ජොන්ස්ටන් ඇතුලු මන්ත්‍රීන් 06 කගෙන් අද (18) ප්‍රකාශ ගනී

ජොන්ස්ටන් ඇතුලු මන්ත්‍රීන් 06 කගෙන් අද (18) ප්‍රකාශ ගනී

*********************************************

ජොන්ස්ටන් ඇතුලු මන්ත්‍රීන් 06 කගෙන් අද (18) ප්‍රකාශ ගනී

(18.05.2022 – 06:54 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන අයගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් 05 ක් ඊයේ මොවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ගියද එය අද දක්වා කල් දමා තිබෙනවා.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙතෙක් හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් ඇතුලූ සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා දිනයේදී පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබුණා.

ඒ අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

***************************************

සීඅයිඩීය දේශබන්දු තෙන්නකෝන් ගෙන් පැය 10 ක් ප්‍රශ්ණ කරයි

(18.05.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් පැය 10 ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ, පසුගිය 09 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන්.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පස්වරු 03 ට පමණ එහි පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (18) අලුයම 1 ට පමණ ඉන් පිටත්ව ගොස් ඇති බවයි.

මේ අතර, අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (17) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේදීයි.

පසුව ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසිදෙදෙනෙකු (22) ප්‍රමාණවත් සාක්ෂි පවතී නම්, අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා මීට පෙර පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණේ.

එසේම, ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, මෙම සිදුවීමට අදාළව පුද්ගලයින් 450 කට වැඩි සංඛ්‍යාවකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියා ෴

***************************************

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කෙරේ

(18.05.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 20 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති තහනම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුනා.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙමාපිය, ගුරුවරු සහ විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම මත එම තහනම 20 වෙනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා ෴

***************************************

ශ්‍රී ලංකාවට එවන තමිල්නාඩු ආධාර අද නැව්ගත කෙරේ

(18.05.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ තමිල්නාඩුවෙන් ලබාදෙන ආධාර අද (18) නැව්ගත කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි අසූවක (80,00,00,000) පමණ භාණ්ඩ ශ්‍රී ලංකාව බලා පිටත් කිරීමට නියමිතයි.

එහිදී සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් මෙන්ම ඖෂධ තොගයක්ද ශ්‍රී ලංකාවට එවන බවයි අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

තමිල්නාඩු මන්ත්‍රීවරුන් පසුගියදා ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තම වැටුප පරිත්‍යාග කරන බවද ප්‍රකාශ කළ අතර, එම පරිත්‍යාගවලට අමතරවයි තමිල්නාඩුවෙන් මෙම ආධාර තොගය හිමිවන්නේ ෴

***************************************

පෙට්රල් පෝලිම්වල අද (18) රැඳෙන්න එපා – සංස්ථාව ජනතාවගෙන් ඉල්ලයි

(18.05.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ ඩීසල් අඩංගු තවත් නෞකා 2 ක් ඉදිරි සති 2 තුල මෙරටට ළඟා වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් අද (18) දිනයේ පෙට්‍රල් සැපයීම සීමා කෙරෙන බැවින් පෙට්රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පෙට්‍රල් බෙදාහැරීම යළි හෙට (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා.

පසුගිය දිනවල නෞකා මගින් ඩීසල් ලැබීමත් සමග මේ වනවිට දිවයින පුරා ඩීසල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු වන බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ශාන්ත සිල්වා කියා සිටියේ පෙට්‍රල් නොමැති වීම හේතුවෙන් මේ දිනවල පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සිදු නොවන බවයි.

ඒ අනුව ඊයේ (17) රාත්‍රිය දක්වාම ජනතාව පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටියා.

එමෙන්ම ඩීසල් නොමැති වීම හේතුවෙන් අපනයනය සඳහා භාණ්ඩ ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ ඒකාබද්ධ සංසදය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඩීසල් හිඟය හේතුවෙන් මේ වනවිට අපනයන බහාලුම් ප්‍රවාහනය සියයට 90 කින් පමණ අඩු වී ඇති බවයි.

දිවයින පුරා බෙදාහරින ඇතැම් ඉන්ධන ප්‍රමිතියෙන් තොර බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසනවා.

එහි රසායනාගාර කළමනාකරු නලින් චන්ද්‍රසිරි කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බෙදාහැරීම් සිදු කරන්නේ විධිමත් ක්‍රමවේදයක් යටතේ අදියර 04 කින් ප්‍රමිතිය තහවුරු කළ ඉන්ධන පමණක් බවයි.

මේ අතර, අද (18) දිනයේත් පැය 03 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිබලය අත්හිටුවනු ඇති ෴

***************************************

ගෑස් බෙදාහැරීම ඇරඹේ

(18.05.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

අද (18) සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති විජිත හේරත් කියා සිටියේ ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර 80,000 ක් බැගින් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

මේ වනවිට ගෑස් ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවා ඇති අතර ඒ අනුව මෙරටට ළඟා වී තිබූ නෞකාවකින් ගෑස් මෙට්‍රික් ටොන් 2,800 ක් ගොඩබෑමේ කටයුතු ඊයේ (17) රාත්‍රියේ ආරම්භ කෙරුණා.

ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් තවත් නෞකාවක් හෙට (19) මෙරටට ළඟා වීමට නියමිත බවයි.

ඒ අනුව මෙම නෞකා වලින් ලබා ගන්නා ගෑස් දින 05 ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්වය හමුවේ සිලින්ඩර 1 බැගින් පමණක් ලබා ගන්නා ලෙසයි ෴

ලිට්රෝ සමාගමෙන් ඉල්ලීමක්

(18.05.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති විජිත හේරත් කියා සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ වරායට නෞකාව රැගෙනවිත් බවුසර් රථ මගින් ගෑස් ප්‍රවාහන කටයුතු සිදුකරන බවයි ෴

+

***************************************

බේකරි හිමියන්ගෙන් ‘රතු එලි’

(18.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි සමාගම් දිගින් දිගටම පිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ සෙරන්ඩිබ් පිටි සමාගම තිරිඟු පිටි කිලෝවක් රුපියල් 35 කින් යළි ඉහළ නංවා ඇති බවයි.

අවසන්වරට ප්‍රීමා සමාගම පිටි කිලෝවක් රුපියල් 40 කින් සහ සෙරන්ඩිබ් සමාගම පිටි කිලෝවක් රුපියල් 35 කින් ඉහළ නංවනු ලැබුවේ පසුගිය මාර්තු මස 01 වැනිදායී.

එමෙන්ම, ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට මතුව ඇති බාධා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බේකරි නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

***************************************

කොළඹ – මීගමුව මාර්ගය අවහිරවෙයි

(18.05.2022 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිටින් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ග රැසක රථවාහන තදබදයක් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ රැසක පිරවුම්හල් අසල අද (18) උදෑසන සිට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *