මට වැඩ කරන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි, නැත්නම් මම ගෙදර යනවා – මහ බැංකු අධිපති

මට වැඩ කරන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි, නැත්නම් මම ගෙදර යනවා – මහ බැංකු අධිපති

*********************************************

මට වැඩ කරන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි, නැත්නම් මම ගෙදර යනවා – මහ බැංකු අධිපති

(11.05.2022 – 16:33 +0530 – hirunews.lk/sinhala)

රට තුළ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමට දේශපාලන පක්ෂ ප්‍රමුඛ අනෙකුත් බල බලධාරීන් කටයුතු නොකරන්නේ නම් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (11) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය වීරසිංහ පවසා සිටියේ තමන් මෙරටට පැමිණියේ සති දෙකක් (2) තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී තමන්ගේ සිත් තුල තිබූ ආර්ථිකය යථාවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවට තිබූ විශ්වාසය මත බවයි.

කෙසේ වෙතත් මේ වන විට තමන් මහ බැංකු අධිපති ධුරය භාර ගෙන මාසයකට ආසන්න කාලයක් ගත වුවද තවමත් රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්වයක තිබීම මහ බැංකුවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සැලසුම් ඉදිරියට ගෙන යෑම බරපතළ අභියෝගයකට ලක්කර ඇති කර ඇති බව ඔහු සඳහන් කරනවා.

යම්හෙයකින් නුදුරේදීම රට තුළ යහපත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නොනැගුන හොත් නැවත මේ රට ගොඩ ගැනීම තමාට නොව කිසිවකුටත් කළ නොහැකි වනු ඇති බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

තමන් මේ බව මේ වන විටත් ජනාධිපතිවරයා පමුඛ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලට දන්වා ඇති බවත්, සියල්ල එක්මුතු වී රට ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඔවුන්ගේ වගකීම බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙම මාධ්‍ය හමුවේ දී මේ මොහොතේ රටට නව මහා මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට යොමු වීමේ හැකියාවක් ඇත්දැයි පැමිණ සිටි මාධ්‍යවේදීනිනියක විමසා සිටියා.

එයට පිළිතුරු වශයෙන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ රට තුළ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම් සඳහා අසීරු තීන්දුත් තීරණ රැසක් ගැනීම්ට සිදුව ඇති බවයි.

මේ මොහොතේ ජනතා නියෝජිතයින් සහ අදාල බලධාරීන් තීරණය කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් ගෙන එනවද, එසේ නොමැතිව මැතිවරණයක් නොපවත්වා ස්ථාවර රජයක් ගෙන එනවා ද යන කාරණය පිළිබඳව පමණක් බවයි.

මේ මොහොතේ මැතිවරණයක් කරා යා යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් තමන්ට ඍජු පිළිතුරක් ලබා දිය නොහැකි වුවද අවශ්‍ය කරනුයේ සෘජු තීන්දු තීරණ ගත හැකි ස්ථාවර රජයක් පමණක් බවයි.

එය සාක්ෂාත් කර දීම දැන් පවතින්නේ ජනතා නියෝජිතයින්ගෙන් පාර්ශවයේ බවත් එය ඔවුන් විසින් තීරණය කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේවේ දී වැඩිදුරටත් කියා සිටියා.

***************************************

ආර්ථිකය ගැන අගමැතිගෙන් අද (16) විශේෂ ප්‍රකාශයක්

(16.05.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථික තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ආර්ථික තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

වත්මන් ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය මෙන්ම රට යළි ගොඩ නගන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළිදරව් කරනු ඇති.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ෴

***************************************

අර්බුද විසඳන්න අගමැති පත් කළ විශේෂ කමිටු 4 න් වාර්තාවක්

(16.05.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, පොහොර, ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කමිටුවල වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාරදීමට පියවර ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළා.

එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කමිටු විසින් හිටපු ඇමතිවරුන් සහ ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමෙන් පසු ගැටලු ඇතිවීමට හේතු මෙන්ම ඒවා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහිත වාර්තාවක් මේ වනවිටත් සම්පාදනය කර ඇති බවයි.

අදාළ කමිටු ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යනු ලබන අතර ජනතාවට සහන සැලසීම සඳහා වූ ක්‍රියාවලිය පුළුල්ව දියත් කිරීමට පියවර ගෙන ඇති බවත් එහි ප්‍රතිලාභ තව සුළු කාලයක් තුළ ජනතාවට ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

***************************************

නව ඇමති ධුර 18 වැනිදායින් පසු – හිටපු ඇමති අලි සබ්‍රිත් ස්ථාවරය වෙනස් කරයි ?

(16.05.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුර 18 කින් සමන්විත නව කැබිනට් මණ්ඩලයේ ඉතිරිව ඇති පත්කිරීම් ලබන 18 වැනිදායින් පසු ව සිදු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විටත් සෞඛ්‍යය, කෘෂිකර්ම, අධ්‍යාපන යන ක්ෂේත්‍ර සඳහා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් තිදෙනෙකු (3) ගේ නම් යෝජනා වී ඇති බවත් බොහෝ විට එම යෝජනා වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ම එම අමාත්‍ය ධුර හිමි වනු ඇති බවටත් එම ආරංචි මාර්ග විශ්වාසය පළ කළා.

මේ අනුව නව රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් හට ලබාදීමට නියමිතයි.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය ධුරයහි වගකීම භාරදීමට සැලසුම් කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා වෙතටයි.

මිට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාගේ නම යෝජනා වී තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය ධුරය භාර ගැනීමට හිටපු මුදල් අමාත්‍යවරයා වන අලි සබ්‍රි අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම අමාත්‍ය ධුරය තවදුරටත් අග්‍රාමාත්‍යවරයා යටතේ තබා ගැනීමට සැලසුම්කර ඇති බවත්, කෙසේ වෙතත් මේ වන විට අලි සබ්‍රි අමාත්‍යවරයා සිය ස්ථාවරය වෙනස් කරමින් යම්කිසි අමාත්‍ය ධුූරයක් ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වනවා.

එලෙස ඔහු අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට කැමැත්ත පළ කරන්නේ නම් මුදල් අමාත්‍ය ධුරය නැවතත් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත ලබාදෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ඉතුරු අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අවසන් තීරණ අද (16) පෙරවරුවේ පැවැත්වෙන ස්වධීන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමෙන් අනතුරුව ගන්නා බවත් වාර්තා වනවා ෴

***************************************

ශ්‍රීලනිප ඇතුළු පක්ෂ 10 ක් අද (16) රනිල් හමුවෙයි

(16.05.2022 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ 10 මන්ත්‍රී කණ්ඩායම අද (16) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

රට තුළ මේ වනවිට පැන නැඟී ඇති අර්බුදයන්ට විසඳුම් සෙවීම පිණිස දේශපාලනික එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර, තීන්දු තීරණ හා එකඟතා පිළිබඳ සංවාදයට අද (16) දින මෙම කණ්ඩායම් අග්‍රාමාත්‍යවරයා හමුවනු ඇති.

අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික සංවර්ධනය උදෙසාඅ ගන්නා තීන්දු තීරණ සහ ප්‍රතිපත්තිවලට සහාය පළ කිරීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කළා.

ඒ ඊයේ (15) දිනයේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මුල් පෙළේ මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලගේ සහාය ද රනිල්ට හිමිවනු ඇති.

ඊයේ (1) දින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයාව හමුවීමෙන් අනතුරුව ලබාදෙන තීන්දුව අගමැති රනිල්ට සහාය නොදෙන වග නම්, තමන් අනිවාර් යයෙන්ම රනිල් වික්‍රමසිංහ හට සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ පාක්ෂිකයින් පිරිසක් ද අගමැති රනිල්ට සහාය පළ කිරීමට සිය එකඟත්වය පළ කෙරුණේ ඊයේ (15) දින බවයි වාර්තා වුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පැවැත්වෙනවා.

පෙරවරු 10 ට ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී එය පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී වත්මන් දේශපාලන තත්වය හමුවේ ගනු ලබන ඉදිරි තීරණ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ දහයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අද (16) පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බවයි.

++++++++++

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා ඇරඹෙයි

(16.05.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (15) සවස 3 ට පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද එය ඊයේ (15) දිනයේ දී කල් දැමුණේ අද (16) පෙරවරු 10:00 ට රැස්වීමේ බලාපොරොත්තුවෙන්.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මේ වන විට ආණ්ඩුව සහයෝගය දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

මෙහිදී නව රජයේ අමාත්‍ය ධූර ලබා ගන්නේ ද එසේත් නොමැතිනම් අමාත්‍ය ධූර ලබා නොගෙන ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ අතර වාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ඔහු සමග සාකච්ඡාවකට ආරාධනා කර තිබුණා.

අද (16) පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු (3) එක් වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමත් අවලංගු කර මෙලෙස අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල සහ රංජිත් සියඹලාපිටිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ස්වාධීන පක්ෂ කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාව මේ මොහොතේ දී පැවැත්වෙන බව වාර්තා වනවා.

එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියා රතන හිමි, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

+++++++++++

කිසිදු තනතුරක් භාර නොගෙන රට හදන්න සහාය දෙන බව ගම්මන්පිල කියයි

(16.05.2022 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධුර භාර ගැනීමකින් තොරව ජාතික සභාව සහ පාර්ලිමේන්තු කමිටු මගින් රජයේ ඉදිරි කටයුතු සඳහා සහයෝගය ලබාදීමට පක්ෂ දහයේ (10) එකමුතුවේ නියෝජිත කණ්ඩායම එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදීයි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පක්ෂ දහයේ (10) නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා සහාය ලබාදෙන ලෙසයි.

එමෙන්ම, පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් සහ පාර්ලිමේන්තු කමිටු 15 ක් රජයේ කටයුතු අධීක්ෂණය සඳහා ස්ථාපිත කරන බවත්, මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළා.

කෙසේ වෙතත් සාකච්ඡාවට එක්වූ මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, වගකීම් භාරගෙන ආණ්ඩුවට සහාය පළ කළ යුතු බවයි.

මේ අතර, රජයට සහයෝගය දැක්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙර එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කරනු ලැබුවේ ආණ්ඩුවට සහාය ලබානොදීමටයි.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළේ රට තුළ පවතින තත්ත්වය මත පක්ෂය ආණ්ඩුවට සහාය නොදක්වන්නේ නම් තමන් පුද්ගලිකව සහයෝගය දැක්වීමට තීරණය කළ බවයි.

ඔහුගේ එම ප්‍රකාශයෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (15) කැඳවා තිබූ දේශපාලන මණ්ඩල හමුව ද අවලංගු කළා.

එමෙන්ම, අද (16) පෙරවරුවේ කැඳවා තිබූ මධ්‍යම කාරක සභා හමුව ද අවලංගු කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මෙවැනි පසුබිමක් තුළ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පමණක් අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම හමුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා හෝ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨයන් සහභාගි වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, දයාසිරි ජයසේකර මහලේකම්වරයා සහ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය අගමැතිවරයා සමග කළ සාකච්ඡාවෙන් පසු නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ඇති බවයි වාර්තාවන්නේ.

නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ පාර්ශ්ව දෙක (2) අතර දැඩි මතවාදයක් පවතින බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරු 06:30 ට ජාතිය ඇමතීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

***************************************

ජාතික ජනබලවේගයට, ආණ්ඩුවේ සාකච්ඡා අවශ්‍ය නෑ – විජිත හේරත්

(16.05.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට ජාතික ජනබලවේගයට අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.

කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *