අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ

*********************************************

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ

(04.05.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අවහිර වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති රථ වාහන හා සියලු දේපල ඉවත් කර ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝග අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් සවි කළ අට්ටාලය ඉවත් කර ගැනිමට අද පස්වරුවේ කටයුතු කර තිබෙනවා.

එසේම, එම ස්ථානයේ තිබූ පොලිස් බස් රථ ද ඉවත් කර ගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන් එම ස්ථානයේ තවදුරටත් රැදි සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අධිකරණ නියෝගය පිළිගනිමින් විරෝධතාකරුවන් අට්ටාලය සහ පුවරු ඉවත් කර ගැනිමට කටයුතු කර තිබුණා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා සිදු කරන පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ලබා දි ඇති අධිකරණය නියෝගය කොල්ලුපිටිය පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ලබාදී එම ස්ථානයේ ඇලවිමට ද අද (04) පස්වරුවේ කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොල්ලුපිටිය පොලිසිය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් පසුගිය 02 වනදා මෙම නියෝගය ලබා දුන්නත් , එය ක්‍රියාත්මක නොකිරිම ගැන කරුණු දැක්විම සඳහා එහි ස්ථානාධිපතිවරයාට ලබන 09 වනදා අධිකරණය හමුවි කරුණු දක්වන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නොතීසී නිකුත් කළා.

ඉන් අනතුරුවයි කොල්ලුපිටිය පොලිසිය අධිකරණ නියෝගය විරෝධතාකරුවන්ට ඉදිරිපත් කර තිබුණේ.

මේ අතර, අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වන අරගලකරුවන්ට බාධාකාරි වන අයුරින් වාහන නැවැත්වීම මාර්ග බාධක යෙදීම මෙන්ම ශබ්ද නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද අද (04) ගොනුකර තිබුණා.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්ෂ, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී සවි කිරිම් ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කළ විරෝධතාවයකින් ඔවුන් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එසේම, හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව එම සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ ප්‍රකාශ කළා.

අනිද්දා (06) පැවැත්වෙන හර්තාලයට සහය දැක්වීමක් ලෙස එදිනට පෞද්ගලික අංශයේ රෝහල් වල චැනල් සේවයෙන් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.

***************************************

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා කළ 13 ක් අත්අඩංගුවට – නීතිඥවරුන් රැසක් මහරගම පොලීසියට

(04.05.2022 – 18:43 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල අද (04) පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 3 දෙනා ඇතුළු පුද්ගලයින් 13 දෙනා මේ වනවිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ඔවුන් අද (04) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් හමුවටයි ඉදිරිපත් කෙරුණේ.

ජන අරගලයේ සාමාජිකයින් බව කියන පිරිසක් අද (04) දහවල් පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල රැදී සිටියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත සංදේශයක් භාරදීම සඳහායි.

ඔවුන් එහිදී මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධාවන අයුරින් හැසිරෙන බව පවසමින් පොලීසිය ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පසුව කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් බස්රථයකින් මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුරදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මහරගම පොලීසියට නීතිඥවරුන් රැසක් ද පැමිණ සිටි අතර ජනඅරගලයේ සාමාජිකයින් පිරිසක් මහරගම පොලිස් ස්ථානය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, අත්අඩංගුවට පත් වූ පිරිස පිළිබඳව අද (04) පාර්ලිමේන්තුවේදී ද කතාබහට ලක්වුණා.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ද අද (04) පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වු අතර එහිදී පොලීසිය ඊට මැදිහත් වීමත් සමග පොල්දූව මංසන්ධිය අසල උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ අතර, හෙට (05) සහ අනිද්දා (06) දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා තලංගම පොලීසිය කළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කළා.

+++++++++++

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා කළ 13 දෙනාට ඇප

(04.05.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

අද (04) උදෑසන පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 119 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් 13 දෙනාටම ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා මීට ටික වේලාවකට පෙර නියෝග කළා.

අත්අඩංගුවට ගත් පිරිස මහරගම පොලිසියේ රඳවා තබා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධ පැමිණිලිල්ල විභාගයට ගැණුනේ මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදීයි.

මෙහිදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥයින් අති විශාල පිරිසක් කඩුවෙල අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයේ ඉඩකඩ සීමාවීම හේතුවෙන් ඔවුන් අධිකරණ භූමිය පුරා විසිර සිටින අයුරු දක්නට ලැබුණා.

මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහේස්ත්‍රාත් නිල මැදිරියේදී කියාසිටියේ විශ්වාසභංගය ගැන කතානායකවරයාට ලිපියක් භාරදීමට ගිය පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.

***************************************

ග්‍රාම නිලධාරීන් අද (04) ලෙඩ වෙයි

(04.05.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් අර්බුදය සහ ග්‍රාම නිලධාරීන්ට බලපා ඇති කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද (04) ලෙඩ නිවාඩු දමා වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඉකුත් දින කිහිපයේ ම විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් මෙසේ ලෙඩ නිවාඩු වාර්තා කළා.

ගුරු – විදුහල්පතිවරුන් ද එක් (01) දින ලෙඩ නිවාඩු වාර්තා කළේ, වත්මන් අර්බුදවලට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ෴

***************************************

වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ජනපති හමුවෙයි

(04.05.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අනිද්දා (06) සිදු කිරීමට අපේක්ෂිත වර්ජනයට කිසිදු සහයක් ලබා නොදෙන බව අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල වෘත්තිය සමිති රැසක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (03) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණු බවයි.

මෙම වර්ජනය, සේවක අයිතින් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාව මත සිදු කරන බවට වෘත්තිය සමිති නියෝජිතයින් පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

පවතින අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීමට මෙම වැඩවර්ජනයේ අපේක්ෂාව බවත්, ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයින්ගේ යුතුකම සහ වගකීම බවත් සාකච්ඡාවට එක්වූ වෘත්තිය සමිති නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

පසුගිය 28 වන දා පැවති වර්ජනය නොතකා රාජකාරි ඉටුකළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා පවතින තත්වය වටහාගෙන ජනජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ද අදාළ වෘත්තිය සමිතිවලින් ඉල්ලා තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය නොවන සේවා ලබාගැනීම සඳහා අද (04) දිනයේ දී නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දෙනවා.

පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

එසේම එක්දින සේවයේ ප්‍රමාදවීම්ද සිදු විය හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

***************************************

අධ්‍යාපන අමාත්‍යාංශය අසල උණුසුම් තත්ත්වයයක්

(04.05.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (04) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

අප වාර්තාකරු සඳහන් කළේ කැළණිය විශ්වවිද්‍යාලයේ ගැටලුවට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් අමාත්‍යාංශය තුලට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ එම තත්ත්වය ඇතිවූ බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් අමාත්‍යාංශය තුලට බලහත්කාරයෙන්ම ඇතුළු වී ඇති බවයි වාර්තා වුණේ ෴

***************************************

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක්

(04.05.2022 – 17:59 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ලබන 06 වනදා පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමිනුයි ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ ෴

***************************************

පවතින බැරෑරුම් තත්ත්වය රජයේ බොහෝ දෙනෙක් තේරුම්ගෙන නැහැ – අනුර ප්‍රියදර්ශන

(04.05.2022 – 22:27 +0530 – hirunews.lk/sinhala)

පවතින බැරෑරුම් තත්ත්වය මේ වනතෙක් රජයේ බොහෝ දෙනෙක් තේරුම්ගෙන ඇති බවට තමන් විශ්වාස නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් ඇතුළු පිරිස ස්වාධීන වීම පිළිබඳව මේ වනතෙක් කිසිදු විමසීමක් හෝ සිදු කර නොමැති බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ රජයේ ඇතැම් පිරිස් සිතා ගෙන සිටින්නේ මෙම තත්ත්වය දවස් දෙක තුනකින් පහව යනු ඇති බවටයි.

***************************************

උපරිම මිල ඉක්මවා සහල් අලෙවි කරන බවට චෝදනා

(04.05.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල මේ දින වල වෙළඳපොලේ සහල් අලෙවි වන මිලට වඩා වැඩි බවට තොරතුරු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සහල් නිෂ්පාදකයින් සඳහන් කළේ, පවතින වී මිල සැලකිල්ලට ගනිමින් වෙළඳ අමාත්‍යංශයට ඉදිරිපත් කළ යෝජනා අනුව මෙම උපරිම සිල්ලර මිල තීරණය කර ඇති බවයි.

පෙරේදා (02) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 220 ක්.

මීට අමතරව සුදු සහ රතු සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 230 කටයි.

එමෙන්ම කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා ද රුපියල් 260 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත් බොහෝ ප්‍රදේශවල මෙම මිලට වඩා අඩු මිලට සහල් අලෙවී වී තිබුණා.

උපරිම සිල්ලර මිල ගණන් තීරණය කිරීම සඳහා කුඩා මෝල් හිමියන්, මහා පරිමාණ මෝල් හිමියන්, වෙළෙදුන් සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති බව සහල් නිෂ්පාදකයින් ප්‍රකාශ කළා ෴

***************************************

පානදුරේ පාසල් සිසුන් දෙදෙනෙකු (2) තම විදුහල්පතිගේ නිල කාමරයට සහ පරිගනක විද්‍යාගාරයට ගිනි තබයි

(04.05.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

තම විදුහල්පතිවරයාගේ නිල කාමරයට සහ පරිගනක විද්‍යාගාරයට ගිනි තබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාසල් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලකයි ඊයේ (03) මෙම ගින්නක් හටගෙන ඇත්තේ.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න නිවාදමා ඇති අතර, පසුව අනාවරණ වූයේ පාසල් සිසුන් දෙදෙනෙකු (2) විසින් මෙම ගින්න සිදුකර ඇති බවටයි.

විදුහල්පතිවරයා පහර දුන්නේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වී මෙම සිසුන් දෙදෙනා (2) ගින්න අවුළුවා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් අවුරුදු 12 සහ 08 යන වයස්වල පසුවනවා.

මේ අතර හබරාදූව – හරුමල්ගොඩ, ඛෙත්තාරාම විහාරස්ථානය අසළ පිහිටි ළිඳකින් දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු එහි බැම්ම කැඩී ලිඳට වැටීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ ඊයේ (03) පස්වරුවේ මොහු තවත් මිතුරන් තුන් දෙනෙකු (3) සමග මෙම ලිඳෙන් දිය නෑමට ගොස් ඇති බවයි.

එහිදී ලිං බැම්ම කඩා වැටීම හේතුවෙන් සිසුන් සිවු දෙනාම (4) ලිඳට වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන්ගෙන් 3 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

සිද්ධියෙන් මියගියේ හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

***************************************

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා යලි සාමාන්‍ය පරිදි

(04.05.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ගමන් බලපත්‍ර ලබාදීමේ සේවා සාමාන්‍ය පරිදි අද (04) යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා ලබාගැනීම සඳහා අද (04) දිනයේදී එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය මේ වනවිට යථාතත්වයට පත් කර තිබෙනවා ෴

***************************************

ඩොලරය 370 ක් දක්වා ඉහළට

(04.05.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

රුපියලේ අගය අඛන්ඩව අවප්‍රමාණ වෙමින් පවතින පසුබිමක ඇතැම් බලපත්‍රලාභී වාණිජ බැංකු අද (04) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එහි ගැනුම් මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 360 ක් ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *