යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

*********************************************

යළි පැය 5 ක විදුලි කප්පාදුවක් ගැන, විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි

(05.05.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම සහ ජල විදුලි අර්බුදය හමුවේ, දැනට සිදු කරන විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 5 ක් දක්වා ඉහළ දැමීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ සම්බන්ධයෙන් අප මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, පවතින තත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බවයි. එසේම දැනට ක්‍රියාත්මක පැය 3 යි මිනිත්තු 20 විදුලි කප්පාදු කාල සීමාව ඉහළ නොදමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයිද සභාපතිවරයා කියා සිටියා.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඊයේ (04) ළඟා වී ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ අනුව ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,40,000 දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් මෙරටට බලපෑ ඇති ඉන්ධන හිඟය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. ඊයේ (04) වනවිට ඉන්ධන නොමැතිව ඇතැම් ඉන්ධන අලෙවිසැල් වසා දමා ඇති අතර ඇතැම් ස්ථානවල දිගු පෝළිම් දක්නට ලැබුණා ෴

***************************************

විදුලි උත්පාදනයට ඩීසල් ලබාදීමට ඇමති කංචනගෙන් තීරණයක්

(05.05.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ විදුලි බලාගාරය බිඳ වැටීම හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු සඳහා ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ප්‍රමාණවත් ඔක්ටේන්-92 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තොග මේ වනවිට කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්ටේන්-95 සහ ඔටෝ ඩීසල් සීමා සහිතව බෙදා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම බොරතෙල් සහ ඔක්ටේන්-95 නැව්ගත කිරීම් සහ වරායට ගොඩබෑමට ද බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා ෴

***************************************

ඉදිරි දින කිහිපයේත් විදුලිය කැපෙයි

(05.05.2022 – 16:50 +0530 – hirunews.lk/sinhala)

හෙට (06) සිට එළඹෙන 08 වැනි දා තෙක් පැය 03 යි මිනිත්තු 20 ක් දක්වා විදුලිය කප්පාදුව සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන කලාපවලට විදුලිය කැපීම සිදු කෙරෙනු ඇති.

පෙරවරු 09 සිට පස්වරු 05 තෙක් පැය 02 ක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 තෙක් පැයයි මිනිත්තු 20 ක කාලයක් මෙම විදුලිය ඇනහිටීම සිදු කෙරෙනවා.

එමෙන්ම CC කලාපය සඳහා පෙරවරු 06 සිට පෙරවරු 09 අතර කාලය තුළ පැය 03 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති ෴

***************************************

අදත් (05) ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබෙන බවට බවුසර් රථ හිමියන් කියයි

(05.05.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනයේත් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන තොගවල හිඟතාවයක් පවතින බවට බවුසර් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (04) දිනයේදී මෙන්ම සිය බවුසර් රථ කොළොන්නාවේ තෙල් පර්යන්තය වෙත ළගා වුවත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකරන බවටයි ඔවුන් චෝදනා කළේ.

මේ අතර, තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල උණුසුම් තත්ත්වයන් ද මතුවුයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වයන් හේතුවෙන්.

මේ අතර, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පෙට්‍රල් තොග පිළිබඳ ගැටලුවක් නොමැති අතර විදුලි බලාගාර නඩත්තුව සඳහා ද ලබාදෙන බැවින් ඩීසල් තොග පිළිබඳ ගැටලුවක් පවතින බවයි ෴

***************************************

ඉන්ධන ලබාදීමේ දී යළිත් සීමා වැඩි වෙයි

(05.05.2022 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ලබාදීමේ දී යළිත් සීමා පැනවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව යතුරුපැදියකට රුපියල් 2000 ක ඉන්ධනත්, ත්‍රිරෝද රථයක් සඳහා රුපියල් 3000 ක ඉන්ධනත් ලබාදීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත්තේ.

එමෙන්ම, මෝටර් රථ සහ වෑන් රථ සඳහා රුපියල් 8000 ක ඉන්ධන සීමාවක් පනවා තිබෙනවා.

මීට අමතරව අද (05) සිට බූලිවලට ඉන්ධන ලබාදීමත් තහනම් කිරීමට ද පියවර ගත් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මේ අතර, අදත් (05) අවශ්‍ය ඉන්ධන තොගවල හිඟතාවයක් පවතින බවට බවුසර් රථ හිමියන්ගේ සංගමය චෝදනා කළා.

තම බවුසර් රථ කොළොන්නාවේ තෙල් පර්යන්තය වෙත ළගා වුවත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රමාණවත් පරිදි ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් සහ සුපර් ඩීසල් දිවයින පුරා බෙදා හැරීම සිදුකර ඇති බව බලශක්ති, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එහෙත්, ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සීමා සහිතව බෙදා හරින බවයි ඔහු වැඩිදුරටත් අද (05) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ.

මේ අතර, තවමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබා ගැනීම සඳහා ද ජනතාව පෝලිම්වල රැදී සිටිනවා.

***************************************

නියෝජ්‍ය කතානායක ගැන තීරණයක් අද (05)

(05.05.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීම අද (05) සිදු කිරීමට නියමිත යි.

හිටපු නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හමුවේ ඊයේ (04) දැනුම් දුන්නා.

ඒ අනුව අද (05) දිනයේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරන බවයි ඔහු කියා සිටියේ.

සමගි ජන බලවේගය විසින් නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කිරීමට නියමිත යි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද (05) දිනයේ දී රටේ පවතින ආර්ථික තත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර, පසුගිය කාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් දේශපාලනඥයින් පාලනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ෴

***************************************

නියෝජ්‍ය කථානායක ධුරය යළිත් රන්ජිත් සියඹලාපිටියට?

(05.05.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

අද (05) පාර්ලිමේන්තුවේ දී පත් කර ගැනීමට නියමිත නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් කිසිවකුගේ නම් යෝජනා නොවන බව වාර්තා වනවා.

ඒ අනුව මේ වනවිටත් නාම යෝජනා භාරදී ඇති රංජිත් සියඹලාපිටියගේ නම පමණක් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඉදිරිපත් කරනු ඇති.

මීට පෙර වාර්තා වූයේ රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් විපක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති රජිත් සියඹලාපිටිය වෙනුවෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ ස්ථානගතව ඇති බවට වාර්තා වීම හේතුවෙන් රජය පාර්ශ්වයෙන් යෝජනා කෙරුණු නම ඉවත් කර ගැනීමටයි තීරණය වී ඇත්තේ.

+++++++++++

නව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා රහස් ඡන්දයක්

(05.05.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැත්වෙන රහස් ඡන්දය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජනබලවේගය නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් යෝජනා වීමත් සමග රහස් ඡන්දයක් විමසීමටයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පියවර ගත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා විසින් නිදහස් පක්ෂය වෙනුවෙන්, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් තම පක්ෂයේ සහය රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ලබාදෙන බව ප්‍රකාශ කළා.

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ගේ නම නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා කිරීමත් සමගයි ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වන බව කතානායකවරයාට දැනුම් දුන්නේ.

මේ අතර, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අද (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ලෝකයේ ආදායමට සාපේක්ෂව ණය ගෙවන රටවල් අතර ශ්‍රී ලංකාව මුල් තැනට පැමිණ ඇති බවයි.

2020 වසරේ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛනවලට අනුව ආදායමට සාපේක්ෂව එහි ප්‍රතිශතය සියයට 71.4 ක්.

එමෙන්ම වී ගොවිතැන සඳහා ඉන්දියාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 65,000 ක් ආනයන කරන අතර ඉදිරියේදී අක්කරයකට පොහොර කිලෝ 25 ක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ.

+++++++++++

රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධුරයට

(05.05.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධුරයට යළිත් වරක් ඔහුම තේරී පත්වුණා.

ඒ, නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තුවේ අද (05) පැවති රහස් ඡන්ද විමසීමෙන් අනතුරුවයි.

මේ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණේ නිදහස් පක්ෂයෙන් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ නම සහ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්ගේ නම යෝජනා කිරීමත් සමඟයි.

රංජිත් සියඹලාපිටියට ආණ්ඩු පක්ෂයේ සහය හිමිවන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

අනතුරුව පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල කතානායකවරයා විසින් සභාවට දැනුම් දෙනු ලැබුවා.

එහිදී රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ඡන්ද 148 ක් හිමිවූ අතර ඉමිතියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයාට හිමිවූයේ ඡන්ද 65 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 83 කින් රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායක ධුරයට යළි තේරී පත් වුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ඡන්ද විමසීමේ ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කියා සිටියේ ඡන්ද 3 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

ජන්ද විමසීම සිදු කරන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, උද්දික ප්‍රේමරත්න, මයන්ත දිසානායක, ඉම්රාන් මහරුෆ්, ආර්.සම්බන්ධන්, විනෝ නෝහරාදලිංගම් සහ සී.වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

රට තුළ පවතින වත්මන් අර්බුදයට අද (05) දිනයේදීත් පාර්ලිමේන්තුව තුළින් සාධනීය විසඳුමක් නොලැබුණු අතර, නියෝජ්‍ය කතානායක ධුරය සහ විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

++++++++++

https://www.youtube.com/watch?v=Z7V0eypZPjA

***************************************

ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දෝෂයක්

(05.05.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala)

පරිගණක පද්ධතියේ යලි හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු ශාඛා කාර්යාලවල විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද දිනයේදී සිදු නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එක්දින සහ සාමාන්‍ය සේවා දෙකටම මෙය අදාළ වන බවයි.

එමෙන්ම අනෙකුත් සේවා කටයුතු ද අද දහවල් 12.30 දක්වා සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පෙරේදා රාත්‍රියේ හටගත් හදිසි පරිගණක දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුනොකරන බව ප්‍රකාශ කර තිබූ අතර පසුව එය ඊයේ උදෑසන යථා තත්ත්වයට පත් කෙරුණා ෴

++++++++++++

ආගමන විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණි පිරිසක් විරෝධතාවයේ

(05.05.2022 – 09:26 +0530 – hirunews.lk/sinhala)

අයදුම්පත් භාර ගැනීම අත්හිටුවීම හේතුවෙන් ආගමන හා විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණි පිරිසක් බත්තරමුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (05) උදෑසන විරෝධතාවක නිරත වුණා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ, මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව, බොරැල්ල – මාළඹේ, බොරැල්ල – කඩුවෙල ඇතුළු මාර්ගවල පැයක පමණ දැඩි රථ වාහන තදබදයක් පැවති බවයි.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට තලංගම පොලීසියේ ඉහළ නිලධාරියෙකු පැමිණ අද (05) දිනය තුළ දී සියලු දෙනාට ම විදෙස් ගමන් බලපත්‍ර ලබාදෙන බවට පොරොන්දු වීමත් සමග එම පිරිස මාර්ගයෙන් ඉවත්ව ගොස් තිබුණා.

මේ අතර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමීම හේතුවෙන් බත්තරමුල්ල – තලවතුගොඩ සහ බත්තරමුල්ල – මාළඹේ මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා ෴

++++++++++++

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු යළි අඩපණයි

(05.05.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එක්දින සහ සාමාන්‍ය සේවා ගුවන් ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද (05) දිනයේ සිදු නොකරන බව දැනුම් දීමත් සමඟ එහි පැමිණ සිටි පිරිස විරෝධතාවයේ නිරත වුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (05) පෙරවරුවේ දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්ත හේතුවෙන් එහි ප්‍රධාන කාර්යාලයේ ඇතුළු සියලුම ශාඛාවල අද (05) දිනයේ අයදුම්පත් භාර ගැනීම සිදුනොවන බවයි.

ඊට අමතරව, අනෙකුත් සේවා කටයුතු දහවල් 12:30 දක්වා සීමා වන අතර ඉන් අනතුරුව එම සේවාවන් සඳහා අවකාශ හිමිවන බවයි ඔවුන් දැනුම් දුන්නේ.

පසුගිය සඳුදා (02) පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් අගහරුවාදා (03) දින සිය සේවා කටයුතු සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් ඔවුන් පසුව කියා සිටියේ පරිගනක පද්ධතියේ නඩත්තු කටයුතු අවසන් බැවින් ඊයේ (04) යළි සේවා ආරම්භ කර බවයි.

අද (05) පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ සිටි පිරිස මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

එමෙන්ම, මෙම පිරිස ප්‍රධාන කාර්යාලය තුළද නොසන්සුන්කාරි ලෙස හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

***************************************

මිනීපෙට්ටිය කර්මාන්තයේ නියැලෙන්නන් අපහසුතාවයක

(05.05.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ පා ඇති බවට මිනී පෙට්ටි කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ මැල්සිරිපුර, මඩහපොළ, අලිපල්ලම සහ ඇල්ලගාවයාය ආදී ප්‍රදේශවල මිනී පෙට්ටි කර්මාන්තයේ මුල් නිෂ්පාදකයින් පිරිසකුයි මෙලෙස අපහසුතාවට පත්ව ඇත්තේ.

ප්‍රමාණවත් තරම් ඉල්ලුමක් ලැබී තිබුණ ද, සිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැව සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔවුන් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *