ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – ඩලස් අලහප්පෙරුම

ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – ඩලස් අලහප්පෙරුම

*********************************************

ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – ඩලස් අලහප්පෙරුම

(15.07.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ, ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැදවන අවස්ථාවේ දී තමන් ජනාධිපතිවරණයට තරඟකරන බව යි.

මේ වන විට ජනාධිපති තනතුර සඳහා නම් කිහිපයක් ම පිළිබඳ දේශපාලන සමාජයේ කථාබහට ලක් වනවා.

ඩලස් අලහප්පෙරුමගේ මාධ්‍ය නිවේදනය :

අද (15) දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන,ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ ය.

දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහය ලබාගත යුතු ය. මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.

දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තු මන්ත්‍රී

15-07-2022

+++++++

+++++++

+ Dullas Alahapperuma FB

***************************************

15-07-2022

***************************************

15-07-2022

***************************************

https://www.youtube.com/watch?v=5xXYCuoTbBI
15-07-2022

***************************************

15-07-2022

***************************************

16-07-2022

+

16-07-2022

***************************************

ඉන්ධන ගන්න ලියාපදිංචි වෙන අයට උපදෙසක්

(16.07.2022 – 18:40 +0530 – hirunews.lk/sinhala)

රටතුළ ඉන්ධන බෙදාහැරීම වඩාත් ප්‍රශස්තව සිදුකිරීමට ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුනවා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුයි.

එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි ඉන්ධන අවසරපත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම අද (16) සිට ජනතාවට විවෘතව පවතිනවා.

මෙහිදී පාරිභෝගිකයින්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස් ගමන් බලපත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කර තම වාහනය ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කළ හැකියි. භාෂා ත්‍රිත්වයෙන්ම ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා.

මෙම නව ක්‍රමවේදය තුළින් රට පුරා ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත්ව හා සාධාරණව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) ඉන්ධන බෙදාහැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා,

“රජය කළ ඇණවුම් අනුව ඊයේ (15) ලංකාවට ඩීසල් නෞකාවක් ළඟා වූ අතර අද (16) රාත්‍රියේ තවත් නෞකාවක් පැමිණීමට නියමිතයි. එම නෞකාවන්හි ඉන්ධන පිළිබඳ ප්‍රමිතිය නිර්ණය කළ පසුව ගොඩබෑමේ කටයුතු සිදු කරනවා. එමෙන්ම ඉදිරි 18 හෝ 19 දින පෙට්‍රල් නෞකාවක්ද ලංකාවට පැමිණීමට නියමිතයි. ඊට අමතරව රජය තවත් පෙට්‍රල් නෞකාවකට ගෙවීම් කර ඇති අතර එම නෞකාවද 22 හෝ 23 දින ලංකාවට ළඟා වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”

මේ අයුරින් මේ වන විට ලංකාවට ලැබී ඇති හා ඉදිරියේදී ඇණවුම් කර ගෙන්වා ගැනීමට අපේක්ෂිත ඉන්ධන බෙදාහැරීම නිවැරදිව කළමනාකරණය කර සාධාරණ ක්‍රමවේදයක් තුළින් ජනතාවට ලබාදීමට ජාතික ඉන්ධන අවසරපත් සඳහා පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරනවා. https://fuelpass.gov.lk/ වෙබ් අඩවියට පිවිස ඉන්ධන පාරිභෝගිකයින්ට ලියාපදිංචි වීමට පිළිවන. මේ සඳහා තම ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය එසේ නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කළ යුතුයි. එසේ ලියාපදිංචි වීමේදී නම, ලිපිනය, දුරකථන අංකය හා විශේෂයෙන්ම වාහන අංකය යන තොරතුරු ලබාදිය යුුතු වෙනවා. එක් තැනැත්තකුට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි. ඒ අනුව එක් ලියාපදිංචි වීමකට අදාළව එම වාහනයට අනන්‍ය වන QR Code එකක් ලබාදෙනවා. මේ මගින් එකම වාහනයක් දෙවරක් ලියාපදිංචි වීම වැළකෙනවා. එම QR Code එක ඉන්ධනහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වාහනයට හිමි ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇති.”

“වාහනයේ අග අංකයට අනුව ඒ ඒ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ දින ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම වාහන සඳහා ලබාදිය හැකි ඉන්ධන ප්‍රමාණයද ප්‍රකාශයට පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව ක්‍රමවේදය සම්බන්ධව ඉන්ධන හල් සේවකයන්, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට අප කටයුතු කරනවා. මෙය නව ක්‍රමවේදයක් නිසා ක්‍රියාත්මක කිරීමේ මුල් දිනවලදී යම් ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. නමුත් එම ගැටලු මගහරවාගෙන මෙම ක්‍රමය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

මේ සඳහා ලියාපදිංචි වීම අද (16) සිට ජනතාවට විවෘත කෙරෙන නමුත් සියලු පාරිභෝගිකයින් එකවර ලියාපදිංචියට යොමු වුවහොත් බාධා ඇතිවිය හැකි නිසා ඉදිරි දින කිහිපයේද මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි අමාත්‍යවරයා කියාසිටියේ. එමෙන්ම විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන කර්මාන්තකරුවන්ට ප්‍රාදේශීය කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *