‘ව්‍යවස්ථා මගෝඩි එපා’ ජාතික සංවිධානවලින් සත්‍යක්‍රියාවක්

‘ව්‍යවස්ථා මගෝඩි එපා’ ජාතික සංවිධානවලින් සත්‍යක්‍රියාවක්

*********************************************

‘ව්‍යවස්ථා මගෝඩි එපා’ ජාතික සංවිධානවලින් සත්‍යක්‍රියාවක්

(05.10.2022 – 15:35 +0530 – lankaleadnews.com)

ඔක්තෝබර් 06 සහ 07 දෙදින තුළ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 22 වන ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ කූට ව්‍යවස්ථා මගෝඩි වලට එරෙහිව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ මෙහෙයවීම යටතේ, පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිගේ දායකත්වයෙන් ජාතික සංවිධාන 26 ක නියමුවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී සත්‍යක්‍රියාවක් පවත්වන ලදී.

සත්‍යග්‍රහයේ දී උන්වහන්සේ,

“සම්බුද්ධ ශාසනයේ ආනුභාවයෙන්, දන්ත ධාතූන්වහසේගේ ආනුභාවයෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්,

  1. අධිකරණයේ දී නීතිපතිවරයා විසින් එකඟ වන සංශෝධන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතුරින් ආණ්ඩුව එකඟවන සංශෝධන සියල්ල නිෂ්චිත වගන්ති ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනයා වෙත වහාම ප්‍රකාශයට පත්කිරීම.
  2. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා කුමණ පක්ෂ විසින් ඉදිරිපත් කළේද යන්න මහජනයාට අනාවරණය කිරීම.
  3. එසේ කාරක සභා අවස්ථාවේ දී කෙටුම්පතට ඇතුළු කරන බවට ප්‍රකාශයට පත් කළ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් විශේෂයෙන්ම 154 වගන්තියේ අඩංගු ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා වන වගන්ති කෙටුම්පතට ඇතුළු නොකරන බවට උපදේශ කාරක සභාවේ දී සහ කතානායකවරයා, අගමැතිවරයා සහ සභානායකවරයාගෙන් සහතිකයක් ලබා ගැනීම.
  4. එවැනි සහතිකයක් ලබා නොදෙන තත්වයක් යටතේ විවාදය සහ ඡන්දය වර්ජනය කිරීම මගින් ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකෙරෙන ඒ මහා ඓතිහාසික පාපකර්මයට දායක නොවී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්තරීයව වරුන්ට ශක්තිය හා ධෛර්ය ලැබේවා.”

යනුවෙන් සත්‍යක්‍රියා කරනු ලැබූහ.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සත්‍යක්‍රියාව ආරම්භ කිරීමට පෙර රැස්ව සිටි පිරිස වෙත අනුශාසනාවක් කරමින්,

“බෞද්ධ භික්ෂූන්වහන්සේලා හැටියටත් ජාතික සංවිධානවල නියමුවන් හැටියටත් ගෞතම බුදුන්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද්දා වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජාතියේ ආරක්ෂාව සහ දේශයේ සුරක්ෂිතතාවය අරමුණු කරගනිමින් සත්‍යක්‍රියාවක් ආරම්භ කිරීමටයි සූදානම.

ඉහත කී කාරණා සම්බන්ධයෙන් තර්ජනාත්මක ස්වභාවයක් විශේෂයෙන්ම ව්‍යවස්ථාමය තර්ජනයක් එල්ල වී තිබෙන බව බෞද්ධයන් හැටියට අපට මේ වන විට වැටහිලා තිබෙනවා. ඒ අනුව දේශයේ ඒකීයභාවය ආරක්ෂාකර ගැනීම උදෙසාත් ජාතිය විවිධ වර්ණයන්ගෙන් හා පක්ෂයන්ගෙන් බෙදී නොයා එකතැනකට පැමිණ ජාතිය මුහුණ දී තිබෙන මේ අර්බූදයට මේ ගැටලූවට විසඳුමක් සෙවිය යුතුය යන කරුණ මත අද දවසේ අප මේ ස්ථානයට ඒකාරාශී වී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ලෙස පැලැස්තර ඉදිරිපත් කරමින් පියවරෙන් පියවර මේ දක්වා සිදුකර ඇත්තේ ජාතික බලය දුර්වල කර රට විවිධ ආකාරයට බෙදා වෙන්කර, ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුර එකට එකතු කර, තවත් රටක් නිර්මාණය කිරීම උදෙසා බෙදුම්වාදීන්ගේ අදහස් සඳහා සැනසිල්ලට හේතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම පමණයි.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ පසුබිම සකස් කරාවි යැයි කියන සැකය දැඩිව අප සතුව තිබෙනවා.

ඒ වගේම මේතාක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට කාරක සභා අවස්ථාවේ දී කූට ලෙස සංශෝධන ඉදිරිපත් කරල එම සංශෝධන පනත් වල මූලික හරය සම්පූර්ණයෙන්ම වෙනස් කළ අවස්ථා සම්බන්ධව අත්දැකීම් අපට තිබෙනවා. ඒ අනුව 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී උවමනා ඉෂ්ට වෙන සංශෝධන ඉදිරිපත් වේවිය යන සැකය අප තුළ තිබෙනවා.

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරදී රට දෙකඩ කර ඉන්දියාවේ 29 වන සහ 30 වන ප්‍රාන්ත බවට පත්කරලීමේ ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව ඉටුකිරීමට කටයුතු කරමින් සිටින බව අපට වැටහී යන නිසා අප ඊට එරෙහිව ජාතික සංවිධාන ලෙස නැගීසිටිනවා.

අද මේ අවස්ථාවට මහා සංඝරත්නය සමඟ එක්ව පෙළ ගැසෙන මේ ජාතික සංවිධානවල සියලු දෙනාම ශ්‍රී ලංකාවේ ඒකීය භාවය උදෙසා භෞමික අඛන්ඩතාවය උදෙසා දිවිහිමියෙන් හඬ නගන බව ජාතියට දන්වා සිටිනවා. අපි සියලු දෙනාම රට දෙකඩ කරලීමේ කූට උපක්‍රමය පරාජය කළයුතු බව සපථ කර සිටිනවා.

ඒ වගේම මහා සංඝරත්නය ප්‍රමුඛ අප සියලූ දෙනාම පක්ෂ නායකයින්ගෙන් දේශපාලන බලධාරින්ගෙන් දැඩිව ඉල්ලා සිටිනවා මේ වගේ සංශෝධන පනතක් ඉදිරිපත් වුනාට පසු ඔබ සතුව තිබෙන ලොකුම වගකීම වන රටේ ඒකීයභාවය භෞමික අඛන්ඩතාවය රැකීම උදෙසා නිර්භයව සෘජුව නැගීසිටින ලෙස.” යැයි පැවසූහ.

+++++++

++++++++

කාරක සභා අවස්ථාවේදී 13 බලාත්මක කරන සංශෝධන වලට අපි ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(06.10.2022 – 05:50 +0530 – lankaleadnews.com)

ඊයේ (06) කොළඹ 7 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ජාතික සංවිධාන 12 ක නියෝජිතයන් අතර හමුවක් පැවැත්වීය. අද (06) සහ හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික සංවිධාන වල මතය විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමටත් වත්මන් අර්බූදය විසඳීම සඳහා ජාතික මහජන රාජ්‍යය සභාව ඉදිරිපත් කළ 61 වැදෑරුම් වැඩපිළිවෙල විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කිරීමටත් මෙම හමුව සිදුවූ බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අප වෙත අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ අමරසේකර මහතා :

“විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී එතුමා ඒකීය රටක් ආරක්ෂා කර ගැනීම සමගි ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරය බව පැවසුවා. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී රට කැබැලි වලට ලක්වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව එතුමා ප්‍රකාශ කර සිටියා. කාරක සභා අවස්ථාවේදී එවැනි යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කිරීමට උපරිම උත්සාහය ගන්නා බවට ඒ මහතා අපට පැහැදිළි ස්ථිරසාර පොරොන්දුවක් ලබා දුන්නා. ඒ වගේම අපි ඉදිරිපත් කළ 61 වැදෑරුම් සමාජ ගිවිසුම නම් වූ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට ජාතික සංවිධාන නියෝජිතයන් සහ සමගි ජන බලවේගය අතර හමුවක් සූදානම් කිරීමට ඉතා නුදුරේදීම කටයුතු කරන බවද දන්වා සිටියා. සමගි ජන බලවේගය 22 වන ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඉන්නා ස්ථාවරය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව සතුටට පත්වෙනවා.”

මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ මූලිකත්වයෙන් පැවැති මෙම හමුවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහභාගි විය. එලෙසම ජාතික සංවිධාන එකමුතුවේ පරිවාර සංවිධාන නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතිඥ මදුමාලි අල්විස්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාවේ සභාපතිනි චම්පා සේනානායක, ජයන්ත වෙදසිංහ,සුනිල් පතිරණ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය ෴

++++++++

05-10-2022

***************************************

WTC එකේ ඔෆිස් එකක් දාගෙන කෝටිපතියන් බ්ලැක්මේල් කර මුදල් ගසා කෑ කත අල්ලයි

(06.10.2022 – 09:45 +0530 – mawbima.lk)

විදේශ රටවල මුදල් නැත්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාභදායී මුදලක් ලබාදෙන බව කියමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ පවත්වාගෙන ගිය ආයතනයක හිමිකාර කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (ඔක්. 05) අත්අඩංගුවට ගත්තේ ය.

කෝටිපති ව්‍යාපාරිකයන්, ප්‍රබල දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සැකකාරියගේ ආයතනයට රුපියල් කෝටි ගණන් මුදල් ගෙවා ඇති අතර එම මුදලට ලාභදායි පොළී මුදලක් නොගෙවීම මත කෝටිපතියන් 10 දෙනෙකු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

මේ පුද්ගලයන් අතර එක්තරා සුප්‍රසිද්ධ සුපිරි දේශපාලනඥයෙකු ද සිටින බවත් මැය අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුද ඇයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

කොළඹ සහ ඒ අවට සුපිරි මහල් නිවාස සංකීර්ණ (එපාර්ට්මන්ට්) ලබාදෙන බව කියමින් ද ඇය මුදල් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් කීය.

සැකකාරිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) 34 වන මහල කුලී පදනම මත ලබාගෙන මෙම ව්‍යාපාරයේ යෙදෙන අතර ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 16 ක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේ ය.

සැකකාරිය අවි සහිත ආරක්ෂක භටයන් සමග ගමන් කරන බව ත් ඒ සඳහා ඇයට ආරක්ෂාව ලබා දී ඇත්තේ සුප්‍රසිද්ධ ආරක්ෂක ආයතනයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

ඇය මෙම නීති විරෝධී ක්‍රියාවල යෙදීමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයන අතර ඒ සඳහා ඒජන්සි 5 ක් ලියාපදිංචි කර ඇති බව ද රහස් පොලිසිය කීය.

එක්තරා සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ලාභයක් ලබාගැනීම සඳහා රුපියල් කෝටි 40 ක් ලබා දී ඇතත් එම මුදල ඇය වංචාසහගත ලෙස ලබාගත් බව කියමින් ඔහු පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

ඇයට හසු වූ සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නළුවෙකු ගැන ද තොරතුරු හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

විදේශ ව්‍යාපාරවල තැන්පතු, මැණික් සහ ස්වර්ණාභරණ සඳහා තැන්පතු, විදේශ මුදල් ආයෝජන වැනි දේ කියමින් දිවයිනේ සුප්‍රසිද්ධ කෝටිපතියන් ඇසුරු කළ ඇය ඔවුන් සමග කාලය ගත කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.

බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුපිරි වාහන සතු ඇය ආරක්ෂා කිරීම සඳහා වෙනම ම ආරක්ෂක කණ්ඩායමක් ඇය සතුව ඇති බවත් එම ආරක්ෂක කණ්ඩායමේ ප්‍රකාශ සටහන් කර ගැනීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයන් ‘බ්ලැක් මේල්’ කරමින් ද මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කර ගැනීමට ඊයේ (ඔක්. 05) ම විමර්ශනයක් ආරම්භ කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

සැකකාරිය කෝටිපතියන් පමණක් ඇසුරු කර ඇති බවත් ඇයට හසුවුණු ශ්‍රී ලාංකික ජනප්‍රිය කෝටිපතියන් රැසක් ගැන මේ වන විටත් තොරතුරු හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ ෴

තිළිණි ප්‍රියමාලි රිමාන්ඩ්

(06.10.2022 – 17:11 +0530 – sinhala.adaderana.lk)

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර කාන්තාව අද (06) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණි.

එලෙස ඇය විසින් වංචා කළ බවට චෝදනා එල්ලවී ඇති මුදල රුපියල් මිලියන 200 කට අධිකය.

විදේශ රටවල මුදල් තැන්පතු සහ ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් සිත්ගන්නා සුළු මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවද වාර්තා වෙයි ෴

++++++++++++

+++++++++++

ප්‍රියමාලිගේ ජාවාරමට ගොදුරු වූ ලොක්කන් ගැන හෙළිවෙයි

(06.10.2022 – 20:56 +0530 – sinhala.adaderana.lk)

විදේශ රටවල මුදල් තැන්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාබදායි මුදලක් ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර කාන්තාව දේශපාලනඥයන්, නළු නිළියන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) එලෙස අත්අඩංගුවට ගත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකි.

ඒ අදාළ කාන්තාව රුපියල් මිලියන 226 කට අධික මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන එම මුදල් නැවත ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

ඒ අනුව අදාළ සැකකාරිය අද (06) දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාට තමන් සතු සමාගම්වල මුදල් ආයෝජනය කර ලාභාංශ ලබාගන්නා ලෙස සැකකාරිය පවසා ඇති බවය.

අනතුරුව එම ව්‍යාපාරිකයා සැකකාරියට රුපියල් මිලියන 226 කට අධික මුදලක් ආයෝජනය සඳහා ලබාදී තිබේ.

එම ව්‍යාපාරිකයා මෙම මුදල කාන්තාවට ලබාදී ඇත්තේ තමන්ගේ කොළඹ 07 පිහිටි සුපිරි නිවස විකිණීමෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් ලාභාංශ නොලැබීම නිසා ඒ පිළිබඳව ව්‍යාපාරිකයා සැකකාරියගෙන් විමසා ඇති අතර එහිදී ඇය රුපියල් මිලියන 239 ක චෙක්පත් ලබාදී ඇති බව අනාවරණය විය.

පසුව ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ ඒවා අගරු චෙක්පත් බවයි.

සැකකාරිය නැවත වතාවක් ව්‍යාපාරිකයාට චෙක්පතක් ලබාදී ඇතත් එයද අගරු වී තිබේ.

එමෙන්ම සැකකාරිය අගරු චෙක්පත් ලබාදීමෙන් පසුවත් ව්‍යාපාරිකයා හමුවී ඔහුව කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් පවසා ඇත්තේ එහි ඇති රත්‍රං තොගය විකුණා අදාළ මුදල ලබාදෙන බවය.

එමෙන්ම මෙම කාන්තාවට මුල්‍ය වංචා පිළිබඳව නඩු 7 ක් පවතින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

සැකකාර කාන්තාව ගිනි අවි සහිත පෞද්ගලික ආරක්ෂකයන් තබා ගෙන අධි සුඛෝපභෝගි දිවිපෙවතක් ගතකර ඇති බවද ඔවුන් සඳහන් කළේය.

මේ අතර අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කාන්තාව විදේශිකයන්ට මැණික් අලෙවි කරන හා විදෙස් මුදල් හුවමාරුකරන තවත් ව්‍යාපාරිකයෙකු ද රවටා මුදල් වංචා කර ඇති බවය.

ඒ අනුව සැකකාරිය එම පුද්ගලයාගෙන් අමෙරිකානු ඩොලර් 60,000 ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 ක් ලබාගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණ කළේය.

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාගෙන් රත්‍රං කිලෝවක (1) පමණ ප්‍රමාණයක් ද ලබාගෙන තිබේ.

සැකකාරිය ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ, මෙරටට ඉන්ධන ගෙන්වීමට විදෙස් මුදල් අවශ්‍ය බව පවසමිනි.

එමෙන්ම ඔහුට ද ලබාදී ඇත්තේ අගරු චෙක් පත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

කෙසේවෙතත් විත්තිකාර පාර්ශ්වයෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආණ්ඩුකාරධූරයක් දැරූ දේශපාලනඥයෙකුගෙන් ද මෙම කාන්තාව රුපියල් කෝටි 80 ක මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවය.

එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන දේශපාලනඥයෙකුගෙන් ද රුපියල් කෝටි 7.5 ක මුදලක් මෙම කාන්තාව ලබාගෙන ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

වෛද්‍යවරු ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් ද මෙම කාන්තව මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.

++++++++++

07-10-2022

++++++++++

ප්‍රකෝටිපතියන් බියවද්දා කෝටි ගණන් වංචා කළ මූල්‍ය සමාගමේ අයිතිකාරිය ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන් ලිංගික සංවාද පටිගත කරලා

(07.10.2022 – 09:10 +0530 – aruna.lk)

කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවකගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට මුදල් ඉල්ලා එන අය බියවද්දවා ඇතැයි හෙළි වී තිබේ.

මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක (10) මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.

මෙම කාන්තාව මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් අවශ්‍ය බව කියමින් ඇමරිකානු ඩොලර් හැටදහසක් (60,000) හා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් (100,000) හා රන්භාණ්ඩ වංචා කිරීමේ සිද්ධියට අදාළව කමල් හසන් නමැති ව්‍යාපාරිකයකු පැමිණිලි කර ඇති අතර තවත් මිලියන 226 ක් අබ්දුල් සත්තාර් නමැති ව්‍යාපාරිකයකුට වංචා කිරීම සම්බන්ධව පමණක් පැමිණිලි ලැබී ඇතැයි විමර්ශකයන් කියයි.

මෙම ප්‍රසිද්ධ නිළිය යොදාගෙන හඬපට ප්‍රසිද්ධ කරන බවට බියවද්දා ආචාර්ය උපාධිධාරියෙක් වන කෝටිපතියකු ඇතුළු විශාල පිරිසක් බියවද්දා ඇතැයි තොරතුරු විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.

ප්‍රවීණ රංගන ශිල්පියකු හා හිටපු කැබිනට් ඇමැතිවරයකුගෙන් රුපියල් මිලියන 100 ක් ද, හිටපු ආණ්ඩුකාරවරයකුට රුපියල් කෝටි අසූවක් (80) ද වංචා කර ඇතත් ඔවුන්ද මෙතෙක් පැමිණිලි කර නොමැත.

රත්තරන් පොලු දෙන බව පවසා ප්‍රසිද්ධ හිමිවරුන් කිහිපදෙනකුද රවටා ඇති බවත්, කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකාරිය විසින් ව්‍යාපාරිකයකුද රැගෙන ගොස් ඇතැයිද හෙළි වී ඇත.

තිකෝ සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය වන වඩුවාරයගේ තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරියට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණ රැසක නඩු 07 ක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇය මීට අමතරව පිටකොටුවේ ජංගම දුරකතන ඇලෙවි සැලක හිමිකරුවකුගෙන් රුපියල් මිලියන 40 ක්ද වංචා කර තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙලෙස වංචා කරන ලද රුපියල් කෝටි ගණනක මුදලට සැකාරිය කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තිලිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය යටතේ සේවය කරන ලද කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සිය ප්‍රධානියාගේ (සැකකාරියගේ) වංචාවන්වලට සෘජුවම දායක වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ. එම පිරිස් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06 ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබේ. සැකකාරිය ස්ථාන 04 ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මහා පරිමාණ අයුරින් මුදල් වංචා කරමින් සැඟවී සිටි සැකකාරිය ගිනි අවි සහිත විශේෂ ආරක්ෂකයන් පිරිසකගේ ආරක්ෂාව යටතේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉෂාර රත්නකාර

++++++++++

07-10-2022

+++++++++++

https://www.thicogroup.com/

***************************************

මිනිස්සුන්ට කුණු බත් කවන දර්ගා-බේරුවල හාල් මාෆියාව

(06.10.2022 – 09:33 +0530 – mawbima.lk)

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි ව්‍යාපාරික ස්ථාන දෙකක් (2) වටලා සහල් කිලෝ දහසය දහසක් (16,000) සොයාගෙන එම ස්ථාන දෙක (2) පෙරේදා (ඔක්. 04) රාත්‍රී මුද්‍රා තැබූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල සහල් ගබඩාවක් සහ සහල් පිරිසුදු කර ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් (2) මෙසේ මුද්‍රා තැබූ බව එම ප්‍රකාශකයා පැවසීය.

බේරුවල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව පෙරේදා (ඔක්. 04) රාත්‍රී වැටලීම කර තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහල් තොග ගබඩාවකින්, සත්ත්ව ආහාර සඳහා යැයි පවසා මෙම සහල් තොගය අලුත්ගම ප්‍රදේශයට රැගෙන විත් එහිදී අපද්‍රව්‍ය කොටස් ඉවත් කර අලුත්ගම, බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කර ඇති බවට හෙළිව ඇතැයි සඳහන් වේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි ෴

***************************************

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණි පානයෙන් ගැම්බියාවේ දරුවන් 66 දෙනෙකු මරුට

(06.10.2022 – 08:06 +0530 – lankaleadnews.com)

ඉන්දීය ඖෂධ සමාගමක් විසින් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා නිපදවූ සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ එසේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඖෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන ලද සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කරයි.

එම සිරප් වර්ග හතර ලෙස දක්වා ඇත්තේ Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යන සිරප් ය.

මෙම දරුවන් මියගොස් ඇත්තේ සිරප් වර්ග හතර (4) භාවිතයෙන් වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

***************************************

කලබලය නිසා සිදුවන්නට ගිය මහා අනතුර

(06.10.2022 – 12:14 +0530 – sinhala.adaderana.lk)

ඉන්ධන පිරවුම්හලක සිදුවන්නට හදිසියේම ඇතිවූ ගින්නක් දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ වවුනියාව ප්‍රදේශයෙනි.

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට පැමිණි යතුරුපැදියකට ඉන්ධන පොම්ප කරන අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඉන්ධන පොම්පයේ අනෙක් පස නවතා තිබූ ත්‍රිරෝද රථය එක්වරම එම ස්ථානයෙන් ඉවත්කිරීමට උත්සාහ ගනු ලබයි.

ඒ වනවිටත් එම ත්‍රිරෝද රථයට ඉන්ධන පොම්ප කරමින් තිබෙන අතර ඉන්ධන පොම්පයේ බටය තිබියදීම ඔහු රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ ගැනීම නිසා විශාල අනතුරක් සිදුවන්නට තිබුණි.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ගින්න නිවාදැමීමට සමත්ව තිබේ.

එම අවස්ථාව ඉන්ධන පිරවුම්හලේ CCTV කැමරාවේ අදාළ සිදුවීම පටිගතව තිබූ අයුරු :

***************************************

මාර කොල්ලය

(05.10.2022 – 11:50 +0530 – sinhala.adaderana.lk)

නිවසක් ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයෙක් නිවසේ තනිව සිටින කාන්තාවක් දැක ඇය සතුව තිබූ රන් ආභරණ කොල්ලකෑමට උත්සාහ කරන සිද්ධියක් වාර්තා විය.

එම සිද්ධිය නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්වී තිබුණි.

නිවසේ ගේට්ටුව විවෘත කර මෝටර් රථයක් ඉන් පිටතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ඒ අසලින් ගමන් කරන පුද්ගලයෙක් මෙම කොල්ලය සිදුකිරීමට තැත්කර තිබුණි.

පසුව අදාළ කාන්තාව සහ මෝටර් රථයේ සිටි පුද්ගලයා සැකකරු සමග පොරබැදීමේදී අසල සිටි පිරිස් නිවස ඉදිරියට එකතුවී ඇත.

එහිදී කොල්ලකරු එම ස්ථානයෙන් පළාගොස් ඇත.

සිද්ධිය පහත වීඩියෝවෙන් දැක්වෙයි.

https://www.youtube.com/watch?v=xddh8YnpYPs#t=5

***************************************

ජීවිතයක් අහිමි කළ අවාසනාවන්ත අනතුර

(06.10.2022 – 15:50 +0530 – sinhala.adaderana.lk)

මාර්ගයේ ගමන්කරමින් සිටින තිදෙනෙකු (3) යටකරමින් වෑන් රථයක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

අදාළ අනතුර සිදුව ඇත්තේ මහනුවර මුල්ගම්පල ප්‍රදේශයේදීය.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හීරැස්සගල පදිංචි 21 හැවිරිදි වියේ පසුවූ තරුණියකි.

අනතුරින් ඇයගේ සොහොයුරා සහ මව බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුර මාර්ගයේ නවතා තිබූ වෙනත් රථයක ඉදිරිපස සවිකර තිබූ කැමරාවක පටිගතව ඇත.

එම අවාසනාවන්ත අනතුරේ දර්ශන :

https://www.youtube.com/watch?v=rB-O7Fg4XnE

***************************************

දුම්රියක් තුළදී මගීන්ගේ මුදල් කොල්ලකයි

(06.10.2022 – 15:33 +0530 – sinhala.adaderana.lk)

කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙක් කාන්තාවකගේ ගෙලබැඳි රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක (2) පමණ මුදලක් තිබූ මුදල් පසුම්බියක් ද කොල්ලකා තිබේ.

අද (06) උදෑසන කොළඹ සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ අදාළ දුම්රිය අඟුලාන දුම්රිය ස්ථානයට අලුයම 05:30 පමණ ළඟාවී ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා දුම්රියට ගොඩවී ඇත.

පසුව සැකකරුවන් අදාළ දුම්රියේ ගමන්ගත් අඹු-සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා තිබේ.

එහිදී පිරිමි පුද්ගලයා මුදල් පසුම්බිය ලබාදීමට විරෝධය පා ඇති අතර සැකකරුවෙක් විසින් එම පුද්ගලයාගේ එක් අතකට කඩුවෙන් කොටා කාන්තාවට ද පහර දී ඇති බව වාර්තා විය.

එහිදී දුම්රියේ ගමන්ගත් තවත් මගීන් කිහිපදෙනෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන පළාගොස් තිබේ.

ලුනාව ප්‍රදේශයේදී සැකකරුවන් එලෙස පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව මොරටුව පොලීසිය වහාම එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී ධාවනයවෙමින් තිබූ දුම්රියෙන් පැන්න එක් සැකකරුවෙක් තුවාල ලබා දුම්රිය මාර්ගයේ වැටී සිටියදී පොලීසිය භාරයට ගෙන තිබේ.

අනෙක් සැකකරු රන් මාලය සහ රුපියල් ලක්ෂ 2 ක් සහිත මුදල් පසුම්බිය රැගෙන පළාගොස් ඇත.

සිද්ධියට මුහුණදුන් අඹු-සැමි යුවළ පල්ලෙමුණ දකුණ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ඇති යතුරුපැදියක් මිලදී ගැනීමේ අරමුණින් බවද පොලීසිය පවසයි.

කඩු ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා සහ පහරකෑමට ලක්වූ කාන්තාව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර මෙම සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතවූ පුද්ගලයක් බවත් ඔහු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් මොරටුව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදා ඇති බව මොරටුව පොලීසිය ප්‍රකාශ කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *