ඉන්ධන මිල යළිත් ඉහළට – පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 යි – ඩීසල් 400 යි – මිල සූත්‍රයටත් කැබිනට් අනුමැතිය

ඉන්ධන මිල යළිත් ඉහළට – පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 යි – ඩීසල් 400 යි – මිල සූත්‍රයටත් කැබිනට් අනුමැතිය

*********************************************

ඉන්ධන මිල යළිත් ඉහළට – පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 යි – ඩීසල් 400 යි – මිල සූත්‍රයටත් කැබිනට් අනුමැතිය

(24.05.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

සිපෙට්කෝ පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82 කින් ඉහළ නංවා ඇති අතර, නව මිල වන්නේ රුපියල් 420 ක්. ඒ අනුව එම මිල ඉහළ නැංවීම සියයට 24.3 ක් ලෙස සැලකිය හැකියි.

ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 450 ක් වන අතර එම පෙට්‍රල් ලීටරයක් ඉහළ නංවා ඇත්තේ රුපියල් 77කින්.

මෙතෙක් රුපියල් 289 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ නංවා ඇති අතර, නව මිල රුපියල් 400 ක් ලෙස සටහන් වනවා. එලෙස ඩීසල් මිල ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 38.4ක්.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 116 කින් ඉහළ නංවා ඇත්තේ නව මිල ලීටරයක් රුපියල් 445 ක් වන ලෙසින්.

‘ලංකා අයි.ඕ.සී.’ සමාගම ද සිපෙට්කෝ මිල ගණන්වලට සාපේක්ෂව අද සිට ක්‍රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ප්‍රකාශ කළා.

ඒ අනුව අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක් වන අතර, ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 450 ක් ලෙසයි.

‘ලංකා අයි.ඕ.සී.’ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 දක්වා ඉහළ නංවා ඇති අතර, ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 445 ක් ලෙසයි.

අද (24) අලුයම 3 සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ලෝක වෙළදපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුළත් කර ඇති අතර, ඊට ලාභාංශ ඇතුළත් කර නොමැති බව ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද මෙහිදී අනුමැතිය ලබාදී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ කැබිනට් මණ්ඩලය අනුමත කළ මිල සූත්‍රයට අනුව අදාළ මිල ගණන් ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම, මෙම මිල ඉහළ නැංවීම හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ ප්‍රවාහන කටයුතුවලට බාධාවක් සිදුවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස ඔහු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත වූවන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළා.

මේ අතර, ඩීසල් නිකුත් කිරීම සීමා කිරීම හමුවේ අද සිට පිරවුම්හල් වෙත ඩීසල් බෙදා හැරීමේ අඩුවක් පැවතිය හැකි බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ කෙසේ වෙතත්, ඉදිරි දින 15 කට පමණ සෑහෙන පෙට්‍රල් තොග පවතින අතර අද දිනයේදී සම්පූර්ණ ධාරිතාවෙන් පෙට්‍රල් බෙදා හැරීමට සූදානම් බවයි.

මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අද සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඊයේ සඳහන් කර තිබුණේ එම වර්ගයේ පෙට්‍රල් පිරවුම්හල් වෙත බෙදා හැරීම සිදුකළ බවයි.

කෙසේ වෙතත්, දිවයින පුරා පවතින ඉන්ධන පෝලිම්වල අඩුවක් තවමත් දක්නට නොලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.

මේ අතර අද (24) දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගෑස් මෙටි්‍රක් ටොන් 7500 ක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති බවයි ලිට්රෝ සභාපති විජිත හේරත් සදහන් කළේ.

ඒ අනුව ගෑස් මෙටි්‍රක් ටොන් 3500 ක් අඩංගු නෞකාවක් අනිද්දා මෙරටට පැමිණීමට නියමිතයි ෴

***************************************

බස් ගාස්තුව ඉහළට

(24.05.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තුව සියයට 19.5 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව බස් ගාස්තුව ලෙස අවම මිල දැක්වෙනුයේ රුපියල් 32 ක් ලෙසයි.

මෙලෙස බස් ගාස්තුව ඉහළ දැමීමට අද (24) දිනයේ දී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අනුමැතිය හිමිවුණා.

අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනයකට යොමු වූ බවයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

***************************************

24-05-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *