පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’

*********************************************

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’

(04.05.2022 – 03:22 +0530 – lankacnews.com)

සමහර දුගඳ හැමීම හමුවේ නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොසලකා හෝ දෙකෝටි විසිලක්ෂයක මෙරට ජනතාවගේ ජීවිත අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජාතික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමෙහි පංච පුද්ගල කමිටුව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ජානිපෙ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙසේ සඳහන් කලේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවිර මහතා මෙසේද පැවැසීය :

“ඉතිහාසය විසින් නිර්මාණය කරදුන් විශාලතම ආර්ථික අර්බුදය හමුවේ රට පවතිනවා. ඉන් ගොඩඒමේ එකම මාවත පාර්ලිමේන්තුව තුළ සිටින සියලු පක්ෂ, ජාතික එකඟතාවකට පැමිණ, අවම පොදු න්‍යාය පත්‍රයක් රට තුළ ක්‍රියාත්මක කිරීමයි. අප දැනටමත් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ලෙස ජාතික එකඟතා ආණ්ඩු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා මේ වන විට ජනාධිපතිතුමන්ගේ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රී කණ්ඩායම සතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද එකඟතාව පළ වී තිබෙනවා. අද (04) දිනයේ දී සමගි ජන බලවේගය සමග ද ඉදිරි දින කිහිපය තුළ අනිකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව මෙම ජාතික එකඟතා ආණ්ඩු වැඩපිළිවෙළ සඳහා වියතුන්, වෘත්තිකයන් හා සමාජ ක්‍රියාකාරිකයන්ගේ ද දායකත්වය ලබාගැනීම පිණිස වෙනම සාකච්ඡා වටයක් පැවැත්වෙමින් තිබෙනවා.

මහා සංඝරත්නය ඇතුළු සියලුදෙනාගේ අපේක්ෂාව

පිහිටවනු ලබන ජාතික එකඟතා ආණ්ඩුව තෙල්, ගෑස්, විදුලිය, ඖෂධ, පොහොර, කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය ආදිය හිඟයකින් තොරව සැපයීමටත් පොදුජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගනු ලබනවා. රට ස්ථාවරත්වය කරා රැගෙන යාමට අදාළ පියවර ගනිමින් ස්ථාවර රටක් තුළ මහමැතිවරණයක් සඳහා ඉඩකඩ සලසා දීමට එම ජාතික එකඟතා ආණ්ඩුව පියවර ගනීවි. ජාතික එකඟතා ආණ්ඩු වැඩපිළිවෙළ බිඳදමන්න කකුලෙන් අදින පිරිසක් ද සිටිනවා. නමුත් ත්‍රෛනිකායික මහනාහිමිවහන්සේලාගේ අනුශාසනාව වන්නේ ද කාදිනල්තුමන්ගේ මග පෙන්වීම වන්නේ ද ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය වන්නේ ද අන්තර්කාලීන ආණ්ඩුවක් හෙවත් සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමයි. එසේම ව්‍යාපාරික ප්‍රජාව ද සාතිශය බහුතර රාජ්‍ය නිලධාරීතන්ත්‍රය ද ඉල්ලා සිටින්නේ මෙවැනි ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි.

‘රට ස්ථාවර කොට ඔබේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීමට ඇති එකම හා අවසාන විසඳුම වන මෙම ජාතික එකඟතා වැඩපිළිවෙළින් පැන යාමට ඔබගේ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයාට ඉඩ දෙන්න එපා!’ කියා අප මෙරට සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජයන්ත සමරවීර මහතා :

ප්‍රශ්නය :- ඊයේ (03) ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පංච (5) පුද්ගල කමිටුව පැවැත්වූ සාකච්ඡාව ‘විමල් – බැසිල්’ හමුවක් ලෙස ඇතැමුන් පෙන්වා දෙනවා…

පිළිතුර :- ඔබට මතක ඇති ආණ්ඩුව නියෝජනය කළ, පසුව ස්වාධීන වූ පක්ෂ 11 ක මන්ත්‍රී කණ්ඩායම හා අනෙකුත් ස්වාධීන වූ මන්ත්‍රී පිරිස එකම කණ්ඩායමක් ලෙස මෙම ජාතික එකඟතා වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමන් සමග පසුගිය 29 වැනිදා පැවැත්වූ සාකච්ඡාවේදී එතුමා එම වැඩපිළිවෙළට ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළා. ඉන්පසුව ජනාධිපතිතුමන් ඉල්ලා සිටියා ජාතික එකඟතා වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනිකුත් පක්ෂවල එකඟතාව ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට අප මන්ත්‍රී කණ්ඩායමෙන් පංච (5) පුද්ගල කමිටුවක් පත් කරන්න කියා. ඒ අනුවයි සෙසු පක්ෂ සමග සාකච්ඡා කිරීමට නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරුන්ගේ කමිටුව සකස් වුණේ. ඊයෙ (02) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එම කමිටුව සාකච්ඡා කළා. එහිදී එම පක්ෂයෙන් එහි සභාපති ජී.එල්. පීරිස්, ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි කරවීමට එම පක්ෂය කටයුතු කර තිබුණා. කෙසේ නමුත් එම පක්ෂය ජාතික එකඟතා වැඩපිළිවෙළට එකඟතාව පළකර සිටියා. අපට මෙහිදී සමහර දුගඳ හැමීම් මැද නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොතකා හෝ රට වෙනුවෙන් සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෙලාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කළා නම්, අදාළ සාකච්ඡාවට ඒ පක්ෂය වේළුපිල්ලේ පිරබාහරන් එවනු ලැබුවත් මේ රටේ වේදනාවට පත්ව සිටින දෙකෝටි විසිලක්ෂයක ජනතාව වෙනුවෙන් එම සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමට අප කිසිවකුටත් බැහැ. අපේ පරම වගකීම මේ මොහොතේ අපේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් එය ගලවා ගැනීමයි.

ප්‍රශ්නය :- මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ද?

පිළිතුර :- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවති සාකච්ඡාවේදී මෙම ජාතික එකඟතා ආණ්ඩුව පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළට ප්‍රතිපත්තිමය එකඟතාව පළ කරනු ලැබුවේ එම වැඩපිළිවෙළ හා බැඳුණු මූලික ලියවිල්ලෙහි අඩංගු කරුණු 11 ට ද එකඟ වෙමින්. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු වත්මන් කැබිනට් මණ්ඩලය ඉවත්ව නව පාලනතන්ත්‍රයකට ඉඩදීමට ඔවුන් එකඟයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ඉල්ලා අස්වීම සිදුවේවි.

ප්‍රශ්නය :- සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අන්තර්කාලීන ආණ්ඩුවට එක්වීම තරයේ ප්‍රතික්ෂේප කරනවා නේද?

පිළිතුර :- ඔව්! නමුත් සමගි ජන බලවේගය සමග සාකච්ඡාවේදී අප විපක්ෂ නායකවරයාට ඒත්තුගැන්වීමට බලාපොරොත්තු වෙනවා, ‘මෙම එකම හා අවසාන ප්‍රතිකර්මයට ඔබ එකඟ නොවුණහොත් ඔබත් ඔබට ඡන්දය දුන් ජනතාවත් වැනසෙනවා’ කියා. ‘මේ මොහොතේ එවැනි ස්ථාවරයක සිටින සජිත් ප්‍රේමදාස මහත්තයාට උවමනා රටක්, රාජ්‍යයක් නැති හිස් භූමියක, බාහිර බලවතුන්ට යටත් වුණු රටක නායකයා වීමට ද?’ කියන ප්‍රශ්නය අපට තිබෙනවා.

ප්‍රශ්නය :- ජවිපෙ මේ මොහොතේ ‘වංචා, දූෂණ සහිත ෆයිල්’ එළියට දමමින් සිටිනවා…

පිළිතුර :- ඔවුන් මේ ෆයිල් මිටි ගණන් 2015 ජනාධිපතිවරණයට පෙර රට හමුවේ තැබුවා. යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාවට පත් වුණු අනුර දිසානායක මහත්තයා, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවා ගෙන, අලුතෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හදාගෙන අවුරුදු 5 ක් තිස්සේ හොරු අල්ලන්න හැදුවානෙ. නමුත් අල්ලපු හොරෙක් නැහැනේ. අපි ඔහුට ඇරයුම් කරනවා, ‘ඒ චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න. ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම බාරගන්න’ කියා. මොකද, දේශපාලනතන්ත්‍රය හා රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණයට අදාළ යෝජනා ද සහිතවයි අපේ මේ ජාතික එකඟතා වැඩපිළිවෙළ සකස්ව ඇත්තේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++

***************************************

පක්ෂ නායක රැස්වීමක් පෙරවරුවේ – අගමැතිගෙන් අද (04) විශේෂ ප්‍රකාශයක්

(04.05.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සහ කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (04) පැවැත්වෙනවා.

එම රැස්වීම පැවැත්වෙන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09:15 ට.

පාර්ලිමේන්තුවේ මේ සතියේ කටයුතු සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කරනු ඇති.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද (04) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තාවනවා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ, අලුතින් බිහිවන ජාතික එකඟතා ආණ්ඩුව නව අගමැතිවරයෙකු පත් කරගන්නා බවයි.

අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් වන්නේ ද යන්න පිළිබඳ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

මේ අතර, දැනට අර්බුදයට ලක් වී ඇති නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා ෴

***************************************

නීතිඥ සංගමය විද්වත් උපදේශක සභාවක් ඉල්ලයි

(04.05.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් සහ ඊට උපදෙස් දෙන විද්වතුන්ගෙන් යුත් උපදේශන සභාවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මේ බව ප්‍රකාශ කළේ, පවතින තත්වයට විසඳුම් ලබා ගැනීම සඳහා වන යෝජනාවලියක් ඊයේ (03) මහනුවර මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෴

***************************************

පක්ෂ නායක රැස්වීම ඇරඹේ (සජීවී විකාශය)

(04.05.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ වී තිබෙනවා.

පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධුරය සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නිමල් සිරිපාල ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, එම්.ඒ.සුමන්දිරන්, රංජිත් මද්දුමබණ්ඩාර, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටින බව හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම, පසුගිය දා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් ද මේ වනවිට පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙනවා.

++++++++++

මුදල් ඇමතිගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

(04.05.2022 – 10:20 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින 225 හෝ මේ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඔහු පවසන්නේ, මේ වන විට පාර්ලිමේන්තුව තුළ සහ සමස්ත සමාජය තුළ දැඩි කතාබහකට සහ විවේචනයකට ලක් වී ඇත්තේ මේ වන විට රට තුළ උද්ගතව ඇති ගෑස් හිඟය, ඖෂධ හිඟය, ඉන්ධන හිඟය ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් බවයි.

මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළ දී සහමුලින්ම රටට නැති ව යනු ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියා.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සමස්ත ආර්ථික අර්බූදය එතරම් බරපතළ සහ ගැඹුරු එකක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මුදල් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මීට ටික වේලාවකට පෙර ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු සභා වාරය තුළ දී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රටේ බදු අදායම මේ වන විට 24% සිට 8.6 දක්වා අඩු වී ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසනවා.

https://www.youtube.com/watch?v=Ngn5jLWEtrU

***************************************

නියෝජ්‍ය කථානායකගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා භාරගනියි

(04.05.2022 – 11:37 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය සිය ධූරයෙන් ඉවත් වීමේ ලිපිය පිළිගන්නා බව ජනාධිපතිවරයා අද (04) කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම හෙට (05) පැවැත්වෙන බවයි කතානායකවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

අද (04) පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවති අතර එහිදී නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වුණා.

එමෙන්ම, සමගි ජන බලවේගය ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇති අතර කතානායකවරයා සඳහන් කර ඇත්තේ එම යෝජනාවල දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් ලැබීමෙන් පසු අදාළ යෝජනා විවාදයට ගැනීමට දින ලබා දිය හැකි බවයි.

මේ අතර සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවලට සහයෝගය දැක්වීම සඳහා කොන්දේසි 2 ක් ඉදිරිපත් කිරීමට ‘ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම’ තීරණය කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (04) පාර්ලිමේන්තුවේ දී එම මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේදී යි.

විශ්වාසභංගය ජයග්‍රහණ කළහොත් ආණ්ඩුව භාරගෙන කටයුතු කිරීම සහ අන්තර්වාර පාලනයකට සමගි ජන බලවේගය කැමැත්ත පළ කළ යුතුය යන්න එම කොන්දේසි වනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද (04) දහවල් පැවැත්වීමට නියමිත යි ෴

***************************************

‘අපි ඕවා කලින් කිවුවා’ – හර්ෂ ද සිල්වා

(04.05.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala)

අද (04) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණේ, මෙරට විශාල අර්බුදයක පවතින අවස්ථාවක, ඒ පිළිබඳ සුවිශේෂ කාර්‍යයන් කිහිපයක් ම න්‍යායපත්‍රගත වී ඇති මොහොතක දී.

සැසිවාරය ආරම්භ කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේ, මුදල් අමාත්‍ය අලි සබ්‍රි විසින්.

මේ අතර, ආචාර්‍ය හර්ෂ ද සිල්වා තම වාරය පැමිණි විට අදහස් දැක්වීම ආරම්භ කළා.

එහි දී සැසිවාරය අරම්භ කරමින් විවාදය පැවැත්වූ මුදල් අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධ ව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විවේචනාත්මක ප්‍රකාශ‍යක් සිදු කළා.

අලි සබ්‍රි අමාත්‍යවරයා පැවසුවේ, ජාත්‍යන්තර මූලය අරමුදලට මීට පෙර ම යාමට තිබූ බවත් එය ඓතිහාසික වැරැද්දක් වන බවත් ය.

බදු කපා හැරීම ද බරපතළ වැරැද්දක් බව යි අලි සබ්‍රි අමාත්‍යවරයා සඳහන් කළේ.

රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධ ව සිදු වූ නිසි කළමනාකාරිත්වයෙන් තොර වීම පිළිබඳ ද අමාත්‍යවරයා අදහස් දැක් වූ අතර, මේ පිළිබඳ යි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තම විවේචනය ඉදිරිපත් කළේ.

2020 දී අයවැය විවාදය අතරතුර දී විපක්ෂයේ පිළිතුරු කතාව සිදු කරද්දී ඉහත අලි සබ්‍රි අමාත්‍යවරයා පැවසූ දේ ම තමා පැවසූ බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

නමුත් එවකට මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඊට කිසිදු ආකාරයක සවන් දීමක් සිදු නො කළ බව යි ඔහු අවධාරණය කරන්නේ.

කෙසේ වෙතත් සිදු වූ අත් වැරැදීම් නිහතමානී ව පිළිගැනීම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අලි සබ්‍රි අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කළා ෴

***************************************

මම අයින් වෙන්නේ නෑ – අගමැති මහින්ද

(04.05.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

තමන් අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී නිමාව දුටු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ‍රැස්වීමෙන් අනතුරු ව ජනමාධ්‍යවේදින් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්.

මීට පෙර වාර්තා පළ වුයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය තනතුර අත් හැරීමට තමන්ගේ ඇති සූදානම පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දීමට සූදනම් වන බව යි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය හරහා ද අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත ව තිබුණේ, පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන කණ්ඩායමකට ඉඩ දී සිය තනතුර අත් හැරීමට සූදානම් බව යි.

එසේ නොමැති ව අග්‍රාමාත්‍ය ධුරය අත් හැර පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක වශයෙනුත් රටත් අරාජික කිරීමට තමන් සූදානම් නොමැති බවත් ඔහු ප්‍රකාශ කිරීමට නියමිත ව තිබූ බව වාර්තා වුණා.

කෙසේ වෙතත් ඊයේ (03) හවස විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි ව භාර දුන් විශ්වාසභංග යෝජනා හේතුවෙන් මෙම විශේෂ ප්‍රකාශයේ සැලැසුම වෙනස් වූ බව පසු ව වාර්තා වුණා.

ඒ අනුව යි අද (04) පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතෙක් පැවති සිය ස්ථාවරය වෙනස් කරමින් අග්‍රාමාත්‍ය ධුරය අත් හැරීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *