‘කුරුන්දි භූමියේ නීතී විරෝධීව කෝවිලක් ඉදි කරයි .. ඇමතිගෙන් උදවු ..’ යනුවෙන් චෝදනා

‘කුරුන්දි භූමියේ නීතී විරෝධීව කෝවිලක් ඉදි කරයි .. ඇමතිගෙන් උදවු ..’ යනුවෙන් චෝදනා

*********************************************

‘කුරුන්දි භූමියේ නීතී විරෝධීව කෝවිලක් ඉදි කරයි .. ඇමතිගෙන් උදවු ..’ යනුවෙන් චෝදනා

(01.10.2022 – 06:20 +0530 – lankacnews.com)

මුලතිවු කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ නීත්‍යනුකූල සංරක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීම මගින් රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අභියෝග කිරීමට ඉඩ දීමේ වරද සහ එම ක්‍රියාවලිය මගින් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූඨ උත්සාහය වැළැක්වීම සඳහා අමාත්‍යවරයා ලෙස නිසි පියවර ගැනීමට අසමත් වී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ඒ පිළිබඳ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වෙත ලිපියයක් යොමු කර ඇත.

එම සම්පුර්ණ ලිපිය මෙසේය :

බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
විදුර වික්‍රමනායක මහතා
සංස්කෘතික කටයුතු අමාත්‍යය,
සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයේ නීත්‍යනුකූල සංරක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීම මගින් රටේ නීතියට සහ ව්‍යවස්ථාවට අභියෝග කිරීමට ඉඩ දීමේ වරද සහ එම ක්‍රියාවලිය මගින් ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූඨ උත්සාහය වැළැක්වීම සඳහා අමාත්‍යවරයා ලෙස නිසි පියවර ගැනීමට අසමත් වීම පිළිබඳ ව යි

ඔබතුමා ඉතා හොඳින් දන්නා පරිදි 1933 මැයි 12 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ස්තූපයක් ඇතුළු පුරාවිද්‍යා නටඹුන් සහිත කුරුන්දි විහාර සංකීර්ණයට අයත් අක්කර 78 ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. එසේ ම 1924 දී නිකුත් කළ අඟලේ සිතියම මගින් ස්තූපයක නටබුන් දක්වමින් සැතපුමකට අධික විෂ්කම්භය සහිත භූමියක් සලකුණු කර ඇත. එම සිතියම තුළ කෝවිලක හෝ දේවාලයක නටබුන් සලකුණු කර ඇත්තේ විහාර භූමියෙන් පිටත කුරුන්දි වැව ආශ්‍රිත ව ය. ස්තූපය සලකුණු කර ඇති භූමි ප්‍රදේශය තුළ එවැනි සලකුණක් යොදා නැත. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් යෝජිත අක්කර 230 භූමිය බෞද්ධ උරුමයක් ලෙස කළමනාකරණය කිරීම සඳහා 2019 සිට 2021 දක්වා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.

අට්ඨකථාවන්හි ‘කුරුන්දක’ යන නමින් මෙම බෞද්ධ සිද්ධස්ථානය ඉදි කරනු ලබන්නේ බල්ලාටනාග රජු විසින් ක්‍රිස්තු වර්ෂ 100-103 කාලයේ දී බව සඳහන් වේ. මහාවංසයට අනුව ක්‍රිස්තු වර්ෂ 1055-1110 කාලයේ දී පළමුවැනි විජයබාහු රජතුමා විසින් එම විහාර සංකීර්ණය තවදුරටත් සංවර්ධනය කර ඇත. හෙන්රි පාකර්ගේ 1886 වාර්ෂික වාර්තාව මගින් මෙම ආරම්භක නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ ව සඳහන් කරන්නේ “කාලය විසින් සිදු වී ඇති විනාශයට වඩා ප්‍රදේශයේ පදිංචියට පැමිණි දෙමළ වැසියන් විසින් මෙම නටබුන් විනාශ කර ඇත” යනුවෙනි.

ඒ අනුව කුරුන්දි විහාර භූමිය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ජාතික උරුමයක් බව ඔබතුමාට විශේෂයෙන් වටහා දීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය සහ පුරාවිද්‍යා ආඥා පනත මෙන් ම 1990 පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව මෙම ස්ථානය ජාතික උරුමයක් ලෙස ආරක්ෂා කිරීම සහ එම භූමියේ සංවර්ධන කටයුතු බාධාවකින් තොර ව සිදු කෙරෙන බව සහතික කිරීම ඔබතුමාගේ පරම වගකීමකි.

එසේ වුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල සැලසුම්වලට අනුව සිදු කරනු ලබන ස්තූපය ආශ්‍රිත සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානය නමැති ලියාපදිංචි දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයන් විසින් දිගින් දිගට ම බාධා කරන ලදි. එම ක්‍රියාවලිය තුළ සාමය කඩවීම් වැළැක්වීමේ නාමයෙන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගනු ලැබූ තීන්දුවලට අදාළ ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් තමාට නීතිය මගින් පවරා ඇති වගකීම නිසි ලෙස ඉටු කර නොමැති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එසේ ම මහේස්ත්‍රාත් අධිකරණයට පුරාවිද්‍යා ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ සිදුකරන සංවර්ධන කටයුතුවලට අදාළ ව නිර්දේශ ලබා දීමේ බලයක් නැති බව ද ඔබතුමාට විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. සාමය කඩවීමේ තත්ත්වයක් තිබේ නම් සිදුකළ යුත්තේ රටේ නීතියට අනුව සිදුකරන සංවර්ධන කටයුතු නැවැත්වීම නොව එම කටයුතුවලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම බව කුඩා ළමයකුට වුව ද වටහාගත හැකි ය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි ඔබතුමා අමාත්‍යවරයා ලෙස ඔබගේ පරම වගකීම ඉටු කිරීමට ඉතා කණගාටුදායක ලෙස අසමත් වී ඇත.

ඒ ආකාරයට පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් සහ සාමය කඩවීමේ තත්ත්වය නිර්මාණය කරනු ලබන හඳුනාගත් දේශපාලන නායකයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකිරීම මගින් ඔබගේ පාලනාධිකාරිය විසින් ඉතා දුර්වල සහ වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇත. එසේ ම කඩාකප්පල්කාරී පිරිස් විසින් රටේ නීතිය තම අතට ගැනීමේ ඉතා ම නරක පූර්වාදර්ශයට අමතර ව ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇවිලවීමේ කූට අරමුණකින් කටයුතු කරන බව ඔබතුමා වැන්නකුට වටහාගත නොහැකි යැයි අපි විශ්වාස නොකරමු.

ඊට අමතර ව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අධිකරණයට සහ නීතිපතිවරයාට අදාළ තාක්ෂණික වාර්තා ලබා නොදී පමා කරනු ලබන්නේ ඔබතුමාගේ බලපෑම නිසා බවට ඔබතුමාට එරෙහි ව මහජනයාගෙන් එල්ල වන චෝදනාව ඉතා ම බරපතල බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එම චෝදනාවලින් නිදහස් වීම හෝ ඒවා නිවැරදි කිරීම සිදු කළ හැක්කේ නීතිය අනුව තමාට පැවරී ඇති මූලික වගකීම ඉටු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දීම මගින් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ඔබතුමාගේ පියාගේ දේශපාලන උරුමයට සහ ඔබගේ අනාගත දේශපාලන පැවැත්මට හානිදායක අයුරින් ඔබතුමා විසින් තම අසමත්කම ප්‍රදර්ශනය කරනු ලබන්නේ යම් බාහිර බලපෑමක් නිසා බව ඉතා පැහැදිලිය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ අසමත්කමට හේතුව ඔහුගේ පරිපාලන දුර්වලතාවලට අමතර ව ඔබතුමාට එල්ල වන බාහිර බලපෑම් ඔබතුමා මගින් එම නිලධාරියාට ප්‍රේෂණය වන නිසා බවට ඉතා සාධාරණ ව උපකල්පනය කළ හැකි ය.

එම උපකල්පනය වඩා සාධාරණ වන්නේ නීතියට අනුව බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ගැසට් කර ඇති භූමියක නීත්‍යනුකූල නොවන ආකාරයට කෝවිලක් ඉදි කිරීමට ගනු ලබන උත්සාහය ඔබ විසින් පුද්ගලික ව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම නිසා ය. පූජාභූමියේ කඩා බිඳ දමා ඇති කොරවක් ගලක් පෙරළා එය හින්දු කෝවිලක නටබුන් යැයි යම් පිරිසක් කූඨ අරමුණක් සහිත ව අවස්ථා කිහිපයක දී පූජාවක් පැවැත්වූ පමණින් එම ස්ථානය කෝවිලක් ඉදි කිරීමට ඉඩ දිය යුතු බවට කල්පනා කිරීම ඉතා නිවට දේශපාලන ප්‍රතිපත්තියක් බව ඔබතුමාට පැහැදිලි කළ යුතු නැත. ජාත්‍ය්‍යන්තර නඩු තීන්දු අනුව සිතා මතා වූ අරමුණක් සහිත ව හෝ එසේ නොමැති ව වැරදි හඳුනාගැනීමක් නිසා එසේ වැඳුම් පිදුම් කිරීම මගින් එම ස්ථානයට නිත්‍යනුකූල ව පිළිගැනීමක් ලැබෙන්නේ නැත. එසේ නම් නීතිය නමා කඩා කඩාකප්පල්කාරීන්ට යටත් වීමට යමකු තීරණය කරන්නේ නම් ඒ බාහිර දේශපාලන බලපෑමක් නිසා බව ඉතා පැහැදිලි ය.

වර්තමානයේ පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය තුළ දේශීය දෙමළ දේශපාලන පක්ෂවලට සහ දෙමළ ඩයස්පෝරාවට මෙන් ම අරගලකරුවන් ලෙස හඳුන්වා ගන්නා යම් කඩාකප්පල්කාරී පිරිස්වලට විශාල කේවල් කිරීමේ බලයක් ලැබී ඇති බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. එම බලය යොදාගනිමින් ඔවුන් විසින් මේ දිනවල ඉටු කරමින් තිබෙන අසාධාරණ කොන්දේසි මහජනයාට නම් රහසක් නොවේ. ඒ අනුව ඔබගේ හැසිරීම පැහැදිලි කරගැනීමට ද මහජනයාට අපහසුතාවක් නැත. එවැනි තත්ත්වයක් තුළ සාධාරණත්වය, සාමය, සමගිය හෝ වෙනත් කුමන හෝ සංකල්පයක් යටතේ නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට ඔබට ඉඩක් ඉතිරි වී නැති බව පිළිගැනීමට සිදු වේ. ඊට හේතුව එම බෞද්ධ සිද්ධස්ථාන භූමියෙන් පිටත හැකි තරම් හින්දු කෝවිල් තිබීම සහ අවශ්‍ය නම් අවසර ඇති ව හෝ නැති ව නව කෝවිලක් එම භූමියෙන් පිටත ඉදි කිරීමට එරෙහි ව කිසිවකු විසින් කිසිදු මතයක් පළ නොකිරීම ය.

එවැනි තත්ත්වයක් තුළ වහා ම මැදිහත් වී පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට නිසි උපදෙස් ලබා දෙමින් දැනට නීත්‍යානුකූල ව ආරම්භ කර ඇති සංවර්ධන කටයුතු අඛණ්ඩ ව කරගෙන යෑම සඳහා නිසි පියවර ගන්නා ලෙස අපි ඔබතුමාට මතක් කර සිටිමු. ඔබතුමා ඊට අසමත් වන්නේ නම් රටේ නීතිය අනුව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ද අපි සැලසුම් කරමින් සිටින බව ඔබතුමාට දන්වා සිටිමු. අවසන් වශයෙන් ඔබගේ අසමත්කම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව වගකීම් පැහැර හැරීමක් පමණක් නොව ජාතියේ මහා උරුමය පාවාදීමක් ලෙස ද ඉතිහාසය විසින් අර්ථකථනය කිරීමට ඉඩ නොතබන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

අත්සන් කළේ

  1. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි – ජාතික මහජන සභාව
  2. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි- ජාතික – විද්වද් භික්ෂු සංසදය
  3. මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි- – ශ්‍රී ලංකා චීන සහයෝගිතා සංගමය
  4. ශාස්ත්‍රපති මහාචාර්ය පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි – ථේරවාද විමර්ශන සභාව
  5. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා – ජාතික සංවිධාන එකමුතුව
  6. මතුගම සෙනෙවිරුවන් මහතා – උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානය
  7. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය
  8. අරුන් සිද්ධාර්ථන් – යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානය
  9. නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා – දේශප්‍රේමී ජාතික පෙරමුණ
  10. සංජය ෆොන්සේකා මහතා – පුරවර පුරෝගාමියෝ සංවිධානය
  11. විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මිය – ජයග්‍රහණය කොළඹ සංවිධානය
  12. කුලතුංග රාජපක්ෂ මහතා – සිංහල වීර විදහන සංවිධානය
  13. කෝසල පත්තිනිගේ මහතා – සිසු සෙවණ සංවිධානය
  14. ඉන්දික සහබන්දු මහතා – ජාතික අවශ්‍යතා පිළිබඳ ආයතනය
  15. එස්. කේ. ඒ. එස්. සේනානායක මහතා – රේගු බෞද්ධ සංගමය
  16. සාලිය හෙට්ටිආරච්චි මහතා – ධර්මපාල පරපුර සංවිධාන
  17. ඉංජිනේරු නිමල් විජේතුංග මහතා – දේශප්‍රේමී විද්වත් සංසඳය
  18. නීතීඥ මධුමාලි අල්විස් මිය – යුක්තිය හා පරමාධිපත්‍යය සඳහා වූ ජනතා හඬ
  19. අජිත් සෙනෙවිරත්න මහතා – සුපිරිසිදු රටක් රටට හෙටක් සංවිධානය
  20. මංජුල වීරසිරි මහතා – ප්‍රගතිශීලී තරුණ පෙරමුණ
  21. ආචාර්ය වසන්ත පුංචිහේවා මහතා – තිසබි සංවිධානය
  22. ප්‍රශාන් රාජපක්ෂ මහතා – පරපුරක උරුමය සංවිධානය
  23. කර්නල් අනිල් අමරසේකර මහතා – ජාතික ඒකාබද්ධතා කමිටුව
  24. යසස් ධර්මදාස මහතා – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විධායක සභාව
  25. ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා – බොදු කිතුනු සහොදරත්වයේ හඞ
  26. වෛද්‍ය ඉන්ද්‍රජිත් කමලදාස මහතා – මහජන රාජ්‍ය සභාව
  27. ජනක බෝධිනන්ද මහතා – ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය
  28. විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා – මහජන යුතුකම් කේන්ද්‍රය
  29. ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා – රුසියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තිකයන්ගේ සංගමය
  30. ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා – ඉංජිනේරු වෘත්තියවේදීන්ගේ සංගමය 31. සේනාරත්න ද සිල්වා මහතා – 56 දරුවෝ සංවිධානය
  31. වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා – මව්බිම ලංකා පදනම
  32. චම්පා සේනානයක මිය – දේශහිතෛශී ජාතික ව්‍යාපාරය (ප්‍රංශ ශාඛාව)
  33. බුද්ධික ද සිල්වා මහතා – සම්ප්‍රදායානුකූල පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය
  34. සුනිල් පතිරණ මහතා – විදේශ ශ්‍රමික ජාලය
  35. ජයන්ත වෙදසිංහ මහතා – රට වෙනුවෙන් ධබැ ඵ්බ
  36. චමන්ලාල් වීරරත්න මහතා – ඹරඉ්බ ක්‍සඑස‘ැබි සංවිධානය
  37. ඉංජිනේරු ප්‍රියන්ත දයාරත්න මහතා – සීහූම් මංසල සංවාද මණ්ඩපය
  38. සමන් වික්‍රමසිංහ මහතා – අපි කූඹියෝ සංවිධානය
  39. ප්‍රියංගා කොතලාවල මිය – ලක් දිරිය කාන්තා පදනම
  40. අනුරාධ තෙන්නකෝන් මහතා – ජාතික ගොවිජන එකමුතුව
  41. වසන්ත අල්විස් මහතා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය
  42. ඒ.ඒ. ආරියදාස – ජාතික පුනරුද ව්‍යාපාරය
  43. ජ්‍යෙෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම මහතා (උපදේශක)
  44. විශ්‍රාමික ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් මහතා (උපදේශක)
  45. විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා මහතා (උපදේශක)

මේ වගට
ආචාර්ය ගුණදාස අමරසේකර

***************************************

කැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන් මරුට

(01.11.2022 – 06:37 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලීසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ එම කලහකාරී තත්ත්වය ඇති වූ බවය.

එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක (100) පමණ පිරිසක් විසින් එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර තිබේ.

අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇති බව කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේය.

පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබේ.

එහෙත් එහිදී පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ ෴

++++++++

එම විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කළ බව යි වාර්තා වුණේ. (hirunews.lk/sinhala)

++++++++++

+++++++++

කැබිතිගොල්ලෑව සිද්ධියට 15 දෙනෙකු අල්ලයි

(01.11.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප්‍රදේශයේ දී විරෝධතාවය අතරතුර ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ අද අලුයම සිද්ධියට සම්බන්ධ පස්දෙනෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි.

ඊට හිමිනමක්ද ඇතුළත්.

මේ වනවිට සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කෙරෙන බවයි වාර්තාවන්නේ ෴

***************************************

බොරැල්ලේ සිරිසුමනයා අත්අඩංගුවට

(01.11.2022 – 16:34 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරැල්ලේ සිරිසුමනයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව බොරැල්ලේ සිරිසුමනයා අත්අඩංගුවට ගත් බවය ෴

බොරැල්ලේ සිරිසුමන

++++++++++

ප්‍රියමාලි ගැන රත්‍රං විශ්වාසය ඇති කළ බොරැල්ලේ සිරිසුමන අත්අඩංගුවට

(01.11.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව කඩවත – සිරි අරත්තක සමාධි අරණ ස්ථානයේ ලැග සිටින බොරැල්ලේ සිරිසුමන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01)පස්වරුවේ මෙලෙස බොරැල්ලේ සිරිසුමන අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීමට වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට බොරැල්ලේ සිරිසුමන හවුල්වී ඇති බව වාර්තාවනවා.

එම ව්‍යාපාරිකයන් ලබාදෙන මුදල්වලට ඇපයක් ලෙස රන් ආලේපිත පිත්තල පොලු ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ සිරිසුමන ළඟ බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ද අනාවරණ කළා.

මේ අතර තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කළ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් නිළියන් දෙදෙනෙකුට (2) යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දි තිබෙනවා.

ඒ, සිදුකර තිබු දැනුම්දීමට අනුව දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් ඊයේ (31) පෙනී නොසිටීම හේතුවෙන්.

මීට පෙර සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළ නළු නිලියන්, නිවේදක නිවේදිකාවන් ඇතුළු 4 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර හෙට (2) දිනයේ යලි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

මේ අතර සිය ගණුදෙනුකරුවන් වංචාවට හසු කළේ යැයි කියන තිළිණි ප්‍රියමාලි සිදුවීම පාදක කරගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි වෙනත් පෞද්ගලික සමාගමකට අපහාසයක් සහ අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේශ සහගත කරුණු ප්‍රචාරණය කිරීම වළක්වමින් යූ-ටියුබ් නාලිකාවකට සහ ෆේස් බුක් පිටුවකට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 19 වන මහලේ පිහිටි පෞද්ගලික සමාගමක් පැවරූ නඩුවක් සළකා බැලීමෙන් අනතුරුවයි.

විත්තිකරුවන් ලබන 14 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට අදාළ අතුරු තහනම් නියෝගය සහ නොතීසි නිකුත් කර තිබෙනවා ෴

++++++++++

ප‍්‍රියමාලිගේ මුදල් බැරවුනු නිළියන්ගේ බැංකු ගිණුම් රහස් පොලිසිය විසින් පරික්ෂා කෙරේ

(01.11.2022 – 15:00 +0530 – lankacnews.com)

රුපියල් බිලියන ගණනක මහා පරිමාණ මුදල් වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමඟ ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනියන්, නිවේදිකාවන් සහ මෝස්තර නිරූපිකාවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට කටයුතු කරමින් සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කටයුතු සිදුකරමින් සිටින්නේ අධිකරනයෙන් ලද අවසරයක් මතයි.

මෙම කාන්තාව සමඟ සබඳතා පැවැත්වූ කලාකාරිනියන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇතැයි ලැබුණු තොරතුරු මත මෙසේ බැංකු ගිණුම් පරික්ෂා කරමින් සිටී.

ඉකුත් 29 වන දින පොලිසිය විසින් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ගෙන් පැය 4 ක ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඇයගේ බැංකු ගිණුම් වාර්තා ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.

***************************************

‘නිව් ෆෝට්‍රෙස්’ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හා හැටි පළමු වතාවට ඩලස් හෙළි කරයි

(01.11.2022 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) රාත්‍රියේ විකාශය වූ ‘හිරු ටීවී සලකුණ’ වැඩසටහනට එක්වූ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය වරයෙකු වන ඩලස් අලහප්පෙරුම ආන්දෝලනයට තුඩුදුන්දුන් ‘නිව් ෆෝට්‍රෙස් එල්.එන්.ජී’ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ආකාරය පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදුකළා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ හදිසි කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කළ පිටු 38 කින් සමන්විත මෙම ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා කිසි දිනක දැක තිබුණේ නැති බවයි.

එම කැබිනට් පත්‍රිකාව එවකට අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට හදිසියේ ඉදිරිපත් කළ බවත් එයට ඒ මොහොතේම අනුමැතිය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටි බවත් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී සඳහන් කළා.

ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයට විරෝධය දැක්වූ විෂය භාර අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ මෙම කැබිනට් පත්‍රිකාව අතිශයින් තාක්ෂණානුකූල කැබිනට් පත්‍රිකාවක් වන බැවින් එය අධ්‍යයනය කර ඒ පිළිබඳව මතය ප්‍රකාශ කිරීම සඳහා තමන්ට සති දෙකක (2) කාලයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් එහි දී අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට ජනාධිපතිවරයාගේ ප්‍රසාදය පළ නොවූ අතර ම ඒ සඳහා එතරම් කාලයක් ලබාදිය නොහැකි බවත් අද රාත්‍රී 10 ට පෙර ඒ සඳහා වන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලබා දෙන ලෙසත් ඔහු සඳහන් කළ බවයි හිටපු අමාත්‍යවරයා ඊයේ (31) පැවතී රූපවාහිනී වැඩසටහනේ දී ප්‍රකාශ කර සිටියේ.

එහිදී තමා ජනාධිපතිවරයාට සෘජුවම පවසා සිටියේ “මෙම කැබිනට් පත්‍රිකාව Too Technical බවයි”. තමා එම වචනය ම භාවිත කළ බවත් බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බවත් කියා සිටි බවයි. එහිදී ජනාධිපතිවරයා කැබිනට් ලේකම්වරයා වන ඩොනල්ඩ් ප්‍රනාන්දු අමතා ඔහුගෙන් විමසා සිටියේ ඩොනල්ඩ් මේ ගිවිසුම අත්සන් කරන්න අර සුද්දා හෙට එනවා නේද කියායි. එහිදී කැබිනට් ලේකම්වරයා නෑ ඔවුන් පැමිණෙන්නේ අනිද්දා යනුවෙන් ප්‍රතිචාර දැක්වූ බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් හදිසියේ ඉදිරිපත් කෙරුණු එම කැබිනට් පත්‍රිකාව තමා සමීපව නිරීක්ෂණය කිරීමේ දී ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබූ බව තමාට දැක ගන්නට ලැබුණු බවත්, කැබිනට් පත්‍රිකාවකට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා අවම තරමින් සති දෙකක කාලයක් හෝ වැයවන වන බවත්, එසේ නම් මෙම කැබිනට් පත්‍රිකාව රහසිගතව සකස් කළ කැබිනට් පත්‍රිකාවක් විය හැකියි බවටත්, තමාට ඒත්තු ගිය බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

නීතිපතිවරයාගේ නිරීක්ෂණ පවා ලබාගත් කැබිනට් පත්‍රිකාවක් හදිසියේ මෙතැන ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒ කැබිනට් පත්‍රිකාවට සම්බන්ධ වන ගිවිසුම් අත්සන් කිරීම සඳහා හෙට සුද්දකු මෙතැනට එන බවට ප්‍රකාශ කෙරුණා. නමුත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඒක නිසා මට මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා දිය නොහැකි බව එතැනදී තමා පැහැදිලිවම කැබිනට් මණ්ඩලය ඉදිරියේ ජනාධිපතිවරයාට පවසා සිටි බව හිටපු විදුලිබල අමාත්‍යවරයා සලකුන වැඩසටහන තුල දී හෙළි කර සිටියා.

මෙහිදී තමන්ට සහාය පළ කරමින් අදහස් පළ කළ එවකට බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිල, මෙම කාරණයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද යම්කිසි වැඩ කොටසක් පැවරෙන බවත්, තමා ද ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත්, ඒ සඳහා නිරීක්ෂණය ඉදිරිපත් කිරීම සඳහා ද යම්කිසි කාලයක් අවශ්‍ය බවත් සඳහන් කළ බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස ද පවසා සිටියා… “ඇත්තටම ඒක මගේ ජීවිතයේ මම Shock වෙච්ච තැනක්. මම ඇත්තටම ගෙදර ආවෙ හෙට උදේ මගේ Resignation එක දෙනවා කියලා හිතාගෙන. මට මතකයි ඊට දින කිහිපයකට පස්සේ පාර්ලිමේන්තුවෙදි මාව මුණ ගැසුනු කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමා මගෙන් ඇහුවා ‘මචං මම හිතුවේ ඒ වෙලාවේ උඹ Resignation දෙන්න හදනවා’ කියලයි”.

කෙසේ වෙතත් මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව තමා සිය අමාත්‍යංශ ලේකම්වරිය ද ඇතුලු විදුලිබල මණ්ඩලයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් කැඳවා ගෙන මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මෙම පියවර කෙතරම් රටට අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේද යන නිරීක්ෂණය ලබාදුන් බවත් ඉන් සති දෙකකට හෝ තුනකට පසුව තමන් විදුලිබල අමාත්‍යධුරයෙන් ඉවත් කළ බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම තමා ඉවත් කිරීමෙන් දින කිහිපයකට පසු නව විදුලිබල අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් ගාමිණී ලොකුගේ ගේ අමාත්‍යධූරය යටතේ ගුවන්තොටුපල පරිශ්‍රයේදී මහ රෑ 12 ට අදාල නිව් ෆෝට්‍රස් ගිවිසුම සඳහා අත්සන් තැබූ බවත් ඔහු මෙහිදී කියා සිටියා.

එබැවින් අදාළ නිව් ෆෝට්‍රස් ගිවිසුම තමා අමාත්‍ය ධූරය දැරූ කාල සීමාවේ අත්සන් නොතැබු බවත් ඒ සඳහා තමන්ට කිසිදු වගකීමක් ගත නොහැකි බවත් සඳහන් කළ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පවසා සිටියේ මෙම ගිවිසුම අත්සන් කිරීම සහ එය සකස් කිරීම පසුපස කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවයි.

එම අදිසි හස්තය ජනාධිපතිවරයා පවා පාලනය කළ හැකි තරම් බරපතළ බලයක් සහිත අදිසි හස්තයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් තමා සතුව පැහැදිලි තොරතුරු සාක්ෂි නොමැති හෙයින් මේ ගිවිසුම් පසුපස සිටි පුද්ගලයින් නම් වශයෙන් හෙළි කිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *