පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

*********************************************

පෞද්ගලික බස් රථත් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

(05.05.2022 – 12:31 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ හිමියන් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

හෙට (06) දිනයේ රටපුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගයක් ලබා දීමට සහ දිවයිනපුරා පවතින ඩීසල් හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.

බොහෝ විට එළඹෙන 12 වෙනිදා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවද ගැමුණු විජේරත්න පවසනවා. ඔහු පවසන ආකාරයට ඊට හේතුව වන්නේ ඩීසල් නෞකාවක් මෙතෙක් මෙරටට නොපැමිණීමයි ෴

***************************************

හර්තාලය මැද දුම්රිය සහ පාසල් වෑන් රථ වර්ජනයට සැරසේ ?

(05.05.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති රැසක් හෙට (06) ආරම්භ කිරීමට නියමිත හර්තාලයට පෞද්ගලික බස් රථ සහ පාසැල් වෑන් රථ ඊට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, අවශ්‍යතා අනුව දුම්රිය සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ හර්තාලයට එක් නොවීමටයි තීරණය කර ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ වෘත්තීය සමිති රැසක් හෙට (06) වර්ජනයට සහභාගි නොවන බවට මේ වන විට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

එසේම, ඊයේ (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති වෘත්තිය සමිති නියෝජිතයින්ගේ හමුවෙන් පසු දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ හර්තාල් ව්‍යාපාරයට එක් නොවන බවයි.

එමෙන්ම, හෙට (06) දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වි හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් කියා සිටියේ.

මේ අතර, සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රීක් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර කියා සිටියේ පාසල් ළමුන් ප්‍රවාහන කිරිමේ සේවාවෙන් හෙට (06) ඉවත් වන බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ඊ.කේ. රුවන් ප්‍රසාද් ඊයේ (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ හර්තාල් ව්‍යාපාරයට එක් නොවන අතර කළු කොඩියක් සහිතව බස් රථ ප්‍රවාහන කටයුතු සිදු කරන බවයි.

මේ අතර හෙට (06) දිනයේ රජයේ සහ පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බව ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියා.

++++++++++++

තැපෑලත් හෙට (06) හර්තාලයට පක්ෂයි

(05.05.2022 – 19:00 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගත වී ඇති බරපතළ අර්බුදකාරි තත්ත්වය නිවැරදි කිරීම වෙනුවට දේශපාලන උප්පරවැට්ටිවලින් මහජනතාව රවටන පාලක පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි යෝජිත එක්දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට තම දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික හා විධායක නිලධාරින් සහාය පළ කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනවා.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක් දින සහ අනෙකුත් සේවා හෙට (06) සිට ක්‍රියාත්මක නොවන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

+++++++++++++

හෙට (06) හර්තාල්

(05.05.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න පවසනවා.

ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් සංගම් පවසන්නේ තමන් ඊට සහය පළ කරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බවයි.

එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

මේ අතර හෙට (06) ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය ඇතුළු මහජන සේවා ක්‍රියාත්මක නොවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ හෙට පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහය පළ කරන බවයි.

ගුරු – විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ද මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව අද පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අන්තවාදී ගුරු විදුහල්පති සංගම් රාජ්‍ය විරෝධී වර්ජනයකට යොමුව ඇති බවයි.

ඒ හේතුවෙන් තම සංගමයේ කිසිදු සහයෝගයක් ඊට ලබා නොදෙන බවයි ඇය සඳහන් කළේ.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ඊයේ (04) මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් විභාග පැවැත්වෙන බැවින් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.

එහෙත්, වර්ජනයට සහය පළ කරමින් කළු කොඩියක් සහිත පාසල් ප්‍රවාහන සේවා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ජල සම්පාදන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක ද අද පැවති මාධ්‍ය හමුවකදී වර්ජන ක්‍රියාමාර්ගයට තම වෘත්තීය සමිති ද සහභාගි වන බව ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ හා පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු වෘත්තීය සමිති හෙට පැවැත්වෙන හර්තාල් හා වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මේ අතර, හෙට පැවැත්වෙන වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සඳහන් කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සම්බන්ධීකරණ ලේකම් එස්.ඒ. ආනන්ද කියා සිටියේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොකර තම සංගමය හෙට රාජකාරිවල නිරත වන බවයි.

මේ අතර, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් ගාලුමුවදොර ආරම්භ කළ විරෝධතාව අද 27 වන දිනටත් ක්‍රියාත්මකයි.

එම විරෝධතාවයට සහාය පළ අද පස්වරුවේ මීගමුවේ ධීවරයින් පිරිසක් කරමින් කොටුව දුම්රියපොල ඉදිරිපිට සිට පාගමනින් ගාලුමුවදොර වෙත පැමිණියා.

මේ අතර, අධිකරණ නියෝග මත ඊයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ඉවත් වූ විරෝධතාකරුවන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙස සිට යළි සිය විරෝධතාව ආරම්භ කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

***************************************

කොළඹ – කොටුව උණුසුම් තත්ත්වයක්

(05.05.2022 – 22:26 +0530 – hirunews.lk/sinhala)

රාත්‍රී දුම්රිය අවලංගු වීමත් සමග කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හෙට (06) දින ඇරඹෙන හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වීමටයි මෙම තීරණය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබුවේ.

මෙම හදිසි තීරණයත් සමග මේ වනවිට කොටුව දුම්රිය ස්ථානය දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන ඇති බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් පොලීසිය මැදිහත් වී දුම්රිය මගීන් ලංගම බස් රථ මගින් පිටත් කිරීමට පියවර ගැනුණා ෴

***************************************

පුරවැසි අයිතීන් වෙනුවෙන් අදත් (05) අන්තරේ මහපාරට

(05.05.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව අද (05) දහවල් දොළහට (12) පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත යි.

‘ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු’ යන තේමාව යටතේ යි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.

හොරා කෑ මුදල් නැවත අයකර ගැනීම, සමාගම් විසින් නො ගෙවන ලද බදු නැවත අයකර ගැනීම, පසුගිය කාලය තුළ සිදු කළ අතුරුදන් කිරීම් සහ ඝාතන පිළිබඳ නැවත විමර්ශනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මෙම විරෝධතාවට ඇතුළත්.

විරෝධතාව මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් දක්වා ගමන් කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

***************************************

යකඩ බට බාධක අදත් (05) පාර්ලිමේන්තුව වට කරයි

(05.05.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමීම නිසා, බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ, යකඩ බටවලින් තැනූ බාධක යොදා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගැනීම හේතුවෙන් බව යි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මේ හේතුවෙන් දෛනික ව සිය ගමන් බිමන් යන ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වී ඇති බව යි.

මේ අතර, ඊයේ (04) දිනයේ ද මේ ආකාරයට පාර්ලිමේන්තු පිවිසුම අවහිර කරමින් යකඩ බට යොදා බාධක දමා තිබූ ආකාරය දැකගත හැකි වුණා ෴

***************************************

අද (05) සහ හෙට (06) පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයන් වසා දැමේ

(05.05.2022 – 10:25 +0530 – hirunews.lk/sinhala)

අද (05) සහ හෙට (06) පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයන් සහ එම මාර්ගයන් වෙත පිවිසෙන අතුරු මාර්ගයන් වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අවස්ථාවන්වල දී විටින් විට එම ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ගමන් කිරීමට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වන දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් මෙලෙස වසා තැබෙනවා.

කෙසේ වෙතත්, විකල්ප මාර්ග නොමැති නම් එම සීමාව තුල පදිංචි මහජනතාවට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු ගමන් කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙන්නේ.

මේ අතර, පාර්ලිමේන්තුව අවට පෙරදිනවලට සාපේක්ෂව වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළා.

කැරලි මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ම ජල බවුසර් ද එම ස්ථානයට කැඳවා තිබෙනවා ෴

***************************************

අන්තරේ විරෝධතාවයෙන් ගමනාගමනයට බාධා

(05.05.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

අන්තරේ විරෝධතා පා ගමනක් නිසා හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධි‍යේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමන මේ වනවිට රාජගිරිය මංසන්ධියට පැමිණි තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද පවතින බවටයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද (05) දහවල් ඔවුන් මෙම පාගමන ආරම්භ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.

පසුව හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩට පැමිණ නාවල හරහා රාජගිරිය දෙසට පැමිණියා.

මේ වනවිට සිසුන් රාජගිරිය ගුවන් පාලමෙහි සිතුවමක් නිර්මාණය කරමින් සිටිනවා.

+++++++++++

අන්තරේට කඳුලු ගෑස් ප්‍රහාරයක් – පාර්ලිමේන්තු මාවතත් රත් වෙයි

(05.05.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල පොල්දූව මංසන්ධියේදී පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ සිසුන් පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමත් සමගයි.

ඔවුන් අද (05) පස්වරුවේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර රාජගිරිය ගුවන් පාලමේ සිතුවමක් ද නිර්මාණය කිරීමෙන් පසුවයි එම ස්ථානයට පැමිණියේ.

ඒ හේතුවෙන් රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පැවතුණා.

ආණ්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු යන තේමාව යටතේ සටන් පාඨ සහිත පුවරු රැගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පාගමනේ නිරත වුණා.

මේ අතර, විරෝධතා හේතුවෙන් අද (05) සහ හෙට (06) පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සහ ඊට පිවිසෙන අතුරු මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් අද (05) ඉල්ලීමක් කළා.

විකල්ප මාර්ග නොමැති ප්‍රදේශවාසීන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු අදාළ මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවනවා.

එමෙන්ම, පාර්ලිමේන්තුව අවට පෙර දිනවලට සාපේක්ෂව මේ වනවිට වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (05) උදෑසන බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක් හට ගත් අතර, ඒ හේතුවෙන් මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වුණා.

මේ අතර, කොළඹ නගරයේ මාර්ග අවහිර වන පරිදි ඉදිකර ඇති ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර තිබුණේ සිවිල් පුරවැසියෙකු විසින්.

***************************************

පාර්ලිමේන්තුව අසල රැය පහන් කිරීමට අන්තරේ සැරසෙයි

(05.05.2022 – 22:40 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) රාත්‍රියේ දී පාර්ලිමේන්තුව අසල රැය පහන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මහජනයා වැල නො කැඩී ඔවුන් වෙත ආහාරපාන ආදිය සැපයීමට පැමිණෙමින් සිටින බවත් සඳහන්.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අදත් විරෝධතාවක නිරත වුණේ, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිට පා ගමනින් පාර්ලිමේන්තුව අසලට පැමිණෙමිනු යි.

පවතින වියවුල්කාරි දේශපාලන, ආර්ථික මෙන් ම සමාජ අඩපණ තත්ත්වයට වහාම විසඳුම් ලබාදිය යුතු බවත්, පාර්ලිමේන්තු නියෝජිතයින් 225 දෙනා තම තනතුරුවලින් ඉවත් ව ගෙදර යා යුතු බවටත් ඔවුන් අවධාරණය කරනවා.

එමෙන්ම ජනතාවගෙන් කොල්ල කෑ මහජන මුදල් යළි ජනතාව වෙත ම පැවරිය යුතු බවටයි අරගලකරුවන් සඳහන් කරන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *