ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග

ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග

*********************************************

ආර්ථික අර්බුදයට ගෙන ඇති විසඳුම් ගැන අධිකරණයට දැනුම් දෙන්න – නීතිපතිට නියෝග

(05.05.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා තිබූ ඉන්දීය ණය පහසුකම යටතේ යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව රජය වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ගෑස්, ඉන්ධන, ඖෂධ, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ජනතාව වෙත සැපයීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙළවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එම සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මෙම දැනුම් දීම සිදු කළා.

ප්‍රීතිපද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද (05) කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ඉන්දීය ණය පහසුකමින් සියයට 30 ක් වැය කොට යකඩ ද්‍රව්‍ය ආනයනය කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

මුදල් අමාත්‍යවරයා ද මෙය පිළිගෙන තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයකට ලක්ව සිටින මෙම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා සපයා දී තිබූ ණය පහසුකමක් යොදාගෙන යකඩ ද්‍රව්‍ය ආනයනය කිරීම අනුමත කළ නොහැකි බවත් මෙවැනි දේ ජනතාව අපේක්ෂා නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

එබැවින් මෙම කරුණ සම්බන්ධයෙන් රජය වහා අධිකරණයට කරුණු පැහැදිලි කළ යුතු බවද ජනාධිපති නීතිඥ ඉගලහේවා කියා සිටියා.

මෙහිදී රජය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේ වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා ගෙන තිබෙන පියවර ඇතුළත් දිවුරුම් පෙත්සම් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් මැයි මස 12 වන දා යළි කැඳවීමට නියම කළ අතර එදින ආර්ථික අර්බුදය නිමා කිරීම සඳහා ගෙන තිබෙන පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළා ෴

***************************************

සියලු දේශපාලනඥයින්ට VIP දොරටුව වැසේ

(05.05.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු සම්පූර්ණයෙන් ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අද (05) පස්වරුවේ ගෙන ඇත්තේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සංගමය විසින්.

ඒ අනුව රටේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය සමථයකට පත් කරන තෙක් සිය සේවා කටයුතුවලින් ඉවත් වන බවටයි සංගම් නිලධාරින් නිවේදනය කර ඇත්තේ.

රටේ අර්බුදයන්ට නිසි විසඳුම් සකසන තෙක් (VIP) ආගමන හා විගමන රාජකාරී කටයුතු හා විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කාශන කටයුතු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස හෙට (06) දින සිට අත්හිටුවන බවට මෙමගින් නිවේදනය කරනු ලබනවා ෴

***************************************

ජන පීඩිත ගැටලු විසඳීමට රජයේ ඇති ප්‍රමාදය තවදුරටත් රට වියවුල් කිරීමක් – කොළඹ නීති සංගමය

(05.05.2022 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ තමන් දැඩි අවධානයෙන් පසුවන බව කොළඹ නීති සංගමය නිවේදනය කරනවා.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සඳහන් කළේ, දිනෙන් දින ඉහළ යන මහජන නොසන්සුන්තාව සහ පෙළපාලි රටේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බරපතළ හා අහිතකර හානි ඇති කිරීමට බලපෑම් කර ඇති බවයි.

ඉහත කී පසුබිම තුළ සමාජ, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම සඳහා නිසි සැලකිල්ලක් දැක්වීම සඳහා අර්ථවත් පියවර ගන්නා ලෙස කොළඹ නීති සංගමය විසින් වත්මන් රජයෙන් අවධාරණය කරනු ලබනවා.

රට තුළ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අපගේ සිය මව් ආයතනය වන ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද යෝජනා රජය විසින් කඩිනමින් පිළිපැදිය යුතු බව‍යි කොළඹ නීති සංගමයේ අදහස වන්නේ.

පවතින ආර්ථික හා සමාජීය ප්‍රශ්න විසඳීමට රජය ප්‍රමාද වීම මහජනතාවගේ මූලික අවශ්‍යතා සහ එදිනෙදා කටයුතු අහිමි කරමින් රටේ ආර්ථිකය තවදුරටත් පිරිහීමට හේතු වනු ඇති බව තම නීතිඥ සංගමයේ අදහස බව ද ඔවුන් පෙන්වා දෙනවා.

***************************************

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පරාජයට හේතු කියයි

(05.05.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අපෙක්ෂයෙකු නම් කිරිමට, සමගි ජන බලවේගය ප්‍රමාද වීම විපක්ෂය ඡන්දය ජරාජය වීමට හේතුවෙක් වු බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධින වු මන්ත්‍රී කණ්ඩායම කොළඹ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එසේම, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ මේ වනවිට සමගි ජනබලවේගය ආණ්ඩුවේ කොන්ත්‍රාතුවක් ඉටු කරමින් විපක්ෂය භේද කිරිමේ ක්‍රියාවලියක නිරත වී සිටින බවයි.

***************************************

උණුසුම් වූ සාකච්ඡාව

(05.05.2022 – 23:14 +0530 – hirunews.lk/sinhala)

බඩු මිල අඩු කිරීම, ඒවායේ ප්‍රමිතිය පිලිබදව සැලකිලිමත් වීම යන කරුණු මුල් කරගනිමින් අල්ලසට දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි බලය පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර එම සංගමයේ සභාපතිවරයා හා පාරිභෝගික අධිකාරියේ සභාපති සමග සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා ෴

***************************************

අලි සබ්‍රිට තවත් ඇමති ධුරයක්

(05.05.2022 – 06:40 +0530 – hirunews.lk/sinhala)

වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධුර 2 ක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව නව අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක (2) ඔහුට පිරිනැමුණු බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනු යි මෙම පත්වීම් දෙක සිදු කර ඇත්තේ ෴

***************************************

ඔසුසල් හිමියනුත් මිල සූත්‍රයක් ඉල්ලයි

(05.05.2022 – 07:49 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී යි.

මේ අතර, සියලු දෙනාට පිළිගත හැකි ඖෂධ මිල සූත්‍රයක් හඳුන්වා දී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කළා.

ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ නංවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය 29 වන සිකුරාදා අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණා ෴

***************************************

ඩොලරය විකුණුම් මිල රුපියල් 369 ක්

(05.05.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව අද (05) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 369.99 ක් ලෙස සටහන් වුණා. එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 356.83 ක් ලෙසයි ෴

***************************************

අයි.එම්.එෆ්. සාකච්ඡා ගැන පාර්ලිමේන්තුවේ විවාදය හෙටත් (06)

(05.05.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අලී සබ්රි පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිබඳ පැවැත්වෙන විවාදය හෙට (06) දිනයේදීත් පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ගත් තීන්දුවකට අනුවයි.

අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී ඊට අදාළ විවාදයක් පැවැත් වෙනවා.

එමෙන්ම, එළඹෙන සඳුදා (09) දිනයේදීත් යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය වී ඇති අතර එහිදී විශ්වාසභංග යෝජනාව ගැන ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතයි ෴

***************************************

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට යළි නොතීසි

(05.05.2022 – 16:40 +0530 – hirunews.lk/sinhala)

රට තුළ සිදු වූ අක්‍රමිකතාවලට එරෙහිව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව අධිකරණය විසින් යළි නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ අද (05) මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය 02 වනදා නඩුව කැඳවීමට නියමිතව තිබූ අතර එදිනට රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනුයි අද (05) දින මෝසමක් මගින් එය කැඳවනු ලැබුවේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේ මේ මස 23 වනදාට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.

එමෙන්ම, ඔහුගේ විදෙස් ගමන් තහනම ද එදින දක්වා දීර්ඝ කෙරුණා.

රට තුළ සිදු වූ අක්‍රමිකතාවලට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වගකිව යුතු බවත් ඔහු විදෙස් ගත වීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වාලන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොනුකර ඇත්තේ ෴

***************************************

රුපියලක් අඩු වී කොන්දොස්තරවරයෙකු මගියෙකුට පහරදෙයි

(05.05.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

නියමිත ගාස්තුවට වඩා රුපියලක් අඩුවෙන් මුදල් ලබාදීම හේතුවෙන් කෝප වූ බස් කොන්දොස්තරවරයෙකු 72 හැවිරිදි වකුගඩු රෝගියෙකුට පහරදුන් පුවතක් පොලොන්නරුවෙන් වාර්තා වනවා.

අදාළ පුද්ගලයා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පොළොන්නරුව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.

පහරදීම සිදුවන අයුරු බස් රථයේ සිටි තරුණයෙකු විසින් වීඩියෝගත කර තිබුණා.

***************************************

අධික වේගය තරුණයින් දෙදෙනකු (2) රෝහල්ගත කරයි

(05.05.2022 – 23:10 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේදී හෙට්ටිපොළ සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරට ලක් වුණා.

ඒ අද (05) පෙරවරුවේ දීයි.

අධික වේගයෙන් පැමිණ බස් රථයට වේගය පාලනය කරගත නොහැකිවයි ඉදිරියෙන් ආ යතුරු පැදියේ ගැටී ඇත්තේ.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර, බස් රථය යතුරුපැදියේ ගැටෙන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබුණා ෴

***************************************

මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙකු මරුට

(05.05.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පලාවිය – කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා ද සිය රථයේ සිට ඇති අතර, ඔහුගේ රියදුරු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *