දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව

*********************************************

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව

(03.05.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා සිදු කළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට නියමිත ව තිබෙනවා.

පෙරවරු 10:00 ට පදනම් ආයතනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කමිටු සාමාජික හා දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය මෙන්ම නීතිඥවරුන් කිහිපදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත යි.

මීට ඉඟි පළ කරමින් ජවිපෙ නායකයාගේ ඇතුළු පක්ෂ සාමාජිකයන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල, ‘රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව’ යනුවෙන් පෝස්ටුවක් ද පළ කොට තිබුණා.

ඒ අනුව, රටේ මහජන ධනය මහා පරිමාණයෙන් කොල්ල කෑ දේශපාලනඥයන්ගේ, ඊට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ රැසක් අද (03) දින මාධ්‍යට හෙළිදරව් වනු ඇති.

විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඬ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හා නො කළ වංචා දූෂණ සහිත ලියවිලි මීට අදාළ බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව මේ වනවිට පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතන ප්‍රධාන ශ්‍රවනාගාරයේදි යි.

මේ සඳහා ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, හිටපු කෝප් කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති හා වසන්ත සමරසිංහ යන අය එක් වී සිටිනවා.

දැනට රාජ්‍ය අංශයේ හා විවිධ ව්‍යාපෘති හරහා සිදු වූ මූල්‍ය හා වෙනත් අක්‍රමිකතා කිහිපයක් පිළිබඳ අනුර දිසානායක හෙළිදරව් කළා.

++++++++++++

අනුරට මෛත්‍රීපාල සිරිසේනගෙන් පිළිතුරු

(03.05.2022 – 17:20 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් වන සමීර ද සිල්වා විසින් එම ලිපිය නිකුත් කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද එය පළකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවිය හට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බවද ඉන් පෙන්වා දෙනවා.

ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ ලිපියෙන් දැනුම්දී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකර තිබුණා.

එම සම්පූර්ණ ලිපිය :

++++++++++++

හෙලිදරවුවෙන් පැය 24 ක් යන්න කලින් අනුරට නඩු දමන බව දන්වයි..

(04.05.2022 – 00:02 +0530 – lankacnews.com)

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

නිසි අනුමැතියකින් තොරව, ‘එක්සත් ජනපද CIA නියෝජිතයෙකු’ වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 03 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.

රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5 ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5 ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි ෴

***************************************

ජනමාධ්‍ය නිදහස අගයන දිනය හා ලෝක ජනමාධ්‍ය දිනය අදයි

(03.05.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි 03 වැනි දා නම් කර ඇත්තේ, ‘ලෝක මාධ්‍ය නිදහස් දිනය’ ලෙස යි.

එසේ ම අද (03) වැනි දා ලෝක ‘මාධ්‍ය දිනය’ ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාධ්‍ය නිදහසේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් කිරීම සහ අයිතියට ගරු කිරීම, ආරක්ෂා කිරීම සඳහා රජයන්ට ඔවුන්ගේ යුතුකම මතක් කිරීම ද මෙහි එක් වැදගත්කමක්.

1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වැනි වගන්තිය යටතේ අන්තර්ගත ප්‍රකාශනයේ නිදහස සහ Windhoek ප්‍රකාශනයේ සංවත්සරය සනිටුහන් කරමින්, 1991 දී Windhoek හි අප්‍රිකානු පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් විසිනු යි මෙම කථිකාව පෙරට රැගෙන ඇවිත් ඇත්තේ ෴

***************************************

විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ජනතාව වෙනුවෙන් සිට ගනිමින් අලුත් වැඩකට අතගසයි

(03.05.2022 – 21:09 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික, සමාජීය හා දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන්, ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පෙළ ගස්වන්නට විද්‍යුත් විකාශකයන්ගේ සංසදය තීරණය කරයි.

රට මුහුණ පා ඇති අර්බුදය හමුවේ ජාතික වගකීමක් ලෙස සලකා මෙම තීරණය ක්‍රියාත්මක කළ යුතු බවටයි ඔවුන් එකඟතාවට පැමිණ ඇත්තේ.

මේ වන විට රට මුහුණ පා ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශක පත් කිරීම සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඒ කොළඹ පදනම් ආයතනයේදීයි.

මෙම හමුවේ දී, මේ වන විට රට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙස් විදෙස් විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට ද තීරණය වී තිබෙනවා.

ඒ අනුව,මේ අවස්ථාවේ මෙරට මාධ්‍ය කර්මාන්තයේ වැඩි වගකීම් කොටසක් හිමිවන විද්‍යුත් විකාශකයින් ලෙස රට වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට සංගමයක් ලෙස තීරණයකළ බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරියේදී මාධ්‍ය ආයතන වශයෙන් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට බලපෑම් කිරීම සඳහා සියලු වැඩසටහන් ඉලක්ක ගත කිරිමටත් මෙහිදී තීරණය කෙරුණා.

ඒ අනුව විද්‍යුත් විකාශකයින් ගේ සංසදය වශයෙන් මාධ්‍ය වැඩසටහන්වල දී වෘත්තිකයින්, තාක්ෂණවේදීන් සහ විෂය කේෂ්ත්‍රවල ප්‍රවීනයන්ට ප්‍රමුඛතාව දීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි මාස කීපය තුළදී රටේ ආර්ථික සහ දේශපාලන වාතාවරනය පිළිබඳ සියලු නාලිකා එක්ක වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා එක්ව ඉදිරිපත් කරන වැඩසටහන් ජනතාව වැඩි වශයෙන් නරඹන බවත්, ඒ හරහා ජනතාවට වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා දිය හැකි බවත්, ඉදිරියේ දී රට තුළ උද්ගත විය හැකි යම් යම් තත්වයන්ට ජනතාව සූදානම් විය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කළ හැකි බවත්, මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව සියළු සියලු ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා එක්ව දියත් කරන වැඩසටහන් පිළිබඳව ඉදිරි දින කිහිපය තුළදී අවසාන තීන්දු තීරණ ගැනීමටත් මෙම සංසද සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා ෴

+++++++++

***************************************

කම්කරු කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය මත ගැටුමක

(03.05.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ජනතාව වෙනුවෙන් පාලන බලය මෙහෙයවන පක්ෂවලට සහය ලබා දෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.

එහි සභාපති සෙන්දිල් තොන්ඩමන් යාපනයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ලංකා කම්කරු කොංග්‍රසය සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින්.

ලෝක කම්කරු දින සැමරුම් උත්සවයකට එක් වෙමින් ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් කියා සිටියේ රාජපක්ෂවරුන් සමඟ සිදුකරන දේශපාලනය මෙතෙකින් අවසන් බවයි.

ඒ සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අදහස් පළ කලේ මෙලෙසින්.

“වෙන පක්ෂ ගැන මං විවේචනය කරන්නේ නෑ. හැබැයි ලංකා කම්කරු කොංග්‍රසය ගැන වචනයක් කියන්න ඕනේ.

මහින්ද රාජපක්ෂට ඉවත් වෙන්න කියනකම් පාඩුවේ ඉඳලා දැන් රාජපක්ෂලා එක්ක තියන සම්බන්ධතා නවත්වනවා කියලා ජීවන් තොන්ඩමන් කියනවා.

මෙච්චර කල් මේගොල්ලොන්ට තීරණයක් ගන්න බැරි වුණා.

එයාලා ආණ්ඩුවත් එක්ක හිටියේ ඇමතිකම් වලට. මහින්ද රාජපක්ෂ දිගටම බලයේ ඉන්නවා නම් ජීවන් තොන්ඩමන් මෙවැනි තීරණයක් ගන්නවද කියන සැකය මට තියනවා.

මේගොල්ලො වරප්‍රසාද වලට බලය පස්සේ යන අය.”

කෙසේ වෙතත් ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන් ඊයේ (02) මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා :

“පසුගිය ආණ්ඩුව කාලෙදී යාපනේ පුස්තකාලය විනාශ කළා. එතකොට සුමන්දිරන් ඒ ආණ්ඩුවත් එක්ක හිටියේ.

එයාලගේ ප්‍රතිපත්තියට වඩා අපේ කම්කරු කොංග්‍රසයේ ප්‍රතිපත්තිය හොඳයි.

අපි දේශපාලනේට ආවේ සුමන්දිරන්ලා වගේ කටින් දේශපාලනේ කරන්න නෙමෙයි.

බස් එකේ ගමනක් යනකොට බස් එක කැඩුනොත් සුමන්දිරන්ලා වගේ අපි ඒ කැඩිච්ච බස් එකේම ඉන්නේ නෑ. අපි තීරණ ගන්නේ දේශපාලන අනාගතේ ගැන හිතලා.

මොකද අපිට ජනතාව බලය දුන්නේ පාර්ලිමේන්තු ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා පඩි ගන්න නෙමෙයි. ජනතාවට වැඩ කරන්න බැරිනම් ඇමතිකම් දාලා යන්න ඕනේ. අපි අවුරුදු 15 ක් මහින්ද රාජපක්ෂ එක්ක කටයුතු කරලා තියනවා.

ඒ වගේම ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව එක්ක අවුරුදු 20 කට වැඩි කාලයක් සම්බන්ධතා තිබුණා.

අපේ ජනතාව ගැන හිතලා අපි බලයෙ ඉන්න පක්ෂ වලට අපි සහය දෙනවා.

13 වැනි ව්‍යවස්ථා සංශෝදනය ගැන අද සුමන්දිරන් කතා කරනවා. ඊට කලින් මේගොල්ලො සහය දුන්න ආණ්ඩුවක්නෙ තිබ්බේ.

ඒත් ඒගොල්ලොන්ට ඒක කරගන්න බැරි වුණා.

තමන්ගේ බැරිකම වහගන්න තමයි ඒගොල්ලෝ අපේ පක්ෂ විවේචනය කරන්නේ.

මෙවැනි ප්‍රකාශ අයේ කලොත් ඒවටත් අපි උත්තර දෙන්න ලෑස්තියි” ෴

***************************************

කප්පම් ඉල්ලූ පුද්ගලයකු එස්.ටී.එෆ්. දැලේ

(03.05.2022 – 08:58 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් හොරණ පොලිස් වසමේ 03 වැනි පටුමඟ – නුගගොඩවත්ත – වස්කඩුව ලිපිනයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී ඉංගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට ගිනි අවි පෙන්වා මරණ තර්ජන කර රුපියල් 350,000,000 කප්පම් මුදල් ලබා ගැනීම, පවුම් 08 ක රත්‍රන් මාලයක් හා පෙන්ඩනයක් මංකොල්ලකෑම හා රුපියල් 1,000,000 ක කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ව අත් අඩංගුවට ගත් බව සඳහන් වනවා.

කප්පම් මුදල් ඉල්ලූ බවට සඳහන් දුරකථන අංක සම්බන්ධයෙන් දුරකථන දත්ත හා එම මුදල් බැර කළ බවට සඳහන් බැංකු ගිණුම් වාර්ථා සම්බන්ධ පරීක්‍ෂා කොට දීර්ඝ විමර්ශණයක් සිදු කිරීමෙන් අනතුරුව යි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.

සැකකරු නුගේගොඩවත්ත – වස්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *