අධිකරණ ඇමතිට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්

අධිකරණ ඇමතිට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්

*********************************************

අධිකරණ ඇමතිට තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්

(24.10.2022 – 20:10 +0530 – sinhala.adaderana.lk)

‘The Morning’ ඉංග්‍රීසි පුවත්පතේ වාර්තාවක් මගින් තම වරප්‍රසාද කඩවී ඇති නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සත්‍ය සඟවමින් කළ ප්‍රකාශයක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය අධිකරණ අමාත්‍යවරයා වෙත සහ ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අමාත්‍යවරයා පසුගිය 21 වෙනිදා පර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශය දැඩිලෙස හෙළා දකින බවය.

ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කිරීමේ චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර ‘The Morning’ ඉංග්‍රීසි පුවත්පත පසුගිය 20 වෙනිදා ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළේය.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊට පසුදින පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කථානායකවරයාගෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීමක් පහත සඳහන් වේ,

උපුටා ගැනීම –

‘The Morning’ පුවත්පතෙහි ‘Wijeyadasa’s chamber appearing for Thilini questioned in court – Opposing Counsel claims conflict of interest’ හිසින් පළවූ පුවත අධිකරණ වාර්තාවක් වන අතර එහි අධිකරණයේදී සිදුවූ සිදුවීම්වලට පිට දෙයක් හෝ ජනමාධ්‍යවේදියාගේ මතයක් සඳහන් වන්නේ නැත.

ඔබ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රවෘත්තියේ ශීර්ෂය ලෙස සඳහන් කළ පළමු කොටස වන “Wijeyadasa’s chamber appearing for Thilini questioned in court” එම පුවත්පතේ ශීර්ෂයේ තිබුණද එහි ඔබ කියැවූ දෙවැනි කොටස වන “conflict of interests, either resign from Ministry or withdrawal from the case” එම පුවත්පතේ ශීර්ෂයේ නැත.

පාර්ලිමේන්තුව පමණක් නොව පුරවැසියාද නොමඟ යවන අයුරින් ඔබ එම පුවත්පතේ ශීර්ෂයේ නැති කොටසක්, එහි ඇති බව හඟවමින් ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අපි විමතියට පත් වූ අතර එහි අරමුණම ජනමාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ජනතාව තුළ යම් සැකයක් හෝ විරෝධයක් ඇති කිරීම බව අපගේ විශ්වාසයයි.

එම පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ ඔබගේ චේම්බරයේ නීතිඥයින් පෙනී සිටින බව අධිකරණයේදී ප්‍රකාශ කළේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න බවයි.

එම කොටස ජනමාධ්‍යවේදීන් අතින් දමා සැකසූ ව්‍යාජ ප්‍රවෘත්තියක් නොවේ.

එසේම එම පුවත කෙතරම් සමබර පුවතක්ද යත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් පවා එහි අන්තර්ගත විය.

ඔබේ චේම්බරයේ නීතිඥයින් පෙනී නොසිටියේ නම් ඔබට දැන් චේම්බරයක් නැතිනම් ඔබ කළ යුතුව තිබුණේ අධිකරණ ක්‍රියාවලිය වාර්තාකළ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට දොස් නැගීම නොව, අදාළ ප්‍රකාශය කළ ජනාධිපති නීතිඥවරයාට දොස් නැගීමයි.

අදාළ සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ඔබේ පුත්‍රයා කෙසේ වෙතත් නීතිඥ දසුන් නාගස්හේන ඔබගේ අමාත්‍යාංශයේ ඔබගේ කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් නොවේදැයි ඔබ රටට පැහැදිලි කළ යුතුය.

ජනමාධ්‍යවේදීන් වෙත ව්‍යාජ චෝදනා නඟමින් ඔබ කළ ප්‍රකාශයට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි ලෙස විරෝධය පළ කරන අතරතුරම ජනමාධ්‍යවේදීන් කමිටුවලට කැඳවීමට හැකියාව ඇති අදාළ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසද බල කර සිටිමු.

උපුටා ගැනීම අවසන්.

++++++++++++

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා එහි හිමිකරුට රුපියල් කෝටියක පමණ කුලී මුදලක් තිළිණි ප්‍රියමාලි ගෙවා නෑ

(25.10.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල සඳහා එහි හිමිකරුට රුපියල් කෝටියක පමණ කුලී මුදලක් ගෙවා නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

මේ අතර ඇය අවස්ථා කිහිපයකදී හෙළිකොප්ටර් මගින් කතරගම ගොස් ඇති අතර ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වැයකර ඇති බවද වාර්තා වෙයි.

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති විමර්ශන ඒකකයක් මගින් ද විමර්ශන ආරම්භ කර ඇත.

මහා පරිමාණ මූල්‍ය චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී කරුණු රැසක් අනාවරණය වෙමින් ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ට අදාළ ස්ථානයට යෑමට පමණක් අවසර දී ඇතත් එහි කටයුතු පවත්වාගෙන යාම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවත්වා දමා ඇති බව සඳහන්ය.

ඒ අතර තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලි 11 සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක් බව පැවසෙන ජානකී සිරිවර්ධනගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.

+

***************************************

උතුවන්කන්දේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවක් මරුට

(25.10.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – උතුවන්කන්ද ප්‍රදේශයේදී බස් රථ දෙකක් (2) ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මාවනැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක්, මගීන් නංවාගැනීම සඳහා නවතා තිබූ තවත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මාවනැල්ල රෝහලේයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකේ රියදුරන් මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්.

***************************************

දැඩිසත්කාර ඒකකයේ සිටින ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අලුත්ම තොරතුරු

(25.10.2022 – divaina.lk)

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසති. දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව පවසති.

ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල (Bedsores) හටගැනීමේ අවදානමක් ද පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සිදු කරන බව ද සදහන් කරයි.

ඉකුත් ජූලි මස 02 වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය ෴

++++++++

24-10-2022

***************************************

අපේක්ෂා රෝහලට මූල්‍යමය පරිත්‍යාගයක්

(25.10.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය තුල ස්ථාපිත කර තිබූ ආධාර පෙට්ටි තුල එක්රැස්ව තිබූ රුපියල් 4,338,230 ක මුදලක් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ විගණන නිළධාරින් හමුවේ මෙම මුදල ගණනය කිරීමෙන් පසු ව චෙක්පතක් මගින් අපේක්ෂා රෝහලට අදාළ මුදල පරිත්‍යාග කළ බව යි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

මැල්සිරිපුර මිය ගිය ඉංජිනේරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25)

(25.10.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මැල්සිරිපුර ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලදමා තිබූ අමෙරිකාවේ සේවය කළ විශ්‍රාමික නාවික විදුලි ඉංජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිත යි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇති අතර, අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇමරිකාවේ නාවික විදුලි ඉංජිනේරුවෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර වළ දමා තිබිය දී සොයා ගනු ලැබුවේ ඔහු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණවල දී යි.

මිය ගිය පුද්ගලයා ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු වන අතර, ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාම ගෙන පසුගිය 2019 වසරේ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පසු ව මැල්සිරිපුර – රෙස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගතකර ඇති අතර, ඔහු පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුවල සහායට වැල්ලව ප්‍රදේශයේ පුද්ගලයෙකු ද එම නිවසේ නවත්වාගෙන සිට තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙරට වෙසෙන තම පවුලේ ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුගිය පළමු වැනි දා (01) සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නො ලැබීම හේතුවෙන් මාළඹේ ප්‍රදේශයේ පදිංදි ඔහුගේ ඥාති පුත්‍රයෙකු, ඒ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ සම්බන්ධයෙන් ඔහු ජිවත් වූ මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේ දී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ, නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමු වැනි දා (01) නිවසින් පිට ව ගිය බව යි.

එම ප්‍රකාශය පිළිබඳ සැක සිතූ පොලිස් නිලධාරීන් දින තුනකට (03) පසු එනම් පෙරේදා (23) නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරිම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ දී එම සේවකයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැල ලාගෙන මිය ගොස් සිටින අයුරු දැක තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීමට ආසන්න දිනක දී ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිසක් එම නිවසට පැමිණ ඇති බවත් එම නිවසේ දී යම් බහින්බස් වීමක් සිදු ව ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සඳහන් කර ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගත් බවට සැක කරන මෙහෙකාර පුද්ගලයා සිය දිවි නසා ගත්තා ද එසේත් නැති නම් එය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

මේ පිළිබඳ කුරුණෑගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහගේ සෘජු මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිල සුනඛයෙකුගේ සහයාද ලබාගෙන තිබුණා.

එම පොලිස් සුනඛයාගේ ඉව අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසියට විශ්‍රාමික විදුලි ඉංජිනේරුවරයා ඝාතනය කර ඔහුගේ වත්තේ වළ දමා තිබියදී සොයා ගැනීමට ද හැකි වුණා.

මිය ගිය විදුලි ඉංජිනේරුවරයාගේ බැංකු ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 22 ක පමණ මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන්ද පොලිසියට සැක මතුව තිබෙන අතර ඒ පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක යි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (25) සිදු කිරීමට නියමිත අතර, මෘත ශරීරය හමු වූ ස්ථානයට දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනවා.

***************************************

සෝලා පද්ධති සඳහා තිබූ ගාස්තු සංශෝධනය කෙරේ

(25.10.2022 – 23:11 +0530 – hirunews.lk/sinhala)

වහල මත සවිකරන සෝලා පද්ධති සඳහා තිබූ ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

එක ඒකකයක් සඳහා පළමු වසර 07 තුළ රුපියල් 22 ක් සහ ඉතිරි වසර 13 සඳහා රුපියල් 15.50 ක්ව පැවති ගාස්තු වෙනුවට කිලෝවොට් 500 ට අඩු පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 37 ක මුදලකුත් කිලෝවොට් 500 කට වැඩි පද්ධතියක එක් ඒකකයක් සඳහා රුපියල් 34.50 කුත් ගෙවීමට නව ගාස්තු සංශෝධනයෙන් නියම කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා.

***************************************

‘මහ බැංකුවේ ආර්ථික ඝාතකයින්ගේ භූමිකාව’ විද්වත් සංවාදය 2022 ඔක්තෝබර් 29 දා සවස 07:30 +0530 ට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ

(25.10.2022 – 10:26 +0530 – lankaleadnews.com)

ජාතික සංවිධාන එකමුතුව විසින් ‘මහ බැංකුවේ ආර්ථික ඝාතකයින්ගේ භූමිකාව’ යන මැයෙන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සංවිධානය කරන විද්වත් කථිකාව 2022 ඔක්තෝබර් 29 වැනි දා සවස 07:30 +0530 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

  • නීතිඥ කපිල ගමගේ – ලේකම් මව්බිම ලංකා පදනම
  • ඉංජිනේරු කපිල පෙරේරා – සභාපති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
  • වෛද්‍ය වසන්ත බණ්ඩාර – ලේකම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
  • වෛද්‍ය සුමිත් වන්නිආරච්චි – අධ්‍යක්ෂ මව්බිම ලංකා පදනම

යන දේශපාලන විශ්ලේෂකයන් හා සමාජක්‍රියාකාරීන් මේ සදහා සහභාගී වෙයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් රටට හිතැති ඔබටත් මෙම විද්වත් කථිකාව සමග එක්වීමට වීමට ආරාධනා කරයි.

Topic: මහ බැංකුවේ ආර්ථික ඝාතකයින්ගේ භූමිකාව – The Great Reset – 2
Time: 2022 Oct 29, 2022 07:30 PM Colombo (+0530)

Join Zoom Meeting
සංවාදය සදහා මෙතනින් පිවිසෙන්න :

Meeting ID: 849 2701 6479
Passcode: 202020

+ https://www.youtube.com/user/chandanapnm

***************************************

බසයේදී මිතුරු වු යුවතිය දුන් බීම බී සිහිවිකල් වී රෝහලට

(25.10.2022 – gossiplankanews.com)

බස් රථයක දී හමුවී හිතවත් වූ කාන්තාවක විසින් දෙන ලදැයි කියන පැණි බීමක් පානය කිරිමෙන් පසු සිහිවිකල්ව ඊයේ (24) අලුයම් කාලයේ වේයන්ගොඩ නගරයේ ගැවසෙමින් සිටි නාඳුනන පුද්ගලයකු පොලිසියට හමුවී ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ගමන් බෑගය සහ මුදල් පසුම්බිය ද අතුරුදන්ව තිබෙන බව මෙම පුද්ගලයා පවසන්නේ යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

සිහිවිකල් ගතියකින් පසුවන බව පෙනී යන එම තැනැත්තා මෙම කතාවට අමතරව වරින්වර වෙනත් කතා ද පවසන බව එම නිලධාරියා කීවේය. වේයන්ගොඩ නගරයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අවස්ථාවේ සිහිවිකල් ගතියකින් පෙළුණු බව කියන මෙම පුද්ගලයා ක්ලාන්ත තත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කළ බව ද පොලිසිය සඳහන් කරයි. ඔහු වරින් වර පවසන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීමට ඔහුගේ රෝගී තත්වය පහව ගිය පසු ප්‍රශ්න කිරීම් ආරම්භ කරන බව පොලිසිය පවසයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *