ප්‍රහාරය නවත්වන්න මම හදපු සැලසුමට ඉහළින් දෙදෙනෙකු (2) බාධා කළා – දේශබන්දු තෙන්නකෝන්

ප්‍රහාරය නවත්වන්න මම හදපු සැලසුමට ඉහළින් දෙදෙනෙකු (2) බාධා කළා – දේශබන්දු තෙන්නකෝන්

*********************************************

ප්‍රහාරය නවත්වන්න මම හදපු සැලසුමට ඉහළින් දෙදෙනෙකු (2) බාධා කළා – දේශබන්දු තෙන්නකෝන්

(16.05.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමන් සකසා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන් දෙදෙනකු (2) ඉඩ නොදුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා මානව හිමිකම් කොමිසම ඉදිරියේ දී මේ කරුණු අනාවරණය කළ බවයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ.

තමන් අවශ්‍ය ප්‍රමාණයට පොලීසිය සහ විශේෂ කාර්‍යයය බලකාය කැඳවා තිබූ බවත්, ජල විඳින රථ දෙකක් (2), කදුලු ගෑස් ඇතුළු කැරලි මර්දන නිලධාරීන් දෙසීයකට (200) අධික පිරිසක් ගාලු මුවදොරට කැඳවා තිබූ නමුත් අවසාන මොහොතේදීත් ඉහත බලධාරීන් දෙදෙනා (2) කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස තමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට (2) බලපෑම් කළ බවත් ඔහු මෙහිදී හෙළි කර තිබෙනවා.

තමන් ඒ මොහොතේ දැක්වූ ප්‍රතිචාරය එම අවස්ථාවේ තමා සමග සිටි නිලධාරීන් ද දන්නා බවත් ඔහු කොමිසම හමුවේ පැවසූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ ප්‍රමාදයත් සමගම කලහකාරී පිරිස් බලහත්කාරයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කරමින් ගාලුමුවදොර පිටියට ඇතුලු වූ බවත්, තමා ජනපතිවරයාට තත්ත්වය පැහැදිලි කළ පසුව බලධාරීන්ගේ බලපෑම් නොතකා කඩිනමින් පිරිස විසුරුවා හැරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බවත් ඔහු මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවසා තිබෙනවා.

තව ද එම ප්‍රහාරය හේතුවෙන් ගෝඨා-ගෝ0ගම තුළ තිබූ ඉදිකිරීම් 186 න් 26 කට පමණ හානි සිදු වූ බවත් ගෝඨා-ගෝ-ගම රැඳී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් තුවාල සිදු වූ බවටත් කොමිසම හමුවේ අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධිය හටගත් විගස මෙම බලධාරීන් දෙදෙනා (2) තමාට කඳුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීමට බාධා නොකළේ නම් මෙම ව්‍යසනය සිදු නොවන බව ඔහු විසින් කොමිසම හමුවේ කියා තිබෙනවා.

සිය ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන සහ තාක්ෂණික වාර්තා කිහිපයක් ද මානව හිමිකම් කොමිසමට ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සැලැස්ම යටතේ රාජකාරීයේ යෙදවූ ඕනෑම පොලිස් නිලධාරියෙකු කැදවා විමසන ලෙස ද කොමිසමෙන් ඉල්ලා තිබෙනවා ෴

+

නාවින්න මංසන්ධියෙන් පාර අවහිර වෙයි

(16.05.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

හයිලෙවල් මාර්ගයේ නාවින්න මංසන්ධිය මේ වනවිට (16) පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අවහිර වී තිබෙනවා.

ජනතාව වීදි බැස ඉන්ධන ඉල්ලමින් සිදු කරන විරෝධතාවක් හේතුවෙනුයි මෙලෙස මාර්ගය අවහිර වී ඇත්තේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර මාළිඟාවත්ත ඉන්ධන පිරවුම්හල අසල ද මේ වනවිට ඉන්ධන ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා ෴

+

හෙට (17) පාර්ලිමේන්තු සභා වාරයට පෙර පක්ෂ නායක රැස්වීමක්

(16.05.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 08:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක දෙකෙහි (2) මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

එහිදී නියෝජ්‍ය කථානායක ධුරය පත් කිරීම, නව අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම්දීමත් සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. පාර්ලිමේන්තුව හෙට (17) පෙරවරු 10 ට රැස්වීමට නියමිතයි ෴

+

පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල අහිමි වූ සියලුම පාර්ශවයන්ට සාධාරණය ඉටුකරනවා – ඇමති ප්‍රසන්න

(16.05.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය රාජකාරි ආරම්භ අද (16) ආරම්භ කළා.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කළේ පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල අහිමි වූ සියලුම පාර්ශවයන්ට සාධාරණය ඉටු කිරීම සිය ප්‍රමුඛ කාර්යය බවයි.

ඒ පිළිබඳ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරනවා.

සියලු තොරතුරු ලබාගෙන ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා ෴

+

ඉදිරි සති දෙකේ (2) ඉන්ධන නෞකා 3 ක් දිවයිනට

(16.05.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවලට ගෙවීම් සිදු කිරීම සඳහා විවෘත වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම ඊයේ (15) පැවති අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් තොග බෙදාහැරීම අද (16) පෙරවරුවේ සිට යළි ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද (16) පෙරවරුවේ සිටම දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පෙට්‍රල් තොග හිඟවීම හේතුවෙන් පිරවුම්හල් වෙත පෙට්‍රල් බෙදාහැරීම ඉතා අවම මට්ටමක පවතින බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරටට ලැබෙමින් පවතින බැවින් බෙදාහැරීම් අවසන් වන තෙක් ඉදිරි දින තුන තුළ පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

ඊයේ (15) ඩීසල් රැගත් නෞකාවක් පැමිණි අතර, තවත් නෞකා 3 ක් ඉන්දීය ණය ආධාර යටතේ දිවයිනට පැමිණීමට නියමිත බව ඔහු කියා සිටියා.

මේ අතර යල කන්නයේ කුඹුරු සැකසීම සඳහා ජලය නිකුත් කර දින 21 කට වඩා කාලයක් ඉක්ම ගොස් ඇති නමුත් ඩීසල් නොමැතිවීම හේතුවෙන් සී සෑමේ කටයුතුවලට බාධා මතු වී තිබෙනවා.

මේ නිසා ඉදිරියේදී ඩීසල් තොග නිකුත් කිරීමේදී ගොවීන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි වළව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණී කුලතුංග අද (16) සූරියවැව පැවති මාධ්‍ය හමුවක දී ඉල්ලා සිටියේ.

+

අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 51 ක හිඟයක්

(16.05.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ අනාවරණ කර තිබෙනවා.

ඒ, ඊයේ (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති රැස්වීමකදියි.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී රැස්වී තිබුණා.

එහිදී ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස හතරකින් (4) ගෙවීම් සිදුකර නොමැති බවත්, ඔවුන්ට රුපියල් බිලියන 34 ක හිඟ මුදලක් ගෙවීමට ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙරට කිසිදු ඖෂධයක හෝ උපකරණයක ඇණවුමක් ලැබී නොමැති බවත්, ඖෂධ හා උපකරණ හිඟය සපුරාගන්නේ විදේශ රටවල සිටින මිතුරන්ට පෞද්ගලිකව කථා කිරීමෙන් බවයි සෞඛ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේදී අනාවරණ කර ඇත්තේ.

අත්‍යවශ්‍ය ඖෂධ 14 කින් ඖෂධ 2 ක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බවත්, එම එක් ඖෂධයක් හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් බවත් සඳහන් කළ සෞඛ්‍ය ලේකම්වරයා ඊට විකල්ප ඖෂධ පවතින බව පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ජලභීතිකා ඖෂධය මේ වනවිට අවසන් වී ඇති අතර, ඊට ආදේශක ඖෂධ කිසිවක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වුවද පෞද්ගලික අංශය සතුව ඇති බවයි ලේකම්වරයා හෙළි කර ඇත්තේ.

මේ අතර ඖෂධ 49 ක හිඟයක් මේ වනවිට රෝහල් තුළ පවතින අතර, ප්‍රතිකාර සඳහා අවශ්‍ය ශල්‍ය උපාංග 7,854 කින් නිතර භාවිතයේ තිබිය යුතු උපකරණ 2,048 ක් පැවතිය යුතු වුවත් ඉන් 1,155 ක්ම මේ වනවිට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සඳහන් කර තිබෙනවා.

විදුලි කප්පාදුවේදී ඩීසල් ගැටලුව නිසා විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරගත නොහැකිවීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් අපහසුතාවට පත්ව ඇතැයි ද එහිදී හෙළිවී තිබෙනවා.

තව ද ඖෂධ ආනයනකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් ගැටලුව සඳහා ඖෂධ ආනයනය ගැටලුසහගත බවයි.

එසේම අත්‍යවශ්‍ය ඖෂධවලින් සියයට 80 ක් පමණ ආනයනය කිරීම ගැටලුවක් ව ඇතැයි ද හෙළි වී තිබෙනවා.

+

යල කන්නයට දුන් කාබනික පොහොරවල ගල් සහ වැලි – ගොවීන්ගෙන් චෝදනා

(16.05.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයට බෙදා හරින ලද කාබනික පොහොරවල ගල්, වැලි සහ වීදුරු කැබලි පවතින බවට ගොවීන් චෝදනා කරනවා.

බණ්ඩාරවෙල ගොවිජන සේවා බල ප්‍රදේශයේ කොට්ඨාශය 4 කට බෙදා දුන් කාබනික පොහොර මිටි 350 ක මෙලෙස ගල් සහ වැලි මිශ්‍රව ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ කෘෂි රසායනික දියර සහ කෘෂිනාශක දියර අලෙවි කළ දෙදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳපොල සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන්ට මෙම ව්‍යාජ කෘෂි රසායනික සහ කෘමි නාශක දියර පදික වේදිකාවේ අලෙවි කරමින් සිටියදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+

කොටහේනේ මනුෂ්‍ය ඝාතනයක්

(16.05.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කොටහේන ආමර්වීදිය මහල් නිවාස සංකීර්ණය ළමා උද්‍යානය අසල දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන තුවාල සිදු කර බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි ආමර්වීදිය මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක්.

මෘතශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

අපරාධකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

ආරක්ෂක අංශ භීෂණය බලාගෙන හිටියේ ඇයි ?

(16.05.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

හදිසි නීතිය බලාත්මක කර ඇති වෙලාවක රට පුරා ඇතිවූ භීෂණකාරී ත්ත්වය පාලනය කිරීමට ආරක්ශක අංශ ක්‍රියා නොකිරීම පිලිබදව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගේ න් කරුණු විමසා ඇති බව වාර්තා වෙනවා.

විශේෂන් මෙවැනි අවස්තාවක යුධ හමුදාව කිසිවක් නොකර බලා සිටීම පිලිබදව ඔවුන් ජනාධිපතවරයා වෙත සිය කනස්සල්ල පලකර තිබෙනවා.

තම මන්ත්‍රී වරුන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීමට ප්‍රකෝපකාරී පිරිස් පැමිනෙන බවට වූ තොරතුරු කල්තියාම ආරක්ෂක අංශවෙත ලැබී තිබියදී ත් එම ත්ත්වය වැලැක්වීමට යුද හමුදාවට හැකියාව තිබූ බවයි එම මන්ත්‍රීවරු පෙන්වාදී ඇත්තේ.

එවැනි වැලැක්වීමක් කරනු ලැබුවේ නම් මිනිස් ජීවිත පවා බේරා ගැනීමට තිබූ බව ඔවුන් පෙන්වා දෙනවා.

සියල්ල සිදුවූ පසු ආරශක ලේකම් වරයා යුදහමුදා ව සීරුවෙන් තබා වැඩක් නැතිබවයි ඔවුන්ගේ අදහස වන්නේ.

පසුගිය දා පැවැති ආණ්ඩු පක්ශයේ රැස්වීම් වලට සහභාගී වීම සඳහා සහභාගි වීමට ගිනිතැබීම් වලින් නිවාස විනාශ වූ මන්ත්‍රවරු කිහිප දෙනෙකුට ම ඇඳගෙන ඒමට ඇදුමක් පවා නොතිබී ඇති බව වාර්තා වෙනවා.

***************************************

බෙංගමුවේ නාලක හිමියන්ගෙන් රනිල් ගැන සහතිකයක්

(16.05.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික ගැටලුවලට විසඳුම් දිය හැකි දැනට පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ආචාර්ය අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග මහතා විසින් රචිත වෙළුම් 3 කින් සමන්විත සිංහල ශබ්ද කෝෂය එළිදැක්වීමේ උත්සවය කිරිබත්ගොඩ – සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ පීඨාධිපති පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්ම රතන හිමි සහ සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සිංහල භාෂාව ගැන උනන්දුවක් දක්වන්නන්ට නිවැරදිව වචන උච්චාරණය කිරීම මෙන්ම සිංහල වචනවල නිවැරදි තේරුම් දැන ගැනීම පිණිස මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා.

***************************************

මැයි 09 සහ 10 යන දිනයන් වල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සොයන්න මානව හිමිකම් කොමිසමෙන් විශේෂ නියෝජිතයෙක්

(16.05.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

මැයි 09 සහ 10 යන දෙදින තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා විසින් විශේෂ නියෝජිතයෙකු පත් කර තිබෙනවා.

තව ද එම ප්‍රහාරය හේතුවෙන් ගෝඨා ගෝ ගම තුළ තිබූ ඉදිකිරීම් 186 න් 26 කට පමණ හානි සිදු වූ බවත් ගෝඨා ගෝ ගම රැඳී සිටි පුද්ගලයින් 400 වැඩි ප්‍රමාණයකගෙන් 43 දෙනෙකුට පමණක් තුවාල සිදු වූ බවටත් කොමිසම හමුවේ මේ වන විට අනාවරණය වී තිබෙනවා.

තවද එම සිද්ධියත් සමඟ දිවයින පුරා සිදු වූ කලහකාරී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 398 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

දේශබන්දු හා සනත් නිශාන්ත පිළිබඳ නීතිපතිගෙන් නියෝගයක්

(16.05.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 09 වනදා ගාලුමුවදොර ඇති වු කලහකාරි සහ නොසන්සුන්කාරි සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට උපදෙස් ලබාදී තිබෙනවා.

දේශබන්දු සහ නිශාන්ත

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට අදාළව උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මේ අතර, ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් වන විමර්ශන සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ නියෝජිතයෙකු පත් කර තිබෙනවා.

අත්දැකිම් සහිත ජනාධිපති නීතිඥවරයෙකු මේ සඳහා පත් කර ඇති අතර, ඔහු හෙට (17) වැඩභාර ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ.

මේ මස 09 වනදා සහ 10 වනදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිදුවූ ගැටුමට අදාළව ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසම ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරින් කැඳවා පසුගියදා ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී ඔවුන් විවිධ නම් අනාවරණ කර ඇති අතර, එහි නිරවද්‍යභාවය සොයා බලා වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ජනාධිපති නීතිඥවරයෙකු වන මෙම විශේෂ නියෝජිතයා පත් කළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ.

ඒ අනුව, ගාලුමුවදොරට සහ කොල්ලුපිටියට නිසි ආකාරයෙන් ආරක්ෂාව සපයා තිබුණේ ද සහ ගැටුම අවස්ථාවේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වී ඇත්ද යන කරුණු මත පදනම්ව මෙම විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මේ අතර, දිවයින පුරා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වූ පොලිස් බල ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් රාජකාරි පැහැර හැරීමක් හෝ යම් නොසලකා හැරීමක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම විමර්ශනය ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් සඳහන් කළේ.

මෙම දිවයින පුරා සිදුවූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 398 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මේ වනවිට වාර්තාවූ සිද්ධීන් සංඛ්‍යාව 756 ක් බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *