේ මගේ කතාවක් හොරකම් කරලා.. – රාජ්පාල් අබේනායක

*********************************************

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දින්නේ මගේ කතාවක් හොරකම් කරලා.. – රාජ්පාල් අබේනායක

(03.11.2022 – 03:20 +0530 – lankacnews.com)

ෂෙහාන් කරුණාතිලක මහතා බුකර් සම්මාන දින්නේ තමක්ගේ කතාවක් හොරකම් කරගෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක මහතා චෝදනා කරයි.

තමන් එම නවකතාව මුද්‍රණය කර ගැනීම සඳහා උදව් ලබා ගැනීමට ෂෙහාන්ට කතා කළ බවත් එහිදී ඔහු තම කතාව හොරකම් කරන ලද බවත් පවසන ඔහු ශෙහාන් කරුණාතිලක මෙතරම් අදම හොරෙක් යැයි තමන් නොදැන සිටි බවත කියා සිටියි.

තමන් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ෂෙහාන් විසින් ලබාගත් සම්මානය නැති කරන බවත් තමන්ට සම්මාන නොලැබුණද ගැටලුවක් නැතැයිද ඔහු පවසයි.

2009 වසරේදී තමන් මෙම නවකතාව ලියූ බවත් 2011 වසරේදී ෂෙහාන්ට දුන් බවත් පවසන ඔහු එනිසා එය හොරකම් නොකලේ යයි ප්‍රකාශ කළ නොහැකි බවද කියාසිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටී.

***************************************

‘ෆේස්බුක් පෙම්වතා’ වෙරලට ගෙන්වාගෙන සියල්ල කොල්ලකයි..

(03.11.2022 – 02:10 +0530 – lankacnews.com)

දොඩංගොඩ ප්‍රදේශයේ අවුරුදු 18 ක පමණ තරුණයෙකු මුහුණු පොතෙන් ‘තරුණියක’ ලෙසින් හඳුනාගත් ව්‍යාජ පුද්ගලයෙකුට ආදරය පළ පළකිරීමෙන් පසුව දෙදෙනා අතර සතියක පමණ කාලයක් කතාබහ කර (චැට් කර) හඳුනාගැනීමේන් පසුව කටුකුරුන්ද මුහුදු වෙරළේදී හමුවීමට පැමිණෙන්නැයි පවසා එම තරුණයාව මංකොල්ලකා තිබේ.

සිද්ධියට මුහුණ දුන් තරුණයා පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ සිදු කර මංකොල්ල කෑමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු (2) පයාගල පොලීසිය විසින් (02 දා) අත්අඩංගුවට ගත් බව කියයි.

දොඩංගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 18 ක තරුණයෙක් ‘තරුණියක්’යයි සිතා ජංගම දුරකථනයෙන් චැට් කර මුහුණු පොත හරහා ‘ආදර බැඳීමක්’ ඇතිකර අනතුරුව එම ‘ව්‍යාජ තරුණිය’ දොඩංගොඩ තරුණයාට මුහුදු වෙරළේ දී හමුවීමට කල යෝජනාවෙන් පසුව, දොඩංගොඩ තරුණයා මුහුදු වෙරළට පැමිණීමෙන් පසුව, එකවරම ඔහු අසලට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) බෙල්ලට මුවහත් ආයුධයක් තබා එම තරුණයාව බියවද්දා අත තිබූ ජංගම දුරකථනය සහ චාජරය, ජංගම දුරකථනය විදුලිය නොමැති අවස්ථාවල භාවිතා කරන උපකරණය (power bank) සහ ඔහු සතුව තිබූ රුපියල් 4,000 මුදලක් බලාත්කාරයෙන් ලබාගෙන පලා ගොස් තිබේ. පයාගල පොලිසිය විසින් එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම තරුණයා මංකොල්ල කෑමට ලක් කර ඇති සැකකරුවන් දෙදෙනා කටුකුරුන්ද සහ ඈතගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ ෴

***************************************

තිළිණි ගැන කියන්න අදත් (03) නිලියන් නොපැමිණියහොත් අධිකරණ ක්‍රියාමාර්ග

(03.11.2022 – 12:26 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති රංගන ශිල්පිනියන් දෙදෙනා අද (03) නොපැමිණියහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පසුගිය 31 වනදා එම රංගන ශිල්පිනියන් දෙදෙනාට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණත් එදිනට නොපැමිණීම හේතුවෙනුයි අද (03) යළි එහි පැමිණෙන ලෙස දැනුම්දී තිබුණේ.

එහෙත් අද (03) දහවල් වන විටත් ප්‍රකාශ ලබාදීමට මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

මීට පෙර එම විමර්ශනවලට අදාළව නළු නිළියන්, නිවේදිකාවන් ඇතුළු 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

+++++++++++

තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරේ

(03.11.2022 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මූල්‍ය වංචාවකට සැකපිට අත් අඩංගුවට ගැනුණු තිළිණි ප්‍රියමාලිව අද (03) පෙරවරුවේ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

සැක අංක 932 යටතේයි ඇය ඉදිරිපත් කෙරුණේ.

මෙලෙස ප්‍රියමාලි නමැති සැකකාරිනිය බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් ළඟ තබාගැනීමේ චෝදනාවටයි මෙලෙස විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කළේ.

ඒ අනුව අද (03) දිනයේ දී වැලිකඩ බන්ධනාගාරයේ පැවති මෙම හමුවට කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා ප්‍රමුඛ බන්ධනාගාරා විනිශ්චය මණ්ඩලය ඇයව විභාගයට ලක් කළා.

එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා විසින් අදාළ නඩුව නොවැම්බර් 24 තෙක් කල් තැබූ බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක නිවේදනය කළේ ෴

***************************************

‘හිරු CIA’ හෙළිදරව්ව ගැන භූ විද්‍යා සභාපතිගෙන් ප්‍රතිචාර

(03.11.2022 – 23:23 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (02) අප හෙළිකලේ අමු මිරිස් වගා කිරීම සඳහා ඉඩම් අක්කර 3000 ක් ප්‍රතිසංස්කරණය කරන බවට වංචනික තොරතුරු ඉදිරිපත් කර මුතූර් – සාෆි නගර් ප්‍රදේශයේ දුපතක් නීති විරෝධී වැලි කැනීම් හරහා මුළුමනින් වනසා දමා ඇති ආකාරයයි.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අක්‍රමවත්ව තැන තැන කපා ඇති මෙම මහා පරිමාන වලවල් හරහා මේ වනවිට මෙම පරිසර කලාපයේ ජීවත්වන වන අලින්ගේ ජීවිතවලට ද එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයක්.

මෙම මහා පරිමාන පරිසර විනාශය සිදුකර ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති ‘සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල’ නමින් ඉල්ලුම් කළ කැනීම් බලපත්‍රයක් හරහා බව අප ඊයේ (02) ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අද (03) සභාපතිවරයා හා භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවා තිබුනා.

භූ විද්‍යා සභාපතිවරයාගේ පැහැදිලි කිරීම අනුව ඔහු ඉල්ලුම් කර තිබු කැණීම් බලපත්‍රය හරහා අදාල සමාගමෙන් ක්‍රමානුකූලව ඇල මාර්ගය සුද්ද කර ඇති ආකාරය මේ වනවිට දක්නට ලැබෙනවා.

මෙම ව්‍යාපෘතියට අවසර ලබාදීම සම්බන්ධයෙන් භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද චෝදනා එල්ල වන අතර මාධ්‍යවේදීන් ඔහුගෙන් හා සභාපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

මිරිස් වගා ව්‍යාපෘතියක් සිදුකරන බවට වංචනික තොරතුරු ඉදිරිපත් කර මහා පරිමානයෙන් වැලි කැණීම් සිදුකර තවදුරටත් සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ රවටන්නේ කාව ද ?

මෙම වැලි ජාවාරමේ තවත් තොරතුරු ඉදිරියේදීත් ‘හිරු සී.අයි.ඒ.’ හරහා ගෙන ඒමට අප සුදානම්.

https://www.youtube.com/watch?v=wAwp5tZ8DNg#t=6

***************************************

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යන අයට තහනමක්

(03.11.2022 – dinamina.lk)

ඕමාන්, ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත.

පසුගිය දිනවලදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වූ අතර, එසේ විදේශ ගතවූවන් මුහුණ පෑ විවිධ හිංසනයන් පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍යය මගින් තොරතුරු ප්‍රචාරණය විය.

විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා යොමුවන සියළුම ශ්‍රි ලාංකිකයින් සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ ගතවීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කර ඇත. එහෙත් නීත්‍යානුකුල විදේශගතවිම පසෙක ලා බාහිර පාර්ශවයන් හරහා සංචාරක වීසා මගින් විදේශ ගතවන අවස්ථාවේදි, තමන් ඒ පිළිබඳ ව්‍යාජ තොරතුරු ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය වෙත ඉදිරිපත් කරමින් විදෙස් ගතවූ තැනැත්තන් එකී හිරිහැරයන් සඳහා වැඩි වශයෙන් මුහුණ පා ඇති බව පෙනී ගිය කරුණකි.

ඒ අනුව ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල විසින් එරට තුළ අතරමංව ඇති ශ්‍රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති වාර්ථා මගින් පැහැදිලිවනුයේ ඔවුන් වැඩි වශයෙන් එකී රටවලට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගින් බවත්, ඔවුන් සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ රැකියා පිළිබඳ වගකීම භාරගැනීම සඳහා කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් අදාල කාන්තාවන් එරට තුළදී අතරමං වූ පිරිසක් වශයෙන් කල් ගෙවන බවත්, ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළුද මේ හේතුවෙන් පැන නැගී ඇති බවත්ය.

ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ නියෝගය පරිදි ඕමාන් රාජ්‍යයේ සියළුම රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදේශ ගතවීම අනිවාර්ය බවත්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීමට කරනු ලබන සියළුම උත්සාහයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇත.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා මගින් විදේශ ගතවූ කාන්තා ශ්‍රමිකයින් පිළිබඳවත්, එසේ විදේශ ගතවූ කාන්තාවන්ගේ රැකියා නොලැබීම්, හිරිහැර කිරීම්, සිරගත කිරීම් හා අතරමංවීම් ආදී කරුණු පිළිබඳවද මේ වන විට කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත. එබැවින් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව මහජනයා වෙත දැනුම් දෙනු ලැබේ.

මෙහිදී කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන්, කාර්යාංශ ලියාපදිංචිය ලබාදීමේදී විශේෂ උපදෙස් මත අදාල කාන්තාවන්ගේ ලියාපදිංචිය සඳහා මෙතෙක් ලබා දී තිබූ අවසරය 2022.10.10 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගනු ඇත. තවද ගුවන්තොටුපොල ඒකකයේ පිහිටුවා ඇති කාර්යාංශ ඒකකයේ සේවයේ නියුතු නිළධාරීන් සදහා විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව සංචාරක වීසා මගින් ඉහත කී රටවල් සඳහා විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර, රැකියා සඳහා යොමුවන තැනැත්තන් පිළිබඳව තහවුරුවීමක් සිදුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශ විමර්ශන අංශය වෙත අදාල කාර්යය පැවරිමටද කටයුතු කරනු ඇත ෴

***************************************

අරුමපුදුම ලෙස රිෂාඩ් බදියුදීන් පාස්කු නඩුවෙන් නිදහස් වීම, පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන් නැවත මරාදැමීමක් – ජයන්ත සමරවීර

(03.11.2022 – 20:31 +0530 – lankaleadnews.com)

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය, අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවේ 07 වැනි සැකකරු වන රිෂාඩ් බදියුදීන් එකී නඩුවෙන් අරුමපුදුම ආකාරයට නිදහස් වීම එම ප්‍රහාරයෙන් මියගිය අහිංසක සිවිල් වැසියන් යළි වතාවක් මරාදැමීමක් නොවේදැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රශ්න කරයි.

එම කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාවට තුළ තිබෙන විශ්වාසය බරපතළ ලෙස පළුදු කිරීමක් බව ද ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හත්වැනි සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තවදුරටත් එම නඩුවේ සැකකරුවකු නොවන බව ප්‍රකාශ කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහු නඩුවෙන් නිදහස් කරනවා. නීතිපතිවරයා විසින්, එම නඩුවේ හත්වැනි සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදයුදීන්ට එරෙහිව තවදුරටත් නීතිමය කටයුතු නොකරන වගත් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අදාළ කටයුතු සිදු කරන ලෙසටත් CRI 205/20 නමැති නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයාගේ එම උපදෙස් පරිදි සිදු කළ ඉල්ලීම මතයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් මෙම තීන්දුව දී තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි මෙතෙක් අධිකරණය භාරයේ තිබූ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට යළි ලබාදීම ද එම අධිකරණ නියෝගයට ඇතුළත්.

විමර්ශන අවසන් ද?

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙස නම් කරන්නේ ඔහු හා බැඳුණු බලවත් සැක සහිත සිදුවීම් නිසයි. ඔහු කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස සිටියදී තමන් යටතේ තිබූ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන්, ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ්ගේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම්ට කෝටාව ඉක්මවා තඹ ලබාදී තිබුණා. පාස්කු ප්‍රහාරයට අදාළ මරාගෙන මැරෙන බෝම්බ නිපද වූ බවට චෝදනා එල්ල වූ තඹ කම්හලේ හිමිකරු වූ මේ මොහොමඩ් ඊබ්‍රාහිම්, රිෂාඩ් බදියුදීන්ගේ ගජ මිත්‍රයෙක්. මේ පිළිබඳව පැමිණිලි බොහෝ ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණත් ඒ පැමිණිලි පිළිබඳ විමර්ශන මේ වන විට අවසන් ද? කියන ප්‍රශ්නය රිෂාඩ් බදියුදීන්ගේ මේ නිදහස් වීමත් සමගම ජනතාවට ඇතිව තිබෙනවා. කෝටාව ඉක්මවා ලබා ගත් තඹවලින් උපයාගත් ධනය පාස්කු ප්‍රහාරය සඳහා යොදාගත් බවට ද මේ අයට චෝදනා එල්ල වුණා. එම විමර්ශනයත් දැන් අවසන් ද?

සතොස වාහන

ඒ විතරක් ද? රිෂාඩ් බදියුදීන් යටතේ තිබුණු සතොස ආයතනයේ වාහන ගණනාවක් ඔහුගේ සහෝදරයා වූ රියාද් බදියුදීන්ගේ මාර්ගයෙන් සහරාන්ලාගේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය යොදාගත් බවට GPRS වාර්තා සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබුණා. අපත් එම තොරතුරු එදා මාධ්‍ය මගින් ජනගත කළා. රිෂාඩ් බදියුදීන් මෙම සිදුවීම්වලට අනියමින් හෝ සම්බන්ධ නොමැති බව විමර්ශනවලින් ඔප්පු වී තිබෙනවා ද? මේ පිළිබඳව ජනතාව තුළ බරපතළ සැක සංකා ඇතිව තිබෙනවා.

බරපතළ දේශපාලන අතපෙවීමක්

ඒ විතරක් නොවෙයි, දැන් ජනතාව තුළ ඇත්තේ මේ විදියට පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු සැකකරුවන් එකිනෙකා නිදහස් වී ගෙදර යාවි ද? කියන ගැටලුවයි. පාස්කු ප්‍රහාරයෙන් මියගිය, අදටත් ආබාධිතව දුක් විඳින පිරිසට සාධාරණයක් ඉටු වේවි ද? කියන සැකය ද අප හමුවේ තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන අත පෙවීමක් සිදුවෙලා, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අතපෙවීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලා මෙම තීන්දුව ලැබුණු බවයි පෙනීයන්නේ. මෙහෙම ගියොත් නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය නැත්තටම නැති වෙනවා. ඒ වගේම නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස බිඳ වැටෙනවා. අවසානයේ දී මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට සාධාරණය ඉටුවනවා වෙනුවට ඔවුන් යළි වතාවක් මරා දැමෙනවා.

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් වන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවෙන් හමු වී ඇති තත්ත්වයක් තුළයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පිරිස් වෙත, විවිධ චෝදනා එල්ල කරපු අය, රිෂාඩ් බදියුදීන්ගේ නිදහස් වීම පිළිබඳව හිතාගත නොහැකි නිහඬතාවක ඉන්නා බවයි පෙනෙන්නේ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-11-03

***************************************

තිලිණි ප්‍රියමාලි ඡන්දේ ඉල්ලුවත් දිනනවා – මැතිවරණ කොමිසමේ සභාපති

(03.11.2022 – gossiplankanews.com)

මෙරට අධ්‍යාපන සාක්ෂරතාවය ඉහළ මට්ටමක පැවැතිය ද දේශපාලන සාක්ෂරතාවය පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත්, මුදල් වංචාවකට බන්ධනාගාරගතව සිටින තිලිණි පියුමාලි පවා නිදහස්වී පැමිණ මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ප්‍රතිඵලය සිතාගත හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේය.

රටේ ජනප්‍රිය නිරූපිකාවක්, නළුවෙක්, නිළියක්, ගායකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් රටේ ජනතාව ඔවුන්ට ඉහළම මනාපය ලබාදෙන බවද, බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් අනෙක් සියලු අපේක්ෂකයන්ට වඩා වැඩි මනාප ලබා ගන්නා බවද සභාපතිවරයා කීවේය. යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහනුවරදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් මාරු කිරීමේ බලය රජයකට නොමැති බවත්, ජනාධිපතිවරයා කොමිසම පත් කළත් කොමිසම ඉවත් කිරීමට ඔහුට බලයක් නොමැති බැවින් ඊට බහුතර කැමැත්ත අවශ්‍ය බවත් ඒ මහතා​ සඳහන් කළේය.

කොමිසමේ ව්‍යවස්ථාපිත වගකීම ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වුවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශේෂ පනතකින් මැතිවරණය කල් දැමුවහොත් කොමිසමට කරන්න දෙයක් නොමැති බවත් හෙතෙම කීවේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *