ඇඳිරි නීති කාලසීමාව වෙනස් කෙරෙයි

ඇඳිරි නීති කාලසීමාව වෙනස් කෙරෙයි

*********************************************

ඇඳිරි නීති කාලසීමාව වෙනස් කෙරෙයි

(16.05.2022 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනට ම පනවා තිබූ ඇඳිරි නීති කාලසීමාව වෙනස් වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද (16) මැයි 16 රාත්‍රී 11:00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවෙන අතර හෙට (17) උදෑසන 05:00 ට ඉවත් කරන බව යි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළා ෴

***************************************

අත්‍යාවශ්‍ය ආයතනවල වාහනවලට ලංගම ඩිපෝවලින් ඉන්ධන

(16.05.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන මෙන්ම පාසල් ළමයින් ප්‍රවාහන රථ වාහන ද මීට අයත් වන බවයි ෴

***************************************

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

(16.05.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

‘සමාජවාදී තරුණ සංවිධානය’ මේ වනවිට කොළඹ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් අද (16) පස්වරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් මෙම විරෝධතාව ආරම්භ කලේ ගාලුමුවදොර ඇති වූ සිද්ධියට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

පසුව ඔවුන් පාගමනින් කොළඹ පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ මේ වනවිට විරෝධතාවයේ නිරත වනවා.

තවමත් ගාලුමුවදොර අරගලයට පහර දුන් පුද්ගලයන් පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිසිය සමත් වී නැති බව යි ඔවු දිගින් දිගට ම පැවසුවේ.

කෙසේ වෙතත් අද (16) නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත්තේ, දේශබන්දු තෙන්න්කෝන්, සනත් නිශාන්ත ඇතුළු 24 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස යි

***************************************

පෙට්‍රල් සැපයීම අර්බුධයක

(16.05.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

රට තුල පසුගිය දින කිහිපය තුල ඩීසල් හිඟයක් පැවතිය ද අද (16) සිට ඩීසල් බෙදා හැරීම් ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා පවසනවා. කෙසේ වෙතත්, බෙදා හැරීම් සඳහා පෙට්‍රල් හිඟයක් පවතින බවයි ඔහු කියා සිටියේ.

එවැනි තත්ත්වයක් තුල ජනතාව තවමත් පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින ආකාරයක් දක්නට ලැබෙන අතර, බොහෝ පිරවුම්හල් වල මේ වනවිට පෙට්‍රල් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පසුගිය දිනවල පිරවුම්හල්වල ඩීසල් නොමැති තත්ත්වයක් පැවතිය ද අද (16) වනවිට එම තත්ත්වය තරමක් දුරට මඟ හැරී ඇති බව සඳහන්.

මේ අතර, හයිලෙවල් මාර්ගය මහරගම නාවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (16) පෙරවරුවේ පිරිසක් විරෝධතාවයක නිරත වූයේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින්.

පසුව පොලීසිය මැදිහත් වී ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළා.

එමෙන්ම, කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනක් පෝලිම්වල රැදී සිටි පිරිසක් නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

මේ අතර, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන ප්‍රමාණවත් තොග මෙරටට ලැබෙමින් පවතින බැවින් බෙදා හැරීම් අවසන් වනතෙක් ඉදිරි දින 3 තුල පෝලිම්වල රැදී සිටීමෙන් වළකින ලෙසයි.

මේ අතර, සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආනයන අපනයන බහාලුම් රථවලට අවශ්‍ය ඩීසල් නොමැති බවයි.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද (16) දිනයේ ඩීසල් ලැබුණු බැවින් හෙට සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි ෴

***************************************

කෙසෙල් කිලෝ 25,000 ක් ඉවත දැමෙයි

(16.05.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුව තිබෙනවා.

එප්පාවල, කටියාව, ගල්නෑව, බුල්නෑව සහ නොච්චියාගම ප්‍රදේශවල ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන ලද කෙසෙල් තොගයි මෙලෙස ඉවත දමා ඇත්තේ.

රට තුල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෙළඳුන් ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණිම නිසා පරිභෝජනය කළ නොහැකි තරමට ඉදීම ඒවා ඉවත දැමීමට හේතුවයි ෴

***************************************

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පිරිසකගෙන් විශේෂ ප්‍රකාශයක්

(16.05.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

LTTE හිතවාදී සංවිධානයක් විසින් මැයි මස 18 වැනි දා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පතේ පළවූ පුවත සාවද්‍ය පුවතක් බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේ දී අද (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

කෙසේ වෙතත් හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළේ, ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ ඉතාම හොඳින් සංවිධානය වී ඇති බැවින් කිසිවෙක් ඒ පිළිබඳ කලබල නො විය යුතු බවයි ෴

***************************************

උන්ඩියල් ජාවාරම්කරු පොලිස් දැලේ

(16.05.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

උන්ඩියල් ක්‍රමයට ජාවරම් කිරීම සඳහා යුරෝ 50,000 ක මුදලක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශ නිලධාරීන් පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 18 යි ලක්ෂ 7 ක් (1,87,00,000) පමණ වන අතර, අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරුළපන නීති විරෝධි වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී ඇති බව යි වාර්තා වන්නේ ෴

***************************************

සාක්ෂි ඇත්නම් අත් අඩංගුවට ගන්න – නීතිපති

(16.05.2022 – 21:02 +0530 – hirunews.lk/sinhala)

මැයි 09 වැනි දා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසිදෙදෙනා (22) පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අද (16) පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙර නීතිපතිවරයා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණේ, ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පිරිසගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස යි ෴

***************************************

ආර්ථිකය ගොඩනැගීමට සහාය දෙන්න SJB තීරණය කරයි

(16.05.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්වාසය වී තිබෙනවා.

එහෙත්, සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාල සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබෙනවා ෴

***************************************

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය

(16.05.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

තමන් අග්‍රාමාත්‍ය ධූරය භාරගනු ලැබුවේ ජනාධිපතිවරයා කරනු ලැබූ ඉල්ලීමකට අනුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් රටේ පවතින ගැටලුවලට පිළිතුරු සෙවීම සඳහා සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් වහා ස්ථාපිත කළ යුතු බවයි අද (16) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ඩීසල් නෞකාවක් ඊයේ (15) මෙරටට පැමිණිය ද පෙට්‍රල් සංචිත පවතින්නේ දිනකට (1) පමණක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, ඩොලර් සොයා ගැනීමට නොහැකි වීම නිසා දින 40 ක සිට මුහුදේ පවතින පෙට්‍රල්, බොරතෙල්, දැවි තෙල් නෞකාවලට මුදල් ගෙවීම සඳහා විවෘත වෙළඳපොලෙන් ඩොලර් මිලදී ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කළේ.

2020 / 2022 ක වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට නව අයවැයක් ඉදිරිපත් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, එය සහන අයවැයක් වනු ඇතැයි පෙන්වා දුන්නා.

එසේම, දැඩි ලෙස අලාභ ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා යෝජනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් හිඟව පැවතීම කණගාටුවට කරුණක් බවත් මෙරට මුහුදු සීමාවේ නවතා ඇති ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබා ගැනීමට කටයුතු කරන බවත් අගමැතිවරයා පවසනවා.

++++++++

16 වනදා පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා :

“මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය දරුණු තැනකයි තියෙන්නේ. 2019 නොවැම්බර් මාසයේ දී, අපේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.5 ක් තිබුණා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 5 ක්වත් මේ වේලාවේ මුදල් අමාත්‍යාංශයට සොයාදීමට හැකියාවක් නෑ. අපි මුහුණදෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්දමනය වැඩිවෙන්න ඉඩතියෙනවා. මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණයට අවසර දෙන්න වෙනවා. ඒ රාජ්‍ය සේවකයින්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සඳහා ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා හා භාණ්ඩ සඳහා වැය කිරීම සඳහායි. කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ජේදය ගතකරන්න සිදුවෙයි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණදිය යුතුයි. භයානක වුවත්, අප්‍රසන්න වුවත් මෙයයි ඇත්ත තත්ත්වේ. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපිට ලැබේවි. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනවා. දැනට පවතින මේ ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටවිය යුතුව තිබෙනවා. එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණ කරගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටිකාලීන, මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළ ඔසවා තබන්නට අපිට හැකිවෙනවා.”

(sinhala.adaderana.lk)

***************************************

හෙට (17) පාර්ලිමේන්තුව රැස්වෙයි

(16.05.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය හෙට (17) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතයි.

එහිදී නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනෙන අතර ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්නගේ නම් යෝජනා වී තිබෙනවා.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසය අද (16) නිවේදනය කළේ සමගි ජනබලවේගය විසින් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කර ඇති රෝහිණී විජේරත්නට තම පක්ෂයේ සහය පළ කිරීමට තීරණය කළ බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීම වෙනස් කිරීම ද හෙට (17) සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද හෙට (17) පෙරවරු 08:30 ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තනතුරු භාර නොගෙන ආණ්ඩුවට සහය දීමට සජබ සූදානම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පසුගිය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ දහයේ (10) කණ්ඩායමේ නියෝජිතයින් අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා.

ඒ ආණ්ඩුවට සහය දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ආරාධනයකට අනුවයි.

ඒ අනුව, නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පමණක් අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම හමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා හෝ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨයන් සහභාගි වී තිබුණේ නැහැ.

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ දහයේ කණ්ඩායමේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, විශේෂ සාකච්ඡාව ද අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ වසරේ දෙසැම්බර් දක්වා වැඩසටහන අයවැයක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එසේම, පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත්, පාර්ලිමේන්තුවේ කමිටු 15 ක් පිහිටුවා අමාත්‍ය ධුර භාර නොගන්නා දේශපාලන පක්ෂවලට එම කමිටුවල සභාපති ධුර භාර ගන්නා ලෙස ආරාධනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ අමාත්‍ය ධුර භාර නොගෙන, රට ගොඩනැගීම සඳහා රජයට සහය පළ කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ද එම සාකච්ඡාවට එක්ව සිටියා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෝ එම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගි වී තිබුණේ නැහැ.

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන යහපත් කටයුතු වෙනුවෙන්, තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුලින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබාදීමට එහි මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබෙනවා.

අද (16) දින රැස්වූ සිය මන්ත්‍රී කණ්ඩායම අදාළ තීන්දුව ගෙන ඇති බවයි සමගි ජනබලවේගය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට සහ එම බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන්ට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බව ද මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *