පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක්

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක්

*********************************************

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක්

(04.05.2022 – 06:53 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් ගසා ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ ඡායාරූප ගණනාවක් ම මේ වන විට සමාජ මාධ්‍යය තුළ සැරිසරන ආකාරය දැකගත හැකි යි.

අද (04) වැනි දා ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත අතර, ඔවුන් පා ගමනින් පැමිණ පාර්ලිමේන්තු ප්‍රදේශයට පිවිසෙතැයි යන බිය නිසා මෙවැනි ආරක්ෂාවක් යෙදෙවුවා ද යන්න සිතා බැලිය යුතු කරුණක්.

මීට සති දෙකකට (2) පමණ ඉහත දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණේ, පා ගමනින් කොළඹට පැමිණ ගාලුමුවදොර විරෝධතාවට සම්බ්න්ධ වීමේ අරමුණෙන්.

නමුත් ඊට ද මෙසේ යකඩ වැටවල් ගසා බාධක නිර්මාණය කර තිබූ ආකාරය දැකගන්නට ලැබුණා.

මීට අමතර ව බාධකවලට උල් කම්බි වැනි දේ සවි කොට, කළු ඉටි රෙදිවලින් ආවරණය කර, උගුල් ආකාරයට තැනූ බාධක සහිත ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යය තුළ හුවමාරු වුණා.

මේ ආදී වෑල්ඩින් යකඩ වැට බාධක නිසා මහජනතාවට ද සිදු වුණේ, තම එදිනෙදා ගමන් යාම සඳහා සුපුරුදු මාර්ග වෙනුවට විකල්ප මාර්ග තෝරාගැනීමට යි.

මෙසේ පුරවැසි විරෝධතාවක් ඇති වන සෑම විටක දී ම පොලිසිය හා හමුදාව යොදවා වෑල්ඩින් යකඩ වැට බාධක තැනීම, කවදා වන තුරු සිදු කළ හැකි දෙයක් ද යන්න සමාජ විශ්ලේෂකයන් නඟන පැනයක්.

***************************************

ගාලුමුවදොර විරෝධතාවය 26 වැනි දිනටත්

(04.05.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදයන්ට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගාලුමුවදොර – ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (04) 26 වන දිනටත් ක්‍රියාත්මක යි.

විරෝධතාවය පැවැත්වෙන දිනය සටහන් කිරීමේ පුවරුවක්ද එහි ප්‍රදර්ශනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් අද (04) පෙරවරුවේ අරගල භූමිය පිරිසිදු කිරීමේ කටයුත්තක නිරත වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට වේදිකාවක් ස්ථාපිත කිරීමටද කටයුතු කර තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ විරෝධතාවයට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ තරුණයන් ඇතුලු විවිධ පිරිස් එක්ව සිටියා.

ඊයේ (03) රාත්‍රියේ අරගල භූමියේ දී කේක් කපමින් විරෝධතාකරුවකුගේ උපන්දිනයක් සැමරුවා.

අරගල භූමිය තුල බාබකියු ක්‍රමයට ආහාර සකස් කරමින් විරෝධතාකරුවන්ට පිලිගැන්වීමටයි ඊයේ (03) රාත්‍රියේ කටයුතු යොදා තිබුණේ.

එමෙන්ම විරෝධතාවයට පැමිණි පිරිස්වලට ගීත ගායනා කිරීමට ද අවස්ථාව ලබා දී තිබුණා.

එමෙන්ම, අරලියගහ මන්දිරය ඉදිරිපිටට පවත්වන විරෝධතාවය අද (04) 8 වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර, ගාල්ල සහ කුරුණෑගල ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා අද (04) දිනයේදී ක්‍රියාත්මක වුණා.

කුරුණෑගල විරෝධතාවයේ දී අරගලකරුවන් විසින් පොලීසියට බෙලිමල් පානයකින් සංග්‍රහ කිරීමට පියවර ගත්තා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (03) දිනට යෙදී තිබුණු නිදහස් මාධ්‍ය දිනය වෙනුවෙන් මිය ගිය සහ අතුරුදන්වූ මාධ්‍යවේදීන් සිහිකිරීම ද ඊයේ (03) රාත්‍රියේ කුරුණෑගල විරෝධතාවයෙ දී සිදු කෙරුණු බවයි.

***************************************

පොල්දූව මන්සන්ධියේ සාමකාමී විරෝධතාවයක නිරත වූ පුරවැසියන් පස් දෙනෙකු (5) පොලිස් අත්අඩංගුවට

(04.05.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වන පොල්දූව මංසන්ධිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසක් සහ පොලීසිය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙම මංසන්ධියෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වෙන ප්‍රධාන පාර අද (04) උදෑසන යකඩ ගේට්ටු දමා අවහිර කර තිබූ අතර විරෝධතාකරුවන් පිරිසක් එම ස්ථානයේ සාමකාමී විරෝධතාවක නිරතව සිටියා.

අද (04) උදෑසන පාර්ලිමේන්තුවට පිවිසුණු බොහෝ මැති ඇමැතිවරුන් ඒ සඳහා භාවිත කළේ පාර්ලිමේන්තුවේ පසුපසින් ඇති මාදිවෙල ප්‍රවිෂ්ටයයි.

එම ස්ථානයේ ද දැඩි ආරක්ෂිත විධිවිධාන යොදා තිබුණු අතර ඒ අවට ද විරෝධතාකරුවන් සුළු පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු වූ මැති ඇමතිවරුන්ට සිය විරෝධය පළ කළා.

බත්තරමුල්ල දියත අසල පොල්දුව මංසන්ධියේ රැදී සිටි විරෝධතාකරුවන් එම ස්ථානය පසුකර ගෙන යන මැති ඇමතිවරුන්ට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව දැක් වූ අතර එම ස්ථානයට පැමිණි කැරලි මර්දන කණ්ඩායමක් එහි විරෝධතාවයේ නිරතව සිටි පිරිස සමග ගැටුමකට මුල පිරුවේ ඔවුන් එහි සිදු කරන්නේ නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙමින්.

මෙහිදී විරෝධතාකරුවන් කියා සිටියේ තමන් සාමකාමී විරෝධතාවක නිරතවීම හේතුවෙන් එහි කිසිදු නීති උල්ලංඝනයක් සිදුවී නොමැති බවයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පොලිස් බස් රථයක් ද රැගෙන විත් එතන විරෝධතාවයේ නිරත පිරිසක් අත්අඩංගුවට ගත් බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස දොලොස් දෙනෙකු (12) මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

***************************************

පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන් පැමිණ ඇත්තේ කතානායකට ලිපියක් දීමට බව වාර්තා වෙයි

(04.05.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

අද (04) පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවක යෙදුණු විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වුණා.

මොවුන් පැමිණ ඇත්තේ, ගෝඨාගෝගම නියෝජනය කරමින් කථානායකවරයාට ලිපියක් ලබා දීමට බව යි වාර්තා වන්නේ.

එම ලිපිය පහතින් :

***************************************

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

(04.05.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වන අරගලකරුවන්ට බාධාකාරි වන අයුරින් වාහන නැවැත්වීම මාර්ග බාධක යෙදීම මෙන්ම ශබ්ද නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එය ගොනුකර ඇත්තේ උද්ඝෝෂණයේ නිරත බේරුවල සහ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) විසින්.

සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවත් ඒ හේතුවෙන් රුපියල් ලක්ෂයක (1,00,000) වන්දියක් අය කර දෙන ලෙසත් එම පෙත්සමේ සඳහන්.

පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්ෂ, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා ෴

***************************************

අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් බේරාගන්නට අන්තරේ සිසුන් මහරගම පොලිසිය වටලයි

(04.05.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාවක නිරතවූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහරගම පොලිසිය අසල විරෝධතාවක් පැවැත්වෙනවා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසිනුයි එම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

මේ අතර අත්අඩංගුවට ගත් සිසුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇතැයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ගෝඨාගෝගම නියෝජනය කරමින් කතානායකවරයා වෙත ලිපියක් භාරදීමට මෙම තරුණයන් පිරිස පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමිනුයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවයේ නිරතවන්නේ.

***************************************

තලංගම පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(04.05.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

අද (05) සහ හෙට (06) පාර්ලිමේන්තුව අසල විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තලංගම පොලීසිය විසින් අද (05) අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

නමුත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දුව මංසන්දියෙන් වසා දමා තිබෙනවා ෴

***************************************

06 වනදා හර්තාලයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය

(04.05.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

මැයි 06 වනදාට පැවැත්වීමට සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සහභාගී වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

සංගමයේ විධායක කමිටුව යෝජිත ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එමගින් සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා අවම කරමින් සහය දක්වන බවයි ඔවුන් නිවේදනය කළේ.

ඒ අනුව රජයේ රෝහල්වල සාමාන්‍ය පරිදි කටයුතු කිරීම සහ සියලුම හදිසි ප්‍රතිකාරවලට සහභාගී වීමට විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කරනු ඇති.

අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමග දිවා ආහාර වේලාවේදී රෝහලේ විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වීම, පෞද්ගලික අංශයේ ඕනෑම හදිසි අවස්ථාවකට සහභාගී වන අතරතුර එදින චැනල් සේවයෙන් ද වැලකී සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් ප්‍රකාශ කළේ තම සාමාජිකයින් පෞද්ගලික අංශයේ දැනටවත් ඇතුළත් කර ඇති අභ්‍යන්තර රෝගීන් බැලීම එදිනට සිදුකරන බවයි.

පුද්ගලික අංශයේ වෛද්‍ය විශේෂඥයින් (IMSA) සහ විශ්ව විද්‍යාල වෛද්‍ය විශේෂඥයින් (FMTAs) සමග සහයෝගයෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති අතර ඔවුන්ගේ සහයෝගය සහ සහභාගීත්ව බලාපොරොත්තුවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියාසිටියේ.

මෙදිනට විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට පෞද්ගලික ආයතනවල වේලාවක් වෙන්කර නොගන්නා ලෙසට සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ආයාචනයක් ද කර තිබෙනවා.

***************************************

පොලිසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(04.05.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) සහ අනිද්දා (06) දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වෙන බව වාර්තා වන බැවින් ඒ තුලින් බාධා මතුවිය හැකි නිසා එම විරෝධතා අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර, ජනතාවට අවහිර වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති රථ වාහන හා සියලු දේපල ඉවත් කර ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කොල්ලුපිටිය පොලිසිය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් ජනතාවට බාධා නොවන සාමකාමි විරෝධතා සඳහා අදාළ නියෝගය බාධාවක් නොවන බවත්, අධිකරණය එහිදී දැනුම් දී තිබෙනවා.

එසේම, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *