කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී

කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී

*********************************************

කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී

(03.05.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

= කොටුව ජනාධිපති මන්දිරයට මහා සංඝරත්නයෙන් පුදුම කිරීමක් =

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට මීට ටික වෙලාවකට පෙර විරෝධතාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළු අරගල භූමියේ සිටින කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා.

මේ පිරිස කොළඹ කොටුව ඕලන්ද රෝහල ඉදිරිපසින් ගොස් මහබැංකුව ඉදිරිපස ඇති ගේට්ටු විවෘත ක‍රගෙන, කොටුව ජනාධිපති මන්දිරස දෙසට ඇතුළු වූ බව යි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

අනපේක්ෂිත ලෙස සිදු කෙරුණු මෙම ඇතුළු වීම පාලනය කර ගැනීමට ඒ අවස්ථාවේ කොටුව අරගල භූමිය අවට සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරින්ට හැකියාවක් නොලැබුණු අතර, මේ වන විට පොලිස් කැරලි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ සිද්ධිය වූ ස්ථානයට රැගෙනවිත් තිබෙනවා.

එහි සිටින අප වාර්ථාකරු සඳහන් කරන්නේ, මෙම හදිසි කඩාපැනීම හේතුවෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට දැඩි උණුසුම් තත්ත්වයක් මතු වී ඇති බව යි.

+++++++++++

රජ ගෙදරට ආ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ශ්‍රමණවේශධාරීන්

(03.05.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala)

= රජ ගෙදරට ආ මහා සංඝරත්නය =

ගාලුමුවදොර අරගලයට සහභාගී වූ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ අතර, ගාලු මුවදොර අරගල භූමියේ දී අද රාමසාන් උත්සවය සැමරීමට කටයුතු කෙරුණේ සර්ව ආගමික පූජකයින්ගේ සහභාගිත්වයෙන්.

ගාලු මුවදොර ජනතා විරෝධතාවයේ 25 වැනි දිනය වන අදත් විවිධ පාර්ශ්ව අරගල භූමියට එක්වන අයුරු මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර ආණ්ඩුව පන්නමු – ජන බලය ගොඩනගමු යන්න තේමා කරගමින් අන්තර් විශ්විවද්‍යාලීය භික්ෂු මණ්ඩලය විහාරමහා දේවි උද්‍යානය අසලින් ඇරඹි විරෝධතා පා ගමන ගාලු මුවදොර අරගල භූමිය දක්වා පැමිණීමට සැලසුම් කර තිබුණා.

විරෝධතාකරුවන් පිරිස ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී ආරක්ෂක අංශ විරෝධතාකරුවන් යළි හරවා යැවීමට කටයුතු කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

***************************************

ගාලු මුවදොර පුරවැසි අරගලයට දින 25යි

(03.05.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය අද (03) අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේත් (02) විශාල පිරිසක් එහි රැස්ව සිටියා.

සර්ව ආගමික නායකයින්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ද ඒ සඳහා එක්ව සිටින බව සදහන් ෴

***************************************

තායිලන්තයෙන් එන ගෑස්

(03.05.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

මේ මස අවසානයේ සිට තායිලන්තයේ සියම් සමාගමෙන් මෙරටට අවශ්‍ය එල්.පී. ගෑස් ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 70 ක් එම සමාගමෙන් ආනයනය කරනු ඇති.

මීට පෙර ඕමාන සමාගමකින් මෙරටට ගෑස් ආනයනය කළ අතර ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම මාර්තු මස 31 වන දායින් අවසන් වුණා.

නව සමාගම සමග ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව වසරක (1) කාලයක් සදහා ඔවුන් විසින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් සැපයීම සිදුකළ යුතුයි.

මේ අතර, ඉන්දියානු අපනයන – ආනයන බැංකු සහය මත ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 200 ක කෙටි කාලීන ණය පහසුකම යටතේ ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීම සදහා ප්‍රසම්පාදනයන් 4 ක මිල ගණන් කැදවා තිබෙනවා.

විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත එම ප්‍රසම්පාදනයන් ‘ඉන්දියන් ඔයිල් සමාගම’ වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

කෙසේ වෙතත් තවදුරටත් දිවයින පුරා ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවා.

මේ අතර, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමුවන (1) අදියරේ ජනන යන්ත්‍රයක් අද (03) හදිසියේ අක්‍රිය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන මෙගාවොට් ප්‍රමාණය 270 ක්.

කෙසේ වෙතත්, අද (03) දිනයේදී රාමසාන් උත්සවය නිමිත්තෙන් විදුලි කප්පාදුවක් සිදුනොවන අතර හෙට (04) සිට පැය 3 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම නිසා විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බවත් අක්‍රිය වූ ජනන යන්ත්‍රය දින 5 ක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

***************************************

ලිට්‍රෝ හිටපු සභාපතිගෙන් විශේෂ හෙළිදරවුවක්

(03.05.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අඩු මිලට ගෑස් ආනයන ක්‍රියාවලිය පිළිබඳ ලිට්ට්‍රෝ හිටපු සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලිට්රො සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විට තායිලන්තයෙන් අඩු මිලට ගෑස් ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත්තේ තමා 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කළ වැඩ වැඩපිළිවෙළ හරහා බවයි.

එහි දී මෙරට ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව පිළිබඳ කරුණු හෙළිදරව් කර විවෘත ටෙන්ඩර් කැඳවීම් මගින් සිදු කළ ගිවිසුම්ගත වීම හරහා මෙම වාසිය රටට සැලසී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

තමාගේ හෙළිදරව් කිරීම්වලට එරෙහිව සිදු කෙරුණු සංවිධානාත්මක අවලාද ප්‍රචාරයන් සහ ක්‍රියාකාරකම් නොවන්නට මෙම ගිවිසුම් මීටත් වඩා අඩුමිලකට අස්සන් කර රටට වැඩි වාසි අත් කර ගැනීමට හැකියාව තිබූ බවයි ඔහු සඳහන් කරන්නේ.

ලිට්රෝ හිටපු සභාපති තෙෂාර ජයසිංහ නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහළින් :

ලිට්‍රෝ හිටපු සභාපති තෙෂාර ජයසිංහගේ මාධ්‍ය නිවේදනය

මා විසින් මෙම වසරේ (2022) ජනවාරි මාසයේ දී ඉදිරි මාස 12 ක කාලයක් සඳහා ගෑස් මිලදී ගැනීම උදෙසා සියලු තානාපති කාර්යයාල ද දැනුවත් කරමින් ඉතා පාරදෘශ්‍ය හා විනිවිදභාවකින් යුතුව අරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලිය මගින්, මෙතෙක් එක් කණ්ඩායමක් අත පැවති එකාධිකාරී මාෆියාව බිඳ දැමීමට හැකිවීම පිලිබඳව මා නිහතමානිව සතුටු වෙමි !

ලෝක වෙළඳපොළ ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු අදට සාපේකෂව ඉතා අඩු මිලක වූ 2020 ට සාපේක්ෂව ගෑස් මෙට්‍රික් ටොන් එකක් (1) වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 10 ක් අඩුවෙන් ඉන්ධන, ගෑස් සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉතා අධික මෙවන් සමයක ලංසු ලැබීම මගින් කෙතරම් මුදලක් 2020 පෙබරිවාරි මස දී අත්සන් කරන ලද ගිවිසුමෙන් රටට අහිමි කර ඇත්දැයි ඔබ සැම වටහාගනු ඇත!

ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස මා විසින් ගෑස් මාෆියාව පිළිබඳව සිදු කරන ලද හෙළිදරව්වට පසුව මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය හා මා ඉලක්ක කරගනිමින්, ඉතා බලවත්, ධනවත් සංවිධානාත්මක හා සාපරාධි මනසක් සහිත පිරිසක් විසින් සිදුකිරීමට යෙදුනු අවාසනාවන්ත ක්‍රියාදාමයන් නොවන්නට, මීටත් වඩා අඩුමිලට ලංසු ලබාගැනීමට තවත් සමාගම් ඉදිරිපත්වීමට අවස්ථාව තිබු බව මාගේ විශ්වාසයයි !

තෙෂාර ජයසිංහ – හිටපු සභාපති ලිට්‍රෝ ගෑස් සමාගම

***************************************

ගෑස් හිඟය තවමත්

(03.05.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පවතින ගෑස් හිඟය තවමත් විසඳී නොමැති බැවින් ජනතාව ගෑස් ලබා ගැනිම සඳහා දිගු පෝලිම්වල රැදී සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ මේ මස අවසානයේ සිට තායිලන්තයේ සියම් සමාගමෙන් මෙරටට අවශ්‍ය එල්.පී. ගෑස් ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 70 ක් එම සමාගමෙන් ආනයනය කරනු ඇති.

මීට පෙර ඕමාන සමාගමකින් මෙරටට ගෑස් ආනයනය කළ අතර එම ගිවිසුම මාර්තු මස 31 වනදායින් අවසන් වුණා.

නව සමාගම සමග ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව වසරක කාලයක් සදහා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ඔවුන් සැපයිය යුතුයි.

මේ අතර විනිවිදභාවයකින් යුතුව ආරම්භ කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් ගෑස් සඳහා පැවති ඒකාධිකාරි මාෆියාව බිඳ දැමීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ලිට්රෝ සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

මේ අතර ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ සමෘද්ධි දීමනා ලබන්නන් වෙනුවෙන් ජූලි මාසය දක්වා මාස 3 ක කාලයක් අමතර දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පවුල් ඒකක ලක්ෂ 33 ක් වෙනුවෙන් එය හිමිවනු ඇති.

මේ අතර, ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා චීනයෙන් තවත් යුආන් මිලියන 300 ක ප්‍රදානයක් හිමිවන බව අද වාර්තාවුණා.

***************************************

චීනයෙන් තවත් යුආන් මිලියන 300 ක ප්‍රදානයක්

(03.05.2022 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ, ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවට තවත් යුආන් මිලියන 300 ක ප්‍රදානයක් ලබාදෙන බව චීනය ප්‍රකාශ කළා.

මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ අනුව පවතින තත්වය කළමනාකරණය කරගැනීම සදහා චීනය ලබාදුන් මුළු ආධාරවල වටිනාකම යුආන් මිලියන 500 ක් පමණ වන බවයි.

එය, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක් පමණ වනවා ෴

***************************************

ශ්‍රී ලංකාවේ ජනතාවට තමිල්නාඩු රජයෙන් ආධාර

(03.05.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්ධන, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති අතර රාජ්‍යයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා.

මෙම සන්දර්භය තුළ, ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා තමිල්නාඩුවෙන් ආහාර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ජීවිතාරක්ෂක ඖෂධ යැවීමට සූදානම් බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් අමාත්‍ය සභාවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මධ්‍යම රජයේ අනුමැතිය ඇතිව සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ පළමු (1) අදියරේදී තමිල්නාඩුවෙන් එවීමට නියමිතයි.

මෙම දුෂ්කර තත්ත්වය තුළ ශ්‍රී ලංකාවාසී ජනතාවට උපකාර කිරීම සඳහා මුල්‍ය ආධාර ලබාදෙන ලෙසත් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

“ආර්ථික අර්බුදය නිසා මහත් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට අපට කළ හැකි උපකාර කිරීමට සද්භාවයෙන් සිටින සියලු දෙනාට කාලය පැමිණ තිබේ. එබැවින් මානුෂීය පදනමක් මත ශ්‍රී ලංකාවාසී ජනතාවට අවශ්‍ය සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද ඔබ ලබාදෙන සහය ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලෙස ලබාගෙන එවන බව ද දන්වා සිටිමි.”

එලෙස පරිත්‍යාග කිරීමට කැමති අයට ඒ සඳහා භාවිත කළ හැකි බැංකු ගිණුමක විස්තර ද තමිල්නාඩු මහ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළා.

මහ ඇමතිවරයාගේ මෙම පොදු සහන අරමුදලට පරිත්‍යාග කරන්නන් ආදායම් බද්දෙන් නිදහස් කරන බව ද වාර්තා වනවා ෴

***************************************

ප්‍රවීණ සිනමා නළු විල්සන් කරූ මහතා අභාවප්‍රාප්ත වෙයි

(03.05.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රකට සටන් නළුවකු වන ‘විල්සන් කරුණාරත්න’ හෙවත් ‘විල්සන් කරූ’ අද (03) සිය දිවිගමනට සමු දුන්නා.

මිය යන විට මෙම අසහාය සටන් නළුවා පසු වූයේ හැත්තෑ නව (79) වැනි වියේ යි.

1942 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී උපත ලද විල්සන් කරුණාරත්න සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ 1974 වර්ෂයේදී යි.

‘ඒ හදවත් නැත්තෝ’ චිත්‍රපටයේ රඟපාමින්.

1974 ආරම්භ කෙරුණු ඔහුගේ සිනමා දිවිය දශක පහකට (5) ආසන්න කාලයක් දක්වා දිග හැරෙනවා.

2019 වර්ෂයේ දී ඔහු රංගනයෙන් දායක වූ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රඟපෑ අවසාන චිත්‍රපටය ලෙස සැලකෙනවා.

සිංහල සිනමාවට දායකත්වය ලබා දුන් විශිෂ්ටතම සටන් අධ්‍යක්ෂවරයකු සහ දුෂ්ඨ සටන් නළුවෙකු ලෙස සැලකෙන මෙම උත්තුංග දේහධාරී නළුවා, ඔහුගේ දීර්ඝ සිනමා දිවිය තුළ රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 250 කට අධිකයි.

එමෙන්ම ඔහුගේ නම ඉදිරියේ ටෙලි නාට්‍යය පහළොවකට (15) අධික සංඛ්‍යාවකගේ රංගන දායක දායකත්වය ලියැවී තිබෙනවා.

ඔහුගේ දීර්ඝ රංගන දිවිය තුළ මාලනී ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කළ ‘සසර චේතනා’ චිත්‍රපටයේ රඟපෑ ‘නිකලස්’ නැමැති චරිතයට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වී තිබෙනවා.

2021 වසරේ මාර්තු මාසයේ දී සිය නිවස තුල ඇද වැටීම හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ විල්සන් කරුණාරත්න මහතා, කොළඹ ජාතික රෝහලේ මාස ගණනාවක් නේවාසික ව ප්‍රතිකාර ලැබුවා.

මේ අග්‍රගණ්‍ය සටන් නළුවාගේ අවසන් කටයුතු සිදු වන දිනය සහ වේලාව පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැහැ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *